වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සන්තුෂ් - දුෂ්යන්ත් පසුපස යෝධ හස්තයක්

සන්තුෂ් - දුෂ්යන්ත් පසුපස යෝධ හස්තයක්

නාලක වීරමන්ගේ කදිම හෙළිදරව්ව

සරසවිය පුවත්පතේ සිංහල සිනමාව පිළිබඳ පළවන ඇතැම් ලිපි සුපරික්ෂාකාරීව කියවා එහි අඩුපාඩුවක් ඇත්නම් අප වෙත කතා කොට ඒ ගැන පවසන අපූරු රසිකයකු විය. ඔහු එම වැරැදි නිවැරැදි කරමින් ද ඊට අදාල වැඩි විස්තරයන් ද දන්වමින් අපව ද දැනුවත් කරනුයේ මහා ප්‍රාඥ්ඥයකු පරිද්දෙනි. මේ සොඳුරු තැනැත්තා කවුරුන් ද යන්න සොයා බැලීමට අප උනන්දු විය.

එහිදී අපට දැනගන්නට ලැබුණේ ඔහු මෙරට කලා පරපුරක දැවැන්ත පුරුකක් බවය. නමින් ඔහු නාලක වීරමන්ය. තවත් අයුරකින් කිවහොත් නව පරපුර නියෝජනය කරන ජනප්‍රිය තරු යුගළයක් වන සන්තුෂ් සහ දුෂ්යන්ත්ගේ අප්පච්චිය. එපමණක් ද නොව මේ වීරමන් නම සිංහල සිනමාවට තවත් අයුරින් දායක වෙයි. ඒ නාලකගේ පියා නැතහොත් සන්තුෂ් හා දුෂ්්‍යන්ත්ගේ මුත්තනුවන් වූ පාලිත වීරමන් හෙයිනි.

ඔහු සිංහල සිනමා ඉතිහාසය පිරික්සා බලනවිට සුවිශේෂි පුද්ගලයෙකි. නාලක වීරමන් සොයා ගිය අපට නිහඬ ජලය ගැඹුරුයි යන කියමන සිතට නැඟිණ. ඒ නාලක නිහඬව සිටිමින් කරන්නා වූ සේවාවේ දිගක් පළලක් නොමැති බැවිනි. අප මේ වටිනා මිනිසා සොයා ඇතුල්කෝට්ටේ කොටුබැම්ම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගියෙමු.

එන්න එන්න . . . මං ඔබ එනවා කියපු වෙලාවට වඩා පැයක් කලින්ම ලැහැස්ති වෙලා හිටියා. වාඩි වෙමු. කොහොමද මගේ චිත්‍රපට එකතුව.

නාලක නිවසෙහි උඩ තට්ටුවට අප කැඳවා සුවිශාල කබඩයක් පෙන්වීය. එහි ඩී වී. ඩී. මාධ්‍යයෙන් ඇති නාලකගේ සිනමාපට එකතුව අප දුටුවෙමු.

රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ මට නිවසේ ගත කරන්න තිබුණේ ඉතාම විවේක සුවයෙන්. ඒත් කාලය අපතේ යවන්නට මට හිතුණේ නැහැ. ඉතින් මං අපූරු විනෝදාංශයක් පටන් ගත්තා. ඒ පැරැණි සිනමාපට පිළිබඳ විස්තර හොයන්න. ඒ හා සම්බන්ධ සියලු තොරතුරුත් එක්රැස් කළා. හරියටම 2010 අවුරුද්දේ මං මේ වැඩේ පටන් ගත්තේ. අද වන විට සිංහල සිනමා පට 1188 තිරගත වෙලා තියෙනවා. ඉන් 938 මා සතුයි.

* චිත්‍රපටවල සියලු විස්තර තියෙනවා කියලා කිව්වේ?

මෙහෙමයි. චිත්‍රපටයක නළු නිළියන්ගේ සිට එය තිරගතවන දිනය, අඩංගු ගීත, ගීතමය ජවනිකාවල සිටි නළු නිළියෝ, කාර්මික ශිල්පීන් ඇතුළු විස්තර මං එකතු කොට සටහන් කරනවා. ඕන චිත්‍රපටයක් ගැන ඇහැව්වොත් මං කියන්නම්.

* ඒ වුණාට ඔබ ගැන වැඩි දෙනෙකු දන්නේ නැහැනේ?

ඒක තමයි, මට එහෙම ජනප්‍රිය වෙන්න ඕනෑ නැහැ. විශ්වවිද්‍යාලවල සිසුන්ට සිනමාව ගැන තොරතුරු අවශ්‍ය වෙලාවට ඒවා ලබා දෙමින් නිහඬ සේවාවක් ද මේ වන විට මා සිදු කරනවා. සමහර අධ්‍යක්ෂවරුන් මා ගාව මෙවන් වූ තොරතුරු තියෙන බව දැනගෙන කතාකරලා විස්තර දැනගන්නවා.

මං මේ කාර්යය කරන්නේ හරිම සතුටින්. ඒ විතරක් නෙවෙයි, සරසවිය පුවත්පත ඇතුළු සිනමාව ගැන පළ වන පුවත්පත් හි අඩංගු ලිපිවල වැරැද්දක් තිබුණොත් මං කතා කරලා ටක් ගාලා නිවැරිදි කරනවා. කවුරු හරි චිත්‍රපටයක් ගැන තොරතුරක් ඉල්ලුවහොත් මම ඉතාම කෙටි කාලයකදී ලබා දිය හැකියි.

* ඔබ ඒවා පරිගණක ගතකොට තියෙනවා වෙන්න ඇති?

අනේ නැහැ. කම්පියුටර් ගැන මට තිබෙන දැනුම අල්පයි. හැම දෙයක් ගැනම අතින් ලියපු සටහනකුයි මං ගාව තියෙන්නෙ. එහෙම සකස් කරපු පොත් රැසක් මා ගාව තියෙනවා.

* ඔබ පවසන පරිදි අප රටේ භාවිත කරන ඇතැම් චිත්‍රපටයන් හි නම් පවා වැරැදියි?

ඔව්. දෙයියන්ගෙ රටෙ නොව දෙයියන්නෙගෙ රටේ. හාරලස්සය නොව හාරලක්ෂය. මෙවැනි වැරැදි සිදු වෙලා තියෙන්නේ ව්‍යවහාරයේදී වැරැදි නම භාවිත වීම නිසා. අඩුම ගානේ ළමා පරපුරවත් මේ ගැන දැනුවත්වන්න ඕනෑ.

* ඔබ කොහොම ද මෙතරම් කෙටි කාලයක් තුළදී පුස්තකාලයකට සරිලන දැනුුම් සම්භාරයක් එකතු කර ගත්තේ?

මං මුලින්ම 1947 සිට මේවෙනකම් තිරගත වූ චිත්‍රපට ගැන හෙව්වා. පසුව ඒවා ඩී. වී. ඩී. ගත කර ගත්තා. එහි නාමාවලිය යනකොට තැටිය ධාවනය වීම නවත්ව නවත්ව එයට සබැඳි නම් වෙනමම ලියා ගන්නවා. පැරැණි පුවත්පත්වලින් නළු නිළියන් ගැන දැනුවත් වුණා.

* මං ආසයි ඔබේ පියා ගැන දැනගන්න?

ඔහුගේ නම පාලිත වීරමන්. තාත්තා රජයේ සිවිල් සේවකයෙක්. ඔහු කලක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කළා. ඒ කාලයේ මෙරට අග්‍රාණ්ඩුකාර ධූරය දැරුවේ විලියම් ගොපල්ලව මහතා. ඔහු තාත්තා ඇතුළු තවත් දෙදෙනෙකු එක්කොට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා.

ජෝතියසේන වික්‍රමසිංහ සහ රෙජී සිරිවර්ධනයි අනෙක් දෙදෙනා. එය තමයි මෙරට පළමුවන චිත්‍රපට කොමිසම වන 1961 ජෝතියසේන වික්‍රමසිංහ කමිටු වාර්තාව. ඔවුන් සතු කාර්යය වුණේ මෙරට එකල සිංහල චිත්‍රපට කර්මාන්තය පිළිබඳ තත්ත්ව වාර්තාවක් සැපයීමයි. අප සිනමාවට සංස්ථාවක් අවශ්‍ය බව මුලින්ම සඳහන් කළේ එම වාර්තාවයි. සංස්ථාව හැදුවට පස්සේ තාත්තා එහි අධ්‍යක්ෂවරයකු ද වුණා.

* තාත්තා නිසා නොවේද ඔබ සිනමාලෝලියකු වුණේ?

තාත්තා අපව චිත්‍රපට බලන්න එක්කගෙන ගියා. ඒ වගේම නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා වැනි නාට්‍ය බලන්නත් ඔහු උනන්දු කළා. ඒ ආභාෂය නිසා ඉබේම කලාවට යොමු වුණා.

* නමුත් ඔබව මෑත කාලයේදී හැරුණු කොට කලා ශිල්පියකු වශයෙන් හමු වූයේ නැහැ?

ඒකට හේතුව අධ්‍යාපන කටයුතු නිම කළ ගමන් මා රැකියාවකට යොමු වුණ එක. ඊට පසුව මං මගේ පුතාලා දෙන්නා ගැන හිත යොමු කළා පමණයි.

* අන්න ඔබ නියම තැනට ආවා. මම ඊළඟට අහන්න හිටියෙත් පුතාලා ගැන. සන්තුෂ්ට ගායන හැකියාවක් තියෙනවා කියලා පළමුව දැනුණේ ඔබට?

ඔව්. රිචඩ් පීරිස් එකේ සේවය කරන කාලේ මං බටහිර ගීත ලෝලියෙක්. එල්විස් ප්‍රෙස්ලි, ඩීන් මාටින්, අල්මාටිනො මගේ වීරයෝ. ඉතින් මං රාජකාරි නිම වෙලා ගෙදරට එන කොට ඔවුන්ගේ කැසට් පටයක් ගෙන ඒම පුරුද්දක් කරගෙන හිටියා.

මං ඒවා ප්ලේයරයට දාලා අහනකොට සන්තුෂ් ඒවාට සවන් දුන්නේ හරිම ආසාවෙන්. එතකොට ඔහුට අවුරුදු නවයක් හෝ දහයක් ඇති. මට හිතුණා ඔහුව සංගීතය උගන්වන්න යවන්න. මං දන්න හොඳ ගුරුවරියක් හිටියා මේරි ඈන් ඩේවිඩ් කියලා. ඇය ගාවට සන්තුෂ්ව යැව්වා.

* ඔහුට භාතියව මුණ ගැහෙන්නෙ එතෙන්දි?

හරියටම හරි. නමුත් පාසල් අතර බාලදක්ෂ ජම්බෝරිවලදි භාතියව මුණ ගැසී තිබෙන බව සන්තුෂ් කියලා තියෙනවා. නමුත් දෙන්නා ගජ මිත්‍රයින් වෙන්නේ මිස් මේරිගේ ක්ලාස් එකේදි.

* සන්තුස්ට මුලින්ම අරගෙන දුන්න වාද්‍ය භාණ්ඩය මොකක්ද?

යමහා ඛ්ව් 70 විදුලි ඕගනයක්.

* සන්තුෂ් එය වයද්දී බෙරකාරයකු ද එතැනට පැමිණ ඊට සහාය දෙනවලු නේද?

ඒ පුංචි බෙරකාරයා තමයි දුෂ්්‍යන්ත. ඔහු සන්තුෂ්ට වාදනයෙන් එක් වී අනගි සහායක් ලබා දුන්නා.

* සන්තුෂ් සංගීතයෙන් ඉදරියටම යාවි කියලා ඔබට විශ්වාසයක් දැනුණේ කොතෙන්දිද?

සන්තුෂ් රාජකීය විද්‍යාලයේ ගායන කණ්ඩායමේ හිටියා. එහිදී පාසල් තරගවලට යැව්වේ ඔහුව. ඉන් ජයග්‍රහණ ලබා ගනිද්දී මට නිතැතින්ම හිතුණා සන්තුෂ් සංගීතයෙන් ඉදිරියටම යාවි කියලා.

* දුෂ්්‍යන්ත් නර්තනයට යොමු වුණු අහඹු මෙන්ම රසවත් සිදුවීම මතක් කළොත්?

මගේ නෝනා රන්සිරිනිගෙ මල්ලි රට ඉඳලා එනකොට පැරැණි එල්පී රෙකෝඩිස් වගයක් ගෙනාවා. ඒවායින් එකක මයිකල් ජැක්සන්ගේ ගීත කිහිපයක් ද තිබුණා. එහි මයිකල් ජැක්සන් නර්ථනයේ යෙදෙන අයුරු දුෂ්්‍යන්ත් බලා සිටියේ ඇසිපියවත් ගහන්නේ නැතුව. හරියට වහ වැටිලා වගේ. එදා ඉඳලා දුෂ්්‍යන්ත් තම කාමරයට වෙලා එම නර්ථන අංග අනුකරණය කළා. මාත් ඉතින් නොදන්නවා වගේ හිටියා. ඔහු ස්වඋත්සාහයෙන් නර්ථනයෙන් ඉදිරියටම ගියා. ඔය අතරතුරදියි ඔහුට ඩාන්සිං ස්ටාර් තරගයට ඇරැයුම් ලැබෙන්නේ.

* ඔබ අවස්ථා දෙකකදී සාම්ප්‍රදායික ලෙස නොසිතා පුතුන් දෙදෙනා ගැන අභියෝගාත්මක තීරණයන් යුගලයක් ගන්නවා?

ක වෙන්නේ මෙහෙමයි. සන්තුෂ්ලා එයාලගේ පළමුවැනි සංයුක්ත තැටිය වන වසන්තයේ සඳහා ලැහැස්ති වෙමිනුයි හිටියේ. එතකොට ඔහු ඕස්ට්‍රේලියාවේ එඩිත් කෝන් විශ්ව විද්‍යාලයේ අලෙවිකරණය සහ කළමනාකරණය අංශයේ ශිෂ්‍යයෙක්. ලංකාවට එන යන ගමන් තමයි සන්තුෂ් ගීත පටිගත කළේ. මම කිව්වා අධ්‍යාපනය මඳකට නවත්වලා සංගීත කටයුතුවල යෙදෙන්නයි කියලා. ඔහු පුදුම වුණා. ඒ කාලයේ අද වගේ නෙවෙයි. සංගීතයට තරුණයන් යොමු කිරීම හරිම අඩුවෙනුයි සිදු වුණේ. ඒත් මං අභියෝගාත්මක තීරණයක් ගත්තා.

දුෂ්‍යන්ත් ගැනත් මං ඒ වගේම තීරණයක් ගත්තා. ඔහු ඩාන්සිං ස්ටාර් ඉන්න කොට මට කිව්වා තාත්තේ මේ තරගයේ පුහුණුවීම් නිසා මගේ රැකියාවේ වැඩ අතපසු වෙනවා කියලා. මං තමයි ඔහුට එහි වැඩසටහනට යන්න දිරිමත් කළේ. ඉතින් මං කිව්වේ එකම දෙයයි. ඒ රස්සාවෙන් අස්වෙන්න කියන එකයි.

* ඔබ පුදුම පියෙක්?

ඒක හැමෝම කියනවා. මං පුතුන් දෙදෙනාගේ අනාගතය ඔවුන්ගේ ජීවිත කැඩපතෙන් දැක්කා. ඔවුන් යන මඟ මං කළේ ඒ අයට දිරි දුන්න එක විතරයි. අප පින්බර දෙරණට අමිල මැණික් කැට දෙකක් දායාද කළා යැයි සිතෙන වාර අනන්තයි. මං ඔවුන්ට ගහලා නැහැ කවදාවත්. ආදර්ශවත් පියකු ලෙස ජීවත් වුණා. එච්චරයි. මේ බිමට ණයක් නැතිව මිය යන්නට පුළුවන් කියලා මට අද වන වට සතුටුවන්නට පුළුවනි.