වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ගොළු හදවත ජීවිත කාලය පුරාවටම මතක සටහනක්

ගොළු හදවත ජීවිත කාලය පුරාවටම මතක සටහනක්

සුගත් සමරකෝන්

අද පුදුම හතට සම්බන්ධ වෙන්නේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයක්.

ලාංකේය සිනමාවේ මෙන්ම වේදිකාවේ ද පෙළහැර පෑ ඔහු අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් පමණක් නොව රංගනයෙන් ද සිය ප්‍රතිභාව දැක් වූ සුවිශේෂ කලාකරුවෙක්.

දිගු නිහැඬියාවකින් පසුව යළිත් ඔහු අද සිනමාවේ සක්‍රීයව සිටියි.

ඒ දැවැන්ත සිනමා නිර්මාණ රිදී තිරයට තිළිණ කරමිනි. සුගත් සමරකෝන්. ඔහු අද පුදුම හතට කතා කළේ කලා දිවිය තුළ තම සිතට සමීප වූ සිනමා නිර්මාණ හතක් පිළිබඳවයි.

නිධානය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ නිධානය චිත්‍රපටය මා ඉතා ආසාවෙන් නැරඹූ චිත්‍රපටයක්.

1972 වසරේ ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජත සිංහ සම්මානයට පාත්‍ර වෙමින් එය අප රටට ගෙන ආවේ විශාල ගෞරවයක්.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා එහි විලී අබේනායක ලෙසින් කළ චරිත නිරූපණයත් එලෙසම සුවිශේෂී එකක්.

නිධානයේ චිත්‍රපටයේ ගාමිණීගේ රංගනය ඔහුගේ රංගන දිවියේ මා දුටු විශිෂ්ටම රංගනය වගේම ලාංකේය සිනමා ඉතිහාසයක් එය සදාතනික මතක සටහනක්.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයත් සිංහල සිනමාවේ විශේෂයි. නිධානය චිිත්‍රපටයේ කේමදාසයන්ගේ සංගීතය යුග යුග ගණන් රැව් පිළිරැව් දෙන සංගීත නිර්මාණයක්. ඒ වගේම ආචාර්ය තිස්ස අබේසේකරගේ තිර රචනයත් මේ සියල්ල අතරේ ප්‍රමුඛ අවධානය දිනා ගත්තක්. ඒ නිසාම අපේ සිංහල සිනමාවට නිධානය නම් වූ චිත්‍රපටය නිධානයක්.

ගොළු හදවත

ගොළු හදවත චිත්‍රපටයත් මා නැරඹූ චිත්‍රපට අතරේ ඉතාමත් ආසාවෙන් නැරඹූ චිත්‍රපටයක්. නවකතා රචක කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත නවකතාව ඇසුරෙන් නිර්මාණයේ ගෙන එන්නේ යොවුන් ප්‍රේමයේ සුන්දරත්වයයි. ඒ වගේම එය එදා මෙදාතුර යෞවන යෞවනියන් අතර අතිශය ජනප්‍රිය නවකතාවක්. මේ අපූරු නවකතාව රූප මාධ්‍යයට ගෙන ආවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. එවැනි වූ සුන්දර නිර්මාණයක් අපට දැක බලා ගන්න ලැබීමත් සතුටක්. ඇත්තටම එය ජීවිත කාලය පුරාවට මතකයේ සටහන් වන ප්‍රේම කතාවක්.

එහි දම්මි හා සුගත් ලෙසින් අනුලා කරුණාතිලක සහ වික්‍රම බෝගොඩ කළා වූ රංගනයන් ද මා අගය කර සිටිනවා. රංගන ශිල්පි ශ්‍රියාණී අමරසේන සිනමාවට සම්බන්ධ වීම සනිටුහන් කළේ ගොළු හදවතයි. විශිෂ්ට රංගනයන් සේම එහි සංස්කරණයත් සුවිශේෂයි. ගීත අඩංගු නොවුණ ද ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ භාවමය පසුබිම් සංගීතය ගොළු හදවත සිනමා නිර්මාණයට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයක්. මේ නිසාම ගොළු හදවත චිත්‍රපටය මගේ මතකයේ සදාතනික චිත්‍රපටයක් බවට පත් වෙනවා.

දඩයම

වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ දඩයම චිත්‍රපටයත් මා නැරඹූ සිංහල චිත්‍රපට අතරේ විශේෂ වූ තවත් චිත්‍රපටයක්. එහි ජයනාත් ලෙසින් රවීන්ද්‍ර රන්දෙණිය කළා වූ චරිත නිරූපණය මා දුටු ඔහුගේ විශිෂ්ටතම රංගනයයි. ඒ වගේම රවීන්ද්‍ර ඉදිරිපත් කළා වූ චරිත අතර සාර්ථකම දුෂ්ට චරිත නිරූපණය වගේම එදා මෙදාතුර සිංහල සිනමාවේ දුෂ්ටතම චරිත නිරූපණය ලෙසත් මා එය දකිනවා. එහිදී රන්මලී ලෙසින් ස්්වර්ණා මල්ලවාරච්චි කළා වූ රංගනයත් මේ අවස්ථාවෙ මා සිහිපත් කරන්නේ එයත් සිංහල සිනමාවේ මා දුටු විශේෂිත චරිත නිරූපණයක් නිසාවෙනි. දැඩි අසාධාරණයකට ලක් වූවත් පසුබට නොවන වීර කාන්තාවක් රන්මලී තුළ සිටියා.

වැලිකතර

1971 වසරේ තිරගත වූ වැලිකතර චිත්‍රපටයත් මා ඉතා ආසාවෙන් නැරඹූ සිංහල චිත්‍රපටයක්. ඒ වගේම ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ විසින් අපේ සිනමාවට දායාද කළ විශිෂ්ට චිත්‍රපටයක්. එහිදී ආචාර්ය තිස්ස අබේසේකර රචනා කළා වූ වැලිකතර තිර පිටපතත් මට එලෙසම විශේෂ වෙනවා. අපේ සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට දහයට ඇතුළත් වූ වැලිකතර සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේදී දායාද වූ ස්වර්ණමය තිළිණයක්.

එහි ගෝරිං මුදලාලි ලෙස ජෝ අබේවික්‍රමත්, වික්‍රම රන්දෙණිය සහකාර පොලිස් අධිකාරීවරයාගේ චරිතයට පණ දුන් ගාමිණී ෆොන්සේකාත් අපූරු සුසංයෝගයක් ලෙසින් කළ චරිත නිරූපණයත් මගේ හදවතේ සදාතනික මතක සටහන්. එලෙසම සුවිනීතා කෝන්ගහගේ රඟපෑමත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමයි. ඔවුන් එකිනෙකා තරඟකාරී ලෙසින් කළ රඟපෑම් වැලිකතරේ අගය තව තවත් වැඩි කළා. එහි දෙබස් රූප රාමු එකින් එක බද්ධ වූ රිද්මයට මුසු වූ ඒ රංගනය වැලිකතර චිත්‍රපටය මා සිතේ සදා නොමැකෙන අයුරින් තැන්පත්වීමට හේතු වුණා.

අධිෂ්ඨාන

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ අධිෂ්ඨාන චිත්‍රපටය මගේ සිනමා ජීවිතයට සුවිශේෂ අයුරින් මතක සටහනක් වූ චිත්‍රපටයක්. 1982 වසරේ තිරගත වූ එහි මා ලද රංගන අවස්ථාව මට මගේ සිනමා දිවියේ වටිනාම සිදුවීමක්. නදීකා ගුණසේකර, විමල් කුමාර ද කොස්තා, ජේ. එච්. ජයවර්ධන, රින්ස්ලි වීරරත්න සමඟින් එහි උපාලි පොඩි හාමුදුරුවන් ලෙසින් මම රංගනයෙන් දායක වුණා.

එදා ඒ රංගනයෙන් මම සිනමාවේ ලද නැවුම් අත්දැකීම මගේ රංගන ජීවිතයට සුවිශේෂ වූයේ ර්‍ණ. ඛ්. ධ්. ඛ් සම්මාන උළෙලේ ජීවමාන රංගනය වෙනුවෙන් මා සම්මානනීය කරවමින්. අදටත් බොහෝ දෙනා ඒ පිළිබඳ සිහිපත් කරන විට මගේ හිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටක්.

විජය කුවේණි

විජය කුවේණි චිත්‍රපටය මා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරේ දැවැන්ත නිර්මාණයක් ලෙසින් කළ ප්‍රථම සිනමා නිර්මාණයයි. එය නිර්මාණය කිරීම මගේ හිතට ගෙන එන්නේ මා මිය ගොස් නැවත ඉපදීමක් ලෙසිනුයි. එහි මූලික අඩිතාලම යෙදුණේ උපන් බිමෙන් දුරස්ව එංගලන්තයේදී සිනමාව පිළිබඳ අධ්‍යයනයේ යෙදී සිටියදීයි. මා මෙහි තිර පිටපත ලියුවේ එහි සිටියදීයි. මා උගත් විෂය කරුණු සමඟ එහි නිබන්ධනය ලෙසින් විජය කුවේණි චිත්‍රපටය නිර්මාණය කරන්න කටයුතු යෙදුණා.

දිගු කාලයක් සිනමාවෙන් ඈත්ව සිට සිනමාව වෙනුවෙන් වූ ආදරයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙස විජය කුවේණි චිත්‍රපටය මා හඳුන්වන්න කැමැතියි. රසික රසිකාවන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ එහි රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා, බුද්ධදාස විතානාරච්චි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් කළ විශේෂිත රංගනයන් මා අද යළිත් සිහිපත් කර සිටිනවා. එහි සාර්ථකත්වය මා අත් වින්දේ 2012 වසරේ ජනතා සම්මානය ඇතුළුව සම්මාන 7 කින් විජය කුවේණි චිත්‍රපටය පිදුම් ලබමිනි. දීර්ඝ කාලයක් සිනමාවෙන් ඈත්ව සිට කළා වූ පළමු නිර්මාණය මෙලෙස ජනතා ගෞරවයට පාත්‍ර වීම මගේ සිනමා දිවියේ ලද සුවිශේෂ භාග්‍යයක්.

ඇහැළේපොළ කුමාරිහාමි

ඉතිහාසයේ සිදු වූ ප්‍රබල සිදුවීමක් එහි ශතක දෙකක් සපිරෙන මෙහොතේ රූප මාධ්‍යයෙන් ජනතාවට සමීප කරවන්නට ලැබීම පිළිබද මා ඉතාමත් සතුටට පත් වෙනවා. ඇහැළේපොළ කුමාරිහාමි සහ වීර මද්දුම බණ්ඩාරගේ කතාව මම දකින්නේ සදාකාලික දේශපාලන බල අරගලයේ සදා අනුස්මරණීය ඛේදවාචකය ලෙසයි. එවැනි ඓතිහාසික සිදුවීමක් ප්‍රතිනිර්මාණයට මට අවස්ථාව ලැබීමත් සිනමාකරුවෙකු ලෙසින් මා ලද භාග්‍යයක්.

අපේ රටේ ජනතාව වෙනුවෙනුයි මම ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය නිර්මාණය කළේ. ඇත්තටම එය ජාතික වගේම සංස්කෘතිකවත් විශාල වටිනාකමකට හිමිකම් කියන කතා පුවතක්. එහිදී ද දුලානි අනුරාධා, ජැක්සන් ඇන්තනී, බුද්ධදාස විතානාරච්චි, අනුර ධර්මසිරිවර්ධන ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රඟපෑම් ඉතා විශිෂ්ට මට්ටමක තිබුණා. මේ කතා පුවත යුග යුග ගණන් ගත වුණත් සදාකාලිකව ආදර්ශ, උපදේශ හොඳ, නරක කියා දෙන අමරණීය කතා පුවතක්. එවැනි නිර්මාණයක් ජනතාට තිළිණ කරන්නට ලැබීම පිළිබඳ ඇති වූ අප්‍රමාණ සතුට මගේ හිත තුළ ද සදාකල්හිම තැන්පත්ව තිබෙනවා.