|
ගාමිණී ෆොන්සේකලා හිටියේ එක්කෙනයි එයාට හිටියෙත් එක පුතයි
තාත්තාගේ මතක සුවඳට තුරුළු වෙන දමිත් පුතු ගේ සෙනෙහෙබර කතාව
සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා පිළිබඳ ඔහුට කියන්නට ඇත්තේ ඔබට, මට වඩා වෙනස් වූ කතාවකි. ඒ මුළු රටක ගෞරවාදරයට පාත්‍ර වූ එවන් යුග පුරුෂයකුගේ එකම පුතණුවන් ඔහු වන බැවිනි. දමිත් ෆොන්සේකා දස වසරකට පසු සිය දයාබර පියාණන් පිළිබඳ සිහිපත් කරන ඒ ආදරණීය යටගියාව අතිශයින් හැඟුම්බරය, සංවේදීය. තාත්තා ගැන ඔබේ මුල්ම මතකය කොයි වගේද? මම හිතන්නේ අවුරුදු තුන හතරේ කාලේ ඉඳලා තමයි තාත්තා ගැන මගේ මතකය අවධි වෙන්නේ. පුංචි කාලේ ඉඳන්ම මම දැනගෙන හිටියා තාත්තා ප්‍රසිද්ධ, අනෙක් අයට අවශ්‍ය පුද්ගලයෙක් කියන එක. එහෙම හැඟුනට තාත්තා මොකක්ද මේ කරන්නේ කියලා දැනගෙන හිටියේ නෑ. හැම වෙලාවෙම තාත්තා ෂූටිං ගිහින් කියලා තමයි අපේ ගෙදර කථා වෙන්නේ. ඒත් ෂූටිං කියන්නේ මොකක් ද කියලා අපිට තේරුමක් තිබුණේ නෑ. කවුරු හරි ගෙදරට ටෙලිෆෝන් කළත් අම්මා කියන්නේ එහෙම තමයි. තාත්තා මේ කරන වැඩේ ගැන හරි වැටහීමක් ඇති වුණේ කවදාද?...කොහොමද? තාත්තා ‘මයුරිගෙ කතාව’ චිත්‍රපටය කරන කොට මට අවුරුදු අටක්, නවයක් වගේ. මුල් වරට මම දර්ශන තලයකට ගියේ එතකොට. මමත් පුංචි චරිතයක් රඟපෑවා. ස්ක්‍රිප්ට් එක කියලා දෙනවා. එතකොට ලයිට්, කැමරා ක්‍රියාත්මක වෙනවා. ඇක්ෂන්, කට් කියනවා. ඔය වගේ දේවල් මම එතනදි දැක්කා. මොකක්ද මේ ෂූටිං කියන්නේ කියලා මට මුලින්ම අවබෝධ වුණේ ඒ විදිහට. කොහෙද ඒ රූගත කිරීම් සිදු වුණේ? තාත්තාගේ හොඳම මිත්‍රයෙක් වුණ සේන සමරසිංහලාගේ ගම් ප්‍රදේශය ආශ්‍රීතව. ඒ කියන්නේ රඹුක්කන සහ ඒ අවට තමයි රූගත කිරීම් සිදු වුණේ. ඒ කාලේ රඹුක්කන හරි ලස්සන පැත්තක්. අධ්‍යක්ෂණය වගේම ‘මයුරිගේ කතාව’ නිෂ්පාදනය කළේත් තාත්තා. ඒත් චිත්‍රපටය තිරගත වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී තාත්තා චිත්‍රපටය හිතවත්ම මිත්‍රයකු වූ ආරියරත්න පෙරේරාට විකුණුවා. ‘චණ්ඩි පුතා’, ‘උතුමාණෙනි’ වගේ චිත්‍රපටත් නිෂ්පාදනය කළේ ඔහු. තාත්තා ගොඩක් කාර්යබහුල වූ අවධියක් ඒ? ගෙදර එනවා. ආපහු යනවා. කොහොමත් ගෙදරට වඩා පිට තමයි තාත්තා වැඩිපුර කාලය ගත කළේ. ඔය කාලේ තාත්තා දේශපාලනයට සෘජුව සම්බන්ධ වෙලා නොහිටියත් යම්, යම් දේශපාලනඥයෝ හදනවා තාත්තාව ග්‍රහණයට ගන්න. සමහරු තාත්තාට හොඳින් කියලා බැරි තැන තර්ජනය පවා කරලා තියෙනවා. කොහොම නමුත් තාත්තා මුල ඉඳලම ආර්. ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන ජීවිතයට උදව් කළා. එවැනි තර්ජන, බලපෑම් එල්ල වූ අවස්ථාවලදී තාත්තා මොන වගේ ප්‍රතිචාරයක් ද දැක්වූවේ? තාත්තා ඒවාට බය වුණේ නෑ. නමුත් කළකිරීමෙන් හිටියේ. ඒ කාලේ තිබුණ ක්‍රමය තමයි කලාකරුවන්ව බය කරලා තමන්ගේ පැත්තට නම්මවා ගන්න දේශපාලනඥයන් දැරූ උත්සාහය. සමහරු ඒකට අහු වුණා. තාත්තා බණ්ඩාරනායක පවුලත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධකම් තිබුණා. තාත්තා බොහොම ගරු කළා සිරිමාවෝ මැතිණියට. අනුර බණ්ඩාරනායක එක්කත් මිතුරු දමක් තිබුණා? ඔව්. අනුර බණ්ඩාරනායක තාත්තාගේ හොඳ මිත්‍රයෙක්. ඒත් තාත්තාගේ දේශපාලන දර්ශනය ඊට වෙනස්. ‘පුරවැසි පෙරමුණ’ පක්ෂයට තමයි තාත්තා සම්බන්ධ වෙන්නේ ප්‍රේමදාස මහත්මයා එක්ක. ප්‍රේමදාස මහත්තයා පොඩි තැනකින් ආපු කෙනෙක් නිසා එයා සාමාන්‍ය මනුෂ්‍යයාගේ දුක දන්න කෙනෙක් කියන විශ්වාසය තාත්තාගේ හිතේ තිබුණා. රදළවාදයට තාත්තා ඉතින් එදා ඉඳලම පහර ගැහුවා. තාත්තටත් ඇත්තටම වලව් සම්බන්ධයක් තිබුණා. ඒ මොකක්ද? තාත්තගේ, අම්මගේ පාර්ශවයෙන් තමයි ඒ සම්බන්ධය තිබිලා තියෙන්නේ. ගම්පහ ප්‍රදේශයේ සේරම් පවුල කියන්නේ වලව් පැලැන්තියක්. නමුත් තාත්තගේ පොඩි කාලේ ඉඳන්ම කැමැත්තක් තිබිලා නෑ ඒ පවුල් පසුබිමට. මිනිස්සු දිහා බලන විදිහ, ඒ අය පහත් කරලා කතා කරන විදිහ තාත්තාට අල්ලලා නෑ. ඒ කාලේ තාත්තා ඉස්කෝලේ යන්නේ එන්නේ රික්ෂෝවෙන්ලු. දෙමළ මනුස්සයෙක් තමයි රික්ෂෝව අදින්න ඉඳලා තියෙන්නේ. යාපනේ මනුස්සයෙක්. ටික දුරක් ගිහින් රික්ෂෝවෙන් බැහැලා තමයි තාත්තා පයින් ස්කෝලට යන්නේ. ආපහු එනකොට ගේ ළඟදි තමයි රික්ෂෝවට නගින්නේ. අර දෙමළ මනුස්සයා ගැන අනුකම්පාවෙන් තමයි එහෙම කළේ. දෙමළ ජනතාව ගැන ලොකු අනුකම්පාවක් ඔහුට තිබුණා? ඔව්. ඒ අයට වෙන අසාධාරණකම්, ඒ අයට අර අවස්ථාව නැති එක ගැන තාත්තා කනගාටුවෙන් තමයි හිටියේ. අද වගේ නෙවෙයි, එදා ගොඩක් වෙනස්. තාත්තට හොඳට දෙමළ භාෂාව හසුරුවන්න පුළුවන්. අපේ නුවර වත්තේ දෙමළ සේවකයෝ වැඩ කළා. තාත්තා සමහර වෙලාවට ඒ අයගේ දෙමළ බස නිවැරදි කරනවා. ‘ඕක නෙවෙයි මේකයි හරි වචනය’ කියලා කියනවා ඒ මනුස්සයන්ට. ජාති, ආගම් කුළ බේද කිසිවක් තාත්තා ළඟ තිබුණේ නෑ. මතකද බලපු මුල්ම චිත්‍රපටය තාත්තගේ? මට මතක හැටියට ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටය. යන්තමින් වගේ මතකයි ඒක කියලා. නමුත් යම් දැනුමක් තේරුමක් තියෙන වයසෙදි මම ආසා කළා ‘දෙවියනි ඔබ කොහි ද?’ චිත්‍රපටයට. ඊළඟට ‘හුලවාලී’, ‘සරුංගලේ’ වගේ චිත්‍රපටවලට. තාත්තගෙන් දවසක් මම අහනවා ‘තාත්තා මොන ෆිල්ම් එකටද වඩා කැමැති’ කියලා. තාත්තා කියනවා ‘නෑ මම එහෙම කියලා නෑ ඔක්කොම ෆිල්ම්ස්වලට කැමැතියි’ කියලා. ප්‍රශ්නේ එතැනින් ඉවරයි? නෑනේ. ආයේ මම කියනවා සරුංගලේ චිත්‍රපටයේ ‘නඩරාජා’ ගේ චරිතයට තමයි මම වැඩියෙන්ම කැමැති කියලා. එතකොට ඉතින් තාත්තාට තරහා යනවා. ‘ඇයි තමුසේ හිතුව ද මම අනෙක් චිත්‍රපටවල මොකුත් කළේ නෑ කියලා’. තාත්තා අහන්නේ නොරිස්සුම් ගතියකින්. ‘නෑ එහෙම නෙවෙයි මම ගාමිණී ෆොන්සේකා කියන පුද්ගලයාව කොහෙත්ම දකින්නේ නැති චිත්‍රපටයක් තමයි ඒක’ කියලා මම කියනවා. ඒ චිත්‍රපටයට මම අදටත් ආසයි. තාත්තට තරහ ගිය වෙලාවට ද ‘තමුසේ’ කියලා කියන්නේ? ඒ කාලේ හිටපු අයගේ භාෂාවේ තියෙනවා මම හිතන්නේ ‘අයිසේ, තමුසේ’ වගේ වචන. ඒවා එච්චර සැර වචන නෙවෙයි. සාමාන්‍ය භාවිතයේ තිබූ වචන. තාත්තා සාමාන්‍යයෙන් මිනිසුන්ට එහෙම පහත් විදිහට කතා කළේ නෑ. නමුත් වැරදි පොටේ ගියොත් බොහොම දරුණු විදිහට පහත් කරල කතා කරනවා. එහෙම නැතිනම් හැමෝටම ගරුසරුව කතා කිරීමේ පුරුද්දක් තාත්තාට තිබුණා. එයත් කැමැතියි එහෙම ගරු කරන කෙනාට. හැසිරෙන කෙනාට. වැරදිච්ච තැන ගුටිකාපු තැනුත් තියෙනවා සමහරු තාත්තාගෙන්. පුංචි කාලේ කොයි වගේ හැඟීමක්ද තාත්තා ගැන තිබුණේ? අම්මා අපට පුංචි කාලෙදිම කියලා දීලා තිබුණා තාත්තා බොහොම කාර්යබහුල පුද්ගලයෙක්, ඒ නිසා ගෙදර ඉන්න වෙලාවට කෑගහන්න, සද්ද කරන්න යන්න එපා කියලා. අනෙක් වෙලාවට අපට නිදහස දීලා තිබුණා කෑගහන්න, දඟලන්න, පනින්න ඒ ඕනෑම දේකට. හැබැයි තාත්තා ඉන්න කොට අපි ඉන්න ඕනෑ මීයට පිම්බා වගේ. මොකද තාත්තා ගෙදර එන්නේ නිදහසේ ඉන්න. අම්මාගෙන් බොහොම තදේට ඒ උපදෙස් ක්‍රියාත්මක වුණා. තාත්තාගෙන් ගුටි කාලා එහෙම නැද්ද? එහෙම දරුණුවට පහර දීලා නෑ කවදාවත්ම. ඊට වඩා සැරයි තාත්තාගේ වචන. අක්කලාට වුණත් එහෙමයි. එයාලා ලොකු වුණාට පස්සෙත් කම්මුලට ගහලා තියෙනවා. දවසක් මට මතකයි මගේ කන තදින් මිරිකුවා වැරදි වැඩක් කරලා. ඉතින් තාත්තාගේ සීමාවල් මොනවද කියලා දැනගෙන අපිත් ඒ විදිහට හිටියා. එහෙම සීමාවල් දැනගෙන වැඩ කරපු අය තාත්තාත් එක්ක ගොඩක් කල් එකට හිටියා. නැතිව තාත්තා වගේ චරිතයක් එක්ක ඉන්න අමාරුයි. මම කියන්නේ නෑ තාත්තා දරුණු පුද්ගලයෙක් කියලා. නමුත් බොහොම සංවේදී වුණා වටේ, පිටේ සිදුවුණ දේවලට. නියමිත කාල සටහනකට අනුව ද තාත්තා වැඩ කළේ? තාත්තා ජීවත් වූ ක්‍රමයක් තිබුණා. උදේට නැගිට්ටාම තාත්තාම ඇඳ ඇතිරිලි හදනවා. තාත්තාගේ බාත්රූම් එක එයාම හෝදා ගන්නවා. සමහර වෙලාවට තමන්ගේ කාමරය තමන්ම අතුගා ගන්නවා. ඒක හැම තිස්සෙම වෙන දෙයක් නෙවේ. නමුත් එයා ඒවත් කළා. උදේ කෑම කන්න ඉස්සර වෙලා තාත්තා සත්තුන්ට කෑම දානවා. ඊට පස්සේ තමයි එයා කන්නේ. ගෙදර සුරතල් සතුන් ගොඩක් හිටියා? ඔව්. බල්ලො, මුවෝ හිටියා. එක්තරා කාලෙක කොටි පැටව් පවා හිටියා. ඇතින්නක් හිටියා තාත්තට. මොනරු, කුරුල්ලෝ වගේ සතුන් ගොඩක් හිටියා. වීරවිල වත්තේ ඔක්කොම සතුන් හිටියා. සමහර විදේශිකයෝ යාල ගිහින් සතුන් නොදැක ආපු වෙලාවල අපේ හෝටල් භූමියේ ඉන්න සතුන් පෙන්වනවා. හරියට පුංචි සත්තු වත්තක් වගේ. ඒක තාත්තාගේ ජීවිත කාලය පුරාම තිබුණා. තාත්තා නැතිවෙන දවසෙත් පල්ලෙහාට ගිහින් බල්ලන්ට, මාළුන්ට කෑම දාලා එයත් කෑම කාලා හාන්සි වුණා පත්තර ගෙනෙන කල්. එදා පත්තර ගේන කොට ටිකක් ප්‍රමාද වෙලා. ඒ නින්දෙම තමයි තාත්තා අවසන් ගමන් ගියේ. විශේෂයෙන්ම හැන්දෑ වරුව විවේක සුවයෙන් ගත කරන පුරුද්දක් තාත්තාගේ තිබුණා නේද? හැමදාම හැන්දෑවට තාත්තා ගෙදර හිටියොත් පොඩි ඩ්රින්ක් එකක් ගන්නවා. දැනුම් තේරුම් වයස ආපුවාම මට තාත්තා ඒ වගේ වෙලාවල කියනවා ‘තමුසෙට එක ඩ්රින්ක් එකක් ගන්න පුළුවන්’ කියලා. තාත්තා කැමැති වුණේ නෑ ඒවා අපි හොරෙන් කරනවට. එක ඩ්රින්ක් එකක් කියලා තාත්තා කිව්වේ සීමාවක් ඇතිව මේවා කරන්න කියන එකයි. මම බෑ කිව්වොත් එහෙම ආයේ දෙවැනි පාර කියන්නේ නෑ. තාත්තා එහෙම කළේ මම ගොඩක් ලොකු වුණාට පස්සේ. යහළු, මිිත්‍රාදියෝ එක්ක නිවසේ මත්පැන් සාද පවත්වන්නේ නැති ද ඒ කාලේ? මුලදි නම් එහෙම තිබුණා. ඒත් තාත්තා පස්සේ කාලෙක හිටියේ ගොඩක් අය ගැන කලකිරීමෙන් වගේ. ඒක නිසා වඩා කැමැති වුණේ අපි එනවට. අපිත් එක්ක කාලය ගත කරන්න. ඒ වෙනකොට අපිටත් කාල වේලාව අඩුයි. ඒත් කොහොම හරි යනවා. හැබැයි එන වෙලාව කලින් කියන්නත් ඕනෑ? ඔව්. ඔව්. වෙලාව කලින් දැනුම් දීලා යන්නත් ඕනෑ. ඒවා තාත්තගේ ජීවිත කාලෙම තිබුණ දේවල්. දැනුම් නොදී ගිය වෙලාවල අප කොච්චර දුර ඉඳන් ගියත් තාත්තා නොදැක ආපහු හැරිලා එනවා. එහෙම අවස්ථා තිබුණා. තාත්තා කෑමට බීමට ප්‍රිය කළ දේවල් මොනවාද? ඇත්තටම තාත්තා ගෙවත්තේ කොටසක එළවළු, පළතුරු වගා කර ගත්තා. දැන් ඔය ගෙවතු වගාව කියලා තිබුණට පොඩි කාලේ ඉඳලම අපි ඒවා දැක්කා. වරින් වර තාත්තාගේ පදිංචිය වෙනස් වුණානේ. ඒ හැම තැනකම තාත්තා පොඩියට හෝ වගා කළා. වත්ත අතුගාන එක, පැළවලට වතුර දාන එක එයාගේ දවසේ ව්‍යායාම්වල කොටසක් කරගෙන තිබුණා. ඒ හැර දවස ගානේ වේට්ස් කළා. එක්සයිසස් කළා. අවසාන කාලේ පවා තාත්තා ඒවා අතපසු කළේ නෑ. තාත්තා හොඳ සටන්කාමියෙක් බව අපි දන්නවානේ. දමිත්ට සටන් කලාව ගැන කියා දීලා නැද්ද? මට තාත්තා පොඩි කාලේ ඉඳලම එහෙම ට්‍රේනින් එකක් දීලා තිබුණා. මගේ මුත්තා සීයාට සටන් කලාව ඉගැන්නුවා. ඊට පස්සේ සීයා තාත්තාව ඒ පැත්තට යොමු කරලා තියෙන නිසා තාත්තා මාවත් ඒ අංශයෙන් දැනුවත් කළා. ඒක මේ මිනිස්සුන්ට ගහන්න කරන්න නෙවේ. ආත්මාරක්ෂාවට. ඇත්තටම තාත්තගේ තිබුණු ඒ සටන්කාමිත්වය පරම්පරාවෙන් ආපු දෙයක්. පසු කාලෙක තාත්තා යම් යම් පෞද්ගලික හේතූන් නිසා පවුලෙන් දුරස් වෙනවා. ඒ යුගයේ ඔහු ජීවත් වුණේ වෙනම. ඒත් මම හිතන්නේ තාත්තා නිරන්තරයෙන්ම ඔබලා ගැන සොයා බැලුවා? පවුලේ ප්‍රශ්න ඇති වෙන කොට අපි ටිකක් වයසෙන් මෝරලා. අම්මා තීීරණය කළා රත්මලානේ නිවසේ ඉන්නවයි කියලා. තාත්තා තීරණය කළා එයා ජීවත් වෙන්නේ ජා-ඇල නිවසේ කියලා. එතකොට අම්මා තමයි අපිත් එක්ක වැඩිපුර හිටියේ. ඒ වෙනකොට අම්මා එයාගේ ලෝකෙට හුරු වෙලා. තාත්තා පුරුදු වෙලා තනියෙන් ඉන්න. හුදෙකලාවේ ජීවත්වෙන්න එයා හුරු වෙලා. හැබැයි ඒ ඈත්ව සිටි කාලයේ වුණත් ඔවුන් එකිනෙකාට ගරු කළා. තාත්තා වැරදියි කියලා අම්මා කවදාවත් අපට කිව්වේ නෑ. තාත්තත් එහෙමයි. විශේෂ කෑමක් හැදුවොත් තාත්තාට යවන පුරුද්දක් අම්මට තිබුණා. අවසානයේ දෙන්නා නැවතත් එකතු වෙනවා? ඔව්. හැමෝගෙම ආසාවක් තිබුණා දෙන්නා එකතු වෙනවා දකින්න. අන්තිමට ඒක එහෙම වුණා. කලින් වුණ දේවල් ගැන දරුවෝ හැටියට අපිත් සිත් තැවුලෙන් තමයි හිටියේ. ඒක අපේ මුළු පවුලේම අවාසනාවන්ත කාලයක්. නමුත් කොයිම වෙලාවකවත් දෙන්නට දෙන්නා ගරු කරන එක නතර වුණේ නෑ. ආදරය පළුදු වෙන්න ඇති. නමුත් අවසන් කාලයේදී දෙන්නා ආයේ ආදරයෙන් හිටියා. තාත්තා මට දවසක් කිව්වා ‘අයිසේ මට ජීවිතේ වැරදුනේ එක තැනයි. ඒක මට ගොඩක් බලපෑවා’ කියලා. ඔබලාගේ අධ්‍යාපන කටයුතු ආදිය ගැනත් තාත්තා විශේෂයෙන් සොයා බැලුවද? ඒ සියලු දේවල්ම හොයා බැලුවා. තාත්තට මගේ ගැන නම් එච්චර ලොකු බයක් තිබුණේ නෑ. මොකද මගේ දේවල් මටම කර ගන්න පුළුවන් කියන විශ්වාසය එයාගේ තිබුණා. අක්කලා ගැන තමයි විශේෂ අවධානයක් යොමු කළේ. අක්කලා ගෙදර ආවේ කීයටද කියා එයා හැමදාම දුරකථනයෙන් විමසලා බලනවා. අක්කලා එතකොට කසාදත් බැඳලා. ඒත් එහෙම පුරුද්දක් තාත්තගේ තිබුණා. ඒ වගේ හැම තිස්සේම එයාලගේ ආරක්ෂාව ගැන සොයලා බැලුවා. හැබැයි අපට තිබුණ ආදරේ ඔහු පෙන්නුවේ නෑ වෙන තාත්තලා වගේ. නමුත් ඒ පාලනය, ආධිපත්‍යය ඔහු ළඟ තිබුණා. කොහොම වුණත් අවසන් විග්‍රහයේදී තාත්තා ‘සොඳුරු ආඥාදායකයෙක්’? ඒක ඇත්ත. මතුපිටින් පෙනෙන රළු ස්වභාවයට වඩා සංවේදී බවක් තාත්තා තුළ තිබුණා. තාත්තා අපට පැන වූ ඒ නීති පද්ධතිය නිසා ඇති වූ විනය, ශික්ෂණය අද පවා අප ළඟ තිබෙනවා. දැන් සමහර දේවල් අපි කරන කොට හැම තිස්සේම හිතන්නේ තාත්තා ගැන. තාත්තා අපට මෙහෙම කිව්වේ, එයා මෙහෙම කෙරුවේ කියන එක ක්ෂණයකින් අපට මතක් වෙනවා. දැන් අක්කලා එහෙම මොනවා හරි වැරැද්දක් කරන්න හදන කොට මම කියන්නේ ‘අයිසේ තාත්තා හිටියා නම් තමුසෙලා ගුටිකනවා මේ වැඩේට’ කියලයි. ආගම දහම ගැන තාත්තා කොයි විදිහට ද හිතුවේ? තාත්තා හොඳ බෞද්ධයෙක්. ඒත් එයා ඒක එළියට පෙන්නුවේ නෑ. සමහර හාමුදුරුවරුන්ට පවා ඒ අය වැරැදි කරන කොට තාත්තා ඒක පෙන්නලා දීලා තියෙනවා. තාත්තා බෞද්ධ දර්ශනයේ හරි පැත්ත අල්ලගෙන හිටපු කෙනෙක්. මුලින් තාත්තාට බයිපාස් එකක් කරන්න කිව්වම එයා කිව්වේ මගේ ගෙනාපු ආයුෂ ඉවර වෙන කාලේ වෙන කොට මම යන්න ඕනෑ කියලයි. ඔපරේෂන් කරලා, ප්ලාස්ටික් කෑලි ඇඟේ ගහගෙන මට මේ සංසාර ගමන දික් කරගන්න ඕනෑ නෑ කියලයි ඔහු කිව්වේ. සියලු දේවල් සොබා දහමට අනුව සිදු විය යුතුයි කියන මතයේ ඔහු සිටියා. ගාමිණී ෆොන්සේකා තරම් වෘත්තිය වෙනුවෙන් සටන් කළ සිනමා ශිල්පියෙකු අපට හමු වන්නේ නෑ. ඔහුගේ සටන් පාඨය වුණේ ‘සමානත්මතාවය’ කියන එකයි. තාත්තාගේ ඒ පැත්ත කොහොමද ඔබ දකින්නේ? අපි ඕක දකින්නේ එක පැත්තයි. තාත්තා දුබල පැත්තට උදවු කළ නිසා ඒක විතරයි හැමෝම කතා කළේ. දැන් කේ. ගුණරත්නම් කියන්නේ නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට හොඳට සලකපු නිෂ්පාදකවරයෙක්. ඔහු තාත්තාගේ කිට්ටුවන්තයෙක්. නමුත් ඔහුගෙන් හෝ කිසියම් වරදක් සිදු වුණොත් තාත්තාට ඒක පෙන්නලා දෙන්න ශක්තියක් තිබුණා. තාත්තා කොයි තරම් ළඟින් ඇසුරු කළත් ඔහුට කතා කළේ ර්ප ගුණරත්නම් කියලා. තාත්තාගේ ඉස්සරහ දෙමළ ජාතික අධ්‍යක්ෂවරයෙක් ‘ගුණම්’ කියන්න ගිහින් ගුටි කෑවා. ඒ තාත්තගේ හැටි. ඔහු සිනමා ශිල්පීන් විතරක් නෙවේ නිෂ්පාදකවරයාත් ආරක්ෂා කළා. නිෂ්පාදකවරයාව ගසාගෙන කන්න, ඔහුට හොර බොරු කරන්න තාත්තා ඉඩ දුන්නේ නෑ. ඒකයි මම කිව්වේ තාත්තා ඒ දෙපැත්තම ආරක්ෂා කළා කියලා. කේ. ගුණරත්නම් අසලට එනකොට අපේ නළු, නිළියෝ තමන්ගේ අසුන්වලින් නැගිටින යුගයක් එදා තිබුණේ. එහෙම යුගයක ගුණරත්නම්ගේ කරට අතදාගෙන සිගරැට්ටුවක් උරන්න තරම් ගාමිණී ෆොන්සේකාට හයියක් තිබුණා. ඇත්තටම ඒ තමයි ගාමිණී ෆොන්සේකා. නිෂ්පාදකයන්ට නළු නිළියෝ යටත් විය යුතු නැහැ කියලා පෙන්වන්න තමයි ඔහු එහෙම කළේ. එතුමා ඉතාමත් මිත්‍රශිලී කෙනෙක්. නිෂ්පාදකවරුන්ගෙන් තාත්තාට විශේෂ සැලකිලි, පක්ෂපාතිකම් තිබුණත් තාත්තා ඒවායින් වාසි අර ගත්තේ නෑ. චිත්‍රපටයක් සාර්ථක වෙලා ලක්ෂ ගණනින් නිෂ්පාදකයාට මුදල් ලැබෙන කොට ඒවායින් වැඩ කරපු අයට ඔහු ප්‍රතිලාභ අරගෙන දුන්නා. ඒ වගේ දෙයක් කරන්න තාත්තට හයියක් තිබුණා. සිනමාව කලාවක් වගේම ව්‍යාපාරයක් හැටියටත් තාත්තා දැක්කා. ඒ නිසයි ඔහු ඒ දෙපැත්තම ආරක්ෂා කරගන්න උත්සාහ කළේ. ක්‍රියා කළේ. ඔබ වඩාත් ප්‍රිය කරන්නේ එහෙමත් නැතිනම් ගරු කරන්නේ ගාමිණී ෆොන්සේකා කියන රංගන ශිල්පියාටද? නැතිනම් අධ්‍යක්ෂවරයාටද? මෙහෙමයි ඉතිං ඒ මනුස්සයාගේ හැම පැත්තක්ම ගත්තම ඒවාට ආදරය කරන්න පුළුවන්. නමුත් මම ආදරය නොකරපු පැත්තක් තියෙනවා. ඒ තමයි ඔහු තුළ සිටි දේශපාලනඥයා. නමුත් දේශපාලන ජීවිතයේ ඔහු ගත් යම් යම් තීන්දු, තීරණ, කරපු ප්‍රකාශ ආදි දේවල් ගැන මට මේ ඉතාමත් මෑතකදී සොයා බලන්න සිදු වුණා ඒවා සංරක්ෂණය සඳහා. දේශපාලන භූමිකාවේදීත් තාත්තා යම් සුබවාදී දෙයක් කළා කියා මට හැඟුණේ ඒ ගවේෂණයේදී. ඉතිං ඒකටත් වෙනම ගරුත්වයක් තියෙනවා අද මගේ හිතේ. අපි තාත්තාගේ දේශපාලනය ගැන එදා හිතපු දේවල් එහෙම නෙවෙයි කියලා දැන් වැටහෙනවා. මම හිතන්නේ තාත්තා දේශපාලනයට ආවේ හරි හම්බ කරගන්න නෙවෙයි? තාත්තාගේ පෞද්ගලික දේපළ පවා විනාශ වුණා දේශාපාලනය කරන්න ගිහින්. විරුද්ධවාදීන් අපේ වීරවිල ‘සැනසුම’ හෝටලය පවා ගිනි තිබ්බා. 1970 මැතිවරණයේදී අපේ නිවසට පහර දෙන්න සැලසුම් කරලා තිබුණාලු. නමුත් ඒ පක්ෂයේම හිටපු තාත්තාගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් තමයි තාත්තාව ආරක්ෂා කරගෙන තියෙන්නේ. තාත්තා අවසානයට කරන්න හිටපු ‘ජජ්මන්ට්’ හා ‘යකඩ යකා’ චිත්‍රපට දෙකම ඔහුට කරගන්නට නොහැකි වුණේත් දේශපාලන එදිරිවාදිකම් නිසා. තාත්තා වඩාත් සමීපව ඇසුරු කළ කලාකරුවන් කවුද? එදිනෙදා කතා කරපු අය හිටියේ මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වගේ අය. වැරැද්දක් කෙලින් පෙන්නලා දෙන්න පුළුවන් යාළුවකුට පහු කාලේ වෙන කොට හිටියේ ටෝනි අංකල්. තමන්ගේ ගුරු පියාණන් වූ අරිසෙන් අහුබුදු මහත්මයාට හැමදාම කතා කරන සිරිතක් තාත්තගේ තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිතර ඇසුරු නොකළත් ලොකු ගරුත්වයක් තිබුණා. යාළුවො පස්සේ කාලයක තරහ වුණ අය හිටියා. ඒත් ඒ හැමෝම තාත්තගේ ටැලන්ට් එකට ගරු කළා. තාත්තත් එහෙමයි. ඔවුනුත් විශිෂ්ට කලාකරුවෝ? එහෙම තාත්තා එක්ක විරසක වූ මිතුරන් තමයි තිස්ස අබේසේකර, ටයිටස් තොටවත්ත වගේ අය. එයාලා අතර ප්‍රශ්න තිබුණා. ඒත් එකිනෙකාට ගරු කළා. මම හිතන්නේ ආඩම්බරකම සියලු දේවල් එක්ක ඕව එන්නේ. සමහරු තාත්තා ඒ අය එක්ක අමනාප බව දැනගෙන එක එක දේවල් කියලා කොටවන්න උත්සාහ කළ අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවලදී තාත්තා කළේ අර මනුස්සයාව බැනලා පන්නගන්න එක. කාටවත්, කවුරුවත් පහත් කරන්න ඉඩ දුන්නේ නෑ. ඔබ දැකපු තාත්තාගේ ලොකුම දුර්වලකම මොකක්ද? මම හිතන්නේ කේන්ති යාම. තාත්තාට ඉක්මනට කේන්ති යනවා. ඒ වෙලාවට හරිම දැඩි තීරණ ගන්නවා. කියන දේ කාට වුණත් කියනවා මූණටම. හැබැයි තාත්තාගේ උතුම්ම ගුණාංගය විදිහට මම දකින්නෙත් ඒකම තමයි. මොකද ඒ කේන්ති යාම තුළ හැමදාම තිබුණේ ඔහුගේ අවංකකම, අව්‍යාජත්වය. ඒවෙලාවට ගන්න තීරණ බොහෝදුරට නිවැරදියි. තාත්තා ‘ධනු’ ලග්නයෙන් හා ‘මිථුන’ නවාංශකයෙන් උපන් අයකු නිසා මෙවැනි ගතිගුණ ඔහුට පිහිටා තිබූ බව එක්තරා ඡ්‍යොතිෂවේදියකු කලකට පෙර කියා තිබුණා මට මතකයි. ඇත්තටම තාත්තා ඡ්‍යොතිෂය විශ්වාස කළාද? විශ්වාස කළා. අපේ ආච්චිට පුළුවන් හොඳට හඳහන් බලන්න. ඒ කලේ ප්‍රේමදාස මහත්තයාට පවා ආච්චි අනාවැකි කිව්වා කවදා හරි රටේ නායකයෙක් වෙනවා කියලා. අගමැති වුණාට පස්සේ පිට තැනකට කියලා මුලින්ම කෑමකට ආවේ අපේ ගෙදර. මට මතකයි වෙනදා මොරිස් මයිනර් එකේ බතික් සරමයි, ෂර්ට් එකයි හැඳගෙන ඇවිත් තාත්තා එක්ක කතා කරලා ගිය ප්‍රේමදාස මහත්තයා එදා එන්නේ ස්කොට් එකත් එක්ක. කෑම පවා සෝදිසි කරනවා වෙන කෙනෙක්. පුංචි කොලු ගැටයෙක් හැටියට ඒවා සේරම මම බලාගෙන හිටියා. ආච්චිගේ අනාවැකිය හරි ගියා? ඔව්. තාත්තා, ආච්චිට කතා කරන්නේ ‘මම්මා’ කියලා. ප්‍රේමදාස මහත්තයා කතා කළෙත් ‘මම්මා’ කියලා. ප්‍රේමදාස මහත්තයා කෑම කන අතරතුරේ ආච්චිට කියනවා ‘මම්මේ, මම්මා කියපු තැනට මම ආවා, අනාවැකිය හරි’ කියලා. ඊළඟට මොකද වෙන්නේ කියලත් ඇහුවා. ආච්චි කිව්වා නෑ මෙතනිනුත් තව ඉස්සරහට යනවා කියලා. ඒ කියන්නේ ජනාධිපති පුටුවට යනවා කියලා. ප්‍රේමදාස මහත්තයා එතකොට කිව්වා ‘පිස්සුද මම්මේ මම වගේ කෙනෙකුට එතනට යන්න බෑ’ කියලා. ආච්චි කිව්වා ‘මම ජීවතුන් අතර ඉන්නේ නෑ. ඒත් ඒක වෙනවා’ කියලා. ඒ අනාවැකියත් හරි ගියානේ. ඡ්‍යොතිෂය කරුණු පදනම් කරගෙනයි ආච්චි එදා ඒ අනාවැකිය පළ කළේ. තාත්තාටත් ඒ හැකියාව, දැනුම තිබුණා. නමුත් ඔහු හඳහන ඔළුව උඩ තියාගෙන හිටියේ නෑ. තාත්තා සංගීතයටත් ඉතා ප්‍රිය කළ කෙනෙක්? පෑරුණු තාත්තාගේ හිත සුවපත් කළේ සංගීතය තමයි කියලා මට අද හිතෙනවා. තාත්තා ගීත ලිව්වා, කවි ලිව්වා. හොඳ ගී නිර්මාණ රස වින්දා. මට මතකයි එක්තරා කාලෙක අපේ නිවස රසගුලාවක්. තාත්තා රුක්මණී දේවිය එක්ක ‘දස්කොන්’ චිත්‍රපටයට ගීයක් ගයා තිබෙනවා. ඒත් කුමන හෝ හේතුවක් නිසා එය චිත්‍රපටයට ඇතුළත් වී නැති බවයි පෙන්නේ. ඒ වගේම ක්‍රිස්ටි ලෙනාඩ් එක්කත් තාත්තා ගීතයක් ගායනා කරලා තියෙනවා. ඒක අපට හම්බ වුණා. ඒ සේරම ‘ගාමිණී ගී මිණි’ කෘතියට ඇතුළත් කර තිබෙනවා. ඇත්තටම මේ කාර්යයේදී දයාන් විතාරණ සහෝදරයාගෙන් විශාල සහයෝගයක් ලැබුණා. දැන් මසකට වැඩි කාලයක ඉඳලා ඔහුගේ හැම තත්පරයක්ම ගෙවෙන්නේ මේ කාර්ය වෙනුවෙන්. ගාමිණී ෆොන්සේකා වැනි විශිෂ්ටයකුගේ එකම පුත්‍රයා වීම ගැන ඔබට තියෙන්නේ කොයි වගේ හැඟීමක්ද? ඒක ආඩම්බරයක් කියන්න බෑ. හැබැයි සංතෝෂයක් තියෙනවා. ගාමිණී ෆොන්සේකලා එක්කෙනයි හිටියේ. එයාට හිටියෙත් එක පුතයි. ඒක කෝටියකින් වත් කෙනෙකුට නොලැබෙන විරල භාග්‍යයක්. |