|
බේත්හේත් ගන්න උකස් කළ නිවස අද සින්න වෙලාහෙළ ගී අඹරේ ජ්‍යෙෂ්ඨතම ගායිකාව විවියන් ද සිල්වා බොරලැස්ස වේදනාවෙන් කියයි
‘දුර පෙනෙන තැනිතලා ඉහළ මාලයේ ඉඳගෙන පෙරමග බලා සිටින විවියන් ද සිල්වා බොරලැස්ස කියන කෝකිලාව දුටු මනතින්ම මගේ සිතට ආවේ ඒ ගීතය. මා ඉහළ මාලයට යනතුරුම සිටි තැනම නොසෙල් වී සිටි ඈ මට අසුන් ගන්නට ආරාධනා කළා. ඉන් පසුව සෙමෙන් සෙමෙන් ඇවිද ගෙන පැමිණි මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය සැටියේ හරිබරි ගැසුණේ දිගු කතාවකට මුල පුරන අදහසෙන්. මේ 24 වැනිදාට ඔබට වයස අසූ හතරක්. ජීවිතය පිළිබඳ මොකද සිතෙන්නේ? මා ඇගෙන් විසුවා. ‘ඇත්තටම ජීවිතේ ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. වයස අසූ හතරක් කියන්නේ දිගු කාලයක්. එහෙම වුණත් මගේ කටයුතු මටම කරගන්න පුළුවන්. ඒ වගේම තවමත් මට හොඳට සින්දු කියන්නත් හැකියි. ලංකාවේ ඉන්න පැරැණිම ගායිකාවක් විදියට තවමත් මට ප්‍රසංගවලට සහභාගි වෙන්න ආරාධනා ලැබෙනවා. ඒත් මම ප්‍රසංගවලට නම් සහභාගි වෙන්නේ කොළඹ අවට ඒවාට පමණයි. ඊට අමතරව චැනල්වල වැඩසටහන්වලටත් මා සහභාගි වෙනවා. මේ ළඟදී පැවැත්වුණු පද්මතටාකය වැඩසටහන ගැනත් යමක් කිව යුතුයි. ඒ වැඩසටහනට සහභාගි වුණාට පස්සේ ලැබුණු දුරකථන ඇමතුම්, ලිපිවලින් තව තවත් ජීවිතය අලුත් වුණ බවක් තමයි හැඟෙන්නේ. මගේ ගීතවලට කැමැති රසිකයන් තවමත් ඉන්න බව දැනෙනවා. මේ තරම් කාලයක් ගිහිල්ලත් එවැනි රසික පිරිසක් සිටීම මාව වඩාත් සතුටට පත් කරනවා. මා තරමක් ඉන්නේ ප්‍රශ්න මැද වුණත් ඒ සියල්ලම මොහොතකට හෝ අමතක කරන්න හැකිවීම මා ලැබූ භාග්‍යයක්. ඒ සතුට තව තවත් මගේ ජීවිතය අලුත් කරනවා.’ මේ කෝකිලාවියගේ ස්වරය ගලාගෙන ගියේ ගීතවත් බවකින්. සිතේ රැඳුණු ඒ සතුට තවත් වරක් ඇයට අත් විඳින්නට ලැබුණේ මා කළ යළි මතක් කිරීමෙන්. ‘කොහොමද දවස ආරම්භ වෙන්නේ? ‘සුපුරුදු විදියටම මම උදෙන්ම අවදි වෙනවා. ඒ කියන්නේ වෙලාව උදේ හතර වනවිට නම් මම නැඟිටලා අවසන්. ඊළඟට මගේ කාලය ගත වෙන්නේ ආගමික කටයුතුවලටයි. බුදුන් වැඳලා පිරිත් කියලා අවසාන වෙද්දි එළිය වැටිලා. පුළුවන් විදියට නිවසේ කටයුතුවලට උදව් වෙන අතරතුරේ බණක් භාවනාවක් කරමින්, බණ අසමින් කාලය ගත වෙනවා. මේ අතර මුනුබුරු මිනිබිරියන් සමඟ කාලය ගෙවන්නත් මා අමතක කරන්නේ නැහැ. ඒ අය මගෙන් වැඩියම කැමැති කතා අහන්නයි. මාව වට කරගෙන කතා කියලා දෙන්න කියලා මට බේරිල්ලක් නැහැ. ඒ අතර මගේ අනිත් දරුවෝ මාව බලලා යන්නත් එනවා. මීට ටිකකට ඉස්සර ඇවිත් හිටියේ මගේ චූටි දූ.’ විවියන් ද සිල්වා බොරලැස්සට දරුවෝ හය දෙනෙක්. වැඩිමලා උදය, දෙවැන්නා අජිත්. තුන්වැනියා ඉන්ද්‍රාණි. සිව්වැන්නා දේවප්‍රිය. පස්වැන්නා කපිල. බඩපිස්සි මාධවී. මේ සියල්ලන්ම විවාහ වෙලා. ‘මිනිපිරියන් බලන්න තරම් ඔබ වාසනාවන්ත වෙලා?’ ‘ඇත්තටම ඔව්. මුනුබුරු මිනිබිරියොත් දහතුන් දෙනෙක් මට ඉන්නවා. ඊට අමතරව ලොකු පුතාගේ දෙවැනි පුතා විවාහ වෙලා, එයාට තමයි මිනිබිරියෝ දෙන්නෙක් ඉන්නේ. පුතාලගෙන් පස්සේ පරම්පරාවත් බලන්න තරම් මා වාසනාවන්ත අත්තම්මා කෙනෙක්. මම දැනට ඉන්නේ කපිල පුතාත් සමඟයි. ඔහුගේ බිරිය නිලන්ති මට මගේ දුවෙක් වගේ. ඈ තමයි සියලු කටයුතු සොයලා බලලා කරන්නේ. අපි දැන් මේ ඉන්නේ කුලී ගෙයක උඩ තට්ටුවක. පසුගිය කාලයේ පුදුම විදියට ප්‍රශ්න රාශියකට මට මුහුණ දෙන්න සිදු වුණා. කාලයක් මම හොඳටම අසනීප වෙලා සිටියා. දෙපාරක්ම නොමැරී බේරුණා කියලා කිව්වොත් හරි. ඒ සියලු වියදම් දරන්න ගේ උකස් කරන්න වුණා. අද ගේ සින්න වෙලා. මේ හැම දෙයක්ම වෙන්නේ වෙන්න තියෙන විදියට කියලා හිත හදාගෙනයි මා ජීවත් වෙන්නේ.’ ජීවිතයට පැමිණි දුක් පැණි රසයි සිතමින් කාලය ගත කරන ඕ ඒ සියල්ල බුදු දහමට අනුව සිදු වෙනවා කියන මතයේ දැඩිව පිහිටලා. ‘මේ එළැඹෙන උපන් දිනයට මොකද කරන්න සිතාගෙන ඉන්නේ?’ ‘දුප්පත් අයට පුංචි පුංචි උදව් කරන්න හිතාගෙන ඉන්නවා. පන්සලේ හාමුදුරුවන්ට දානයක් දීලා දවසම පින් දහම් කටයුතුවල නියැළෙන්නයි මා අදහස් කරගෙන ඉන්නේ. ඒ අතර උපන් දිනයටත් කලින් මට කතා කරන රසිකයන් ඉන්නවා. ඒ අය දැන් ඉඳගෙනම මගේ උපන් දිනයට කතා කරලා සුබ පතනවා. ඒ ගැන මට දැනෙන්නේ පුදුමයක්. මොකද ඒ අයට තවමත් මගේ උපන් දිනය මතකයි. ඒ අය මට කියන්නේ ඔබතුමී මේ කියලා තියෙන ගීතම ඇති ආයෙත් හොඳ තැනක ඉපදෙන්න කියලයි’ රසිකයන්ගේ ආදරය මැද දිවි ගෙවන විවියන් ද සිල්වා බොරලැස්ස ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු අටක් තරම් කුඩා ළදැරියක් කාලයේ. ඇගේ පියා වන ජී. එස්. ද සිල්වා කලාවට ළැදි අපූරු රසවතෙක්. කාලයක් ඔහු නාට්‍ය නිෂ්පාදනය කළ අයෙක්. ඒ නිසා නාට්‍යයේ සියලු පුහුණුවීම් සිදු වුණේ විවියන්ගේ ගෙදර. සර්පිනාවේ හඬට පෙම් බැන්ද මේ ළදැරි නාට්‍ය කණ්ඩායමත් එක්ක ගී කිව්වේ පුරුදුකාරියක් වගේ. ඒ නිසාම ඈ නාට්‍ය ඉදිරිපත් කරන්නියක් බවට පත් වුණා. ඒ කියන්නේ නාට්‍ය හඳුන්වා දෙන ගීතය ගයන්න භාර වුණේ විවියන්ට. පවුලේ එකම දරුවා වුණු විවියන්ව ආදරයට නිවැසියෝ හැමෝම ඇමතුවේ ප්‍රේමා නමින්. ‘ඒ සුන්දර අතීතය තවමත් මතකද? මේ සියලු මතක් කිරීම් අතර ඒ අතීතය ගැන නොවිමසුවහොත් අඩුවක්. ‘ඒ අතීතය තරම් සුන්දර අතීතයක් මට තවත් නැහැ. තාත්තා නිසයි ඇත්තටම මගේ ගායන හැකියාව ඔපමට්ටම් වුණේ. ඒක තවත් වර්ධනය වුණේ මගේ මාමා ජී. ආර්. එඩ්වඩ් යුග ගී ගයන්න ආරාධනා කළ නිසා. මගේ හැකියාව හඳුනාගෙන සරල ගී ගයන්න ගුවන් විදුලියට රැගෙන ගියේ ඔහුයි. මගේ දස්කම් දැක්ක ගුවන් විදුලියේ සිටිය ප්‍රවීණයන් මට සරල ගී පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පරීක්ෂණයේදී ඉන්දියාවෙන් ආව රතන් ජන්කර් පඬිතුමා මාව ඇගයීමට ලක් කළා. ඒ අගය කිරීම මට මැරෙන තුරාවට අමතක වෙන්නේ නැහැ.’ ‘එත් ඔබ කාලයක් ගී ගයන්නේ නැතුව ඉන්නවා?’ ‘විවාහ වුණාට පස්සේ එක් එක් ප්‍රසංගවලට ගැයුවේ නැති වුණත් ඉඩ ලැබුණු අවස්ථාවලදී මා සරල ගී ගැයුවා. ගායනය අත හැරියේ නැහැ. ඒ සියල්ල කළේ මගේ පවුල ගැන හිතලයි. මට ඕනෑ වුණේ මගේ දරුවෝ හැමෝම හොඳට හදා ගන්නයි. ඔවුන්ට උගන්වන්නයි. රටේ හොඳ පුරවැසියන් කරන්නයි.’ ඈ ගැයූ ගීතවලින් වැඩි සංඛ්‍යාවක්ම බෞද්ධ ගීතයි. චිත්‍රපට ගීත ගයන්න ඈ පෙලඹුණේ නැහැ. එහෙම වුණේ ඇයි? ‘මම චිත්‍රපට ගීත ගයන්න නොපෙලඹුණේ ඒ කාලයේ මගේ අම්මාගේත්, තාත්තාගෙත් තිබුණු අකැමැත්ත නිසා. එයාලට හිටිය එකම දරුවා මම. ඒ නිසා ගෙදරින් මා පිට යවන්න ඔවුන් අකැමැති වුණා. පස්සේ මමත් ඒ අදහස අත්හැරියා. ඊට පසු මට ආ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළා. මේ නිසා බෞද්ධ ගීත රැසක් මගේ ස්වරයෙන් ගැයුනා.’ ඔබගේ පරපුර ඔබගෙන් අවසාන වේවිද? ‘එහෙම වෙන එකක් නෑ. කපිල පුතාට වගේම දේවප්‍රිය පුතාටත් හොඳට ගයන්න පුළුවන්. ‘දුර පේන තැනිතලා’ ගීතය වර්තමානයේදී ගයන්නේ කපිල පුතා. ගායනයටම යොමු නොවුණත් ඔවුන් මගේ පරපුර පවත්වාගෙන යාවි. ඒ වගේම මගේ මුනුබුරු, මිනිබිරියන් දැනට සංගීතය ඉගෙන ගන්නවා. ඒ අය ගයන්න දක්ෂයි. මගේම ළමයි නොවුණත් ඒ අය මගේ නාමය පවත්වාගෙන යයි කියලා මා සිතනවා.’ ඈ කාලය ගත කරන්නේ ජීවිතයේ රැඳුණු බොහෝ බලාපොරොත්තු රාශියක් සමඟින්. ඒ බලාපොරොත්තුත්, රසික ආදරයත් මේ කෝකිලාවියට අපූරු ඔසුවක්. ඒ ඔසුවෙන් දිගු කලක් අප අතර රැඳී ඉන්න ඈට මෙලෙස දීර්ඝායුෂ පතමින් ‘සරසවිය’ අප ඇගෙන් සමු ගත්තා. විවියන් ද සිල්වා බොරලැස්ස කෝකිලාවියනි, ඔබට චිරං ජයතු! |