|
පුවක්පිටිය කේවට්ටලාගේ අමාරිස්
පත්‍ර වාර්තාකරු වැඩ සටහනට එදා අමාරිස් ලෙස සැමුවෙල්, ඇන්ටස් ලෙස ස්වර්ණ ශ්‍රී සරත්වීර පත්තර වාර්තාකරු ලෙස මමත් සහභාගි වුණා. අමාරිස් - ඇන්ටස් බලහන් කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. පුතා ඇන්ටස් - තාත්තේ තාත්තේ පත්තරකාරයෙක් ඇවිල්ලා. අමාරිස් - මෙහෙ පරණ පත්තර නැහැයි කියාපන්.
අමාරිස් - (කොඳුරමින්) ඒ මොන මල ඉලව්වකටද? ආ එන්ඩ මහත්තයා මොකද මේ මගෙන් වරදක්වත් වුණාද? වාර්තාකරු (මම) නැහැ, නැහැ, අර ළිඳකට වැටුණු වහු පැටියෙක් බේර ගෙන වීර ක්‍රියාවක් කළාය කියා ආරංචි උනා. අමාරිස් - බලන්ඩ මහත්තයා මෙච්චර තරුණයො ඉන්නවා එකෙක් අවෙ නෑනෙ වහු පැටියව බේර ගන්ඩ. වාර්තාකරු - මොකක්ද ලොකු උන්නැහැගෙ නම. අමාරිස් - පී. කේ. අමාරිස්. වාර්තාකරු - සම්පූර්ණ නම? අමාරිස් - පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. ඒ උනාට මහත්තයො සිංහල ක්‍රමයට පු. කේ. කියා මුල් අකුරු දමල ලියන්ඩ එපා කැතයි. වාර්තාකරු - පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. හරි හරි මට තේරුණා, මට තේරුණා පී. කේ. අමාරිස් කියලා දමන්නං. ලිපිනය - මොකක්ද? අමාරිස් - ඒ කිව්වේ? වාර්තාකරු - ලියුම් ලැබෙන පිළිවෙල. අමාරිස් - ආ . . . එහෙම කියන්ඩකො. පියුම් මහත්තයා එනවා. උණබම්බු ගේට්ටුව ළඟට බැල් එක ගහනවා. අපේ දුව හනිකට ගිහිල්ලා ලියුම බාර ගන්වා. දැන් පියුම් මහත්තයා අපේ බෑණා. වාර්තාකරු - නැහැ නැහැ ඇඩ්රස් එක. අමාරිස් - ආ . . . අන්න එහෙම සිංහලෙන් කියන්ඩකො. පී. කේ. අමාරිස්, කැලණිය තැපැල්. වාර්තාකරු - හරි . . . හරි . . . දැන් කොහොමද අමාරිස් උන්නැහෙ වස්සා බේරගන්ඩ ළිඳට පැන්නේ. අමාරිස් - මම පැන්නෙ නැහැ මහත්තයා. කවුද වරෙත්තුවෙක් මාව ළිඳට තල්ලු කළානෙ. ඇන්ටස් - අපියි අපේ තාත්තාව ගොඩට ගත්තේ.
|