වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




හදවතෙන්ද මුහුණෙන්ද එකවිට කතා කළ අපූරු මිනිසා

 

හදවතෙන්ද මුහුණෙන්ද එකවිට කතා කළ අපූරු මිනිසා

ලාංකික සිනමාවේ සක්විති යනුවෙන් විරුදාවලි ලත් ගාමිණී ෆොන්සේකා අප අතරින් සමුගෙන වසර දහයක් සපිරෙන්නේ මේ තිස් වැනිදාටය. ගත වූ දස වසර ඇතුළත ලෝක සිනමාව සිය පරණ හැව අතහැර නව පිම්මක් ගැසුවේය. අපේ සිනමාව කොයි හැටි වෙතත් මෙරට තරුණ ප්‍රේක්ෂකයා ඒ පිම්ම හඳුනා ගෙන ඇත්තේය. එහෙත් දස වසරකට පසුව ද ගාමිණී ෆොන්සේකා නම් ප්‍රතිරූපය තවමත් ස්ථාවරව, උදාරම්ව නැඟී සිටියි. ගාමිණී ෆොන්සේකාගේ කිසිදු චිත්‍රපටයක් දැක නැති පරම්පරාවක් පවා ඔහු පිළිබඳ උදාරම්ව සිතයි. ඒ ඔහු පිළිබඳ පුරා වෘත්තයක් සේ කතා කරනු හෙයිනි. පුරා වෘත්තයක් බවට පත් වන්නේ වීරයන්ය. මේ රටේ එක් අවධියක සිනමාවේ වීරයා වූයේ ඔහුය. එසේ නම් ගාමිණී පුරාවෘත්තයක් ලෙස සැලකීම යුක්ති සහගත නොවන්නේ මන්ද? එදා ඔහු පිළිබඳ ගොඩ නැඟුණු ප්‍රතිරූපය ඔහුගේ මරණයෙන් පසුව ද වඩාත් දැවැන්තව හිතවතුන් හා රසිකයන් අතර සතරකන් හා සයකන් මන්ත්‍රණ සේ ඇරැඹේ. අනතුරුව ඒ මතවාද ඔහු ජීවමාන කරවයි. රට තොට ගලා යයි. ඒ සියල්ල ගොඩ නැගෙන්නේ හේතු සහගතවය.

ගාමිණී ෆොන්සේකා සිනමාට අවතීර්ණ වන්නේ අපේ සිනමාවේ හැරවුම් යුගයකය. ඔහුගේ සෙසු සමකාලීන නළුවන් මෙන් නොව ඔහුට සිය මුල්ම රංගනය චිත්‍රාගාරයක පවුරු මැද ආරම්භ කරන්නට සිදු වූයේ නැත. එමෙන්ම සෙස්සන් මෙන් නොව ගාමිණී දකුණු ඉන්දියානු චිත්‍රාගාරයක රඟපාන්නට ලැබුණේ නැත. ඔහු නළුවෙකු වන්නේ එක්තරා අහම්බයක් හැටියටය. එහෙත් දෙවනුව නළුවෙකු ලෙස වැඩෙන විට සිනමාකරණයේ සියලු ශිල්ප දැන සිටීමේ වාසිය ඔහුට තිබුණි. එය කිසි විටෙක වෙනත් නළුවෙකුට නොලැබුණු අවස්ථාවක් විය. ක්ෂණිකව යමක් උකහා ගැනීමේ අපූර්ව ශක්තියක් ගාමිණී ෆොන්සේකා සතු වූ වග ඔහු ගැන දන්නා සියල්ලන්ම පවසන කාරණාවකි. ඒ නිසාම විවිධ විෂයයන් පිළිබඳ දීර්ඝ ලෙස සංවාද කරන්නට ඔහුට හැකියාව තිබුණි.

මේ සියලු හැකියා ඔහුගේ සිනමාව ඔප කළේය. ගාමිණී ෆොන්සේකා මුල්වරට කැමරාවට මුහුණ දෙන්නේ රේඛාව චිත්‍රපටයේය. ඒ එළිමහන් දර්ශනයකය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘නිධානය’ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ඉන් දශක එකහමාරකට පසුවය. එහෙත් එතුමන් ගාමිණී නම් නිධානය සොයා ගත්තේ ‘රේඛාව’ සමඟය. එය නිධානයක් වූයේ හැටේ දශකයේ බිහිවන තරුණ සිනමාකරුවන්ගේ සිනමාවට අවශ්‍ය වූ නළුවකු හැටියට පමණක් නොව ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට හරහා නිෂ්පාදකවරුන්ට ඔහු මුදල් මවන යන්ත්‍රයක් වූ බැවිනි. ඔහු චරිතාංග නළුවෙක් බවට පත්වන ‘දෛවයෝගය’ චිත්‍රපටය තැනෙන්නේ උතුරු ඉන්දියාවේ එවකට පැවැති දැවැන්තම චිත්‍රාගාරයක් වූ ‘ප්‍රභාත්’ චිත්‍රාගාරයේය. එහි කටයුතු කළ බොහෝ තාක්ෂණ ශිල්පීන් බොලිවුඩ් සිනමාවේ එවකට නම් දැරූ සාමාජිකයන්ය. දෙවනුව ඩේවිඩ් ලීන් වැනි අග්‍රගණ්‍ය සිනමාකරුවෙකු යටතේ උපයා ගත් ඥානය ඔහු ඊළඟ පියවරේදී උපයෝගී කර ගත්තේය. ‘දෛවයෝගය’ සහ ‘සංදේශය’ යන චිත්‍රපට කාල පරාසයේ නළුවෙක් ලෙස ඔහු වැඩි දියුණු වන අයුරු මැදිහත්ව සිතා බැලිය යුතුය.

දක්ෂ නළුවෙකුට මළකඳක් සේ රඟපෑමට සිදු වුව ද එයින් සිය විශිෂ්ටත්වය ඉස්මතු කළ හැක්කේය. සංදේශයේ ප්‍රධාන චරිතය අබිබවා ‘තම්මිට’ නම් ගාමිණී රඟපෑ දෙවැනි චරිතය ඉස්මතු වන්නේ නළුවෙකුට සිය සීමා අතික්‍රමණය කළ හැකි බවට කදිම නිදර්ශනය සපයමිනි. බණ්ඩාර (ආනන්ද ජයරත්න) සහ සුමනා (කාන්ති ගුණතුංග) සංදේශයේ දෙබස්් සහිතව ප්‍රේම කරද්දී රූප රාමුවේ පසෙක නිහඬව මුර කරන ‘තම්මිට’ගේ චරිතය සියල්ල අබිබවා ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නේ එබැවිනි. වැලිකතරේ ගෝරිං මුදලාලිව ගොඩ නැගීම සඳහා තිරනාටකය මඟින් සපයා ඇති උපකාරක ඉතා බහුලය. එහෙත් වික්‍රම රන්දෙණියගේ චරිතය තිර නාටකයෙහි ගොඩ නැඟෙන්නේ එබඳු පුළුල් වපසරියක නොවේ. නළුවෙකු විසින් චරිතය ගොඩ නඟා ගැනීමේ අනභිභවනීය අවස්ථාවකට කදිම උදාහරණය වැලිකතරේ වික්‍රම රන්දෙණිය චරිත නිරූපණය යැයි මම විශ්වාස කරමි.

සිනමාකරුවකු ලෙස ඔහුගේ පුළුල් දැක්ම විසිහය වන වියේදී නිර්මාණය කරන ලද ‘පරසතු මල්’ හරහා ඉස්මතු වෙයි. ඒ වන විට සිනමාවේ ජනකාන්ත තරුව වන ඔහු බොනී මහත්තයා චරිතය මඟින් ද ‘පරසතු මල්’ අධ්‍යක්ෂණයෙන් ද තමන්ගේ අනාගතය පරදුවට තබන්නට මැළි නොවෙයි. ඉතිහාසය හරිහැටි විමර්ෂණය කළහොත් අපේ සිනමාවේ ස්වර්ණමය යුගය හැටේ දශකයයි. ලෝකයේ ජනප්‍රිය හා විශිෂ්ට චිත්‍රපට සමඟ තරඟ වදිමින් සිංහල චිත්‍රපට ඉදිරියට එන්නේ මේ යුගයේය. අලුත් අධ්‍යක්ෂවරුන් පිවිසෙන්නේ මේ යුගයේය. කාලයේ හැටියට හොඳම සිනමා ශාලා ඉදි වන්නේ මේ යුගයේය. සිනමා සංගම් හරහා නව ප්‍රබෝධයක් ගොඩ නැගෙන්නේ ඒ යුගයේය. ඉන්දියානු සිනමාකරුවන් අතෙන් සම්පූර්ණ කර්මාන්තයම අප ඩැහැ ගන්නේ ඒ යුගයේය. මේ අවධියේ ඇරැඹෙන ගාමිණී ෆොන්සේකා පුරාවෘත්තය දකින ප්‍රේක්ෂකයන් සමකාලීන ඉන්දියානු අනුකාරක සිනමා වීරයන් සිය රසික මානයෙන් දොට්ට දමන්නට දෙවරක් සිතන්නේ නැත. ඉන්දියානු අනුකාරකවාදී චිත්‍රපටයක වුව ද ගාමිණී ෆොන්සේකා අතෙන් ශ්‍රි ලාංකික තරුණයකුගේ චරිතය ඉස්මතු වනු වළක්වන්නට කිසිදු සිනමාකරුවකුට හැකි නොවීය. ඒ නිසාම ගම්පෙරළියේ ‘ජිනදාස’ මෙන්ම යුගාන්තයේ ‘සවිමන් කබලාන’ ද ඔහුය. නිධානයේ ‘විලී අබේනායක’ මෙන්ම චණ්ඩියා හි ‘චුට්ටේ’ ද ඔහුය. පරසතු මල් ‘බොනී මහත්තයා’ මෙන්ම සූරයන්ගෙත් සූරයා හි ‘ගාමිණී’ ඔහුය.

හුලවාලි හි ‘ධාරා’ මෙන්ම අමල් බිසෝ හි ‘බයිසා’, සාගරයක් මැද ‘මොලදණ්ඩ’ ඔහුය. ‘ආශා දෑසින්’ නන්දන ඔහුය. උතුමාණෙනි ‘සිරිපාල’, ධීවරයෝ ‘ප්‍රැන්සිස්’ ඔහුය. නොමියෙන මිනිසුන් ‘රණබාහු’ ඔහුය. සරුංගලේ ‘නඩරාජා’ ඔහුය. ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපටයක පවා ඔහු රඟපෑවේ ඔහු ඉස්මතු කලේ මිනිසුන්ට විශ්වාස කළ හැකි චරිත නිරූපණයකි. මේ නිසා සෙසු සූරයන්, වීරයන් අබිබවා ගාමිණී ෆොන්සේකාට විසිල් ගසන්නට සිනමා ශාලාව ඉදිරිපිට ප්‍රේක්ෂකයෝ පෙළ ගැසුණහ. චිත්‍රපට නිෂ්පාදනයේදී ඔහුට ලැබුණු සෑම වරප්‍රසාදයක්ම සෙසු ශිල්පීන්ට ද ලැබිය යුතු යැයි ගාමිණී අරගල කළේය. සූර චෞරයා චිත්‍රපටය රූගත කරද්දී ඔහු දඹුල්ලේ සිට එක්වරම අතුරුදහන් වන්නේ සෙසු සියලු ශිල්පීන්ට නවාතැන් දෙනතුරු තමා නැවත නොඑන වග දන්වමිනි. ගාමිණී ෆොන්සේකාට තමා රඟපාන චිත්‍රපටයකදී එබඳු අරගලයක් කළ හැකි වූයේ ඒ වන විට ඔහු සිනමා කර්මාන්තයේ ගොඩනගා ගත් අභිමානය හේතුවෙනි. එහෙත් එම අභිමානය එක් රැයකින් ගොඩනගා ගත්තක් නොවේ. එමෙන්ම කිසිවකු හෝ ඔහු හිසමත පටවන ලද්දක්ද නොවේ. ඔහු ඒ සඳහා කැපවිණ. සිනමාවේ මෝගල්වරු ඉදිරියේ කිසි කලෙකත් දණ නොනැමූ ඔහු, ඉන් එහා දේශපාලන ලෝකයේ ද කවර බලවතකුට හෝ සිය හිස පාත් නොකළේය. සිනමා නිර්මාණයෙහි ඔහුගේ තිබූ අභිමානය පෞද්ගලික ජීවිතයේ ද ඔහු විදාහරණය කළේය.

තම මතවාදය පෞද්ගලිකව කවර තරම් අවාසිදායක වුව ද ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ගාමිණී ෆොන්සේකාට හැකියාව තිබුණි. එකල ගාමිණී පිළිබඳ බරපතළ විවේචන කළ අය පවා ගාමිණීගේ දුරදක්නා ඥානය පිළිබඳ පසු කලෙක අගය කළහ. සිනමා කෘතියක් දුර්වල අධ්‍යක්ෂවරයකුගෙන් ගලවා ප්‍රේක්ෂකයන්ට දායාද කරදීමේ හැකියාව ඇති නළුවන් අද පවා අපේ සිනමාවේ විරලය. එය වඩා දැනෙන්නේ ගාමිණී ෆොන්සේකා මිය ගොස් වසර දහයක් ගත වනවිටය. ඔහු ‘උතුමාණනි’ නිර්මාණය කරන්නේ අපේ සිනමාකරුවන් එබඳු අභියෝග ගැන සිතන්නටත් පෙරය. ඔහු කිසි විටෙකත් රසිකයන් ඉල්ලන නිසා නිර්මාණවලට අත තිබ්බේ නැත. අපූර්ව වස්තු නිර්මාණයෙන් අලුත් අත්දැකීමක් ඉස්මතු කිරීම ඔහුගේ අභිප්‍රාය විය. ගාමිණී ෆොන්සේකා පිළිබඳ ලියන්නට ලැබෙන ඉඩකඩ සීමා කරන්නට සිදුව ඇත. එහෙත් වසරින් වසර ගාමිණී ෆොන්සේකා සෑම විටම අලුත් අර්ථකථන රැගෙන අප හමු වන්නේය.

ඔහුගේ ජීවිතයේ අවසාන දශකයේ ඉතා සමීපව ඇසුරු කිරීමේ භාග්‍ය මට ලැබුණි. මුලින් මා ඔහුට සමීප වූයේ කිසියම් තැති ගැන්මකින් යුතුවය. ඒ ඔහු පිළිබඳ ගොඩ නැඟී තිබූ දැවැන්ත ප්‍රතිරූපයත් සමගය. එහෙත් මගේ ජීවිත කාලයේ මට හමු වූ හෘදයාංගම වැඩිහිටියන් අතරෙන් කෙනෙක් බවට ඔහු පරිවර්ථනය වූයේ නොදැනුවත්වමය. එකී කාලය ඇතුළත ලෝකය පිළිබඳ, සිනමාව පිළිබඳ ඉර, සඳ, අහස, තරු පිළිබඳ, මිනිසුන් පිළිබඳ අපි කතා කළෙමු. ස්වරයක මිහිරියාව, විනිවිදව ජීවිතය දකින හැටි මම ඉගෙන ගත්තෙමි. හදවතෙන් ද, මුහුණෙන් ද එකවර කතා කරන මිනිසෙකු හඳුනා ගතිමි.

ඔහුගෙන් සමුගෙන අප ආපසු එන්නේ මැදියම් රැයේය. ඒ වන විට නිවස අසල වැලෙහි සමන් පිච්ච මල් පිපී තිබේ. ඒ මල් දෝතක් නෙළන ඔහු ආපසු යන විට රැගෙන යන්නට එය තිළිණ කරයි. එතුවක් රෑ නිදි මරමින් සිටි අපේ ආයතනයේ රියැදුරාට ද ඒ මල් මිටක් ලැබෙන්නේ ඔහුගේ අතෙන්මය. අද ද සමන් පිච්ච මල් සුවඳට මා ඉතා කැමැතිය. එය විඳින සෑම විටම ඒ මල් නෙළා දුන් ආදරණීය, ප්‍රතාපවත් මිනිසා මා සමීපයේ සිටින්නේය යන හැඟීම නිරතුරු මා පෙළන බැවිනි.