වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




එංගලන්තෙන් මඟුල් ඇඳුම්

එංගලන්තෙන් මඟුල් ඇඳුම්

රවී එංගලන්තේ ඉඳල ලංකාවට ආවේ මට හිතාගන්න බැරි තරම් තෑගි කන්දරාවක් අරගෙන. ඒ කාලේ විවාහයක් සිදුවෙද්දී මනාලියට අවශ්‍ය සාරි, මනමාලයාට අවශ්‍ය සුට් රෙදි සමුපකාරය හරහා බෙදා හරින ක්‍රමයක් තමයි රජය රටට හඳුන්වලා දීලා තිබුණේ. මේ නිසා හුඟාක් මනාමාල මනමාලියන්ට මංගල්‍යයට අවශ්‍ය ඇඳුම් පිළියල කර ගැනීමේදී විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. රවී එංගලන්තයට යන්න කලින් අපි කවද හරි බඳිනවා කියලා තිරණය කරලා තිබුණත් ඒක කවදද, කොතැනද විය යුත්තේ කියලා තීරණයක්, සැලසුමක් තිබුණේ නැහැ.

ඒ නිසාද, එහෙම නැත්නම් මට ඒ ගැන අවබෝධයක් නොතිබුණ නිසා ද මන්දා මට මේ මේ දේවල් අවශ්‍යයි, මට මේ මේ දේවල් එනකොට අරගෙන එන්න කියලා මම නිකමටවත් රවීට කියලා තිබුණේ නැහැ. ඒත් රවීගේ ආදරය නිසා මට ඒ සම්බන්ධ කිසිම ගැටලුකට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. රවී මම නොහිතපු, හීනෙන්වත් ප්‍රාර්ථනා නොකළ මට අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක්ම ගෙනැල්ලා තිබුණා. ඒ අතර නම් ප්‍රසිද්ධ කරන දිනයට අඳින සාරිය, මංගල සාරිය දෙවැනි ගමනට අඳින සාරිය ඇතුළු ගෑනු ළමයෙක්ට අවශ්‍යයි, මේ දේවල් දැක්කම ආස හිතෙයි කියලා හිතෙන සෑම දෙයක්ම තිබුණා.

මං මේ ලියන්නේ මීට අවුරුදු හතලිහකට පෙර කතාවක්නේ. එතකොට පිටරටින් රෙදි ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණ යුගයක්. අපිට අඳින්න සිද්ධ වුණේ දේශීය නිෂ්පාදන පමණයි. දේශීය රෙදිපිළි නිෂ්පාදනය පටන් ගත්ත අලුත නිසා සමහර ඇඳුම් ඇන්දම එන භූමිතෙල් ගඳ තාමත් නහයට දැනෙනවා වගේ. ඒ දවස්වල පාන් ගෙඩියක් ගන්නත් පැය භාගයක් විතර පෝලිමේ ඉන්න ඕනෑ. පවුලේ ඉන්න සාමාජිකයින් ගානට පමණයි පාන් නිකුත් කරන්නේ. තමන්ට ඕනෑ ඕනෑ ප්‍රමාණයට පාන් ගන්න කාටවත් බැහැ. කැලණිය දාස කර්මාන්ත ශාලාවේ භුමිතෙල් ගඳ නැති රෙදි වගයක් අලුතෙන් හදලා විකුණනවා කියලා ලැබුණ ආරංචියට රවීගේ අම්මාට හොරෙන් රවීගේ නංගිලා දෙන්නා එක්ක මමත් දාස එක ළඟ දවස් භාගයක් පමණ දිග පෝලිමක හිටගෙන හිටියා.

මේ වගේ සීමාසහිත දේවල්වලින් සතුටු වෙලා හිටිය මම රවී ගෙනාපු ඇඳුම් පැළඳුම් දැකලා පුදුම නොවී ඉඳීවිද? රවී මගේ ඇඟටම හරි යන විධියට ඇඳුම් පැළඳුම් තෝර ගත්තේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. මේ අතරේ ලෙදර්වලින් මහපු ලස්සන සාය හැට්ටයකුත් තිබුණා. මං ඒකට හරියට ප්‍රිය කළා.

ඒ දවස්වල සුනිල් ආරියරත්න මහත්තයා ලියපු පරණ කෝට් සින්දුවේ තිබුණෙ, එංගලන්තෙ පරණ පැටන් කොළම්පුර් අලුත් පැටන් කියලා. සුනිල් එහෙම කිව්වට මට නම එංගලන්තෙන් අලුත්ම පැටන් තමයි අඳින්න හම්බ වුණේ. ඒ තරම් කල් ඉතාම කුඩා දේවල් වලින් සංතෝස වෙන්න පුළුවන් හිතක් තිබුණ මම ඒ හිත අරන් පැත්තකින් තිබ්බා. හිස්තැනට අලුත්ම හිතක් හයි කර ගත්තා. මම මේ ලස්සන ඇඳුම් ඇඳලා රවීත් එක්ක එහෙ මෙහෙ ගියේ අලුතෙන් රත්තරං පාට තටු ලැබුණ සමනලියක් වගේ. ඇත්තටම තරුණ කාලේ අපේ සිතුම් පැතුම් මොන තරම් බොළඳද, අහිංසකද. ලස්සන දේවල් දැක්කම ඒවාට හිත මොන තරම් තදින් ඇලෙනවද? තරුණ කාලේ බොළඳ බවෙන් ලස්සන දේවල් ගැන ඇලීමෙන් තරුණ ජීවිත මොන තරම් විනාශ වෙනවද?

කුමන හෝ හේතුවකට රවී මාව විවාහ කර ගත්තේ නැත්නම් මමත් ඒ ගොන්නටම වැටෙන්න ඉඩකඩ තිබුණා. මම එහෙම කියන්නේ අපි දෙන්නා අතරත් සමහර අවස්ථාවලදී සිත් රිදීම් ඇති වුණ නිසයි. රවී ඉක්මනින්ම කෝප වෙන පුද්ගලයෙක් නිසා මම හුඟාක් දුක් වෙච්ච අවස්ථා තිබුණා. ඒ අවස්ථාවලදී රවීට කිව්වේ නැතත් මම නිතරම හිතුවේ රවී මාත් එක්ක තරහ වුණොත් මම වහ ටිකක් බීලා මැරෙනවා කියලා. මම හුඟාත් සංවේදී හිතක් තියෙන ගැහැනියක් නිසා එහෙම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්. ඒත් මම ඒ තරම් අවාසනාවන්ත වුණේ නැහැ. අපි ටික කාලෙකින්ම නම් ප්‍රසිද්ධ කර ගන්න දිනයක් නියම කර ගත්තා.

දවසක් රෑ එළිවෙනතුරුම වැහලා අපේ ගෙදරට එන පාර වතුරින් යට වුණා. අවුරුද්දකට සැරයක් දෙකක් අපේ ගේ අවට පරිසරය වතුරෙන් යට වුණාම පුංචි කාලේ අපිට තියෙන්නේ පුදුම සතුටක්. අයියා මල්ලිලා එකතු වෙලා හදන කෙසෙල් කොට පාරුවෙන් එහාට මෙහාට යන්න අපි මොන තරම් පොරකනවද? වතුර බහින තුරු ඉස්කෝල් යන්නේ නැතිව ළමයි එක්ක වතුරේ එහෙ මෙහෙ දුවන්නේ මොන තරම් ආසාවෙන්ද? ඒත් එදා නම් ඒ සතුට ගිලිහිලා ගියේ රවී ගෙදර එන දවස නිසා.

රවී ගෙදරට එනකොට ඒ තරම් වතුර පිරිලා නැති වුණත් ඇවිත් ගෙදර පැයක් දෙකක් ඉඳලා යන්න හදන කොට මුළු ප්‍රදේශයම වතුරෙන් යට වෙලා තිබුණා. වතුර වැඩි වෙන්න කලින් රවී යන්නම ඕනෑ කියලා කාර් එක පාරට ගත්තා. කාර් එක ගියේ බෝට්ටුවක් වගේ පැද්දි පැද්දී. පළාතම වතුරෙන් යට වෙලා නිසා පාර කොතැනද කියලවත් අඳුර ගන්න බැහැ. මල්ලිගේ වයසේ තරුණ ළමයි පිරිසක්ම වතුර බලන්න එකතු වෙලා හිටපු නිසා ඒ අයගේ සහයෝගයෙන් කාර් බෝට්ටුව බොහොම අමාරුවෙන් එගොඩ කර ගත්ත. බෝට්ටුව ගරාජ් එකේ දාලා මාසයක් පමණ නතර කරලා තියලා. ගරාජ් එකේ මනුස්සයා බොහෙම අමාරුවෙන් බෝට්ටුව කාර් එකක් බවට ආයිත් පත් කරලා තිබුණේ.

මේ සිදුවීමෙන් පස්සේ අලුත් ගැටලුවක් ආවා. නම් ප්‍රසිද්ධ කරන උත්සවය දවසට වැස්සොත් මොකද කරන්නේ කියලා. මල්ලිලා දෙන්නා නම් කිව්වේ බෝට්ටු දෙක තුනක් ගෙනත් පාර ගාව නවත්තලා තියමු තියලා. මේ ගැන කතා කරන කොට සුමිත්ත අයියයි සුමිත්‍රා අක්කයි ළඟ හිටියා. ඒ දෙන්නා කිව්වා ඕක ඔය හැටි ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රීති දැන් වැඩි හරියක් ඉන්නේ අපේ ගෙදරනේ. උත්සවයත් අපේ ගෙදරම ගමු කියලා. උත්සවයට ආරාධනා කළේ කිට්ටුම හිතවතුන් දෙනකුටයි පවුලේ සාමාජිකාවන්ටයි පමණයි.

සුමිත්ත අයියයි අක්කයි තමන්ගේ දරුවෙක් දීග දෙනවා වගේ බොහොම මහන්සියක් දරලා ගෙදර හැඩ වැඩ කරලා ලස්සන චාම් උත්සවයක් පැවැත්වූවා. පස්සේ දවසක අම්මයි තාත්තයි සුමිත්ත අයියගේ ගෙදර ගියේ උත්සවයට ගිය විය හියදම් ගැන කතා කරලා ඒවා බේරුමක් කරන්න. ඒත් සුමිත්ත අයියා ඒක ගැන කතා කරන්නවත් දුන්නේ නැහැ. ඒක අපි දෙන්නගෙන් ප්‍රීතිට දෙන පුංචි තෑග්ගක් කියලා හිතන්න කිව්වා.

පසුගිය කොටස්

* රවීගෙන් ඇඳුමක් විජයගෙන් අත්සනක්
 

* බොඳ මීදුම් කඳු රැල්ලේ

* පවස නිවන දිය පොදක් නොවී ඔබ

* අත්තිකාරම්වලින් අල්මාරියක්

* පුදුම වාසනාවන්ත කෙල්ලෙක්