වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පැපරාසි යනු චිත්‍රපට චරිතයක්

පැපරාසි යනු චිත්‍රපට චරිතයක්

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

කලා ලොවේ සොඳුරු මතක, සිත් ගත් දේ සටහන් වෙන තැන පුදුම හතයි. අද සරසවිය පුදුම හතට පැමිණියේ සුවිශේෂ චරිතයක්.

ඔහු ලේඛකයකු, නවකතා රචකයකු, විචාරකයකු මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුයි.

ඔහු අද පුදුම හතට පවසන්නේ සිනමාවේ තම හද බැඳගත් අපූරුතම සිනමා නිර්මාණ හතක් පිළිබඳවයි. ඒ වෙනුවෙන් ඔහු තෝරා ගත්තේ අන්තර්ගතය, ශිල්පීය ධර්ම, අධ්‍යක්‍ෂණය හා රංගනය ආදී වශයෙන් වූ විෂයන් වෙත අවධානය යොමු වූ යුරෝපීය හා අමෙරිකානු සිනමා නිර්මාණ හතක්.

Citizen Kane

ප්‍ර‍්‍රංශ චිත්‍රපට අධ්‍යක්‍ෂ පංශුවා ටෲෆො නිතරම සඳහන් කළ ආකාරයට 1940 න් පසුව සිනමාවේ සිදු වූ සෑම දෙයකටම අනුප්‍රාණය ලැබුවේ Citizen Kane චිත්‍රපටයෙනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන චාල්ස් ෆොස්ටර් කේන් මිය යන්නේ රෝස් බඩ් (Rose Bud) යන වචන දෙක පවසමිනි.

පුවත්පත් වාර්තාකරුවකු එම වචන දෙකෙහි තේරුම සෙවීමට ගන්නා උත්සාහය මෙම චිත්‍රපටය පුරාම දක්නට ලැබේ. එහිදී සම්මුඛ සාකච්ඡා, වාර්තා, ලිපි ලේඛන ඔහු විසින් භාවිතයට ගැනෙනවා.

කේන් යනු කෝටිපතියෙකි. ප්‍රධාන පුවත්පත් ඇතුළු වෙළෙඳ ව්‍යාපාරවලින් විශාල ධනයක් උපයා ගත්තෙකි. එහෙත් ඔහුගේ විවාහ ජීවිතය අසාර්ථක වූවක්.

ඔහු මිය යන්නේ ද තනිව හුදකලා කාමරයක යි. සිනමාවේ රූප මාධ්‍ය මෙතරම් ප්‍රබලව යොදා ගත් වෙනත් චිත්‍රපටයක් නොමැති තරම්ය. විචාරකයන්ගේ අදහස වෙන්නේ ද මිනිත්තු 119 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ එකදු දුර්වල ස්ථානයක්වත් නොමැති බවයි.

Ben Hur

අර්ධ වශයෙන් බයිබලයෙන් ගත් කතා පුවතක් පාදක කරගත් බෙන්හර් නිර්මාණ කිහිපයක් නිහඬ චිත්‍රපට ගොන්නෙහි දකින්න ලැබුණා. නමුත් මෙහිදී වැඩි අවධානයක් වෙන්නේ 1959 – 60 වසරවල එම්. ජී. එම්. සමාගම සඳහා විලියම් වයිලර් තැනූ චිත්‍රපටය කෙරෙහිය.

මෙහි ප්‍රධාන චරිතය රඟනු ලබන්නේ චාර්ල්ස් මෙස්මන්ය. තම මිත්‍රයාගේ ඇවටිල්ල මත කුඩා බෙන්හර් රජයේ ඔත්තුකායෙක් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.

එහෙයින් ඔහුගේ මිත්‍රයා වූ ජෙරුසෙලමේ පාලකයා විසින් ඔහු වහල් බවට පත්කර පවුලේ අය ද සමඟින් පිටුවහල් කර දමයි. එහෙත් පසුව රෝම කොන්සල් වරයකුගේ ජීවිතය බේරා ගැනීම නිසා ඔහුට වහල් බවින් නිදහස ලැබ පිටුවහල් කර සිටි තම මව සහ පෙම්වතිය ද සොයා ගැනීමට හැකි වෙයි.

දර්ශන කිහිපයක දී ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ද මෙම චිත්‍රපටයේ දකින්න ලැබෙනවා. ප්‍රේක්‍ෂකයන්ගේත් විචාරකයන්ගේත් ඉමහත් ප්‍රශංසාවට ලක්වූයේ මෙහි එන අශ්ව රථ ධාවන තරගයයි. තාක්‍ෂණික වශයෙන් ඉහළ මට්ටමක පවතින මෙම චිත්‍රපටය ඇකඩමි ත්‍යාග එකොළහකින් පිදුම් ලැබූ එකම තනි චිත්‍රපටය ලෙසයි හැඳින්වෙන්නේ.

Last Tango in Paris

බර්නාඩෝ බර්ටොලොචි නම් වූ ඉතාලි අධ්‍යක්‍ෂවරයාගේ මෙම චිත්‍රපටය සැලකෙන්නේ ලිංගිකත්වය සෘජුවම සිනමාවට ගෙන ආ සිනමා මාධ්‍යයේ කොටු වී තිබූ මානයකට නිදහස ඇති කරන්න දායක වූ නිර්මාණයක් ලෙසයි. එම චිත්‍රපටය පිළිබඳ බරපතළ විවේචන පවා එකල යුරෝපයේ ඇති වුණා. ඒ වගේම සමහර රටවල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ ද ඇතැම් දර්ශන කපා දමමිනි.

මෙහි ප්‍රධාන චරිතය රඟ පෑ මාලන් බ්‍රැන්ඩෝ ගේ විශිෂ්ට රංගනය ද කිසිවිටෙක අමතක කළ නොහැකි එකක්. එහිදී සිය බිරිඳගේ දේහය ඉදිරියේ ඔහු වැළපෙන්නා වූ ආකාරය විශේෂ වෙනවා. නමුත් මෙහි ප්‍රධාන නිළිය ලෙසින් රඟ පෑ මාරියා ස්නයිගර්ගේ රංගනය එතරම් උසස් මට්ටමක පැවතියේ නැහැ.

Last Tango in Paris සමකාලීන ඉහළ මධ්‍යම පාන්තික ප්‍රංශ සමාජයේ ගති ස්වභාව නිරූපණය කරන්නා වූ එමෙන්ම කාලීන සාමාජික මංගලාභාවය වටහා ගැනීමට ද හැකි චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන්. මෙහි අවසානය දුක්ඛාන්තයක් වුවත් එමඟින් චිත්‍රපටයේ අන්තර්ගතයට නව මානයක් මෙන්ම නව අරුතක් එක් කරන බව කිව යුතුයි.

Cinema Paradiso

සිනමාවේ සුන්දර අතීතය පදනම් කරගත් චිත්‍රපටයක් වන මෙය රූපවාහිනියේ ආගමනයට පෙර චිත්‍රපටය ජන ජීවිතයට බල පෑ ආකාරය දැක්වෙන අපූරු චිත්‍රපටයක්.

කාන් චිත්‍රපට උළෙලක දී විශේෂ ජූරි සම්මානයත් ඔස්කාර් චිත්‍රපට උළෙලක දී හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානයත් දිනා ගත් මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ ගමක තිබූ චිත්‍රපට ශාලාවක් වැසී යාම පිළිබඳ වූ කතාන්දරයකි.

එකල චිත්‍රපටය වටා සමාජය ගොඩනැගී තිබූ ආකාරයත් සිනමාව සමාජය කෙරෙහි බල පෑ ආකාරයත් සිනමාවට ලැදි හා එයට කැප වී සිටි ළමයකු බවට පත් වූූ මිනිසකු පිළබඳ කතා පුවතක් මෙහි ඇතුළත් වේ.

La Dolce Vita

ෆෙඩ්‍රිකෝ ෆෙලනි ජත්‍යන්තර කීර්තියට පත් සිනමාකරුවකු බවට පත් වෙන්නේ මෙම සිනමා නිර්මාණයත් සමඟයි. මෙහි එන ඡායාරූප ශිල්පියාගේ චරිතය හැඳින්වූයේ පැපරාසෝ (Paparazzo) නමිනි. පැපරාසි යන වචනය පුවත්පත් කලාවට හා ඡායාරූප කලාවට පිවිසෙන්නේ ද මෙයින් පසුව වීම විශේෂයකි.

විචාරකයන් පැහැදිලි කළ ආකාරයට ෆෙලනි මෙම චිත්‍රපටයෙන් අදහස් කළේ සමාජයේ පවතින සදාචාරාත්මක පිරිහීමත් අධ්‍යාත්මික මං මුලාව පැහැදිලි කිරීමත්ය. ඔහු ඒ සඳහා පසුබිම් කර ගත්තේ ඉතාලි සමාජය යි.

මරිසෙල්ලා මැස්ත්‍රොයානි ප්‍රධාන චරිතය රඟ පෑ මෙම චිත්‍රපටයට පසුබිම් වෙන්නේ ප්‍රධාන චරිතය සතියක පමණ කාලයක් තුළ සමාජයක ගත කරන ජීවිතය යි.

එමෙන්ම මෙහි අවසානය දැක්වෙන්නේ හෙලිකොප්ටරයක් මඟින් ගෙන එන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ පිළිරුවක් මැඩෝනාගේ දැක්මක් ලෙස ඉදිරිපත් කිරීමෙනි. චිත්‍රපටය කුළුගැන්වෙන්නේ මෙම සිදුවීමයි.

Triumph of the Will

1934 වසරේදී ලෙනී රුෆෙන්ස්ටාල් විසින් නිර්මාණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයට පදනම් වූයේ නියුරම්බර්ග් නුවර පැවැති නාසි සම්මේලන වාරය පිළිබඳ වාර්තාවයි.

ජර්මානු ජනතාව කෙරෙහි විශේෂ බලපෑමක් කළ ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් වන මෙය ලොව තැණුනු හොඳම වාර්තා චිත්‍රපට අතර වැදගත් වූ එකක් ලෙස ද සැලකෙනවා. මෙහි අඩංගු වූ ප්‍රචාරාත්මක ගුණය නිසා එය එංගලන්තය ආදී වූ රටවල් කිහිපයකම ප්‍රදර්ශනය වූයේ ද නැත.

සමහර බ්‍රිතාන්‍ය විචාරකයන් සඳහන් කළ පරිදි මෙම චිත්‍රපටයේ ජර්මන් සොල්දාදුවන් දක්වා ඇත්තේ ලෝකය බේරා ගැනීමට පැමිණි දෙවියන් ලෙසටයි. එම සම්මේලනය සඳහා හිට්ලර්ව රැගත් ගුවන් යානය වලාකුළු අතරින් පැමිණීම ද්වනිත කරන්නේ එය බවත් ඔවුන්ගේ අදහසයි.

චලන කැමරා 30 ක් සහ ශිල්පීන් 120 ක් මෙම නිර්මාණයේදී යොදා ගෙන තිබෙනවා. මෙහිදී දුර රූප යොදා ගත් ආකාරය අර්ථ ගැන්වීම සඳහා අපූරු ආකාරයකට සංස්කරණය කර තිබීමත් විශේෂයි. රූප සංස්කරණ රිද්මයත් රූප රිද්මයත් සමඟ මුසු වූ සංගීතය හා හඬ චිත්‍රපටයට විශේෂ ආනුභාවයක් එක් කරනවා.

The Godfather

1972 වසරේ දී ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා විසින් නිර්මාණය කරන ලද මෙහි මාෆියා සංවිධානයක ප්‍රධානියා ලෙස සැලකුණු දොන් විටෝ කොරලියෝනි හා ඔහුගේ විරුද්ධකාරයා අතර ඇති වන පළිගැනීම්, පවාදීම් ආදිය පදනම් කරගත් කතා පුවතක් ඇතුළත් වේ.

අමෙරිකානු පාතාලය පසුබිම් කරගෙන මෙය නිර්මාණය කර තිබේ. මෙම චිත්‍රපටයේ විශේෂත්වය සමඟින් විචාරකයන් පිළිගන්නේ සාම්ප්‍රදායික හොලිවුඩ් සාරධර්ම මෙන්ම තරු සංකල්පය ඉස්මතු කිරීමයි. සමහර අයගේ මතය වී ඇත්තේ මාලන් බ්‍රැන්ඩෝ ගේ රඟපෑම මතම මෙය ජනපි‍්‍රය වූ බවයි.

ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන තුනක් හිමි වූ හා නිර්දේශ දහයකට ලක් වූ මෙම චිත්‍රපටය ඉපැයූ ලාභයත් සමාජය කෙරෙහි මෙම චිත්‍රපටය තුළ බලපෑමක් හේතු කොට ගෙන ඉන් ඉක්බිතිව ගෝඩ් ෆාදර් 2 සහ 3 වශයෙන් චිත්‍රපට නිර්මාණය වුණා. එමෙන්ම ඉහළ පන්තියේ මැරයන්ගේ ජීවිත පදනම් කරගත් ක්‍රියාදාම චිත්‍රපටවලදී මෙය ආදර්ශයක් වූ බව ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා.