වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මාවතේ ගීතයට හැට වසරක්

මාවතේ ගීතයට හැට වසරක්

ලෝක සිනමා ඉතිහාසයෙහි වඩාත්ම ජනප්‍රිය ළමා චරිතය කවරෙක්දැයි මෙයට වසර කිහිපයකට පෙර ජර්මනියේ බර්ලින් සිනමා උළෙල විසින් ලොව පුරා සිනමා විචාරකයන්ගෙන් විමසනු ලැබීය. එහිදී බොහෝ අය බලාපොරොත්තු වූයේ චාලි චැප්ලින්ගේ 'ද කිඩ්' චිත්‍රපටයේ රඟපෑ ජැකී කූගන් හෝ ස්ටීවන් ස්පිල්බර්ග්ගේ 'ඊ ටී' චිත්‍රපටයේ රඟපෑ ඩ්‍රිව් බැරිමෝ හෝ එහිම රඟපෑ හෙන්රි කේමන් මුල් තැනට තේරී පත්වනු ඇති බවය.

එහෙත් මේ මත විමසුමෙන් ලොව ජනප්‍රියම ළමා නළුවා ලෙස තෝරා ගැනුණේ 'පාතෙර් පංචාලි' චිත්‍රපටයේ ඕපුගේ චරිතය රඟපෑ සුබීර් බැනර්ජිය එහෙත් මුළු ලොවම හඳුනන්නේ ඕපු නමිනි. මේ ඕපු ලෝක සිනමාවට බිහි වී මේ අවුරුද්දට අවුරුදු හැටකි.

ඕපුගේ චරිතය රැගත් පාතෙර් පංචාලි චිත්‍රපටය ලොව මුල්වරට තිරගත වූයේ 1955 අගෝස්තු මස 26 වැනිදාය. එහෙත් ඕපුගේ චරිතය එයට වඩා තවත් වසර ගණනාවක් පැරණිය.

විභූති භූෂන් බන්ධෝපාද්‍ය නම් බෙංගාලි නවකතාකරුවා ඕපුගේ චරිතය සහිත කොටස් දෙකකින් යුත් පාතෙර් පංචාලි නවකතාව රචනා කරන ලද්දේ 1928 වසරේ පමණය.

එහි දෙවැන්න වනුයේ අපරාජිතයෝය. පාතෙර් පංචාලි නවකතාව සත්‍යජිත් රායි නම් 'මහා සිනමාකරුවා' විසින් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට තෝරා ගනුයේ 1950 දී පමණය. ඒ වන විට විභූති භූෂණ බන්ධෝපාද්‍ය මිය ගොසිනි.

චිත්‍රපටයට අවසර දෙන ලද්දේ ඔහුගේ දෙවැනි බිරිඳ වූ රාමා චත්තොප්පාද්‍ය විසිනි. චිත්‍රපටය සඳහා නවකතාව පාදක කර ගන්නට සත්‍යජිත් රායි වඩාත් පොළඹවන ලද්දේ කාව්‍යෝක්ති පරිපූර්ණව රිද්මයානුකූලව රචනා කරන ලද සර්වකාලීන මානව අගයන්ගෙන් යුත් එහි ඇති පුවත නිසාවෙනි.

බන්ධෝපාද්‍ය විසින් කොටස් දෙකකින් රචනා කරන ලද මේ නවකතා යුගල පාදක කරගෙන රායි විසින් චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කරන ලදී. එහි තෙවැනි චිත්‍රපටය වූයේ 'ඕපු සංසාර්'ය. පතෙර් පංචාලි චිත්‍රපටය රූගත කරන්නට පෙර රායි සිනමාව වඩාත් ප්‍රායෝගිකව උගත්තේ සුප්‍රකට ප්‍රංශ සිනමාකරු ෂාන් රෙනෝ යටතේ වැඩ කිරීමෙනි. රෙනෝ 1951 වසරේ කල්කටාවට පැමිණියේ 'ද රිවර්' නැමැති චිත්‍රපටය නිර්මාණය කරන්නටය.

එයට පෙර රායි පිළිබඳ අපූරු මතක සටහනක් සුප්‍රකට ඉන්දීය නළු දිලිප් කුමාර්ගේ හෙළිදරව්වක අන්තර්ගතව ඇත. දිලිප් කුමාර් රඟපෑ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් 'දීදාර්' අධ්‍යක්ෂණය කරන ලද්දේ නිතින් බෝෂ් විසිනි. ඒ අවධියේ චිත්‍රපට දර්ශන තලයට ආගන්තුකයන්ට තහනම් කලාපයක් වුව නිතින් බෝෂ්ගේ දුරින් නෑදෑයෙකු යැයි කියා ගත් උස ඉලන්දාරියෙකු ද මේ දර්ශන තලයේ රැඳී උන්නේය.

බෙංගාල සිනමාව මඟින් හින්දි සිනමාවට තිළිණ කරන ලද විශිෂ්ට කැමරා ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන නිතින් බෝෂ් එක්තරා ආකාරයකට සිනමා පාසලක් වූයේය. ඒ පාසලේ හොඳම ශිෂ්‍යයා ලෙස මා දකින්නේ පසු කලෙක 'දෝබි ගා සමීන්', 'මධුමති' වැනි විශිෂ්ට චිත්‍රපට නිර්මාණය කරන ලද බිමල් රෝයි සිනමාවේදියාණන්ය. කෙසේ වෙතත් නිතින් බෝෂ්ගේ නෑකම නිසා දර්ශන තලයට රිංගා ගත් ඉලන්දාරියාට දිලිප්ගේ රඟපෑම ඒතරම් හිතට ඇල්ලූ වගක් පෙනුණේ නැත. ඒ නිසාම දෝ ඔහු ඔලොක්කු හිනාවක් පෑවේය. මේ හිනාව සුපිරි නළු දිලිප්ගේ හිතට ඇල්ලුවේ නැත.

අධ්‍යක්ෂවරයා කවුරු වුණත් තිරනාටකය පැත්තකට විසි කොට දමා තමන්ට ඕනෑ හැටියට චිත්‍රපටය හදා ගන්නට වෙර දරන වර්ගයේ නළුවකු වන දිලිප් මේ ඉලන්දාරියාට දර්ශන තලයෙන් ඉවත් වන ලෙස අණ කළේය.

චිත්‍රපටයක් හදන්නට ආසාවෙන් ඉන්නා හාදයෙක් යැයි නිතින් බෝෂ් දිලිප් අස්වසාලන්නට උත්සාහ කළ ද එයින් පලක් නොවිණ. තමා විසින් එලෙස පලවා හරින ලද්දේ ඉතා නුදුරු අනාගතයේ දිනක ඉන්දියාව විසින් බිහිකරනු ලබන ඉන්දීය අග්‍රගණ්‍ය සිනමාකරුවා ලෙස ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වන සත්‍යජිත් රායි තරුණයා බව දිලිප් වටහා ගත්තේ පසු කලෙකය.

මේ සිදුවීම නිසා දිලිප්ට කොයි හැටි වෙතත් ඉන්දියාවේ අග්‍රගණ්‍ය සිනමාකරුවා තමාගේ ගෝලයෙකු යැයි නිතින් බෝෂ්ට කියන්නට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.

පාතෙර් පංචාලි චිත්‍රපටය පාදක කර ගනුයේ ඕපු නම් කුඩා දරුවාත්, ඔහුගේ සොහොයුරිය දුර්ගාත්, මව්පිය යුවළත් එහි නිවසේ වෙසෙන මහලු මිත්තණියත් වටාය. සිනමා කෘතිය නිර්මාණය කිරීමේදී නවකතාවේ සාරය උකහා ගන්නා රායි එහි ආකෘතිය බිහි කරනුයේ ඒ වන විට ලොව පුරා පැතිරෙමින් තිබෙන ඉතාලි නවතාත්වික වාදයේ ආස්වාදය මතය. ඇත්ත නම් එයට සියළු දේ නවකතාව මඟින් සැපයිණ. ඉතාලි නව තාත්විකවාදයෙන් ආශ්වාදය ලබන බිමල් රෝයි 'දෝ බිගා සමීන්' බිහි කරනුයේ පාතෙර් පංචාලියට පෙරාතුවය. කෙසේ හෝ වේවා පාතෙර් පංචාලිය චිත්‍රපට ගත කරන්නට තෝරා ගත් අලුත සත්‍යජිත් රායිට සිය රැකියාවේ කටයුතු සඳහා සය මසක් ලන්ඩනයට යන්නට සිදුවීම අහක යන වාසනාවක් විය.

මේ සය මස තුළ රායි කළේ ඒ වන විට ලන්ඩනයේ තිරගත වන චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් නැරඹීමය. 1947 වසරේදී රායි මෙන්ම පසු කළෙක ප්‍රවීණ සිනමා විචාරකයෙකු වන චිදානන්ද දාස්ගුප්තා (ඔහු සුප්‍රකට සිනමාකාරිනී අපර්නා සෙන්ගේ පියාණන්ය) ඇතුලු කල්කටාවේ තරුණයන් පිරිසක් කල්කටා සිනමා සමාජය බිහි කොට එමඟින් නිතර දකින්නට නොලැබෙන අග්‍රගණ්‍ය චිත්‍රපට රාශියක් නැරඹීමට අවස්ථාව උදා කරගෙන තිබිණ.

කල්කටා සිනමා සමාජය අග්නිදිග ආසියාවේ දෙවැනි පැරණිතම සිනමා සමාජයයි. එහි පළමුවැනි ස්ථානය ගනු ලබනුයේ කොළඹ සිනමා සමාජයයි. කෙසේ හෝ කල්කටා සිනමා සමාජය බිහිවන සමය වන විට ඉන්දියානු නිදහස් අරගලයේදී මෙන්ම සාහිත්‍යයේ සහ වෙනත් සියලු කලාවන්ගේ ප්‍රබෝධයක් නගරය කේන්ද්‍ර කොටගෙන බෙංගාලය පුරා පැතිර තිබුණි.

එහෙත් පාතෙර් පංචාලි නිර්මාණය කරන විට මේ ප්‍රබෝධයේ හරි අඩක් ගිලිහී ගොස් තිබුණේ බෙංගාල ප්‍රාන්තය දෙකට බෙදී නැගෙනහිර පාකිස්ථානය නමින් අලුත් රාජ්‍යයක් බිහි කිරීම හේතුවෙනි. රායි ප්‍රමුඛ තරුණ පෙළ කල්කටා සිනමා සමාජය ගොඩ නගද්දී එයට පරිබාහිරව රිට්වික් ඝටක් වැනි සෙසු බෙංගාල සිනමාකරුවන් ගොඩ නැගුනේ ඉන්දියාව පුරා පැතිර ගිය ඉන්දියානු මහජන නාට්‍ය සංවිධානය (IPTA) පාදක කොටගෙනය.

රායි ප්‍රමුඛ තරුණයන් ඉංග්‍රීසි බසෙහි නිපුණ වූ අතර ඝටක් වැන්නවුන් ජීවිතය සොයා ගියේ කොමියුනිස්ට්වාදය පාදක කොටගෙනය. ජපාන සිනමාව පිළිබඳ ලොවපුරා අවධානය දිනාගැනෙන්නට වඩාත්ම පටන් ගත්තේ අකිර කුරසෝවාගේ රෂොමෝන් 1951 වසරේ වැනිස් සිනමා උළෙලේ ස්වර්ණ සිංහ සම්මානය දිනාගත් පසුවය.

එයින් පස්වසරකට පසු 1956 වසරේදී කාන් සිනමා උළෙලේදී හොඳම මානව වාර්තාවට හිමි සම්මානය දිනාගන්නේ පාතෙර් පංචාලිය. පාතෙර් පංචාලි චිත්‍රපටයේ හැට වන සංවත්සරය ලියන්නට ගිය මේ ලිපිය එහි අන්තර්ගතය එය ලොවට කළ බලපෑම සහ වර්තමානයේ එය අපට දැනෙන්නේ කෙළෙස ද යන්න පිළිබඳ විග්‍රහයකට මතු යම් දිනයකට ඉඩ තබා නතර කරන්නට සිදුව ඇත. එය ගැටලුවක් නොවන්නේ මේ පාතෙර් පංචාලිය සිය හැට වන සංවත්සරය සමරන වසර නිසාවෙනි.