|
හොඳ පවුල් ජීවිතයකට රංගනයෙන් ඉවත් විය යුතුයි
එදා රැඟුමෙන් පේ‍්‍රක්ෂකයන් මෝහනයට පත්කළ ප්‍රෙමිලා කුරුප්පු
ප්‍රෙමිලා කුරුප්පු කාලයක් ශ්‍රී ලාංකේය සිනමාවේ රසිකයන්ගේ හදවත ජීවත් වූ නිළියකි. චිත්‍රපටවලදී ඇය ක්ලබ්වල නර්තනය ඉදිරිපත් කරන නර්තන ශිල්පිනියක් මෙන්ම චරිත කිහිපයක් රඟපෑ නිළියක් ද වන්නීය. විවාහයෙන් පසුව රංගනයෙන් සමුගත් ඕ කාලයක පටන් වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේය. ළඟදී ඈ සිය මව්බිමට පැමිණි මොහොතක ‘සරසවිය‘ හා කතාබහක යෙදෙන්නට අමතක නොකළාය.
මෙවර ඔබ ලංකාවට පැමිණි මොහොතේ අසනීප වුණා කියන්නේ ඇත්තක්ද? මම හිතන්නේ දේශගුණය වෙනස්වීම නිසා එහෙම වුණේ. ඇවිල්ලා සතියක් ගියාට පස්සේ හැදුණ මේ අසනීපය නිසා මා නවලෝක රෝහලට ඇඩ්මිට් වුණා. දැන් නම් සනීපයි. අද තමයි නැවතත් ඔස්ට්‍රේලියාවට යන්නේ.
රෝහලේ කාර්යමණ්ඩලය ඔබට හොඳීන් සැලකුවාද? ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ ජයන්ත ධර්මදාස මහත්තයා. ඔහු මගේ අසනීපයේදී කළ උදව්ව මට කිසිම දවසක අමතක වෙන එකක් නැහැ.
ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ මීට වසර කිහිපයකට පෙරද? මම විදේශ ගතවුණේ මීට වසර විසිහයකට පෙරයි. මේ වන විට මහත්තයා මිය ගිහින් වසර විසි පහක් විතර වෙනවා. ඒත් විදේශ ගත වනතුරුම මා අපේ රටේ නිර්මාණවලට රංගනයෙන් දායක වුණා. ඒ අතර පොඩි පුතා හිරාන්ට ඔස්ට්‍රේලියාවේ රැකියාව ලැබුණා. ඔහු විවාහ වුණේ එරටදියි. මේ අතර සියලු වැඩ කටයුතුවලින් ඈත්වෙලා නිදහසේ ඉන්න ඒ රටට එන්න කියලා පොඩි පුතා මට ආරාධනා කළා. ඉතිං මම ගියා. ලංකාවේ වගේ නෙවෙයි. මේ වයසට ඕන සියලුම සැපපහසු දේ ඒ රටේ තියෙනවා. ඒ කොහොම වුණත් මම කැමැති ලංකාවටයි.
ඒ නිසාද ඔබ වරින්වර ලංකාවට පැමිණෙන්නේ? ඒකත් එක හේතුවක්. අනෙක් කාරණය වෙන්නේ මගේ ලොකු පුතා හසිත ඉන්නේ ලංකාවේ. ඔහුගේ දුව කෙමාලිත්, පුතා හේෂාන්ටත් මම බොහොම ආදරෙයි. ඔවුනුත් මට එහෙමමයි. ඒ නිසා ඔවුන් දැක බලා ගන්නටත් සමඟ මා අපේ රටට එනවා.
නර්තන ශිල්පිනියක් වීමේ ආභාසය ලැබෙන්නේ කොහොමද? මම හිතන්නේ ගෙදරින්. මගේ අම්මා නිරංජලා දේවි, නර්තන ශිල්පිනියක්. ඈ වැඩිපුරම ප්‍රගුණ කරලා තිබුණේ ක්ලැසිකල් ඩාන්සින්. ඒත් මම කැමැති වුණේ බටහිර නර්තනයටයි,චිත්‍රපටවල නර්තනයේ යෙදෙන්නයි. නමුත් ඊළඟට භරත නර්තනය ඉගෙන ගැනීමට මා ඉන්දියාවට ගියා. ගිහින් ඇවිත් නුවරදී අරංගේත්‍රම් එකක් කළා. ඒත් ඒ කාලයේදී බොහෝදෙනා ඒවා ගණන් ගත්තේ නැහැ. නමුත් භරත නර්තන ගුරුවරියක් ලෙස මා ටික කාලයක් කටයුතු කළා. ඒ කාලයේ අම්මා හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ උගන්වන නිසා මමත් ඈත් සමඟ පැමිණියා.
ඊට පසුවයි ඔබ රංගනයට පිවිසෙන්නේ? ඒ එක් අවස්ථාවකදී මාව දකින ටී.බී.ඉලංගරත්න මහත්තයා මට රඟපාන්න ආරාධනා කළා. ඒත් මා රඟපාන්න සහභාගී වන්නේ ‘සුරතලී‘ චිත්‍රපටිය සඳහායි. ‘සුභද්‍රා’, ‘දෙයියන්ගෙ රටේ’, ‘සුහද දිවි පිදුම’, ‘පැතුම’ ආදී චිත්‍රපට රාශියක මට රඟපෑමට අවස්ථාව ලැබුණා. ආනන්ද ජයරත්න, ඩොමී ජයවර්ධන ඇතුළු බොහෝ ජනප්‍රිය නළු නිළියන් සමඟ මා රඟපාලා තියෙනවා. ඒත් විවාහයෙන් පස්සේ මා රඟපෑම අතහැරියා. ඒත් ‘ආදර රත්නේ‘ චිත්‍රපටයේ පමණක් ඊට පසුව මා රඟපෑවා. ‘යශෝරාවය’, ‘ගංතෙර’, ‘කන්දෙ ගෙදර’, ‘මැණික් නදිය ගලා බසී’, ‘සමන්තා’, ‘දෙවැනි ආත්මය’ ආදී නිර්මාණවලට දායක වන්නේ මගේ සැමියා මිය ගියාට පස්සෙයි.
ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද? ඒ කාලයේ මගේ රඟපෑමට කැමැති බොහෝදෙනා මට ලිපි එව්වා. ආදර යෝජනා ඕනෑ තරම් ආවා. අද වුණත් බොහෝ රසිකයන් මාව හඳුනාගෙන කතා කරනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මගේ නිර්මාණ නරඹලා තිබුණා. දැන් වුණත් ඔවුන් මාව හඳුනාගෙන කතා කරන විට මට දැනෙන්නේ පුදුම සතුටක්.
ඒ කාලයේ සිටිය නළුවන්ගෙන් ආදර ආරාධනා එහෙම ලැබුණා ද? ඔව්. කිහිපයක්ම ලැබුණත් මම තීරණයකට ඇවිත් හිටියේ ක්ෂේත්‍රයේ කෙනෙක් සමඟ කිසිම දවසක විවාහ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඕන නම් රංගනයෙන් ඉවත් විය යුතුයි කියලත් මා සිතුවා. ඒ නිසයි මගේ මහත්තයා වගේ සාමාන්‍ය කෙනෙක් විවාහ කර ගත්තේ. හොඳ පවුල් ජීවිතයකට මුදල්වලට වඩා සතුට වැදගත් බවයි මා සිතුවේ. ඔහු මිය යනතුරුම මමත් සමඟ බොහොම සතුටෙන් කාලය ගත කළා.
ක්ලබ්වල නටන ශිල්පිනියකගේ චරිතයක් රඟපානවාට නිවසෙන් කැමැත්තක් තිබුණාද? එහෙම ගැටලුවක් මට තිබුණේ නැහැ. ක්ලබ්වල නැටුම් ඉදිරිපත් කළාට ඒ නැටුම් ඉදිරිපත් වුණේ බොහොම සංයමයකින්.
ඔස්ට්‍රේලියාවේ ඉන්න විට ඔබ මොකද කරන්නේ? බොහෝ වෙලාවට ඇවිදින්න යනවා. මගේ ප්‍රියතම විනෝදාංශය වී තිබෙන්නේ ගීත ශ්‍රවණය කිරීමයි. ඒ නිසා සිංහල වගේම ඉංග්‍රීසි ගීතත් නිතරම වගේ මම අහනවා.
එහෙ ඉන්න කාලයේ පාළුවක් දැනෙන්නේ නැද්ද? නැහැ. මගේ මල්ලි හෙන්රිත් ඉන්නේ මෙල්බර්න්වලමයි. ඔහු විවාහ කර ගත්තේ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙක් වුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දුව යූනිවයි. ඒ අයත් නිතරම යන එන නිසා මට කිසිම පාළුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඇමරිකාවේ ඉන්න මගේ නංගි චිත්‍රාත්, නවසීලන්තයේ ඉන්න නිසංක මල්ලිත්, ඉසන් අයියගේ පවුලේ අයත් නිතරම වගේ මට කතා කරනවා.
ළඟදීම ඔබගේ උපන් දිනයත් එළැඹෙනවා? හිරාන් පුතා ඇතුළු ලේලි ලුසියාත් උපන් දිනය සෑම වසරකම ඉහළින් සමරන්න උනන්දුයි. ඒත් ඒකට මම කැමැති නැහැ. සරල විදියට සමරන්නයි මම නිතරම කැමැති. මෙවර නොවැම්බර් 27 වැනිදාට මගේ උපන් දිනය සමරන්න පොඩි පුතාගේ පවුලට අමුත්තෙකුත් ආවා. ඔහුට වෙන්නේ තවම සති දෙකක් වගේ කාලයක්. චූටි මුනුබුරාට බිමල් කියලා අයියා කෙනෙකුයි, සනා කියලා අක්ක කෙනෙකුයි ඉන්නවා. ඒ අය අතර ගෙවෙන කාලය බොහොම සුන්දරයි.
ඉදිරි කාලය මොන වගේ බලාපොරොත්තුවලින්ද සිත පිරිලා තිබෙන්නේ? ලබන වසරේ ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අවසාන කාලයේ ලංකාවේ සිටිය යුතුයි කියලා මා සිතාගෙන ඉන්න නිසා. මගේ ජීවිතය සතුටෙන් පිරිලා. දරුවෝ සියලුදෙනාම බොහොම සාර්ථක පවුල් ජීවිත ගත කරනවා. අපූරු මුනුබුරු, මිනිබිරියන් පිරිසකගේත් මුහුණු බැලුවා. වෙන ඉතිං තව මොනවද බලාපොරොත්තු විය යුත්තේ. මම ක්‍රිස්තියානි ආගමේ වුණත් බොහෝ වෙලාවට කියවන්නේ බෞද්ධ පොතපතයි. ඒ පොත් කියෙව්වාට පස්සේ සිතට දැනෙන්නේ අපූරු සැනසීමක්. |