|
ගම්පෙරළිය අදටත් විශිෂ්ට පාඩමක්ධර්මසිරි බණ්ඩාරනායක
ඔහු විශිෂ්ට සිනමාකරුවෙකු පමණක් නොව වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ද සුවිශේෂ නිර්මාණකරුවෙක්. සිනමාව මෙන්ම වේදිකාව ද නව මානයන්ට යොමු කළා වූ අපූරු නිර්මාණකරුවෙක්. ‘ඒකා අධිපති’, ‘මකරාක්ෂයා’, ‘ධවල භීෂණ’, ‘ටෝජන් කාන්තාවෝ’, වේදිකාව අවදි කර වූ ඔහුගේ නිර්මාණ කිහිපයක්. ඔහු ‘හංස විලක්’, ‘තුන්වැනි යාමය’, ‘සුද්දිලාගේ කතාව’, ‘බව දුක – බව කර්ම’ වැනි වූ සිනමා නිර්මාණ හරහා සමාජයේ සැබෑව රිදී තිරයේ ගෙනහැර දැක් වූයේය. ධර්මසිරි බණ්ඩාරනායක. ඔහු අද පුදුම හතෙන් පවසන්නේ ඔහුගේ සිතෙහි සදාතනික මතක සටහන් කළා වූ සිනමා නිර්මාණ හතක් පිළිබඳවයි.
පාතර් පංචාලිසත්යජිත් රායිගේ පාතර් පංචාලි චිත්‍රපටය මම නැරඹූයේ හැටේ දශකයේදීයි. අද දක්වාම එබඳු වූ වේදනාවකින් යුතු වූ සිනමා නිර්මාණයක් මා දැක නැහැ. එහිදී සත්‍යජිත් රායි නම් වූ මහා කලාකරුවා සිනමාකරුවෙක් ලෙසින් ලඝු කරන්නට මා කිසිසේත් කැමැති වෙන්නේ නැහැ. මන්ද යත් ඔහු මහා දාර්ශනිකයෙක්, ලේඛකයෙක් මහා බුද්ධිමතෙක්. පාතර් පංචාලි චිත්‍රපටයේ එන දර්ශනයක් අදටත් මා සිත දැඩි ලෙස කම්පනයට පත් කරන්නට සමත්. එහිදී හරිහර් රායි නමින් වූ පියා දිගු කලක් රැකියාවේ නිරතව සිට නිවෙසට පැමිණෙන්නේ ආදරණීයයන් දැක බලා ගන්නටයි. දියණිය වූ දුර්ගා හට සාරියත් මිල දී ගත් ඔහු එය ඇය අත තබන්නට සූදානම් වන විට දී උණ රෝගයක් වැළඳී ඒ වන විටත් මරු තුරුළට ගිය දුර්ගා දියණියගේ මතකය සමඟින් සාරිය අතට ගත් බිරිඳ සර්බෝජයා දණහිසින් වැටෙන අයුරුත්, ඒ සමගින් ඇසෙන්නා වූ වයලින් වාදනයත් දරාගත නොහැකි අයුරින් මා සිත කම්පනය කරන්නට සමත් වූ දර්ශනයක්. පපුවට දැනෙන්නා වූ ඒ වේදනාව මනුෂ්‍යත්වය අහිමිවීමේ වේදනාව දැක්වෙන ඒ රූප රාමු පෙළ මගේ මනසින් කිසිදා මකා දැමිය නොහැකි ලෙසින් සටහන්ව තියෙනවා. කාලයක් ගත වුණත් එවැනි වූ මනුෂ්‍යත්වය ගැන කතා කරන නිර්මාණ අපේ රටේ නම් බිහි නොවේවි. සත් සමුදුරසත් සමුදුර චිත්‍රපටයත් හැටේ දශකයේදී මට වඩාත් සමීප වූ චිත්‍රපටයක්. එහිදී මහාචාර්ය සිරි ගුණසිංහ විසින් එවකට වූ සම්ප්‍රදායික නළු නිළි රූප ඉවත් කර අලුත් මුහුණු රිදී තිරයට සමීප කර වූ නිර්මාණයක් ලෙසින් මා සත් සමුදුර චිත්‍රපටය දකිනවා. සිරිල් වික්‍රමගේ. ස්වර්ණා මල්ලවආරච්චි, ලීනා ප්‍රනාන්දු, දෙනවක හාමිනේ ඒ හරහා අපට සමීප වූ අපූරු චරිතයන්. ඉතාම විශිෂ්ට සංගීතයකින් යුතු වූ චිත්‍රපටයක් ලෙසින් ද මා සත් සමුදුර චිත්‍රපටය දකිනවා. තේමා සංගීතයත් ‘සිනිඳු සුදුමුදු තලාවේ’ ගීතයත් ඒ හරහා දුටු මුහුණුත් මගේ සිතේ සදාතනික මතක ලෙසින් එදා සටහන් වුණා. ඒ රූප අපට සමීප කළා වූ ඩී. බී. නිහාල්සිංහයන්ගේ කැමරා කෝණයන් ද මා දකින්නේ ඉතාම සුවිශේෂ අන්දමින්. මේ නිසාම සත් සමුදුර චිත්‍රපටය මා නැරඹූ සිංහල චිත්‍රපට අතරේ සුවිශේෂ චිත්‍රපටයක් බවට පත් වෙනවා. හන්තානේ කතාවහන්තානේ කතාව චිත්‍රපටයත් මම මගේ ජීවිතයට සොඳුරු මතක එකතු කරන්න සමත් වූ චිත්‍රපටයක්. එහිදී විශ්ව විද්‍යාලයකට නොගිය මට විශ්වවිද්‍යාල තරුණ කොල්ලන්ගේ ජීවිත දෙස බලන්න සුගතපාල සෙනරත් යාපා නම් වූ සිනමාකරුවා ලබා දුන් අපූරු අවස්ථාවක් ලෙසින් මා දකිනවා. හන්තානේ කතාවෙනුත් අපට අලුත් මුහුණු සරසවි තරුණ තරුණියන් හරහා රූප මාධ්‍යයෙන් සමීප වුණා. අත්තටම ඔවුන් රංගනයේ යෙදෙන බව දැනුණේ නැහැ. අමරසිරි කලංසූරිය, ස්වර්ණා මල්ලවආරච්චි, ටෝනි රණසිංහ, දයා තෙන්නකෝන් එකිනෙකාට නොදෙවෙනි වෙමින් චිත්‍රපටය වෙනුවෙන් රංගන සටනක යෙදුණා. අවසානයේදී හැමෝම එයින් ජයග්‍රහණය ලැබූයේ ප්‍රේක්ෂක ජනතාව තුළ හන්තානේ කතාව සදාකාලික මතකයක් බවට පත් කරමින්. ඒ වගේම හන්තානේ කතාව සිනමාවට පෙම්බැඳි පරම්පරාවක් ගොඩ නඟන්න සමත් වූ චිත්‍රපටයක් ලෙසත් මා දකිනවා. අහස් ගව්වඅහස් ගව්ව චිත්‍රපටයත් සිංහල සිනමාවේ විශේෂ වූ චිත්‍රපටයක්. ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ එහි එකල, හැත්තෑව දශකයේ ජීවත් වූ තරුණ ජීවිත දෙස බැලූ විශිෂ්ට සිනමා නිර්මාණයක්. රැකියා විරහිත තරුණයන් තිදෙනෙකු වටා ගෙතුණු සමාජ යථාර්ථය ගැන කියවෙන කතා පුවතක් මේ ඔස්සේ අපූරුවට රූප මාධ්‍යයට සමීප කළා. ඒ ඔස්සේ අපේක්ෂා භංගත්වය, අනාගතය පිළිබඳ වූ අවිනිශ්චිතභාවය තරුණ ජීවිත ගැන කතා කළ ආකාරය විශේෂ අයුරින් කැපී පෙනුණා. ඒ වගේම එය අපේ සිනමාවට විශිෂ්ට සිනමාකරුවන් පිරිසක් බිහි කරවන්න සමත් වූ චිත්‍රපටයක් ලෙසත් සඳහන් කළ යුතුයි. අහස් ගව්වේදීත් අමරසිරි කලංසූරිය, විජය කුමාරණතුංග, ස්වර්ණා මල්ලවආරච්චි, බන්දුල විතානගේ, විමල් කුමාර ද කොස්තා වැනි රංග ශිල්පීන් ශිල්පිනියන් සටහන් කළා වූ මතක අපේ ජීවිතවල අදටත් ඒ අයුරින්ම තැන්පත්ව තියෙනවා. පරසතු මල්ගාමිණී ෆොන්සේකා නම් වූ රංගධරයා, රංගන ශිල්පියෙක් ලෙසින් සහ අධ්‍යක්ෂවරයෙක් ලෙසින් ප්‍රථම වරට හමු වෙන්නේ පරසතු මල් චිත්‍රපටයෙන්. සිනමාව තුළ මේ කාර්යයන් දෙකම බැරෑරුම් වුවත් එය සාර්ථක කර ගත් නිර්මාණකරුවෙක් වගේම එය තමාගේම ආත්මයේ හැකියාවන් දෙකක් අපූර්වත්වයෙන් එකට මුසු වූ අවස්ථාවක් ලෙසත් මා දකිනවා. එහි ගාමිණී බොනී මහත්තයා ලෙසින් සල්ලාල, බේබදු ඉඩම් හිමි ධන කුවේරයෙක් ලෙස හුදකලාව ගෙවන ජීවිතයට ස්ත්‍රීන් සම්බන්ධ කර ගැනීමට ගන්නා උත්සාහය ඔහු අතට පත් කර වූයේ පී. කේ. ඩී. සෙනෙවිරත්න විසින්. එහෙත් අවසානය වන විට සෙල්ලක්කාර, බේබදු චරිතයෙන් වෙනස්ව බොනී මහත්තයා ඉතා හොඳ මහත්මයෙක් ලෙසින් දකින්න සැලසූ ආකාරය ගැන සඳහන් කළ යුතුමයි. අපි නරකයි කියන මිනුම් දණ්ඩෙන් බලනවා වෙනුවට සම්පූර්ණයෙන් මිනුම් ප්‍රතික්ෂේප කර බලන විට එය පෙනෙන ආකාරයේ වෙනස බොනී මහත්තයාගේ චරිතය පෙන්නුම් කරනවා. අවසානයේදී ඔහු වේදනාවෙන් මිය යන මොහොතේ ප්‍රේක්ෂකයන් ආසනයෙන් නැඟී සිටින්නේ බොනී මහත්තයා කවුරුන්දැයි හරියාකාරව වටහා ගනිමින්. ඇත්තෙන්ම එය ශ්‍රේෂ්ඨයි. බක්මහ දීගේබක්මහ දීගේ චිත්‍රපටය සිංහල වේදිකාවට විශිෂ්ට නිර්මාණ දායාද කළා වූ දයානන්ද ගුණවර්ධනයන් විසින් සිනමාවට දායාද කළ අගනා නිර්මාණයක්. එය මටත් සුවිශේෂ වෙන්නේ මගේ සිනමා ආගමනය සිදු වූයේත් බක්මහ දීගේ සමඟින් වීම නිසයි. ඒ සඳහා ප්‍රධාන භූමිකාවකට මා තෝරා ගැනීම පිළිබඳ ස්තුතිය මේ අවස්ථාවේදිත් දයානන්ද ගුණවර්ධනයන් වෙත ගෞරවයෙන් පුද කර සිටිනවා. එහි රෙජී සිරිවර්ධනගේ තිර රචනයත්, ගම්පෙරළිය චිත්‍රපටයේද කැමරාව හැසිර වූ විලී බ්ලේක්ගේ කැමරා කෝණත් මගේ රංගන ජීවියේ සදාකාලික මතකයන්. ඒ වගේම මේ චිත්‍රපටය හැම සිංහල අවුරුද්දකටම ප්‍රේක්ෂකයන් සමඟ සමීප වෙන්න වාසනාව උදා කරගත් සුවිශේෂ චිත්‍රපටයක්. සිංහල සිනමාවේ සංගීතවත් චිත්‍රපට අතරේ බක්මහ දීගේ වැනි වූ අගනා නිර්මාණයක් මා මෙතෙක් දැක නැහැ. ගම්පෙරළියයුග කිහිපයක තිබූ දේශපාලන සන්දර්භයන් කැටි කරගත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිර්මාණ ත්‍රිත්වයක ආරම්භය සනිටුහන් කළ සිංහල සිනමාවට අපූර්වත්වයක් එක් කළ චිත්‍රපටයක් ලෙසින් ගම්පෙරළිය විශේෂ වෙනවා. ඒ වගේම මේ විශිෂ්ට නිර්මාණය අපේ රටට ප්‍රථම වරට ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (1965) රණ මයුර සම්මානය හිමිකර දෙමින් ජාත්‍යන්තරයේ අවධානය පවා දිනා ගැනීමට සමත් වීමත් සිංහල සිනමාව ලද භාග්‍යයක්. අග්‍රගණ්‍ය සිනමා අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය යටතේ පුණ්‍යා හීන්දෙණිය, හෙන්රි ජයසේන, ගාමිණී ෆොන්සේකා. ටෝනි රණසිංහ, ට්‍රිලීෂියා ගුණවර්ධන, ශාන්ති ලේඛා, ඩේවිඩ් ධර්මකීර්ති වැනි රංග ශිල්පීන් ශිල්පිනියන් මහා පෞරුෂයකින් එදා අපි ඉදිරියට පැමිණියා. එහි රංග පෞරුෂය වර්තමානය වගේම අනාගතය දක්වා ද විහිදෙන්නක්. එය අද බිහිවෙන සිනමා අධ්‍යක්ෂවරුන්ට වගේම රංග ශිල්පීන්ට ශිල්පිනියන්ට විශිෂ්ට පාඩමක්.
|