|
නාන ඇඳුමෙන් ඇවිත් සිර ඇඳුම් ඇඳි ජයලලිතා
ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් බවට පත් වු ජයලලිතා දක්ෂ නර්තන ශිල්පිනියක, රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසින්ද ඉන්දිය සිනමාවේ සළකුණු තබමින් සිනමා නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයකට දායක වුණා. ජයලලිතා සිනමාවට පැමිණෙන්නේ 1961 වසරේදීයි. ඒ ඉංග්‍රීසි භෂාවෙන් නිපදවූ Epistle නම් චිත්‍රපටයෙන්. ඇය ජනප්‍රියත්වය දිනා ගන්නේ 1964 වසරේදී තිරගත වූ ShrishailaMahatme නම් වූ කන්නඩ චිත්‍රපටයෙන්. ඇය සිනමාවට ගෙන එන්නේ දමිල සිනමාවේ සුපිරි තරුවක වූ එම්.ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්ජීආර් විසින්. දේශපාලනයේදී පමණක් නොව සිනමාවේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුයේ දමිල සිනමාවේ ප්‍රථමවරට නාන ඇඳුමකින් සැරසී රංගනයේ යෙදීමෙන්. ඒවගේම දෙමළ සහ තෙළිගු චිත්‍රපට වල රංගනයෙන් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවලදී හොඳම නිළියට හිමි සම්මානයට පවා හිමිකම් කීවාය. ශිවාජි ගනේෂන් සමග රංගනයේ යෙදුණු ShrishailaMahatme චිත්‍රපටයේ සහ Shri Krishna Satya, Suryakanthi චිත්‍රපටවල රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාය. එමෙන්ම චිත්‍රපට ගීත රැසක්ම ඇයගෙ හඬින් ගීතවත් වීය. Adimai Penn, Suriyakaanthi, VandhaaleMaharaasi, Thirumangalyam ඒ අතුරින් කිහිපයකි. ජයලලිතා ජයරාම් උපත ලබන්නේ 1948 පෙබරවාරී 24 වැනිදා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදීයි. ඇයට වයස අවුරුදු දෙක සපිරෙනවිටදී ඇයගේ පියා ජීවතුන් අතරින් සමුගැනීම සමග මව බැංගලෝරයට පැමිණ රංගන ශිල්පිනියක ලෙසින් සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළාය. ඒ සන්ධ්‍යා යන නමිනි. බැංගලෝරයේ සහ චෙන්නායි හිදි අධ්‍යාපන කටයුතුවල නිරත වූ ජයලලිතා ඉංග්‍රීසි භාෂාව ඇතුළුව භාෂා කිහිපයක්ම හැසිරවීමේ දක්ෂයෙක් බවට පත් වූවාය. ඒ සමගම භරත නාට්‍යම්, කථක්, කර්ණාටක සංගීතය වැනි විෂය ක්ෂේත්‍රයන්ද හදාරමින් එම අංශවලින්ද දක්ෂතා පෙන්වූ ඇය සිනමාවේදී ඒ සියල්ල අපූරුවට ගෙන හැර දැක්වූවාය.
1977 වර්ෂයේ සිට එම්ජීආර්ගේ දේශපාලන වැඩ වලට සහාය දෙන ජයලලිතා 1981 දී ඔහුගේ AIADMK පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය. 1984 වසරේ පැවැති මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස පත්වීම් ලබන ඇය එම්ජීආර්ගේ වියෝව සමගින් දෙකඩ වන පක්ෂයේ එක් කණ්ඩයමක් මෙහෙයවීමෙන් 1989 වසරේදී තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විපක්ෂ නායක ධුරයට පත්වූවාය. ඒ විපක්ෂ නායක ධුරයට පත් පළමු කාන්තාව ලෙසයි. 1991 දී ඇය මහ ඇමැතිනිය වෙන්නෙත් එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසින් වීම විශේෂයි.1996 දී පරාජයට පත් වුවද නැවතත් 2001, 2006 සහ 2011වසර වලදී මහ ඇමැතිවරිය ලෙස ඇය ජයග්‍රහණය කළා. ඇගේ දේශපාලන චරිතය අලලා 1997 වසරේදී මනිරත්නම් අධ්‍යක්ෂණය කළ iruvar නම් චිත්‍රපටයේ ඇයගේ චරිතයට පණ පෙව්වේ අයිෂ්වර්යා රායි විසින්.මීට පෙර අවස්ථාවන්හිදී ද ඇයගේ පාලනයට එරෙහිව දූෂණ චෝදනා රැසක්ම එල්ල වී තිබුණා.
|