වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




එක දවසක් මට ප්‍රවෘත්ති කියන්න එන්න අමතක වුණා

එක දවසක් මට ප්‍රවෘත්ති කියන්න එන්න අමතක වුණා

ඉෂාරා දෙවින්ද්‍රි

මාව බිරිය කරගන්න කට්ට කකා නදීක රූපවාහිනියටත් ඇවිත්

ප්‍රවෘත්ති කීම, හැකියාව එකම රාමුවකට කොටු කිරීමක් නොවේ

ප්‍රවෘත්තියෙන්, ප්‍රවෘත්තියට අපේ නිවේදන කලාව වෙනස්

පුංචි කාලෙ අප දකින සිහින සැබෑ කරගන්න ජීවිතේදී හැකියාව ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හැබැයි මේ සිහින ළඟාකර ගැනීම කරා හඹා යන ඇතැම් අය ඒ සිහිනය ජය ගන්න දවසකුත් තියෙනවා. මාතර දික්වැල්ලේ පුංචි ගමක ඉපදුණු ලස්සන පුංචි කෙල්ලෙකුටත් තිබුණේ රූපවාහිනියේ නිවේදිකාවක් වීමේ එවැනි සිහිනයක්.

මාතර සුජාතා බාලිකාවේ සිප් සතර හදාරණ මේ පුංචි දැරිවිය පාසල් කාලයේ පටන්ම ගෙදර කැඩපතක් ඉදිරියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට හැඩ වෙන්නේ සිතේ තිබුණු ආසාවට. දුවගේ තිබුණු ආසාව නිසාම ඇය පාසල් කාලයේදීම ලාල් හේමන්ත මාවලගේ මහතාගේ ජනමාධ්‍ය පාඨමාලාවකට කොළඹ එක්ක එන්නේ අති දුෂ්කර වෙහෙසක් දරාගෙන.

පාන්දර 2.30 ට මාතරින් පිටත් වෙන දුම්රියෙන් කොළඹ ඇවිත් පාඨමාලාවට සහභාගි වී ආපසු ගෙදර යනකොට පසුදා පාන්දර 2.00 ක 3.00 විතර වෙනවා. මේ වගේ කැපවීමෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වන මේ පුංචි කෙල්ල දැන් රටම දන්නා ප්‍රවෘත්ති නිවේදිකාවක්.

ඇය ඉෂාරා දේවින්ද්‍රි......

ඉෂාරා අද මියුරු සවන සමඟින් අප හමුවන්නේ ඇයගේ මාධ්‍ය ජීවිතයේ තොරතුරු ගැන කතා කරන්න විතරක්ම නොවෙයි. ඇයගේ ජීවිතයේ ලස්සනම දවස ගැනත් තොරතුරු ටිකක් ඔබ සමඟ බෙදා හදා ගන්න.

ඉෂාරා ඔයාම ඒ කතාව කියන්නකෝ?

ඔව්, මගේ ජීවිතයේ මනාලියක් වීමේ සිහිනය සැබෑවුණේ සැප්තැම්බර් 29 වැනි සඳුදා. ඒ කියන්නේ මීට දින තුනකට ඉස්සෙල්ලා. මේ ගැන රටටම කියන්න මුද්‍රිත මාධ්‍යයක් හරහා අවස්ථාව ලැබුණේ සරසවිය පුවත්පතෙන්. අපි කොයි තරම් ප්‍රබල විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කළත් මෙවැනි අවස්ථාවක් මුද්‍රිත මාධ්‍යයකින් ලැබීම සැබෑම වාසනාවක් ලෙසටයි මම හිතන්නේ.

ඔබේ ඒ ලස්සන දවස් සැලසුම් කර තිබුණේ කොහොමද?

මම විවාහ වුණේ පෞද්ගලික ආයතනයක ප්‍රවර්ධන විධායක නිලධාරියකු වන නදීක වික්‍රමසිංහ සමඟ. අපි හමුවුණෙත් අහඹු ලෙසින්. ඒත් අපේ අදහස් සිතුම් පැතුම් සියල්ලම හොඳින් ගැළපුණා. අපේ මංගල උත්සවයත්, අපි දෙන්නගෙ අදහස් අනුව ඉතා චාම්ව අපේ සංස්කෘතියට, ආගමික කටයුතුවලට මුල්තැන දෙමින්, දේශීය ආහාරපාන ඇතුළත්ව කිරුළපන ඇලන් මැතිනියාරාමය විහාරයේදී පැවැත්වුණා.

ඉෂාරා ඔයාට නදීක හමුවුණේ අහඹු ලෙසින් කිව්වා. ඒ අහඹු සිද්ධිය මොකක්ද?

මම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න කලින් සේවය කළේ ජාතික රූපවාහිනියේ. ඒ කාලෙදි තමයි නදීක මාව රූපවාහිනියෙන් දැකලා තියෙන්නේ. ඒ දැකලා එයා මාව මුණ ගැහෙන්න දවස් දෙක තුනක්ම රූපවාහිනියට ඇවිත් තියෙනවා. දවස් ගානක් කට්ට කෑවත් මාව මුණ ගැහිලා නෑ. ඊට පස්සේ එයා ඒ අදහස අත්හැරලා. පස්සෙ මම ස්වාධීන රූපවාහිනියේ සේවයට එක්වුණාට පස්සෙ පැලවත්තෙ ගෙදරක බෝඩිං වුණා. ඒ ඉන්නකොට ඒ ගෙදර ඇන්ටිගෙ ඥාතියකු වෙන කෙනෙක් තමයි නදීකගෙ අම්මා.

එයා දවසක් මාව දැකලා විස්තර අහලා තියෙනවා. නදීකටත් මේ ගැන කියලා එයා දවසක් හොරෙන් ඇවිත් මාව බලන්න. එයාට අදහා ගන්න බැරිවෙලා මාව දැක්කට පස්සෙ. ඒත් එයා ඉස්සර ඉඳන් මා ගැන අදහසක් තිබුණා කියා ගෙදරට කියලා නැහැ. පස්සෙ අපේ ගෙදරටත් කියලා දෙගොල්ලන්ගේම ආශීර්වාදයෙන් තමයි අපේ සම්බන්ධය පටන් ගත්තේ.

එතකොට ඔයාගේ මාධ්‍ය ජීවිතේ කොහොමද පටන් ගත්තේ?

ඇත්තටම, මගේ මාධ්‍ය ජීවිතේ අත්දැකීම් වැඩිය නැති වුණත් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට අවුරුදු හයක් පුරා ලැබූ අත්දැකීම් නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මම මුලින්ම ළමා පුවත් කියන්න තමයි ජාතික රූපවාහිනියට එකතු වුණේ. මම ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණේ ප්‍රවෘත්ති කියන්න මූලික පුහුණුවක් ලැබීමෙන් පසුවයි. ප්‍රවෘත්ති කියන්නෙ සාමූහික වැඩක්. ඒකෙදි අන්‍යෝන්‍ය සුහදත්වය, කාලීන සිදුවීම් මේ හැම දෙයක් ගැනම අධ්‍යනයකින් තමයි ඒ විෂය කරන්න වෙන්නේ.

ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන කාලයේදී ලැබූ අත්දැකීම් කොහොමද?

ප්‍රවෘත්තියක් වන හැම දෙයක්ම අලුත් සිදුවීමක්. ඒ හැම සිදුවීමක් කීමට පෙර සූදානම් වෙලා තමයි මම හැම දවසෙම යන්නෙ. අවුරුදු හයක් ප්‍රවෘත්ති කිව්වත් මම හැම දවසකම අලුත් කෙනෙක් විදිහටයි ප්‍රවෘත්ති මැදිරියට යන්නේ. එදා වගේම අදත් ප්‍රවෘත්ති කීමට තියෙන උනන්දුව මගෙන් ගිලිහිලා නෑ. ඒත් එක දවසක් බැරිවීමකින් මට ප්‍රවෘත්ති කියන්න එන්න අමතක වුණා. එය කවදාවත් අමතක නොවන පාඩමක්. ඒක මගේ අතින් වුණු පළමු වැරැද්ද නිසා සමාව ලැබුණා. ඒ වගේම එදා මා වෙනුවෙන් හැමෝම සහයෝගය දක්වා තිබුණා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කොටු නොවී මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් ඉසව්වකට යන්න කැමැත්තක් නැද්ද?

මගේ පුංචි කාලේ පටන්ම ආසාව තිබුණෙත් ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන ආසාව. අපි ප්‍රවෘත්ති මැදිරියකට සීමා වුණාට අපේ දක්‍ෂතාව ඒ සීමා මැදිරිය තුළ පෙන්වන්න අවස්ථාව උපරිමයෙන් තියෙනවා. ප්‍රවෘත්තියෙන් ප්‍රවෘත්තියට අපේ නිවේදන කලාව වෙනස්. කැමරාව ඉදිරියේදී සජීවීව අපේ හැකියාව උපරිමයෙන් පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. ඒ නිසා ප්‍රවෘත්ති කීම එකම රාමුවකට කොටු වීමක් ලෙස මම දකින්නෙ නෑ.

ඔබේ සහකරුගෙන් මාධ්‍ය ජීවිතයට ලැබෙන සහයෝගය කොහොමද?

මාව මේ තත්ත්වයට ගේන්න මාතර ඉඳන් කොළඹ එක්ක ආපු මගේ අම්මටයි, තාත්තටයි මා ගැන විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා මවුපියන්ගේ ආශීර්වාදය නැතිව කවදාවත් විවාහ නොවීමට මම තීරණය කරලා තිබුණේ. නදීක අයියා දැකලා එයාට අපේ අම්මයි, තාත්තයි කැමැති වුණා. මවුපියන්ගෙන් පස්සෙ මගේ ආරක්‍ෂාවට හිටියේ නදීක අයියා.

එයා මගේ හැම වැඩකටම උපරිමයෙන් සහයෝගය දෙනවා. වැඩසටහන්වලට යද්දී මාව එක්ක යන්න, ආපුසු එන්න ඒ හැම දෙයකටම උපරිමයෙන් සහයෝගය දෙන්නේ එයා. අපි දෙන්නම අවිවේකී රාජකාරිවල නියැළී හිටියත් ඒ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ නිසා ඒ සහයෝගය ඒ විදිහටම ඉදිරියටත් ලැබෙන බව මට විශ්වාසයක් තියෙනවා.