වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කවදා හෝ දවසක මම විද්‍යා ප්‍රබන්ධයක් හදනවා

කවදා හෝ දවසක මම විද්‍යා ප්‍රබන්ධයක් හදනවා

විශ්වනාත් බුද්ධික කීර්තිසේන

පුදුම හතෙන් තම හිතට දැනුණු දේ පවසන්න අද ඔබ හමුවට එන්නේ තරුණ පරපුරේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.

කලා ලොවට වෙනස්ම ආකාරයේ නිර්මාණ දායාද කරන ඔහු විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කිර්තිසේන.

බූඩි අද පවසන්නේ සිය සිනමා ජීවිතයට බලපෑමක් ඇති කරන්න සමත් වූ සුවිශේෂ සිනමා නිර්මාණ හතක් පිළිබඳවයි.

Sound of Music

Sound of Music චිත්‍රපටය මා නැරඹූ චිත්‍රපට අතරේ සුවිශේෂ ලෙසින් මගේ සිතට දැනුණු චිත්‍රපටයක් වෙනවා.

ඒ වගේම එය මගේ සමකාලීන බොහෝ දෙනා අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත් චිත්‍රපටයක් බවටත් පත් වුණා.

Sound of Music 1965 වසරේ තිරගත වූ අමෙරිකානු සංගීතමය චිත්‍රපටයක්.

රොබට් වයිස් නම් වූ අධ්‍යක්ෂවරයා එය හරිම අපූරුවට අධ්‍යක්ෂණය කර තිබුණා.

එහි ගීතවලට මෙන්ම කතාවටත් කුඩා කල සිටම මගේ හිතේ තද ඇල්මක් ඇති වුණා. ඉතා අලංකාර වූ එය මගේ හිතේ තදින්ම සටහන් වුණා.

පළමු වතාවෙන් පසුවත් හිතට නිදහස ඕනෑ ඕනෑම වෙලාවක එය නරඹන්නත් මම පුරුදු වුණා.

විනෝදාස්වාදයෙන් සපිරි මෙම චිත්‍රපටය හැමදාම මට සුවිශේෂ වූ චිත්‍රපටයක්.

Stalker

ආන්ද්‍රේ තර්කීව්ස්කි අධ්‍යක්ෂණය කළ Stalker චිත්‍රපටය ද මා මෙතෙක් නැරඹූ සිනමා නිර්මාණ අතරෙහි වූ සුවිශේෂිම චිත්‍රපටයක් ලෙසින් නම් කරන්න පුළුවන්.

අපි කොහොමද චිත්‍රපට හදන්නේ කියන දේ මට හිතුණේ එදා මේ චිත්‍රපටය නැරඹුවාට පසුවයි. ආන්ද්‍රේ තර්කෝව්ස්කි එහිදී ජීවිතයේ අඩංගු බොහෝ දේ හරිම අපූරු ආකාරයෙන් ඇතුළත් කර තිබෙනවා.

නිදහස සොයා යන තිදෙනෙකුගේ කතා පුවතක් ඇතුළත් මෙහිදී ඒ අතරතුර එම එකිනෙකාගේ හිත් තුළ ඇති වූ හැඟීම් අපට කියන්නට අධ්‍යක්ෂවරයා භාවිත කළ ක්‍රම මගේ හිතට තදින්ම දැනුනා.

ඒ වගේම මේ නිර්මාණයේදී උපේක්ෂා සහගත බව වගේම තදින්ම හිතට කා වදින දේ ද ඇතුළත් කරන්න තර්කෝව්ස්කි වග බලාගෙන තියෙනවා. මම මේ චිත්‍රපටය නැරඹුවේ අසූව දශකකයේ මුල් භාගයේදීයි.

ඇත්තටම එය අපූරු චිත්‍රපටයක්. ඒ වුණත් එය නැරඹූ විගසම මට ඇති වුණේ අපිට චිත්‍රපට හදන්න බැරි වේවි කියන හැඟීමයි. ඒ කාලයේ දී මම සිනමා පාසලට ඇතුළත් වෙලා නොසිටියත් චිත්‍රපට නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලාපොරොත්තුව පෙරදැරිවයි සිටියේ.  Stalker නම් වූ සිනමා නිර්මාණය අපි කොහොමද කවදා හරි මේ වගේ චිත්‍රපටයක් හදන්නේ කියන පැනය මගේ හිතේ ඇති කළා.

Close Encounters of the Third Kind

මගේ හිතේ චිත්‍රපටයක් හදන්න ඕනෑ කියන ආශාව දැඩි කළේ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්කෂණය කළ Close Encounters of the Third Kind (1977) චිත්‍රපටයයි. පිටසක්වලින් පැමිණෙන පියාඹන පීරිසි පිළිබඳව වූ කතා පුවතක් මෙයට පාදක වෙනවා.

ඒ කාලයේදී මේ විෂය පිළිබඳ දැඩි ආශාවක් මගේ හිත තුළත් තැන්පත්ව තිබුණා. ඒ සමඟම ඊ. ටී. චිත්‍රපටයක් නැරඹුවේ ඒ කැමැත්ත නිසාමයි.

එහි සඳහන් වෙන්නේ පිටසක්වල ජීවියෙකු හා කුඩා දරුවකු පිළිබඳ කතාවක්. මේ කාලය වන විට චිත්‍රපට හදනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් මම හිටියේ.

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් නිර්මාණය කිරීම මගේ සිනමා ජීවිතයේ ලොකු ආසාවක්. කවදා හරි දවසක මම චිත්‍රපට හදන එක නවත්වන්න පෙර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

Brazil

1985 වසරේදී තිරගත වූ Brazil නම් වූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයත් මගේ හිත ගත් සිනමා නිර්මාණ අතරේ ඉහළින්ම සිටින්නක්. ඒ වුණත් එය නරඹන විටදී විකාරයක් වගේ තමයි දැනුණේ.

නමුත් මම ඒ චිත්‍රපටයට ගොඩක් කැමැති වුණා. ටෙරි ගිලියමස් නම් වූ අධ්‍යක්ෂවරයා ඕපචලඪත චිත්‍රපටයෙන් ගැඹුරු සිද්ධාන්තයක් ඉතා සරල ආකාරයෙන් ඉදිරිපත් කර ඇති ආකාරය මම වටහා ගත්තා.

ඇත්තටම මටත් මේ වගේ නිර්මාණයක් කරන්න ලොකු ආසාවක් ඇති වුණා. හීන ලෝකයක සැරිසරන රජයේ සේවකයෙන් එහිදී දකින කාන්තාවක් සැබෑ ලෝකය තුළ සොයන කතා පුවතක් මෙහි ගෙන එනවා. එය නරඹන ඕනෑම කෙනෙකුට තේරෙන්නේ එය හරිම අමුතු චිත්‍රපටයක් බවයි.

ටෙරි ගිලියම්ස් නම් වූ නිර්මාණකරුවාගේ නිර්මාණ තුළ ඒ විශේෂත්වය දකින්න පුළුවන්. ඒ වගේම මෙවැනි වූ චිත්‍රපට කෙරෙහි මා තුළ වූ ආසාව එයින් තව තවත් වැඩි වුණා.

Time of the Gypsies

එමීර් කුස්තුරිකාගේ Time of the Gypsies චිත්‍රපටය නැරඹුවට පසුව චිත්‍රපට කෙරෙහි මගේ හිත තුළ තිබූ ආකල්පය සම්පූර්ණයෙන් වෙනස් අතකට හැරුණා. රොමේනියාවේ ජිප්සි පරපුර ගැන එහි කතා කරනවා.

ඔවුන් ඉතාලියට පැමිණීම සඳහන් වෙනවා. ඒ සමඟ මම ජිප්සි පරපුර ගැන තොරතුරු සොයන්නත් උනන්දු වුණා.

ඒ වගේම Time of the Gypsies චිත්‍රපටයෙන් අධ්‍යක්ෂවරයා චරිත ඉදිරිපත් කරන ආකාරයේ විශේෂත්වයක් මම එහිදී දුටුවා. එයින් තමයි මම දැනගන්නේ චිත්‍රපටවල අපූර්වත්වය සරළව ඉදිරිපත් කරන්නේ කුමන ආකාරයෙන් ද යන වග.

නිධානය

නිධානය චිත්‍රපටය මා සිත ගත් චිත්‍රපට අතරට එක් වෙන්නේ එහි වූ සරළ බව නිසයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එය තුළින් ගැඹුරු කතාවක් ඉතා සරළ ආකාරයෙන් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම සුවිශේෂයි.

එය හරිම අමාරු දෙයක්. සරළ සිනමා භාෂාව ඉතා උසස් මට්ටමෙන් භාවිත කර තිබීම විශේෂයි.

ඒ මට්ටමෙන් බැලුවොත් එවැනි තවත් සිංහල චිත්‍රපටයක් තියනවාද කියලා හිතන්න අමාරුයි. මම නිධානය චිත්‍රපටය බැලුවේ අනූව දශකයේදීයි.

රංගනය සැළකුවහොත් එහි මාලිනී ෆොන්සේකාගේ රංගනය මම සුවිශේෂව දැක්කා. ඒ වගේම ඇය මා දුටු මෙරට දක්ෂතම රංගනය ශිල්පිනියයි.

Crimes and Misdemeanors

වූඩි ඇලන් අධ්‍යක්ෂණය කළ 1989 වසරේ තිරගත වූ Crimes and Misdemeanors  චිත්‍රපටය මා ප්‍රිය කරන හාස්‍ය රසය ගෙන එන්නක්. මා එය නැරඹූයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ලොව විශාලතම තිරයකයි.

මෙම චිත්‍රපටය ඇත්නේම සුවිශේෂ වූ එකක්. එහි කතා තුනක් ගලාගෙන විත් එක අවස්ථාවකදී ඒවායේ අවසානය කරා ළං වීම එම විශේෂත්වයයි.

ඊට පෙර මා එවැනි වූ අත්දැකීමක් දැක තිබුණේ නැහැ. ඒ අපූර්වත්වය මා පළමුවෙන් දුටුවේ Crimes and Misdemeanors චිත්‍රපටයෙන්. වූඩි ඇලන් මෙහි චරිත යොදවා තිබූ ආකාරයත් සුවිශේෂයි. එහිදී ඔහු අන් අයට සිනහ වෙන විටදී ප්‍රේක්ෂකයන්ගේ සිනහව තමා වෙතට නතු කර ගන්න සමත් වූ රංගනයක් ඉදිරිපත් කිරීම මා දුටු විශේෂත්වයක්.

ඒ වගේම අභිරහස් අපරාධයක කතා පුවතක් ගෙන එන මෙහි කතාවත් අපූරු ආකාරයෙන් රචනා කර තිබීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ කාලයේ හැටියට එක චිත්‍රපටයක් තුළ කතා කිහිපයක් දිගහැර එක ස්ථානයකදී අවසන් කළ සාර්ථක නිර්මාණකරුවෙක් ලෙසින් වූඩි ඇලන් මා දකිනවා. අනෙකුත් අධ්‍යක්ෂවරුන් අතරේ මා ඔහුගෙන් දුටු විශේෂත්වය එයයි.