වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




හෙළ සිනමාවට මිණි කැටයක් වූ මගේ වීරයා, ගාමිණී අයියා.....

හෙළ සිනමාවට මිණි කැටයක් වූ මගේ වීරයා, ගාමිණී අයියා.....

නිළි රැජන මාලිනිය සක්විති මතකය සමඟ

ඔහු සිනමා සක්විතිය. ඇය නිළි රැජනය. අපේ සිනමාවේ අසිරිමත් යුගයක් සනිටුහන් කළ ගාමිණී, මාලිනී සුසංයෝගය පිළිබඳ ප්‍රේක්‍ෂක මතකයේ ඇත්තේ කිසිදා නොමියන සොඳුරු මතකයකි. විශිෂ්ටත්වයත්, විචිත්‍රත්වයත් එක්තැන් කරමින් රිදී තිරය මත ඔවුන් පෑ රංග ප්‍රතිභාව එතරම්ම චමත්කාරය. විශ්මිතය.

විටෙක ගුරුවරයකු ලෙසින් ද, වැඩිමහල් සොහොයුරකුª ලෙසින් ද, අපූර්ව ගමන් සගයකු හා ළබැඳි මිතුරකු ලෙසින් ද සිය රංගන දිවි මගේ සෙනෙහසින් අත්වැල් බැඳ සිටි ඒ දයාබර සහෘදයා පිළිබඳ මාලිනිය තුළ ඇත්තේ අතිශය ගෞරවනීය හැඟීමකි. දිවි රඟ මඬළෙන් නික්ම දස වසක් සපිරෙන මොහොතේ ගාමිණී ෆොන්සේකා නමැති ඒ අප්‍රමාණ මිනිසා පිළිබඳ ඈ යළි මෙනෙහි කරන්නේ එකී ගෞරවනීය සෙනෙහසට උපහාරයක් විලසිනි.

ගාමිණී ෆොන්සේකා රංගනයට අවතීර්ණ වන්නේ මා රංගන වරම් ලැබීමට පෙරාතුවය. රසිකයන් එකල සිනමා නළු, නිළියන් හඳුන්වනු ලැබූයේ වීරවරයන් හා වීරවරියන් ලෙසිනි. අපේ සිහින විජිතයේ කිරුළු පැලඳ සිටි මහා වීරයා වූයේ ගාමිණී ෆොන්සේකාය. වීරවරිය වූයේ රුක්මණී දේවීය. පසු කලෙක “ගාමිණී අයියා” හා “ඩේසි අක්කා” කියා ඔවුන් අමතන්නටත්, ඉතා ළෙන්ගතුව ඇසුරු කරන්නටත් තරම් මා භාග්‍යවන්තියක වෙතැයි එදා මට නිකමටවත් සිතුනේ නැත. එහෙයින් මෙතැන් සිට මම ගාමිණී ෆොන්සේකා නමැති ඒ වීරයා “ගාමිණී අයියා” ලෙස සහෘදාත්මකව අමතමි.

මුල්වරට මා ජීවමාන ලෙස ගාමිණී අයියා දුටුවේ විජය චිත්‍රාගාරයට ගොස් සිටි අවස්ථාවකය. ඒ වන විට මා චිත්‍රපට දෙක, තුනක රඟපා තිබුණි. එකල දෙබස් පටිගත කිරීම් සඳහා මා බොහෝ විට පියමං කළේ විජය චිත්‍රාගාරයටය. දිනක් එහි ඉදිරිපස මාවත දිගේ පිය ඔසවන මේ ප්‍රතාපවත්, යෞවනයාගේ රුව මා නෙත ගැටුනේ අහම්බෙනි. ඒ අනපේක්‍ෂිත මොහොත කිසිදා මා මතකයෙන් බැහැරව නොයනා වග මට විශ්වාසය.

ගාමිණී අයියා සමඟ මා රඟපෑ මුල්ම චිත්‍රපටය “පාරා වළලු” ය. එහි මුහුරත් උළෙල පැවතියේ ද විජය චිත්‍රාගාරයේ බව මට මතකය. එදින දිවා ආහාරය පිළියෙල කර තිබුණේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සයිමන් මරවනාගොඩගේ නුවර පිහිටි නිවෙසේය. අපට සපයා තිබූ වාහනවලට නැඟී අපි නුවර බලා පිටත්ව ගියෙමු. එය අප සැමට අතිශය පී‍්‍රතිමත් දිනයක් විය. එකිනෙකා දැන හඳුනා ගනිමින් සතුටු සාමිචියේ යෙදී සිටි මොහොතක ගාමිණී අයියාද මා හා වදනක්, දෙකක් දෙඩූ බව මට මතකය. එහෙත් අප දෙදෙනා වඩාත් කුළුපග වූයේ “පාරා වළලු” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරය.

රූගත කිරීම් අතරවාරයේ අප ගමන්ගත් මෝටර් රිය හිටි අඩියේ රේල් ගේට්ටුවක් ආසන්නයේ නතරවිණ. සැනෙකින් සෙනඟ රොත්තක් මෝටර් රිය වටකර ගත්තේ ගාමිණී අයියා එහි සිටි වග දුටු නිසාවෙනි. ගාමිණී අයියා ඉදිරි අසුනේ සිටි අතර මා සහ මගේ මව අසුන් ගෙන සිටියේ පසු පසය. හදිසියේම එක් කොලු ගැටයකු මා කවුරුන්දැයි ගාමිණී අයියා ගෙන් විමසූ විට ඒ ‘මාලිනී ෆොන්සේකා’ යැයි ඔහු පිළිවදන් දුන්නේය. ‘නෑ කෙනෙකුදැයි’ නැවත අර කොලු ගැටයා විමසන්නට වූයේ අප දෙදෙනාම ‘ෆොන්සේකලා’ වීම නිසා හටගත් කුහුළින් යුතුවය. “නෑ මෙයාව මම නෑ කමට ගත්තා” යැයි ගාමිණී අයියා එක්වරම පැවසූයේ මදෙස බලා ඇසක් ද ඉඟි මරමිනි. ඒ ඔහුගේ හැටිය. සැනෙකින් හාස්‍ය, උපහාසය මතු කිරීමේ කතා විලාසයක් උපතින්ම ඔහුට පිහිටා තිබුණි.

එතැන් පටන් ගාමිණී අයියා හා මා අතර ඇති වූයේ දැඩි මිතුරු දමකි. එමෙන්ම සොයුරු පෙමකි. මා පෞද්ගලික දිවියේ නොයෙකුත් අවාසනාවන්ත, වේදනාකාරී, කටුක අත්දැකීම්වලට ලක්වූ අවස්ථාවලදී ඔහු නොයෙක් උපදෙස් හා අවවාද අනුශාසනා දෙමින් මා දිරිමත් කළේ, දයාබර පියකු විලසිනි. සිනමා නිළියකට සාමාන්‍ය කාන්තාවකට වඩා ජීවිතයේ බොහෝ බාධක, අභියෝග එල්ලවන බැවි හා ඊට මුහුණ දිය යුතු ආකාරය මට පසක් කර දුන්නේ ගාමිණී අයියා ය.

නළුවකු හෝ නිළියක තම ආත්ම අභිමානය රැකගෙන ජීවත් විය යුතු බව අපට කියා දුන් පරමාදර්ශී චරිතය ඔහුය. දර්ශන තලයේ මෙන්ම ඉන් පිටතත් ගෞරවනීයව හා විනය ගරුකව හැසිරිය යුතු බව ඔහු අපට පෙන්වා දුන්නේ පුරසාරමෙන් නොව ආදර්ශයෙනි. එහි සීමා මායිම් ඔහු අපට පසක් කැර දුන්නේ සහෝදරාත්මක, ළෙන්ගතු හැඟීමෙන් යුතුවය. රංගන ශිල්පියා හා ප්‍රේක්‍ෂකයා අතර තිබිය යුතු සීමාවන් ද ඔහු අපට අවබෝධ කර දුන්නේය. නිරන්තරයෙන් ප්‍රේක්‍ෂකයාට ගරු කළද ගාමිණී අයියා උත්සාහ කළේ ඔවුන්ගෙන් මදක් දුරස්ව හිඳින්නටය. ඒ ‘නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමලය සුදු යැයි’ යන කියමනට අනුකූලව ඔහු ජීවත් වූ බැවිනි. “තරු ගුණය” රැක ගත හැකි වන්නේ එවිට යැයි ඔහු විශ්වාස කළේය.

මෙතෙක් ලාංකේය සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය “නිධානය” බැව් බොහෝ විචාරකයන් පවසති. එහි විලී අබේනායක ගේ චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා නමැති මහා රංගවේදියාය. ‘අයිරින්’ නමැති චරිතය නිරූපණය කරනු ලැබුවේ මවිසිනි. එය අපේ සිනමා වංශයේ රන් අකුරින් ලියැවුණු චිත්‍රපටයක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයන් අතර එම චිත්‍රපටයේ මාලිණී ෆොන්සේකාද සිටි වග සිහිපත් වන විට සිතට නැඟෙන්නේ සියුම් ආඩම්බරයකි. අසීමිත සතුටකි. ‘නිධානය’ යනු අපේ සිනමාවට “නිධානයක්” ම වූ බැව් මාගේ අදහසය.

එහි එක් උද්වේගකර අවස්ථාවක් මට සිහිපත් වන්නේ නිරායාසයෙනි. ඒ විලී අබේනායක කපුවකු සේ පරලව අයිරින්ට කිණිස්සෙන් අනින දර්ශනය ඇතුළත් රූප රාමුවයි. ඔහු කිණිස්සෙන් අනින්නට සැරසෙන විට මා කෑගසමින් නැගී සිටිය යුතුය. එය ඉතාමත් සාර්ථකව රූ ගැන්වුණද ගාමිණී අයියා පසු වූයේ තරමක් තැති ගත් විලසකිනි. ඉද්ද ගැසුවාක් මෙන් මා පපු පෙදෙස ඔසවද්දී කිණිස්ස නතර වූයේ එහි ගෑවෙන, නොගෑවෙන පරිදිය. තවත් දශමයක් හෝ එහා මෙහා වූවා නම් ඒ කිණිසි පහරින් මා ළය මඬල සැබෑවටම පසාරුව යන්නට හොඳටම ඉඩකඩ තිබුණි.

ජනපි‍්‍රය සිනමාවේ ගාමිණි අයියා සමඟ මා හට රඟපාන්නට ලැබුණේ පෙම් චරිතය. සැබැවින්ම ගාමිණී, මාලිනී යුගයක් පවා නිර්මාණය වීමට තරම් අසීමිත ප්‍රේක්‍ෂක ආකර්ෂණයකට අප පත් වූයේ එබඳු චිත්‍රපට නිසාවෙනි. “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටයේ ‘කොයි යන්නේ බඳ නලවාලා’ ගීතමය ජවනිකාවට ඔහු එක් කළ අපූර්ව රංගනය අදත් මා මතකයේ රැඳී පවතී. ඉඟ, සුඟ නළවමින් මා පසුපස එමින් ඔහු පෑ ඒ නර්තන විලාශයන් තවමත් ප්‍රේක්‍ෂක මතකයෙන් බැහැරව ගොස් නැත.

එම චිත්‍රපටයේ මා නිරූපණය කරනු ලැබුවේ දඟකාර, කෙළිලොල් යුවතියකගේ චරිතයකි. මා නිවසින් පැන ගොස් සිටිනා විට බලහත්කාරයෙන් මා නිවස වෙත ගෙනත් හැරලවන්නේ ගාමිණීය. දකුණතින් මා ඔසවා කර මත ගෙන යන අතරේ ඔහු මගේ තට්ටම් ප්‍රදේශයට පහරක් එල්ල කළේ තරමක් දැඩිවය. ඒ අසලින් සිටි ඇන්තනී සී. පෙරේරා “බුදු අම්මෝ මස්කට් කෑල්ලකට ෆුට් රූලෙන් ගැහුවා වගේ” කියා මහ හඬින් පැවසුයේ අප සැම සිනා සයුරේ ගිල්වමිනි.

ගාමිණී ෆොන්සේකා අපේ සිනමාවේ එදා මෙදාතුර බිහි වූ අසාමාන්‍ය පෞරුෂයකින් හෙබි රංගන ශිල්පියකු සේ මම දකිමි. ඔහුගේ එක බැල්මකට, සිනහවකට ළංවිය හැකි නළුවකු එදා සිටියේ නැත. අද ද නැත. මතුවට බිහි නොවනා වගද විශ්වාසය. කඩවසම්, සුකුමාර නළුවන් මෙන්ම සටන්කාමී ජවයෙන් හා පෞරුෂයෙන් පිරිපුන් නළුවන් අතර ගාමිණී අයියාට තිබුණේ ඔහුටම ආවේනික වූ පෞරුෂයකි. එහෙයින් ගාමිණී ෆොන්සේකා සමාන කළ හැක්කේ ගාමිණී ෆොන්සේකාටම පමණකි.

ගාමිණී ෆොන්සේකා අනුකරණය කිරීමට එකල බොහෝ තරුණයන් උත්සුක වූ අයුරු මට මතකය. ඔහු මෙන් හිස කෙස් පීරන්නටත්, ඇඳුමෙන් සැරසෙන්නටත් ඔවුන් තුළ වූයේ එක්තරා විදිහක උන්මාදයකි.

ගාමිණී අයියාගේ රංගන ප්‍රතිභාවේ වැදගත්ම අංගයක් සේ මා දකින්නේ ඔහු සතුව තිබූ හඬ පෞරුෂයයි. ඒ ගැඹුරු හඬ ඔහු සිය රංගන කාර්යයේදී අදාළ චරිතයට අනුව හසුරුවා ගත්තේ විශ්මිත අයුරිනි. චණ්ඩි චරිත මෙන්ම නොණ්ඩි චරිතද, ගැඹුරු චරිත මෙන්ම විකට චරිතද, පෙම් චරිත මෙන්ම දුෂ්ට චරිතද ගාමිණී අයියාට අභියෝගයක් හෝ අරුමයක් නොවීය. ඔහු ඒ සියල්ලටම එකසේ සාධාරණය ඉටු කළේය.

ලොව ඕනෑම විශිෂ්ට නළුවකු හා කරට කර රඟපෑමේ හැකියාව ගාමිණී අයියා සතුව තිබුණි. ලංකාව දූපතක් නොවී, කුඩා සිනමා කර්මාන්තයක් නොවී තිබුණා නම් ගාමිණී ෆොන්සේකා පිළිබඳ මාලන් බ්‍රැන්ඩෝ, පෝල් නිව්මන්, ෂෝන් කොනරි, තරමටම හෝ ඊටත් වැඩියෙන් ජාත්‍යන්තර කරළියේ කතිකාවතක් ගොඩ නැගෙනු නියතය.

විවිධ බලවේගයන් විසින් අප ඈත් කරවූ අවස්ථාවන් සිහිපත් වන විට මේ මොහොතේ පවා සිතට නැගෙන්නේ කිසියම් වේදනාවකි. කාලයක් පුරාවට ගාමිණී අයියාත්, මමත් එකට රඟපෑවේ නැත. එය මට මෙන්ම සිනමා කර්මාන්තයට ද සිදු වූ පාඩුවකැයි කියා අද මට සිතේ. එයට වගකිව යුතු පාර්ශවයන් සිටියද අතීතයේ ගත් එබඳු වැරැදි තීරණ පිළිබඳ මම දැන් පසුතැවිලි වන්නෙමි.

කෙසේ වෙතත් පසු කාලයේ අපි යළිත් පෙර මෙන් සුහදව, මිත්‍රශීලීව ඇසුරු කළෙමු. හැම දිනකම උදය වරුවේ දුරකථනයෙන් කතා බස් කිරීම අප දෙදෙනාගේම පුරුද්දක්ව තිබුණි. ඔහු ලියූ කවි, ගීත ටෙලිෆෝනයෙන් මා හට පවසන්නේ “මම ඊයේ කවියක් ලිව්වා හොඳද බලන්න” යනුවෙන් ඉල්ලීමක් ද කරමිනි. දේශපාලනය, පතපොත ගැන නිරන්තරයෙන්ම ඔහු මා හා කතා කළ අයුරු තවමත් මා මතකයේ රැඳී තිබේ. පසු කලෙක හෝ එකිනෙකා අතර පෙර තිබූ මිත්‍රත්වය, සහෝදරත්වය එලෙස බෙදා හදාගන්නට ඉඩකඩ ලැබීම පිළිබඳ ඇත්තෙන්ම මම අද සතුටු වෙමි.

ඇතැමෙකුට සැර පරුෂ, ආඩම්බර අයකු යැයි හැඟුණ ද ගාමිණී අයියා එබඳු පුද්ගලයකු නොවීය. එහෙත් ඔහු ජීවත් වූයේ ප්‍රතිපත්ති ගරුකවය. කෙතරම් දැවැන්තයකු වුවද ඔහුගේ ඇතුළාන්තයේ ජීවත් වූයේ කුඩා දරුවෙකි. ඒ බව ඔහු ළඟින් ඇසුරු කළ අයට රහසක් නොවේ. ගාමිණී ෆොන්සේකා හෙළ සිනමාවේ අමිල මිණි කැටයක් බව අවසන් වශයෙන් පවසන්නේ හදවතට එකඟවමය.