වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




හිතවත් ජයන්ත මහත්තයාටයි

හිතවත් ජයන්ත මහත්තයාටයි

ජාතික චිත්‍රපට සංස්ථාවේ මහපුටුව යළිත් වරක් අලුත් වූයේය. චිත්‍රපට සංස්ථාවේ මහ පුටුව යැයි කියන්නේ එහි සභාපති පදවියටය. සභාපති පදවිය මෙරට චිත්‍රපට කර්මාන්තයේ ලොකුම පුටුවය. එබැවින් එය නිකම්ම නිකම් සංස්ථා සභාපති පදවියක් නොවේ. මුළු රටේම බහුතරය බලා සිටින පදවියකි. ඉතා මෑත භාගයේ කිසිදු චිත්‍රපටයක් නොබැලූවන් පවා චිත්‍රපට සංස්ථාවේ සභාපති පදවිය දරන්නේ කවුරුන්දැයි දැනගන්නට කැමැතිය. එය එතරම් කාගේත් ඇහැට කණට පෙනෙන පදවියක් හෙයිනි. ජාතික චිත්‍රපට සංස්ථාවේ අලුත් සභාපතිතුමා ඒ තනතුරට පත්වෙන්නේ තෙවැනි වතාවටය. එබැවින් පුටුවට ඔහුත්. ඔහු පුටුවටත් අලුත් නොවේ. ඔහු ජයන්ත ධර්මදාස වේ. චිත්‍රපට සංස්ථාවේ සභාපති පදවිය තුන්වතාවක් දැරූ එකම තැනැත්තා ලෙස ජයන්ත ධර්මදාස නැතහොත් ජයන්ත මහත්තයා වාර්තාවක් තබා ඇත්තේය. එමෙන්ම සාමාන්‍යයෙන් කවරෙකු හෝ තනතුරක් දරන විටදී ඒ වටා සිටින පිරිස ඉතා විශාලය. තනතුර අහිමි වූ පසු හතර වටේ සිටි බොහෝ දෙනා ඔහු අතහැර යයි. චිත්‍රපට සංස්ථාවේ බොහෝ සභාපතිවරුන්ටද මේ සන්තෑසිය පොදු කාරණයකි. එහෙත් ඒ අතින් ජයන්ත ධර්මදාස මහතා වාසනාවන්තයෙකි. සිනමා කර්මාන්තයේ බොහෝ දෙනාගේ ආදරයද ගෞරවයද ඔහු නොඅඩුව ලබා ගත්තේය. චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුව මුල්වරට අතහැර යන්නට සිදු වූ පසුව ඔහු සිනමා ශිල්පීන්ගේ අභිවෘද්ධිය පතා සිනෙස්ටාර් සංවිධානය පිහිටුවීමට මුල පිරුවේය. සිනමා ශිල්පීන්ගේ උන්නතිය උදෙසා වාර්ෂිකව පැවැත්වෙන රිදී රැයක් ප්‍රසංගයේ පසුපස සිටින හස්තය ඔහුයි. සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඔස්කා සංවිධානය ගොඩනගන්නේද ඔහුගේ අදහසක් පරිදිය.

සංස්ථාවේ මහ පුටුවට ඔහු තුන්වැනි වරට පිවිසෙද්දී අපේ රටේ බොහෝ නළු නිළියන් ඇතුළු කාර්මික ශිල්පීන් සංස්ථා භූමියට පැමිණියේ අලුත් සභාපතිවරයෙකු පැමිණි නිසා ලකුණු දා ගන්නටම නොවේ. ඒ සභාපතිවරයා ජයන්ත ධර්මදාස බැවිනි. ජයන්ත ධර්මදාස නැතහොත් ජයන්ත මහත්තයා සිනමා කර්මාන්තයට අතීතයේ සිට නෑකම් කියන්නෙකි. ඔහුගේ පියා මෙරට ජීවත් වූ ඉහළ පෙළේ ව්‍යවසායකයෙකු වූ දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස හෙවත් නවලෝක මුදලාලි ය. ඒ කාලයේ මුදලාලි යැයි පවසන විට වර්තමානයේ ව්‍යවසායකයා හෝ ආයෝජකයකු හෝ අර්ථපතියෙකු වැනි ලොකු වචන කියනවාට වඩා ළෙන්ගතුකමක් දැනෙන බව මගේ විශ්වාසය යි. ඔහු චිත්‍රපට කිහිපයකටම නිෂ්පාදනයෙන් සම්මාදම් වූයේය. එබැවින් ජයන්ත මහත්මයාට චිත්‍රපට කර්මාන්තය ගැන හෝ එහි ශිල්පීන් ගැන හෝ අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම මේ තීරුව හරහා ජයන්ත මහත්තයා ගැන ප්‍රශස්තියක් ලියා එතුමා මුරුංගා අත්තේ තියන්නට මට උවමනාවක් නැත. එහෙත් මෙවර මේ ලිපිය ජයන්ත මහත්තයා වෙනුවෙන් ලියන්නට මා තීරණය කළේ කරුණු කිහිපයක් ඇතිවය.

මේ වන විට සිනමාව පවතින්නේ මගේ දැක්මේ හැටියට නම් එහි ස්වර්ණමය යුගයේය. ඒ තත්ත්වය ජයන්ත මහත්තයා එයට පෙර මේ තනතුර දැරූ සමයට වඩා වෙනස් එකකි. මා සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස වර්තමානය හඳුන්වනුයේ සිනමාහල් හිමියන්ගේ, නිෂ්පාදකයන්ගේ හා ඉන් ජීවන වෘත්තිය සපයා ගන්නා වූ දහස් ගණනක් දෙස බලා නොවේ. එය මා ඉඳුරා පවසන්නේ ජීවිතයේ ඉපැයූ මදලින් විනෝදාස්වාදය සඳහා වෙන් කළ මුදලින් වැඩි කොටසක් සිනමාවට වැය කළ කෙනෙකු හැටියටය. කොටින්ම මේ රටේ සිනමාව පවත්වාගෙන යන්නා වූ එහෙත් මෙතුවක් නොසලකන ලද පාරිභෝගිකයෙකු නොහොත් ප්‍රෙක්ෂකයකු ලෙසය. ඉතිහාසය පුරාම සිනමා කර්මාන්තයේ ඉතාම අඩු සැලකිලි ලද්දේ හුදු ප්‍රේක්ෂකයන් වූ අපය. එහෙත් තවදුරටත් එසේ බලා ඉන්නට ප්‍රේක්ෂකයන් වූ අපට අවශ්‍යතාවක් නොමැත. සිනමාහලකට ගොඩ වැදීමෙන් පමණක් නොව ටෙලිවිෂණය ප්‍රතික්ෂේප කරමින් හෝ චිත්‍රපට නැරැඹීමේ ප්‍රේක්ෂකයන්ගේ ස්වර්ණමය යුගය එළැඹ ඇත්තේ දැන්ය. එබැවින් සිනමාහලට වැඩි ආදායමක් ලබා ගැනීම හෝ චිත්‍රපට නිෂ්පාදකවරයාට ලොකු මුදලක් උපයා ගැනීම හෝ නව ක්‍රමවේද සොයා යෑමේ අභියෝගය ප්‍රේක්ෂකයන් විසින් එහි බලමුළුවලට එල්ල කර ඇත්තේය. එමෙන්ම ඇට්ට කුණාවූ චිත්‍රපට වෙනුවට අලුත් විදියට හිතන, අපට වඩා ලෝකයේ ඉදිරිය දැකගත් ඉලන්දාරි ගැටව් රාශියක් සිය නිර්මාණ හරහා සියල්ල උඩු යටිකුරු කරන්නට වෙහෙස දරති. ඔවුන්ගේ ලෝකය සාදාදීම සිනමා කර්මාන්තයේ වගකීමක් වෙයි.

ඒ එසේ නොවුණහොත් අපේ සිනමා කර්මාන්තයේ අලුත් පරම්පරාව විලිරුදා හැදෙන්නට කලින් පරලොව සම්ප්‍රාප්ත වීම වැළැක්විය නොහැකිය. කලකට ඉහත අපේ රටේ ප්‍රේක්ෂකයන් බුද්ධිමතුන් ලෙස නඟා සිට වූයේ ජාතික චිත්‍රපට සංස්ාව මඟිනි. වැරැදි හේතුවක් මත වුව ලබා දුන් නිවැරැදි තීන්දුවක් වන පස්වැනි ප්‍රදර්ශක මණ්ඩලය (එය පිහිටවනු ලද්දේ වීර පුරන් අප්පු චිත්‍රපටය නියමිත ප්‍රදර්ශන වාරය ඉක්මවා තිරගත කරවීමට ගත් තීන්දුවක් නිසාය) ව්‍යාප්ත කරන ලද්දේ කලාත්මක අතින් හොඳ චිත්‍රපට තිරගත කරවීම සඳහාය. අවසානයේ ඒ මණ්ඩලය කෙතරම් ජනප්‍රිය වීද යත් බොහෝ සිනමාකරුවෝ තම චිත්‍රපටය ඒ හරහා තිරගතවා කර ගැනීමට විශාල උත්සාහයක් දැරූහ. සාමාන්‍ය වෙළෙඳපොළ ඉලක්ක කරගත් චිත්‍රපට පවා පස්වැනි මණ්ඩලයේ සහතිකයෙන් තොරව එම මණ්ඩලයේ තිරගත කරවා ගැනීමට උත්සාහ කළේ අපේ ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබා දෙමිනි. එමෙන්ම අදාළ සහතිකය නොලැබීම නිසා වෙනත් මණ්ඩවල තිරගත කළ යහපත් ලක්ෂණ සහිත චිත්‍රපට ඉතා අවාසනාවන්ත අන්දමින් සිනමාහල්වලින් ගැලවිණ. අලුත් පරම්පරාවේ අලුතෙන් සිතා හැදූ චිත්‍රපට මෙරට ප්‍රධාන පෙළේ සිනමා සමාගම් තරයේ ප්‍රතික්ෂේප කරන බැව් නොරහසකි. එහෙත් වෙනත් ප්‍රදර්ශන මණ්ඩල මඟින් භාර නොගෙන ඉවතට දැමූ කබල් චිත්‍රපට චැරිටි හෝ වෙල්ෆෙයා වැඩ යැයි සලකමින් සංස්ථාව මඟින් තිරගත කරවීම වෙනුවට මේ අලුත් පරම්පරාවට කැත නැතිව අත දෙන්නට ඔබට පුළුවන්කම ඇතැයි මම විශ්වාස කරමි. එය මතු පරම්පරාව වෙනුවෙන් කරන මහ පින්කමකි.

චිත්‍රපට කර්මාන්තය පෙර නොසිතූ විරූ වේගයෙන් යාවත්කාලීන වෙයි. මේ බව මා සඳහන් කරමින් ‘සරසවිය’ ට ලියුවේ එය අපේ රටේ බොහෝ දෙනා සිතන්නටත් කලිනි. ඒ මා එහි උප කර්තෘවරයකු වී සිටි සමයේය. එහෙත් මේ යාවත්කාලීන වේගය ලංකාවට ආදේශ නොවනු ඇතැයි අපේ සිනමාවේ නියැළෙන්නන් එදා විශ්වාස කළේ නැත. ලබන වසර වන විට චිත්‍රපට හදන්නට නොව එක්ස්රේ පිටපතක් ලබාගන්නටවත් නෙගිටිව් පිටපත් නැති වන වග අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය කාලයේ සිනමා ශාලා යාවත්කාලීන වෙද්දී එයටත් වඩා වේගයෙන් ගෘහස්ථ සිනමාව යාවත්කාලීන වූයේය. කිසිදු සිනමාහලකට හෝ රැගුම් පාලක මණ්ඩලයේ හතර මායිමකටවත් නොගොස් එළියට පැමිණි චිත්‍රපට රාශියක් අද වෙළෙඳ පොළේ ඇත්තේය. එය අපේ සිනමාවේ අලුත් කොටසක් යැයි භාර ගන්නට සිදුව තිබේ. චිත්‍රපටයක් සිනමාහලට පිවිසෙද්දීම එහි ඩී වී ඩී පිටපත් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා අයිතිය ගන්නට බොහෝ දෙනා පෙළඹෙති. ඔවුන් කෙරේ තිබෙන්නේ නීත්‍යානුකූල චිත්‍රපට වෙළෙඳපොළයි.

කෝටි ගණනක් වැයකර නිපදවන දේශීය හා ආනයනික චිත්‍රපට මෙරට වෙළෙඳ පොළට ළඟා වන්නටත් පෙරාතුවම හොර පාරෙන් ඩී. වී. ඩී. ලෙස මුද්‍රණය වී සෑම නගරයකම පදික වේදිකා ගානේ විකුණනු ලැබේ. මගේ සමහර විදෙස් මිතුරන් ආපසු මව්බිමට පැමිණ යන විට රැගෙන යන බොහෝ දේ අතර පදික වේදිකාවේ ඇති චිත්‍රපටද රාශියක් වෙයි. ඒ චිත්‍රපට ඔවුන්ගේ රටේදී පහසු මිලට ලබාගත නොහැකිය. මේ හොර වෙළඳාම දැන්වත් නතර කළ යුතුය. එය අසීරු වුවත් කළ නොහැක්කක් නොවේ. කලක් තොග ගණනේ ලබාගත හැකි වූ ඇතැම් මෘදුකාංග අද වෙළඳපොළෙන් තුරන් වී ඇත්තේ නීතිය යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක කරවා ගැනීමට ඔවුන් සමත් වූ හෙයිනි.

සංස්ථාව සහ සිනමා පුවත්පත් අතර සම්බන්ධය එහි ආරම්භයේ සිටම ඉතා හොඳ එකක්ව පැවතියේය. චිත්‍රපට නැරඹීම සඳහා අවසර පතක් සංස්ථාව මගින් නිකුත් කෙරුණේ තෝරාගත් පුවත් පත් කලාවේදීන්ටය. සිනමාහලෙන් එයට මහත් සැලකිල්ලක් ලැබිණි. එහි පුවත්පත් කලා වේදියෙකුට එකවරකට ආසන දෙකක් හිමිව තිබිණි. එහෙත් හිටි අඩියේ මේ ආසන දෙක එකක් විය. සිනමාහල් හිමියන් සංස්ථාව මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය බැහැර කර හැරියේ අලුයම ලූ කෙළ පිඩක් සේ වත් නොසලකා හරිමිනි. 2014 වසරේ “සරසවිය” පුවත්පතේ කාර්යමණ්ඩලය මේ ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටියේද නැත.

මේ සියල්ල අප ගෙන හැර පාන්නේ කාටවත් අවලාද නගන්නට නම් නොවේ. තරගකාරී ව්‍යාපාර සමාජයේ සංස්ථාව දෙපයින් නැඟී සිටිය යුතු යැයි අවංකවම අපි විශ්වාස කරන බැවිනි. එය සිනමාකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයන් වූ අපටද යහපතක් වන හෙයිනි. සිනමා කර්මාන්තය පෞද්ගලිකරණය වීම නිසා එදා හොඳ සිනමාහල්ද දියුණු තාක්ෂණයද ප්‍රේක්ෂකයන් වූ අපට ලැබිණි. සිනමාකර්මාන්තයටද එයින් ලැබුණු ඵල බොහෝමය. මේ සියල්ල කිරා මැන බලා හොඳින් කරන්නට ජයන්ත මහත්තයාට හැකි යැයි අපි විශ්වාස කරන්නෙමු. එබැවින් චිත්‍රපට සංස්ථාව පිළිබඳ ඔහුගේ වර්තමාන දැක්ම පිළිබඳ අප අවදියෙන් සිටිමු. එහිදී සාධාරණ විවේචනවලට ජයන්ත ධර්මදාස මහතා දුම්මල වරම අතට ගත් කපුවෙක් සේ පරළ වන්නේ නැති වග අපි අත්දැකීමෙන් දකිමු.

‘අතීතය හමාරය. වර්තමානය ගෙවී යන්නකි. අනාගතය යනු මේ මොහොතයි.’

‘ට්‍රාන්ස්ෆෝමර්’ චිත්‍රපට මාලාවේ තිබූ දෙබස් ඛන්ඩයක් මගේ මතකයට එයි. චිත්‍රපට කර්මාන්තය සම්බන්ධයෙන් එය හරියට හරිය. එබැවින් අප හිතවත් ජයන්ත මහත්තයාට ලැබූ කාර්යය මැනවින් ඉෂ්ට කරගන්නට ශක්තිය ලැබේවා යැයි අපි එක සිතින් පතමු