|
ලොග්ගල් ඔය උතුරලා පාලමත් නෑරශ්මි වීරසිංහ අත්දැකීම් හෙළි කරයි
බදුල්ලේ මඩොල්සිමාවේ කොහොනාවල ඉතාම දුෂ්කර වූ ගම්පියසකි. මුහුදු මට්ටමේ සිට මීටර් 4500 කට වඩා පහළ ගැඹුරු ප්‍රපාතයක පිහිටි මෙම ගමේ ජනතාව විඳි දුක් ගැහැට හා දුෂ්කරතා නිමක් නැත. කිලෝ මීටර් දහයක් පයින් ගමන් කර පිවිසීමට ඇති මෙම ගමේ වූ පන්සලේ හාමුදුරුවන්ට අඳින්නට තිබුණේ සිවුරු දෙකක් පමණකි. එයින් එක් සිවුරක් ඉරී ගොසිනි. ඒ මේ ගමේ දුෂ්කරතාවය ගැන කියන්නට ඇති හොඳම සාක්ෂියකි. බෞද්ධයා නාළිකාවේ ප්‍රීතිමත් ජීවිතය නිෂ්පාදිකා රශ්මි වීරසිංහට මේ පුවත ගැන කන වැටුණු දිනයේ සිට ඒ අහිංසකයන් වෙනුවෙන් යමක් කරන්නට සිතන්නේ මහා කුසලකර්මයක් වෙනුවෙන් දායකවීමේ අපේක්ෂාවෙනි. සිංහල අවුරුද්ද ළඟා වෙමින් තිබුණි. දසතින් අවුරුද්දට සූදානම් වෙමින් සිටියේ අවුරුදු සමරන්නටය. එහෙත් ඇයගේ සිත වූයේ කොහොනවල ගමේ මිනිස්සු අවුරුදු සමරන අයුරුය. ඇයගේ සිතේ වූ සිහිනය මල්ඵල දරමින් කොහොනාවලට යන්නට ලැබුණේ අතක් බරට තෑගි බෝග සමඟිනි. යුද හමුදාවේත්, පොලීසියේත් සහයෝගය ඇතිව සංවිධානය වූ මේ මහා පිං කටයුත්තට ඇය සමඟ එක් වී සිටියේ මහත් උනන්දුවෙන් හා පිං සිත් පුරවාගෙනය. ඒ මහා පිංසාර කටයුත්ත වෙනුවෙන් උරදුන් ඇය සොයා අප යන්නේ ඇයගේ අධ්‍යාත්මික දිවියේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් ඇය ලැබූ අත්දැකීම් බිඳක් ඔබ සමඟ බෙදා ගන්නටය.
* රශ්මී එදා ඔබ කරපු ඒ මහා පිං කටයුත්තෙන්ම අපි පටන් ගමු? ඇත්තටම මම හිතන්නේ කොහොනාවලට ගිය ගමන මාගේ මාධ්‍ය ජීවිතයේ අධ්‍යාත්මය කුසල කර්මයන්ගෙන් පුරවපු සංවේදීම සිද්ධියක්. මේ වගේ ගමනකට මම මුලින්ම යන්න සූදානම් වෙන අවස්ථාවේ මගේ මිිත්‍රයෝ ඇහැව්වේ මේ වගේ අඩි ගණනක ප්‍රපාතයක කිලෝ මීටර් දහයක් තරම් දුර යන්නේ කොහොමද කියලා. මම ඒ ගමට ගියේ විශාල පිරිසක් සමඟ. එදා එම ගමන යනකොට සවස විශාල වර්ෂාව. ලොග්ගල් ඔය උතුරලා. ගඟෙන් එගොඩ වෙන්න පාලමත් නැහැ. අපිව හමුදාවෙන් කොටු කරගෙන ආරක්ෂාව ඇතුවයි ගමට ගියේ. අපිව ඒ ගමන එක්ක යන්න ගමේ අය ඇවිත් හිටියා. අපිව එක්ක ගියේ පෙරහරකින්. ඇත්තටම ගම්මුන්ට පුදුමයි මේ වගේ පිරිසක් ආපු එක ගැන. ගමේ පන්සලේ හාමුදුරුවෝ පුදුම විදිහට අපට පිං දුන්නා අපි කරපු සත්කාරයට. මේ ගමේ සමහර උදවිය කවදාවත් කොළඹවත් ආපු නැති ගැමි බව උතුරා ගලන පිරිසක්. එවැනි පිරිසක් එක්ක අවුරුද්දක් සමරන්න ලැබීම මගේ ජීවිතයේ උතුම්ම අවස්ථාවක්. මෑත කාලයේදීත් මම මේ වගේ අත්දැකීමක් ලැබුවා උරුමය වැඩසටහන හරහා. අපි ඒ ගමන ගියේ මඩකලපුව ප්‍රදේශයේ. එහි ශ්‍රී මංගලාරාමය ඒ ප්‍රදේශයටම තියෙන එකම බෞද්ධ පන්සල. පන්සලේ හාමුදුරුවෝ හැමදාම පෙරුම් පුරාගෙන බලාගෙන ඉඳලා තියෙන්නේ බෞද්ධයා නාළිකාව කවදා හරි ඒ පන්සලට එයි කියලා. මම මේ පන්සලට ගියේ අම්පාරට යන ගමනකදී අහම්බෙන්. උන්වහන්සේ මම ඉදිරියේ කඳුළු සැලුවා උන් වහන්සේගේ හීනයක් සැබෑ වුණා වගේ කියලා. ස්වාමීන් වහන්සේ නමක් මම ඉදිරියේ ඒ විදිහට අඬමින් කඳුළු සැලීම ඉතාම සංවේදී අවස්ථාවක් වුණා. මම එදා පොරාන්දු වෙලා ආවා නැවත වරක් එම ප්‍රදේශයට ඇවිත් ඒ ප්‍රදේශයේ ඉන්න සුළු බෞද්ධ පිරිස ගැන වැඩසටහනක් කරනවා කියලා.
* ඔබේ මාධ්‍ය ජීවිතයේ ඔය අත්දැකීම් ලැබීමට පසුබිම ගොඩ නැඟුණේ කොහොමද? මම මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට එකතු වුණේ 1998 දී ටී. එන්. එල්. ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින්. ශාන් වික්‍රමසිංහ මහතා තමයි මාව නිවේදිකාවක් ලෙසින් තෝරා ගත්තේ. පසුව ඉසිර ගුවන් විදුලියේ ආරම්භක සාමාජිකයන් අතරින් එක් අයකු ලෙස සේවය කළා. පසු කාලයක එහි අංශ ප්‍රධානියා වුණා. පසු කාලයේදී නිෂ්පාදිකාවක්, පුස්තකාලාධිපතිනිය ලෙස තනතුරු ගණනක් දැරුවා. ඒ ලැබූ පන්නරය සමඟ චැනල් එම්. ටී. වී. සමඟින් නිෂ්පාදිකාවක් ලෙස එකතු වුණා. ටික කාලයක් මම ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. ඊට පසුව තමයි මම බෞද්ධයා නාළිකාව සමඟ වසර 3 ක් කටයුතු කරන්නේ. එහි වැඩසටහන් නිෂ්පාදිකාවක්, නිවේදිකාවක් ලෙස මේ ක්ෂේත්‍රයේ වසර 12 – 13 ක කාලයක් කටයුතු කරනවා. ඒ අතරතුර වසර කිහිපයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට එකතු වී හෙදියක් ලෙසත් කටයුතු කළා. ඒ වගේම ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ප්‍රථමාධාර උපදේශිකාවක් ලෙසත් කටයුතු කරන අතර තමයි බෞද්ධයා නාළිකාවේ සේවය කරන්නේ. ඇත්තටම ඕනෑම නාළිකාවක මට ලැබුණේ තරමක වගකීමක් සහිත රාජකාරියක්. වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස අභියෝගාත්මක වැඩසටහන් තමයි මේ වසර 12 පුරාම මට ලැබුණේ. එයට නිසි පන්නරය ලැබුණේ ටී. එන්. එල්. රූපවාහිනියේ කටයුතු කාලයේදියි. බාහිර පටිගත කිරීමේදී හෝටල්, වෛද්‍ය, රූපලාවන්‍ය ප්‍රධාන ක්ෂේත්‍ර හතරක බාහිර පටිගත කිරීම් රාශියක් කිරීමට අවස්ථාව ලැබුණා.
* ඔබ ඔය සිදු කළ වැඩසටහන් අතුරෙන් මතකයේ රැඳි සිද්ධි ගැන සිහිපත් කළොත්? සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මගේ සිත තදින්ම සසල කළ අවස්ථාවක්. ඒ කාලේ මම ප්‍රවෘත්ති නිවේදිකාවක්. සෝම හාමුදුරුවන් කියන්නේ මගේ අම්මාගේ මරණයෙන් පසුව හිතට ශක්තියක් ලබා දුන්න ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බණට වඩින අවස්ථාවේ මගේ හිත හදලා මගේ ජීවිතයට විශාල පන්නරයක් දුන්නා. ධර්ම කරුණු කියලා දුන්නා. උන්වහන්සේ අපවත් වෙද්දී මම හිටියේ ප්‍රවෘත්ති මැදිරියේ. මේ සිදුවීම මට කියන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා. මුලින්ම සවස මගේ අතට ප්‍රවෘත්තිය ලැබෙනවා. මුලින්ම පුහුණුවෙලා හිත හදාගෙන තමයි ඒ ප්‍රවෘත්තිය මම ප්‍රකාශ කළේ. ප්‍රවෘත්තිය ඉදිරිපත් කළාට පසුව මම පැත්තකට ගිහින් මගේ හිතේ තිබුණු දුක පිට කළා. යුද්ධය තිබූ කාලයේ ලැබූ ඇත්දැකීම් සෑහෙන්න තිබුණා. මට මතකයි මම දවසක් බොරැල්ලේ බෝම්බයක් හමු වූ ස්ථානයකට ගියා. එදාම සවස මට ඒ බෝම්බ සිද්ධිය ගැන දැනගැනිමට රෝහලටත් යන්න සිද්ධ වුණා.
* ඔබ බෞද්ධයා නාළිකාවට එක් වුණේ කොයි ආකාරයටද? මුලින්ම මම මේ නාළිකාවට ආවේ මගේ නංගී අමෙරිකාවේ සේවය කරමින් එවූ මුදල් පරිත්‍යාගයක් භාර දෙන්න. ඒ ආපු අවස්ථාවේ මෙම නාලිකාවේ සේවය කරන බොහෝ දෙනකු හඳුනන අය. ඒ හැඳුනුම්කම මත මට මුලින්ම උරුමය කියන වැඩසටහන කිරීමට අවස්ථාව ලැබුණා. දැන් වසර දෙකක සිට ලෝකයේ විවිධ රටවලට යමින් විවිධ සිද්ධස්ථානවලට යමින් බෞද්ධ උරුමය ගැන ගවේෂණාත්මක වැඩසටහන් දැන් මම ඉදිරිපත් කරනවා.
* ඒ වැඩසටහනේදී ඔබ ලැබුවේ මොන වගේ අත්දැකීමක්ද? පසුගිය කාලයේදි මම ඉන්දියාවේ සංචාරය කළා. මගේ සංචාරය පටන් ගත්තේ දිිල්ලියෙන්. දිල්ලියේ සිට සංකස්ස නුවරට තමයි මගේ සංචාරය තිබුණේ. ඒ යන ගමනේදී දිල්ලියේ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා බුදු දහමේ තියෙන දුක කියන දේ නියම ආකාරයෙන් අවබෝධ කරගෙන රශ්මිට මේ සති දෙක පුරාවට ඉන්දියාවේ මේ වැඩසටහන කරන්න පුළුවන් වෙයි කියලා. මම දැක්කා සංකස්ස නුවරින් පටන් ගත්තු මගේ අත්දැකීම් ඉන්දියාව පුරා සංචාරය කිරීමේදී මම දැක්කා අන්ත දිළිඳු බව. අපේ රටේ වාසනාව ගැන මට තේරුම් ගියේ ඉන්දියාවේ කළ සංචාරයේදී. මිනිස්සුන්ගේ දුක කියන දේ දරාගෙන තමයි මේ වැඩසටහන කළේ. පුණ්‍යවන්ත අවස්ථාවක් වගේම, මිනිස්සුන්ගේ දුක කියන දේ සෑහන්න මට සංවේදී ලෙසින් දැනුණා. ලංකාවේදී මට ලැබුනු වටිනාම අත්දැකීම තමයි යුද හමුදා සේවා වනිතා ඒකකය සමඟ අනුරාධපුරයේ අභිමන්සලක සංචාරයක යෙදීම. එහිදී අපේ රණවිරුවන් අප වෙනුවෙන් කළ කැප කිරීම් මම දැක්කා. එහිදී ඔවුන් අත් පා නොමැතිව විඳින වේදනාව, දුක මම දැක්කා. අපේ නායක හාමුදුරුවන්ගේ අනුශාසනා හා ආශිර්වාදය ඇතුව උපහාර උත්සවයක් සංවිධානය කරන්න මට හැකි වුණා. මාධ්‍යවේදිනියක් ලෙස එවැනි සමාජ සත්කාරයක් කිරීමට ලැබීමත් මම ලැබූ විශාල භාග්‍යයක්. ප්‍රීතිමත් ජීවිතය වැඩසටහනට අදාළව වැඩිහිටි අය සම්බන්ධ කර ගනිමින් කරන වැඩසටහන් තියෙනවා. එවැනි වැඩසටහන්වලදී ඔවුන් දරුවන් නිසා අපහසුතාවට පත් වූ අවස්ථා ගැන ද අපට කිව්වා. ඒ වෙලාවට ඒ සංවේදී කරුණු වුණත් මට අඬන්න බැහැ. ඒ වෙලාවේදී මගේ සිත සසල වුණත් වැඩසටහන් මෙහෙයවන්න සිදුවෙන අවස්ථා තියෙනවා.
* රශ්මී ඔබ දැන් වඩාත් කාර්යබහුල මාධ්‍යවේදිනියක්. කොහොමද ඔබේ පෞද්ගලික තොරතුරු? මගේ පෞද්ගලික ජීවිතය හරිම සරලයි. නංගී ඉන්නේ අමෙරිකාවේ. අක්කා විවාහකයි. මේ වසර අවසානයේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ. මගේ email ලිපිනය [email protected]
|