‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටයට අලුත් කතාවක්
‘ස්ලම්ඩෝග් මිලියනර්’
චිත්‍රපටයට අලුත් කතාවක්
අපේ දිරිය ගැහැනිය
ලක්ෂ විස්සක
ජය කනුව
අත ළඟ
චන්දිමා පතිරගේ
ස්ලම්ඩෝග් මිලියනර් කතාව තවදුරටත් චිත්‍රපටයක් නොවේ. එය පසෙක දැමිය හැකි විශ්මය ජනක
කතක් අපේ ටෙලිවිෂනය ඉදිරියේ සිටින්නීය. සුපිරි තරු එක් රැයකින් අනුන්ගේ මනාපයෙන්
බිහි වන ලෝකයක තමන්ගේ දැනුමෙන් ඇය මෙරට ටෙලිවිෂන් ප්‍රේක්ෂකයා මොහොතකට ගල් ගැසුවාය.
ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයේ එන කුඩා දරුවා පිළිබඳ කම්පනයෙන් එය නැරැඹූ අප ඔබ ද
ලක්ෂපති මම ද ලක්ෂපති වැඩ සටහන හමුවේ කඳුලු පුරවා ගෙන බලා සිටියේ ඇයගේ ඉරණම විසඳෙන
අන්දම ගැනය.
එය දෛවයේ නියමය ලෙස සුලු කොට තැකිය නොහැකිය. ඒ දැනුම පිළිබඳ කාරණයකි. කොටින්ම
කිවහොත් මෙරට දිරිමත් චරිතයකට ඇය ආදර්ශයක් බැව් අපේ හැඟීමය. ඇය චන්දිමා පතිරගේ නම්
වන්නීය.
‘ගැහැනුන්ගේ නුවණ තියන්නේ හැඳි මිටේ ගානට’
ඒ සාම්ප්‍රදායික කියමන ඇය විසින් දෙනෝ දාහක් ඉදිරිපිට දී සුනුවිසුණු කර දැමුවාය.
දෛවය ඇයට සරදම් කළේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඇයට ජීවිත ඉලක්කයක් තිබිණි. ඒ කිසි
විටකත් ඇය තබා ලැබූ දැනුම ගැන විශ්වාස කළාය. මුල් වරට ලක්ෂපති අසුනට ඇය පැමිණෙද්දී
බොහෝ දෙනා ඈ ගැන තැකීමක් නොකළාය. එහෙත් ප්‍රශ්න පහක් හිමිවන විටත් ඈ පිළිතුරු
කිසිවක් සඳහා පිළිසරණක් සොයා ගියේ නැත. එහි නිවේදක චන්දන සූරිය බණ්ඩාර ඈ පිළිබඳ
විමසා සිටියේ එයින් පසුවය. ඈ පිළිබඳ විස්තර අනාවරණය වෙද්දී මුළු
ප්‍රේක්ෂක සමූහයම කම්පා වී බලා සිටියේය. ආත්මානුකම්පාවෙන්, දුක, සතුට, කඳුළ මැදින්
චන්දිමා ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති තමාගේම කරගත් අන්දම හරිම අපූරුය.
මට එදා ප්‍රෝගෑම් එකට එන්න සල්ලි තිබුණෙ නැහැ. මහත්තයගෙ අතින් වෙච්ච අත් වැරැද්දක්
හින්දා ඔහුගේ මාසෙ පඩිය කපලයි තිබුණේ. දන්න අයකුගෙන් ණයක් ඉල්ල ගත්තා. ඒ සල්ලි තමයි
මඟට වියදම් කළේ.
චන්දිමා සෙමින් සෙමින් වචන අමුණන්නට පටන් ගත්තේය. ඒ අතරවාරයේ ඇයගේ ඇස්වල කඳුළු
පිරෙනු මට පෙනිණ.
ලක්ෂපති පටන් ගත්තේ අදින් වසර පහ හයකට පෙර. ඇත්තටම ඒක බොහොම සුන්දර එකක් කියලා
නරඹපු දවසෙම මට හිතුණා. එදා ඉඳලා මං ලක්ෂපති කොටසක් නෑරම නැරැඹුවා. කෙටියෙන්ම
කිව්වොත් මං ඊට ඇබ්බැහි වුණා. චන්දන සර් ප්‍රශ්න අහද්දී මමත් ගෙදර ඉඳගෙන පිළිතුරු
බඳිනවා. බහුතරයක් මං කියන උත්තර හරි. කලාතුරකින් එකක් තමයි වරදින්නේ.
චන්දිමා හදිසියේම කතාව නැවැත්තුවාය.
ඇයි?
මම විමසීමක් කළෙමි.
කෝ මගේ ලොකු දුව පංචාලි, දුවේ . . . දුවේ . . . දුවේ . . .
චන්දිමා සිය වැඩිමහල් දියණිය ළඟට ගත්තේය.
මෙන්න මෙයා තමයි මට ලක්ෂපති වැඩසටහනට ඇප්ලයි කරන්න කිව්වේ.
චන්දිමා,පංචාලිගේ නළලත සිප ගත්තේ අප්‍රමාණ වූ සෙනෙහසකින්ය.
මෙයාලට නම් අපි අඩු පාඩුවක් කරන්නේ නැහැ. ඒත් මං පුංචි කාලේ පුදුමාකාර විදිහට දුක්
වින්ඳා. අපේ තාත්තා තදින් බීමට ඇබ්බැහි වෙලා හිටියේ. තාත්තා ආවට පස්සේ අපේ පවුලේ
සතුට පිටිපස්සෙ දොරෙන් පිට වෙලා යනවා. සැපක් කියලා නාමයක්වත් මා දන්නේ නැහැ. මං
ලොකු වෙන්න ලොකු වෙන්න ගෙදර ඉන්නම බැරි වුණා. ඉගෙන ගත්තෙත් ඕනෑවට එපාවට. ඇත්තෙන්ම
කිව්වොත් මං ඉස්කොලේ ගියේ ඉස්කෝලෙන් දෙන විස්කෝතු කන්න. ඔලබොඩුව විද්‍යාලයේ ඉගෙන
ගනිද්දී මං ශිෂ්‍යත්වය ලිව්වා. එදා මං ශිෂ්‍යත්ව විභාගය කියලාවත් දන්නේ නැහැ.
සෙනසුරාදා දවසක යාළුවෝ ඉස්කෝලේ යනවා දැකලා මාත් මට තිබුණු එකම සුදු ඇඳුම ඇඳගෙන
පාසලට ගියා. එදා තමයි ශිෂ්‍යත්ව දවස. මාත් ලිව්වා. පුදුමෙනුත් පුදුමයි, මං පාස්
වෙලා. ඒ පාසලේ ගුරුවරු එකතු වෙලා ශිෂ්‍යාධාර ගන්න ෆෝම් පිරෙව්වා. මට මාසිකව රුපියල්
දෙසිය හැටක් ශිෂ්‍යාධාර ලෙස ලැබුණා. ශිෂ්‍යත්වෙ පාස් වුණ නිසා මට පිළියන්දල මධ්‍ය
මහා විද්‍යාලයට යන්න වාසනාව ලැබුණා.
මේ දිරිය කතට එතැනින් එහාටද සැපවත් ජීවිතයක බලාපොරොත්තුව හීනයක් වන්නට ඇත. ජීවිතය
යනු රෝස මල් අතුල යහනක් නොවන්නේය. එයට එන බාධාවන්ට මුහුණ දිය යුතුය. පරාජය වී පලා
යාම මිනිස්කම නොවේ. ශිෂ්‍යාධාර මුදලින් පාසල් ගිය චන්දිමා උසස් පෙළ විභාගයට මාස
පහක් තිබියදී රෝගී වූවාය.
කහ උණ සහ ඩෙංගු එකවර මට වැළඳුණා. මගේ අසනීපය මොකක්ද කියලා හොයා ගන්නටත්
වෛද්‍යවරුන්ට ටිකක් කල් ගියා. වෑතර ඉස්පිරිතාලේ මාව නවත්තලා හිටියේ. එන්න එන්න
අසනීපය වැඩි වුණ නිසා ඔවුන් මාව කොළඹට යැව්වා. එහිදී දුන්න බෙහෙත්වත් මට ඔරොත්තු
දුන්නේ නැහැ. ඇටකටු පේන ගානට මාව කෙට්ටු වුණා. ඇඟේ හම ගැලවෙන්න පටන් ගත්තා. අතේ
ඇඟිලිවල නියපොතු විස්සම ගැලවිලා වැටුණා. අන්තිමේ වෛද්‍යවරු තීරණය කළේ හරි ගියත්
නැතත් අන්තිම ප්‍රතිකාරය කරන්න. එක්කෝ එලොව නැත්නම් මෙලොව. ඒ බෙහෙතෙන් මං ගොඩ ආවා.
මාස හයත් බෙහෙත් කෝස් එකක් කළා. ඊට ප්සසේ ටික ටික යථා තත්ත්වයට පත් වුණා. මට ඒලෙවල්
හරියට ලියා ගන්න ලැබුණේ නැහැ.
පිළියන්දල ඉස්කෝලේ විදුහල්පති ඇතුළු පරිපාලන මණ්ඩලය මං දුප්පත් කියලා දැනගෙන පාසලේ
සියලු ගාස්තුවලින් මාව නිදහස් කළා. මා අසනීප වෙලා ඉද්දී මා ළඟට ඇවිත් විභාග
අයැදුම්පත්වලට අත්සත් පවා ගත්තා. ඇත්තෙන්ම එය මට මහත් ශක්තියක් වුණා. ආර්ථික
අපහසුතා නිසා මං රැකියාවක් කළත් පැරැණි රෝග යළි මතු වන්නට පටන් ගත්තා. ඒ හින්ද ඒකත්
නැවැත්තුවා. ඊට පස්සේ මං විවාහ වුණා.රංජිත් ප්‍රේමරත්න තමයි මගේ මහත්තයා. යමක්
නොලැබුණත් වඩා හොඳ දෙයක් ලැබුණා කියලා මං විශ්වාසෙන් ඉන්නේ. ඒ හොඳ දේ තමයි මගේ
මහත්තයා.
චන්දිමාගේ අතීත මතකයෙන් මුදවා ගන්නට දැන් හොඳම වෙලාවය. මා ඇයව සිරස ලක්ෂපති
මැදිරියට කැඳවා ගත්තේය.
අබ, අඹ, වෙරලු, වී එය විශාලත්වය අනුව පෙළ ගස්සන්න. මට ලැබුණු පළමු අභියෝගය. එකට මං
පටස් ගාලා පිළිතුරු දුන්නා. හොට් සිට් එකට කතා කළා. හරිම තිගැස්මකින් එහි වාඩි
වුණේ. චන්දන සර් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ අතර වාරයේ මගේ ජීවිතය ගැන ඇහැව්වා.
ඇතැම් සිද්ධි ආවර්ජනය කරද්දී මට දරා ගන්න බැහැ ඇඬෙනවා. මට වෙච්ච දුක් කන්දරාව වෙන
කිසිම ගැහැනියකට හිමි වෙලා නැතුව ඇති.
ලක්ෂපති නරඹලාමද මෙච්චරට දැනුමක් එකතු කර ගත්තේ?
නැහැ. මං හොඳට නෝට් කරපු එකක් තමයි ලක්ෂපති වැඩසටහනේ එක සැරයක් අහපු ප්‍රශ්නයක් අයේ
අහන්නේ නැහැ. ඒක මම දැනගෙන හිටියා. නමුත් ඉන් මං දැනුම ලබා ගත්තා. ඊට අමතරව මං
නිතරම පොත්පත් පත්තර කියවනවා. විශේෂ දේවල් මතක තියා ගන්නවා. ඒකයි මගේ විදිහ. මං ඒ
ලද දැනුමෙන් දුවට උගන්වනවා. දුව ටියුෂන් ගියේ නැහැ. ඇයට ගෙදරදී ඉගැන්නුවේ මම.
ඉස්කෝලේ විභාගේ ලියලා ඉහළ ලකුණු ගන්නවා. පාසලේම ඇතැම් අයට මගේ ලොකු දුව ඉගෙන ගන්නවා
දරා ගන්න බැරුව ඇයට නොයෙක් කෙනිහිලිකම් කළා. අන්තිමේ දුව පාසල් යන්න බැහැ කිව්වා.
බැරිම තැන ගමේ පුංචි ඉස්කෝලෙට එයාව දැම්මා. මං කවද හරි එයත් එක්ක උසස් පෙළ ලියනවා.
මට නැති වුණ උසස් පෙළ සහතිකය මම ලබා ගන්නවා. එය තමයි මගේ එකම හීනය.
චන්දිමා මේ වන විට ලක්ෂපතිනියක වී සිටින්නීය. ඇගෙන් අවසන් පැනය ඇසිමේ තරගය
පැවැත්වීමට තිබුණේ පසුගිය සිකුරාදාවේය. එයත් නොවැලැක්විය හැකි හේතුවකට එය හෙටට කල්
දමන්නට සිදු විය. අප ඇයට සුබ පතන්නමු.
හෙට අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා ලක්ෂ 20 ක් දින්නොත් මොකද කරන්නේ?
මම මගේ අම්මයි ආතයි සිහි කරලා දානයක් දෙනවා. ඉතිරිවා ළමයින්ට.
ඒ ඇයගේ නිර්මල ප්‍රාර්ථනයයි. ඔලබොඩුවේ චන්දමාගේ පැතුම එලෙසම ඉටුවේවා.
ඇය තරගයට පැමිණි විට ඇගෙන් ඇසුවේ කොපමණ මුදලක් දිනන්නේ ද යන්නයි. ලක්ෂ දෙකක් ඈ
පැවසුවාය. පුදුමය ලක්ෂ දෙක අවසාන වනතුරුත් ඇය උපකාර අවස්ථා එකක්වත් උපයෝගි කර
නොගැනීමය. ගෞරව උපාධි දිනා තරග වැද පළමු ප්‍රශ්න පහේදී උපකාර අවස්ථා සියල්ලත් රැගෙන
සතයකුද මුදල් තෑගිත් නොලැබම ආපසු යන ‘උගත් තරගකරුවන්’ මේ තරගයේදී අප දුටුවේය.
එහෙත්
විභාග සහතිකයකින් තොරවම ඇය දැන් ලක්ෂ විස්සට ආසන්නය. ඇය උපකාර අවස්ථාවන් ලබා ගත්තේ
ද පිළිතුර වඩා තහවුරු කිරීම සඳහා පමණක් වීම විශේෂයක්ය. ගත වූ සතියේ පැවැත්වීමට
නියමිතය තිබී හදිසියේ අවලංගු කළ සජීවී තරගය හෙට රාත්‍රී 9.00 ට සිරස ටී. වී. ඔස්සේ
විකාශය වනු ඇත. අපි මේ දිරිය ගැහැනියට දිරි දෙන්නෙමු.
ප්‍රසාද් සමරතුංග
සේයාරූ –
අමිත් එස්. සේනාරත්න
|