|
සුන්දර මේ සන්ධ්‍යාමේතුම් මේ සුදු ඇල්ලේ පේළියේ
චන්ද්‍රදාස ප්‍රනාන්දු
අතීත මතකය අතරට දුක්වේදනාද ඇතුළත් වන අය අමතක නොකළ යුතුය. ඒ අතීතයේ දුක්බර සිතුවිලි අතර සැරිසරන ඔහු ජනපි‍්‍රය රැල්ලේ ගීත ඔබට ගෙන පැමිණි ගී පද රචකයෙකි. ඒ ‘කසිලි බිසිලි නෑ‘, ‘සල්ලි මිටි ගණන්‘, ‘මේ බස් නැවතුම‘, ‘සුභාෂිණී ඔබ මගේ නමට‘, ‘කොත්තමල්ලි‘ ආදී ගීත රැසක් ලියූ චන්ද්‍රදාස ප්‍රනාන්දු මෙවර ‘මතක ගී පොතට‘ සහභාගි වෙයි. සිතට පිවිසෙන දහසක් සිතුවිලි අතර සැරිසරන මොහොතක නැගෙන මතකය වරෙක මිහිරිය. වරෙක දුක්බරය. ඒ දුක්බර මතකය යළි යළිත් සිහිපත් කරන විවිධ වූ සිදුවීම් රැසක් දිනෙන් දිනම මා අසලට ළං වන්නේ මන්දැයි මට නොවැටහේ. සිතට නැගෙන සිතුවිලි ඒ අයුරින්ම කිව යුතුද නොකිව යුතුද යැයි සිත සිතා සිටින මොහොතක මම එක් තීරණයකට පැමිණියෙමි. ඒ මගේ හදවත දුක්බර වන කතාවක් කියන්නටය. ගී පද රචකයෙක් ලෙස ගායකයන් කිහිපදෙනෙකුටම මම ගී පද ලියා ඇත්තෙමි. එහෙත් මේ මා කියන්නට යන ගායකයා අද ද රසිකයන්ගේ හදවතෙහි වැජඹෙන්නේ මගේ ගීත ගයමිනි. ඔහු අපේ රටේ ප්‍රසංග වේදිකාවේ පමණක් නොව විදේශ සංචාරය සඳහා ගිය පසුවද ගයන්නේ මා ලියූ ඒ ගීතමය. ඒ ගීත එක්වරක් නොව සය, සත් වතාවක්ම ඔහුට ගයන්නට ආරාධනා ලැබෙන බව මා දන්නෙහිය. ඒ වග කියන්නේ ඔහු නොව ඔහු සමඟ ගිය අනෙකෙකුය. එවිට මගේ සිතෙහි කොපමණ දුකක් ඇති වන්නේ දැයි දන්නේ මා පමණි. මා ලියූ ගීත ගයා ඔවුන් කොපමණ මුදලක් සරිකර ගත්තද මට කම් නැත. එහෙත් සිතට සුවදෙන වචනයක් හෝ දෙකක් පවසන්නේ නම් කොපමණ අගේ දැයි ඔවුන් කිසිවිටෙකත් සිතන්නට නැත. ඒ කුමක් වුවද මට දරාගෙන සිටිය හැකිය. එහෙත් කලකට පෙර සිදු වූ ඒ සිදුවීම මගේ හදචතේ සටහන් වූයේ අමතක නොවන අයුරෙනි. මා පවසන ඔහු වරක් විදේශ සංචාරයකට සහභාගී වී සිය මව්රටට පැමිණි වග මට ආරංචි විය. එපමණක් නොව සිය නිවසට පැමිණෙන්න යැයි ඔහු මට ආරාධනාක් ද කළේය. ආරාධනය පිළිගත් මා ඔහුගේ නිවසට පිවිසියේ බෙහෙවින් සතුටු සිත් ඇතිවය. මදක් අසුන් ගන්න යැයි පැවසූ ඔහු කොහේදෝ ගමනක් ගිය වග මම දිටිමි. ඊට මද වේලාවකට පසුව නැවතත් නිවසට පැමිණි ඔහු පෑළ දොරෙන් ඇතුළට පැමිණෙන අයුරුත් මා නිරීක්ෂණය කළේය. ඉන්පසුව කාමරයට පිවිස රැගෙන පැමිණි පාර්සලයක් මා අතපත් කළේ සිනහමුසු මුහුණෙනි. ඔහුගේ ආ ගිය ගමන් විස්තර විමසූ මා අත තැබූ පාර්සලයට ස්තූති කරමින් ඔහුගෙන් සමුගත්තේ සතුටු සිතෙනි. නිවසට පැමිණීම සඳහා ප්‍රධාන පාරට පිවිසි මට බස් නැවතුම අසල පිහිටි වෙළෙඳසලෙහි වූ මගේ මිතුරෙක් අත වැනුවේ මේ අතරය. මම ඔහු හමුවීමි. “ආ යාළුවගෙන් තෑග්ගක් ලැබිලා වගේ“ ඔහු පැවසුවේ මා අත තිබූ ත්‍යාගය දෙස බලමිනි. මා ඔහුට ද පෙනෙන්නට ත්‍යාගය විවෘත කළේ සැනෙනි. එහි වූයේ කමීසයකි. “ආ මේකද තෑග්ග. එයා දැන් ඇවිල්ලානේ මේක අරගෙන ගියේ, මේ බලන්නකෝ ඔය වගේම තියෙන අනෙක් කමිස“ ඔහු පැවසූ අයුරෙන්ම එතැන තිබුණේද මා අත තිබූ වර්ගයේම කමීස කිහිපයකි. ඒ මොහොතෙහි සිතට ඇති වූ වේදනාවත්, අසරණ බවත් මා අකර්මන්‍ය පුද්ගලයෙක් කළේය. ගල්පිළිමයක් මෙන් එතැනින් ඉවතට පැමිණි මා බස් නැවතුමෙහි අසුන් ගත්තේ තව දුරටත් සිටගෙන සිටියහොත් කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැකි වූ බැවිනි. නිවෙසට පැමිණි මම ඒ සිදුවීම නිසා තැවුල් සහගත වූ සිත සනසාගන්නට නොයෙක් වෙර දැරීමි. මම මට ම දොස් පවරා ගතිමි. ඒ ශෝකයෙන් දුරස් වන්නට මෙන් මම මේ ගීතයට සවන් යොමු කළෙමි.
මේ ලොව යම් කිසිවකු
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
අඩසඳ බැස ගෙන යන සඳ
ගේයපද – මහගමසේකර සංගීතය - සෝමදාස ඇල්විටිගල ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මියුරු ස්වරයෙන් ගැයෙනා මේ සුමියුරු ගීතය මගේ සිතෙහි ඇති වූ ශෝකය දුරු කර ගැනීමට හේතු විය. ඔහු කළ ඒ නොපහන් කි‍්‍රයාව අමතක කළ මම පෙර පරිදීම අපගේ මිතුදම රැගෙන ගියෙමි. ඔහුට ගීත ලියූ වෙමි. එහෙත් එලෙස යටපත් වූ ඒ අතීත මතකය අවදි කරවන තවත් දුක්බර සිදුවීමක් සිදුවූයේ පසුගිය කාලවකවානුවෙහිය. ඒ එක්තරා දිනෙක ඔහුගේ කලා දිවියට වසර පනහක් හෝ පනස්පහක් ද පිරුණු බව පවසමින් දැවැන්ත ප්‍රසංගයක් සංවිධානය වූයේය. සුන්දර ප්‍රසංගක් වූ ඒ සඳහා බොහෝ දෙනෙකුට ආරාධනා කර තිබුණ ද මට කිසිදු ආරාධනාවක් නොවිණි. ඔහුට බොහෝ ගීත ලියා ඇති මා පිළිබඳ කිසිදු තැකීමක් ඒ පුද්ගලයා කෙරෙහි නොවීය. එමෙන්ම එදින ඔහු මා ලියූ ගීත ඇතුළත් කරමින් සංයුක්ත තැටියක් ද එළි දක්වා තිබුණි. මගේ සිත ශෝකයෙන් බර වූයේ මටත් නොදැනීමය. මම කැසට් යන්ත්‍රය කි‍්‍රයාත්මක කළෙමි. ඒ අමරදේවයන් ගයන මේ ගීතය අසන්නටය. ගීතය අසන විට ඔහු පිළිබඳ වන ඒ අතීතයේ සිදු වූ බොහෝ සිදුවීම් එකින් එක මතකයට ගලා ආවේ නිතැතිනි. අද ද ශෝකයක් පැමිණි විගස මගේ සිත සනසා ගැනීමටත්, ඊට අමතරව නිතර නිතර මේ ගීතය අසන්නට මම පි‍්‍රය කරමි. එවිට නොමිනිස්කම්වලින් පිරුණු මිනිසුන්ගේ ගති ස්වභාව සිහි කිරීමට මේ ගීතය අපූරු නිමිත්තක් යැයි මට හැගේ. ඒ නොමිනිසුන් අතර සොඳුරු මිනිසුන් ද සිටින වග මගේ මතකයට කැන්දන් එන්නේ ඒ විගසමය. ඔහු සුනිල් පෙරේරාය. මානව හිතවාදී සොඳුරු හදචතක් හිමි ඔහු අපූරු කලාකරුවෙකු යැයි මට හැඟේ. ඒ ඔහු පිළිබඳ ව පමණක් නොව අන් අය පිළිබඳ ද සිතන නිසාය.
කල්‍යාණි ගංගා රාජිනී
නෑර ගලා ඒ මාවැලී
සුන්දර මේ සන්ධ්‍යාමේතුම්
තෛ‍්‍රලෝනා හිමි පා තැබූ ගේයපද - සරත් විමලවීර සංගීතය– පී.ඩී.වින්සන්ට් පෙරේරා ගායනය – වසන්තා සන්දනායක
මේ ගීතයට මා ප්‍රිය කරන්නේ කුඩාකල පටන්මය. රෙඩිෆියුෂන් රේඩියෝවෙන් වාදනය වන මේ ගීතය ශ්‍රවණය කරන මම ඒ අවස්ථාවෙහි කිසිවකුටත් ඒ අසලම පැමිණීමට ඉඩ නොදෙමි. අද ද කොහේ හෝ ගමනක නිරත වී සිටින මොහොතක මේ ගීතය ඇසුණාහොත් ඒ යන ගමන නවතා ගීතයට සවන්දීමට තරම් මට “කල්‍යානි ගංගා රාජිණී“ ගීතයට ආදරය කරමි. ගීතය අසන සෑම වරෙකම මගේ මතකයට පිවිසෙන්නේ මහවැලි ගඟය. මහවැලි ගඟ හා සම්බන්ධ වූ අපූරු සිදුවීමක් මගේ මතකයේ ලියැවී තිබේ. ඒ සිදූවීම සිදුවන විට මම අවුරුදු හතක් හෝ හයක් වයසැති කුඩා දරුවෙක්මි. එකල මගේ පියා ගම්පොළ මරියවත්ත වතුකාරයේ ඉඳීකිරිම් ක්ෂේත්‍රයේ කටයුතු කළ බව මට මතකය. දිනක් මමත්, අම්මාත්, තාත්තාත් නාවලපිටියට යන්නට සූදානම් වූයෙමු. කෙදිනකත් ගමනක් යන්නට සැරැසුණු මොහොතක මට උවමනා වූයේ රථයෙහි ඉදිරිපස ඉඳ ගැනීමය. මගේ අදහස දන්නා බැවින් අම්මාත්, තාත්තාත් එදිනද මෝටර් රථයෙහි ඉඳ ගත්තේ පිටුපස අසුණේය. මම දුවගොස් ඉදිරිපස අසුනෙහි ඉඳ ගතිමි. වේගයෙන් රථය ඉදිරියට ඇදිනි. මා ඉඳසිටි පැත්තෙන් ගලාගියේ මහවැලි ගං කොමළියයි. මම ඒ දෙසම බලා සිටියෙමි. එක්වරම රථයෙහි දොර ඇරිනි. විවෘත වුණු දොරෙන් මා වීසි විය. මද දුරක් ගිය රථයෙන් ඇසුණේ අම්මාගේ විලාපයයි. ගඟට වැටෙන්නට ප්‍රථම මම එහි කණ්ඩියෙහි තිබූ තණකොළ ගොල්ලක එල්ලුනෙමි. රියැදුරු පැමිණ උස්සා ගොඩට ගන්නා තුරුම මම නිසොල්මන්ව ඒ අයුරෙන්ම සිටියෙමි. තව තත්පර කිහිපයකදී සිදුවන්නට ගිය කිසිවක් නොදුටු කලෙක මෙන් මහවැලි ගං කොමළිය ගලායන අයුරු මම බලා සිටියෙමි. ගීතය අසන සෑම විටෙකම මා හා මහවැලි ගඟ අතර කුමක් හෝ සම්බන්ධයක් ඇතැයි යන සිතුවිල්ලෙන් මට අද ද ඈත් විය නොහැකි බව කිව යුතුය. ඒ මන්දැයි අද ද මම නොදනිමි.
|