වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මේක නළු නිළියන්ට රංග අභ්‍යාසයක් ලබාදෙන නාට්‍යයක්

මේක නළු නිළියන්ට රංග අභ්‍යාසයක් ලබාදෙන නාට්‍යයක්

‘මුහුදු ලිහිණියා’ සමඟ වේදිකාවට පිය නගන සම්පත් පෙරේරා කියයි

ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද සීගල්’ නාට්‍යය ආශ්‍රයෙන් පරිවර්තනය කර නිෂ්පාදනය කරන ලද ‘මුහුදු ලිහිණියා’ වේදිකා නාට්‍යය මේ මස 25,26 දිනවල සවස 6.30ට මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගතවෙයි. ටවර් රඟහල පදනමේ සහකාර අධ්‍යක්ෂවරයා (අධ්‍යාපන, පර්යේෂණ හා සංරක්ෂණ) ලෙස කටයුතු කරන සම්පත් පෙරේරාගේ පළමු අධ්‍යක්ෂණය වන ‘මුහුදු ලිහිණියා’ නාට්‍යය ඉදිරිපත් වන්නේ ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ ළමුන්ගේ රංගන දායකත්වයෙනි. ඒ වේදිකා නාට්‍යය පිළිබඳ සම්පත් පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි.

’මුහුදු ලිහිණියා’ වේදිකා නාට්‍යය වේදිකා ගත කරන්න සිතුවේ ඇයි?

ටවර් හෝල් රඟහල පදනමේ ටවර් නාට්‍ය හා රංග කලා පාසලට සත් වසරක් පිරීම නිමිත්තෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. ඉන් එකක් වන්නේ දැනට අධ්‍යාපනය ලබන විද්‍යාර්ථින්ගෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීමයි. ඒ අනුව මීට කලිනුත් ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වන නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්තයාත් ‘සක්කාය දිට්ඨී’, ‘බෙරහඬ’, ‘ගොදුරු’ කියන නාට්‍ය නිෂ්පාදනය කළා. මේ වසරේ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට ලැබුණේ මටයි. ඒ යටතේයි ‘මුහුදු ලිහිණියා’ පරිවර්තන වේදිකා නාට්‍යය කරන්නට මට හැකි වන්නේ. ඒ වගේම මේ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ ටවර් හෝල් රඟහල පදනම මගින්.

ඇන්ටන් චෙකොෆ්ගේ මේ පරිවර්තනයම වේදිකා නාට්‍යයක් ලෙස රැගෙන එන්න විශේෂ හේතුවක් තිබෙනවද?

මේි නාට්‍යය චෙකෝෆ් රචනා කරන්නේ 1895 දියි. 2015 වසර වනවිට මේ නාට්‍යයට වසර එකසිය විස්සක් වෙනවා. ආරියරත්න මහත්තයා පරිවර්තනය කරලා තිබුණු මේ පරිවර්තනය අපි වසර පහක කාලයක් සඳහා ගිවිසුමක් අත්සන් කරලයි වේදිකා ගත කරන්නේ. අපට මේ නාට්‍යයම වේදිකා ගත කිරීමට තෝරා ගන්න ප්‍රධාන හේතු කිහිපයක්ම තිබුණා. ඒ ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද සීගල්’ කියන්නේ ලෝක නාට්‍ය කලාවේ සුවිශේෂී නාට්‍යයක් ලෙස නාට්‍ය විචාරකයන් හැඳින්වීමයි. ඊට හේතුව වන්නේ නව රූපණ සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් කිරීමයි. ඒ අනුව නළු නිළියන්ට රංග අභ්‍යාස කිරීමට තිබෙන විශේෂ නාට්‍යයක් ලෙසත් මේ නාට්‍යය නම් කළ හැකියි. ඒ නිසා අපේ රංගන පාසලේ සිටින ළමයින් සඳහා හොඳ රංග අභ්‍යාසයක් ලබාදීමට මේ නාට්‍යය වේදිකාවට නැගීමට මා සිතුවා.

නමුත් ඒ කාලයේ දී ඇන්ටන් චෙකොෆ් නිෂ්පාදනය කළ මේ වේදිකා නාට්‍යය පළමුව අසාර්ථක නාට්‍යයක් බවට පත් වෙනවා.

ඇන්ටන් චෙකොෆ්ගේ මේ නාට්‍යය මුලින්ම නිෂ්පාදනය වෙන්නේ 1896 වසරේ දී. එදා ඔහු කළ මේ නාට්‍යය අසාර්ථක වුණත්, නව රූපණ විධි ක්‍රමය පිළිබඳ න්‍යායාචාර්යවරයෙක් වන ස්ටැනිස්ලව්ස්කිත් මේ නිර්මාණය නිෂ්පාදනය කරනවා. ඔහුගේ වේදිකා නිර්මාණයයි සාර්ථකත්වයට පත් වෙන්නේ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වටිනාකම් චරිතයක හඳුනා ගැනීම සහ ඒ ඔස්සේ චරිතයක් ගොඩනැංවීම කියන කාරණා ලෝකයට තහවුරු කළ නාට්‍යයක් විදියටත් ‘ද සීගල්’ නාට්‍යය ගැනෙනවා.

නව නිෂ්පාදනයක් ලෙසින් වේදිකාවට නැගෙන ‘මුහුදු ලිහිනියා’ මීට කලිනුත් නිෂපාදනය වූ නාට්‍යයක්.

2002 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේදියි මේ නාට්‍යය නිෂ්පාදනය වෙන්නේ. එහි කොත්ස්යා කියන ප්‍රධාන චරිතය තමයි මම රඟපෑවේ.ඒ කළ චරිතයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මට කුසලතා සහතිකයක් පවා ලැබුණා. නැඟී එන නවක අධ්‍යක්ෂවරු විදියට එය නිෂ්පාදනය කළ දෙදෙනාත් ඇගයීමට ලක් වූ බව මට මතකයි. අප මෙහි රඟපෑවා කියන කාරණය මූලික කර ගනිමින් නොවෙයි නැවතත් මා මේ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන්නේ. මේ වනවිට ලෝකයේ ඕනෑම නාට්‍ය පාසලක ‘ද සීගල්’ නාට්‍යය රඟපෑමට තෝරාගනු ලබන්නේ එහි තිබෙනා විභවය නිසයි. එය අපූරු රංග අභ්‍යාසයක් නිසයි.

’මුහුදු ලිහිණියා’ නාට්‍යය විහිද යන්නේ කුමන පරාසයක් කරාද?

මේ පිටපතේදි ජීවිතය, ආදරය, මරණය හා කලාව කියන ප්‍රධාන කාරණා සතර තේමා කර ගෙනයි කතාව විහිද යන්නේ. විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයට ආධුනිකයෙක් පිවිසෙන විට ඔවුන් මුහුණ දෙන දේවල් සහ පවත්නා කලා සම්ප්‍රදාය සමඟ ගැටීම, ආදරය, අම්මලා පුතාලා අතර තිබෙන සම්බන්ධතා තමයි මේ මගින් කතාබහට ලක් වෙන්නේ.

ඔබ කොහොම ද වේදිකා නාට්‍ය කලාවට පා තබන්නේ ?

මම ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. එහිදි නාට්‍ය කලාවට මගේ පුදුම ඇල්මක් තිබුණා. පස්සේ ටවර් නාට්‍ය හා රංග කලා පාසලට ඇතුළත් වුණා. ඒ 1997 වසරේ දී. කැලණි විශ්වවිද්‍යාලයේ විශේෂවේදී රංග කලා උපාධියත්, ඊට පස්සේ පශ්චාත් උපාධියක් හැදෑරුවා. මීට අමතරව ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ ඒ වගේම ‘බෙරහඬ’ වගේ නිර්මාණවලට දායකවීමට අවස්ථාව උදාවුණා. විශ්වවිද්‍යාල මට්ටමින් කළ ප්‍රියංකර රත්නායකගේ ‘ඊඩිපස්’, රාජිත දිසානායකගේ ‘වීරයා මැරිලා’ ආදී නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වීමෙන් පසුවයි මා මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මේ අධ්‍යක්ෂණයෙන් සහභාගි වන මගේ පළමු ව්‍යායාමයයි. මීට අමතරව ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය පාසල භාරව කටයුතු කරද්දී අධ්‍යක්ෂ ජනරාල්තුමා නිෂ්පාදනය කළ ‘බෙරහ¾ඩ, ‘සක්කාය දිට්ඨි’ කියන නාට්‍යය දෙකටම මා සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ‘සක්කාය දිට්ඨි’ නාට්‍යය ඉන්දියාවේ දෙසැම්බර් මාසයේ දී ඔඩිසා ප්‍රාන්තයේ් පැවැත් වෙන නාට්‍ය උළෙලක් නියෝජනය කිරීමටත් නියමිත බව කිව යුතුයි.

මේ නාට්‍යය කරන්නේ නාට්‍ය පාසලේම ළමයින් සහභාගි කර ගැනීමෙන් ද?

අධ්‍යයන වර්ෂ 2012,2013 ශිෂ්‍ය කණ්ඩායමේ ඉන්න විසිදෙනෙක්ගෙන් යුක්ත ශිෂ්‍යයන් හා දැනට සංගීතය, රංගාලෝකය ආදිය සඳහා ඉගෙනුම ලබන සමහර ශිෂ්‍යයන් මේ නිර්මාණයට දායක වෙනවා. විශේෂයෙන්ම රංගාලෝක කටයුතුවලදි බාහිර කථිකාචාර්යවරයෙක් වන තුෂාර ඩයස් මහත්තයත් උදව් කරනවා. අපේ ආදි ශිෂ්‍යයෙක් වන දැනට විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හදාරන තරිඳු අබේසිංහ සංගීතයෙන්ද, රංග පසුතල නිර්මාණයෙන් මධුශංක සඳනුවන් ද දායක වෙනවා. නාට්‍ය පාසලේ පිහිටලා තිබෙනවා ටවර් වෘත්තියාභිමුඛ නාට්‍ය සංසදය කියලා එකක්. ඉන් කෙරෙන්නේ නාට්‍ය පාසලෙන් පස්සේ විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලය ඇතුළේ ගුරු වෘත්තියට නැඹුරු වන අපේ ළමයි මෙහි තබා ගැනීමයි. ඒ ඔස්සේ ඔවුන්ව නාට්‍ය ශිල්පීන් විදියට මෙහි රදවා ගන්න යම්කිසි ආර්ථික පසුබිමක් හදලා තිබෙනවා. ඒ අයගේ සහයෝගය අපට ලැබෙනවා. ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්තයාවත් මෙහිදි සිහිපත් කළ යුතුයි. ඒ ඔහුගෙන් මේ කටයුත්තට ලැබෙන උපරිම සහයෝගය නිසයි.

ඒත් සමඟම තවත් යමක් කිව යුතුයි. මන්ද අද නාට්‍ය පාසලක් නැතැයි කියමින් සිටින අයට ටවර් නාට්‍ය හා රංග කලා පාසල අපූරු තෝතැන්නක්ය කියන කාරණය. රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේ ගොඩනැගුණු මේ ආයතනය ඔස්සේ යමක් ඉගෙන ගන්න ඔබටත් හැකියි කියන පණිවුඩයත් ලබාදෙමින් ‘මුහුදු ලිහිණියා’ නරඹන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා.