ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබවන් පියවරු හමුවන්නේ
ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබවන් පියවරු හමුවන්නේ
ගී පද රචක නුවන් කටුගම්පල
මෙවර ‘මතක ගී පොත’ට අතීතය ගෙනහැර පාන්නේ නුවන් කටුගම්පලයි. වර්තමාන ගීත අසන්නන් අතර
බොහෝ ජනප්‍රිය වූ සංගීත් ගයන ‘ගායෙන් මං මුදවාලා’ ගීතය රචනා කළේ ද ඔහුමය. නළල
වියලවා විගසින්, මටම පෙම් කර, මාලාකාරය සිල් අරන්, හොඳම සුදුම සුවඳම මල, මල් උයනෙන්
මල් නෙළාන ආදී ගීත රැසක් රචනා කළ නුවන් ‘දඟමල්ල හා ඈන්’ හා ‘දේදුන්නේ පාට අරන්’
කියන ටෙලි නාට්‍යවල තේමා ගීත ද, රන්වල බලකායට ළමා ගී රැසක් ද ලියා ඇත.
අතු පතර විහිදමින් යටි වියන පෝෂණය කරන විසල් රුකක් සේ ඔබ මා පෝෂණය කළේය. තාත්තේ ඔබ
මාව පෝෂණය කළේ නුවණින් පමණක නොවේ. මනුස්සකම දන්න, මනුස්සකම පිරුණු හදවතත් ඇති අය
ලෙස ද ඔබ අප ඇති දැඩි කළ අයුරු මට අද මෙන් මතකය. නොයෙක් දුක්කම්කටොලු විඳිමින් ඔබට
ළඟා වන්නට නොහැකි වූ ඒ තැන මා රජ කරවන්නට ඔබ ගත් උත්සාහය මට කිසිදු දිනෙක අමතක
නොවේ. එලෙස පවසන විට අපූරු මතක රැසකින් මගේ මතකය අවදි වෙයි. මේ ඒ එක් මතකයකි.
ශිෂ්‍යත්වය සමත් වූ මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන්නට වරම් ලදිමි. එකල තාත්තා
රැකියාව කළේ බන්ධනාගාර නිලධාරියෙක් ලෙස ය. රැකියාවේ ස්වභාවය මත ඔහු රාත්‍රි වැඩ
මුරයට ද සහභාගි වූ අවස්ථා එමටය. ඒ සමහර අවස්ථාවලදී මම ද ඔහු සමඟ ඔහුගේ නවාතැන්පොළේ
නතර වූයෙමි. තාත්තාට අපූරු පුරුද්දක් විය. ඒ මට කොළඹ හුරුපුරුදු කිරීමේ කාර්යයයි.
කුඩා ළමයෙක් ලෙස සමාජයට හුරුපුරුදු කිරීම මෙන්ම කොළොම් පුරවරයේ පාරවල් පිළිබඳ
දැනුමක් ලබාදීමේ අරමුණෙන් පැවැති කොළොම් පුරවරයේ චාරිකා නිසා මම
බොහෝ දේ උගත්තෙමි.
ඒ ගමන් සඳහා තාත්තා මාව රැගෙන ගියේ ඔහුට නිවාඩුවක් ලැබුණු ඇසිල්ලේය. මා ද ඒ ගමන්
සඳහා සහභාගි වුයේ දැඩි කැමැත්තෙනි.
වරෙක ඔහු මා රැගෙන ගියේ ගෝල්ෆේස් පිටියටය. ඒ යන අතරතුර ඔහු හඳුන්වා දෙන මාර්ග
හොඳින් මතකයේ තබාගත් මම ගෝල්ෆේස් පිටියේ වූ කාලතුවක්කුවක් අල්ලා බැලීමට ද අමතක
නොකළෙමි. සරුංගල් හා බැලුන් අතින් ගත් වයිවාරණ අයුරෙන් සැරැසුණු ළමයින් ද
වැඩිහිටියන් ද අතරෙන් ඉක්මන් ගමනෙන් ඇවිද යන තාත්තා පසුපස මා දිව්වේ හති දමමිනි.
මුහුද පිස හමන සුළඟ නිසා මට විඩාවක් නොදැනේ. ඒ පරිසරයෙන් ඈත් වුණු අප යළිත් බසයට
ගොඩ වූයේ නැවතත් කොළොම් පුරවරයේ චාරිකාව ඇරැඹීම සඳහාය. කලක් ගතවන විට කොළොම්
පුරවරයේ වූ පාරවල් මට කෙතරම් හුරු පුරුදු වීද යත් අපේ ගමේ උන් බොහෝ දෙනාට සම්මුඛ
පරීක්ෂණ සඳහා කොළඹ පැමිණිමේදී උදව් කිරීමට සිදුවූයේ මටය. මම ඔවුන්ට මාර්ග පෙන්වීමේ
මඟ පෙන්වන්නා වීමි. ඒ අයුරෙන් කුඩාකල පටන් තාත්තාගෙන් ලැබුණු මේ ශක්තිය මට බෙහෙවින්
උපකාරී වූයේ මා උස් මහත් වූ කල ය. සමාජයේ ජීවත්වන විට නැගෙන විවිධාකාර වූ ගැටලු
හමුවේ නැඟී සිටින්නට, ඒවා විඳ දරා ගන්නට, ඒවාට මුහුණ දෙන්නට, ශාරීරික, මානසික
ශක්තියක් මගේ සිතේ ගොඩ නැගූයේ තාත්තේ නුඹය. මේ ගීතය නිතරම අසන්නට මා පෙලඹෙන්නේ
එවැනි පියෙකුගේ සොඳුරු බව ගැන පුතෙකුගේ ස්වරයෙන් මේ ගීතය ගැයෙන බැවිනි. එමෙන්ම මේ
ගීතයේ අදහස විමසද්දී හා අද සමාජය දෙස බලද්දී ඇති වී තිබෙන සමාජ පරිසරය පිළිබඳ
සිතද්දී මේ ගීතය වඩාත් වටින්නේ අදට යන හැඟීම ද මා මේ ගීතය අසන්නට පොලඹවයි.
පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා //
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබවන් පියවරු හමුවන්නේ
හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොවම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැළෙන්නේ
ගේය පද - සුනිල් ආරියරත්න
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – අබේවර්ධන බාලසූරිය
මගේ පැතුම ද එයමය. ගීතයේ මෙන් ඔබගේ පුතු වී ඉපැදෙන්නටය. ඒ පැතුම හදවත දරා මේ ගීතය
අසන මට මා කුඩාකල වූ තවත් සිදුවීමක් සිහියට නැගෙයි.
ඒ වන විට මා පාසල් ගියේ ගමේම පාසලටය. සෑම සතියකම එක් දිනෙක අම්මා පොළේ යන්නට
පුරුදුව සිටියාය. අප ඈ පොළට ගොස් පැමිණෙනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. එහෙත්
එදින අම්මාගේ පැමිණීම වෙනදාටත් වඩා ප්‍රමාද වූයෙන් මම ඈ සොයා යන්නට ඉටා ගතිමි.
සාලයේ වූ පුටුවේ වාඩි වී උන් මා මිදුලට පා නැඟුවේ නිවසේ වූ අනෙක් අය කොහිදැයි
විපරම් කරන අදහසෙනි. තාත්තා වත්ත පහළ ළිඳක් හාරයි. ආත්තම්මා ඔහු හාරන ළිඳේ පස්
ගිහින් දමන අයුරු මට පෙනෙයි. ඔවුන් දෙස මම විමසිලිමත් බැල්මක් හෙළීමි. හෝරා
කිහිපයකට වත් ඔවුන් නිවෙසට නොඑන බව සක්සුදක් සේ දත් මම ප්‍රධාන පාරට පිවිසීම සඳහා
අසල වත්ත උඩින් පිම්මේ දිව ගියෙමි. නිවෙසේ සිට අම්මා පැමිණෙන බසය එන තැනට දුර කිලෝ
මීටරයකි. වට පිට කිසිවක් පිළිබඳ නොසිතූ මම පාර දිගේ ගොස් බසය නවතන නැවතුම්පොළේ තනා
තිබූ පිටලෑලි බංකුවේ ඉඳ ගතිමි. ඒ නැවතුම්පොළ ආසන්නයේ තිබුණු රඹුටන් ගසේ තිබූ ගෙඩි
කිහිපයක් කඩා ගත් මා ඒවා හපමින් සිටියේ අම්මා දැන් දැන් පැමිණේය යන අදහස පෙරදැරිවය.
ඒ අතර මට මුහුණ දෙන්නට සිදු වූයේ මා නොසිතූ විරූ අකරතැබ්බයකටය. මන්ද ඒ වන විට හෝරා
කිහිපයක් ගෙවී ගොස් තිබුණු හෙයින් අත්තම්මා නිවෙසට මා සොයා පැමිණියාය. නිවෙසේ මා
නොසිටි බව දුටු ඈ කෙතරම් බිය වූයේ ද යත් තාත්තාට අඬ ගැසුවේ අවට සොයා බැරිම තැනය.
‘පුතේ ලොකු පුතා නෑ’
ඇගේ වචන පෙළ සවනත වැකුණු තාත්තා තමා මෙතෙක් නිරත වූ වැඩය නවතා මා සොයන්නට ගත්තේ
මහත් වෙහෙසකි.
‘ධනපාල අයියේ පුතා පාරට යනවා මං දැක්කා’
මා පාරට යන වග දුටු අයකු කී කතාව ඔස්සේ ඔහු මා සොයා ආවේය. එහිදී මගේ දෙඅතෙන් අල්ලා
ගත් තාත්තා පාර දිගේ මා ඇදගෙන ගොස් නිවෙසේ ඇඳේ මගේ කකුල් දෙක ගැට ගැසුවේ මා
කිසිවක් සිතන්නටවත් පෙරය. පොල් මටුල්ලක් ගත් ඔහු එය කැඩෙනතුරුම මට පහර දුන්නේ මගේ
කෑගැසීමත් මට සිදු වූ ශරීර පීඩාවත් පිළිබඳ ගණනකට නොගෙනමය. මම පාරට ඇසෙන්න තරම්
ඉකිගසා හැඬීමි. මටුල්ලේ පහර නිසා මගේ මුළු ශරීරයේම තැනින් තැන වූ තුවාලවලින් නැඟුණු
වේදනාව නිසා මගේ ඉකි ගැසීම තව තවත් වැඩිණි. අම්මා පැමිණියේ සියල්ල සිදු වී ටික
වේලාවක් ගත වුණු පසුවය. ඈ මා ඔසවා තුවාල වූ තැන්වල තෙල් ගැල් වූයේ බොහෝ පරිස්සමෙනි.
ටික දිනක් යනතුරුම මම තාත්තා සමඟ කෝපයෙන් පසු වීමි. එහෙත් ඒ දඬුවමේ අර්ථය මා වටහා
ගත්තේ ඊට බොහෝ කලකට පසුවය. ඒ මාත් තාත්තා කෙනෙක් වූ දිනයේය.
සුනිල් එදිරිසිංහ ගයන මේ ගීිතයට ද මම බෙහෙවින් ප්‍රිය කරමි.
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුළ ගෙට පිය නඟන්නේ
සනුහරේ අභිමානයයි
මං මලක් සේ නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිලබල යා නොදේ
කළ හොඳම විතරක් ඉතිරි වේ
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
ගෙනි යන්නේ අභිමානයයි
ගේය පද – බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
හාන්සි පුටුවේ හාන්සි වී පුවත්පත පෙරළා ගත් මම ඒ දෙස බැලුම් හෙළීමි. එහි වූ
සිරස්තලය මගේ සිත කම්පනයට පත් කළේය.
‘සීයා මිනිබිරිය දූෂණය කරයි’
මට සිහිපත් වූයේ දියණිවරුනේ නුඹලාමය. සමාජයේ වෙසෙන්නේ නෑකමක් නොහඳුනන මිනිසුන්
පිරිසකි. ඔවුහු එකිනෙකා නොහඳුනති. තම නෑකම නොහඳුනති. එවැනි සමාජයකට නුඹලා දෙදෙනා
යවන්නට නම් තාත්තා කෙනෙක් ලෙස මට බොහෝ දේ කරන්නට තිබේ. බොහෝ දේ කියා දෙන්නට තිබේ.
එවැනි සමාජයක වෙසෙන දියණිවරුනි, සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු ස්වරයෙන් ඇසෙන මේ
ගීතයේ සොඳුරු බව නුඹලාට අභිමානයකි. තාත්තා කෙනෙක්ගේ හදවතේ ලියැවුණු මේ ගීතය ඔස්සේ
දියණියක් පියෙකුට අභිමානයක් යැයි පවසා ඇත්තේ ඇයව සමාජයේ ඉහළම තැන තබමිනි. තමන්ට
ලැබුණු ඒ අභිමානය රැක ගැනීමට දියණිවරු වන ඔබ දැන ගත යුතු බව ද මම පවසමි.
මගේ මේ දැහැන්ගත සිතුවිලි දාමය බිඳෙන්නේ පවනි හා භුවනදී දියණියන් දෙදෙනාගේ කෑ
ගැසීමෙනි. ඔවුන් මා අසලට පැමිණ නිවෙසේ ඔබ මොබ සක්මන් කරයි. ඒ අතරතුර ප්‍රිය බිරිය
අමතන්නේ ලොකු දෝණියටය. ඒ පාසල් වැඩ කටයුතු කරන්නටය. එහෙත් ඒ ඇමතුම නොඇසුණු අයුරෙන්
ඔවුන් තවමත් සෙල්ලමේය. මම ඔවුන් දෙස නෙත් යොමු කළෙමි. එහෙත් කියන කිසිවක් ඔවුනට
නොඇසේ. මම ලොකු දෝණිට තලමි. ඈ ඉකිගසා හඬන හැඬුම මට ඇසෙයි. දියණියේ නුඹට දුන් දඬුවම
නිසා නුඹටත් වඩා මගේ හදවත හඬන තරම නුඹ දන්නේ නම් යැයි මට සිතෙයි. මගේ පියාගේ මතකය
යළිත් සිහිපත් වෙයි. ඒ මා මෙන් ඔහු ද මට දුන් දඬුවම් නිසා මෙලෙස හදවතෙන් දහස්වර
හඬවන්නට ඇති වග සිහිපත් වීමෙනි.
- තිලානි ශානිකා විතානාච්චි
|