|
|
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේකපිල කුමාර කාලිංග
සමහර අතීත මතකය අපගේ සිතට පිවිසෙන්නේ අපටත් හොරාය. එවිට ඒ අතීතයේ සොඳුරු මෙන්ම සෝ සුසුම් මැද අපි තනිව දිවි ගෙවන්නෙමු. ඒ අතීතය සොයා යළි යළිත් අපි බැඳෙන්නෙමු. එවැනි සොඳුරු සිදුවීම් මෙන්ම සෝ සුසුම් පිළිබඳ වන මතක සමඟ මෙවර ‘මතක ගී පොත’ට සහභාගි වන්නේ සුපෙම් හැඟුමන්, වසන්තයේ අග හමුවෙමු ආදී ගී ලියූ කපිල කුමාර කාලිංගය. ලේඛකයකු, මාධ්‍යවේදියකු, කෙටි කතාකරුවකු, නාට්‍ය රචකයකු ලෙස විවිධ වූ භූමිකා අතර ඔබ හමුවට පැමිණෙන ඔහුගේ ප්‍රථම නවකතාව වන ‘පියැසි කවුළුව’ට විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි විය. බණ්ඩාර කේ. විජේතුංග නම් වූ සොඳුරු මිනිසා පළමු වරට මා දුටුවේ පාසල් යන කාලයේදී වග මට මතකය. ඒ නුවර පැවැත්වුණු වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයකදීය. එකල පාසල් ශිෂ්‍යයෙක් වූ මම ‘ස’ ප්‍රසංගයට ලොබ බැඳ ගත් රසිකයන් අතර එකෙක් වීමි. මා කෙතරම් ‘ස’ ප්‍රසංගයට ආදරය කළේ ද යත් නුවරට පැමිණි ‘ස’ ප්‍රසංග ගණනාවක්ම නැරැඹීමට ද අමතක නොකළේය.
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
මහ වනපියසෙක අඳුරු ගුහාවෙක
සොමි සඳවත ලෙස රුසිරු නොවී නම් ගේය පද – බණ්ඩාර කේ. විජේතුංග සංගීතය – වික්ටර් රත්නායක ගායනය – වික්ටර් රත්නායක
එකල ඔහු ලියූ මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. මේ ගීතය අසන සෑම මොහොතකම ඒ අතීතයේ ඔහු දුටු අයුරුත්, ‘ස’ ප්‍රසංගයේදී ගැයෙන ඔහු ලියූ ගීතයත් සිහිපත් වන්නේ නිතැතිනි. එපමණක් නොව මා මේ ගීතයට ප්‍රිය කිරීමට හේතු වන තවත් කාරණා කිහිපයක් ද වෙයි. එනම් මා කුඩාකල ආදරය කළ මගේ සිතෙහි යෝධයකු මෙන් ජීවත් වූ බණ්ඩාර කේ. විජේතුංගයන්ගේ සමීප ඇසුරයි. කොළොම් පුරවරයට පා තැබූ මම ගුවන් විදුලියට පිවීසීමට තරම් වාසනාවන්තයෙක් වීමි.
ඒ මතක අතරට එක්වන ඔහු පිළිබඳව වන මේ මතකය ද මගේ ජීවිතයේ මියෙනතුරාම රැඳෙනු ඇත. කියන එකල මා රැකියාව කළේ ජේ. වෝල්ටර් තොම්සන් ප්‍රචාරණ ආයතනයේය. නුගේගොඩ ප්‍රදේශයේ විසූ මා එදිනත් උදෑසන රැකියාවට යන්නට සූදානම් වූවා පමණි. මා අභියසට පැමිණියේ ග්‍රේෂන් ආනන්දය. මම ඔහුට නිවෙසට පැමිණෙන්නැයි ඇරැයුම් කළෙමි. ඔහු මදෙස බලා සිටියේ තුෂ්නිම්භූතවය. මම බිත්තියෙහි ගසා තිබූ ඔරලෝසුව දෙසට නෙත් යොමු කළෙමි. උදෑසන 7.30 බව එහි සටහන් වී තිබිණ. නැවතත් කිසිදු කතාබහක් නොමැතිව හිඳගෙන සිටින ග්‍රේෂන් දෙස මා බැලුවේ විමසුම් නෙතෙනි. ‘බණ්ඩාර අපිව දාලා ගිහිල්ලා කපිල’ ඔහු කී සැණෙන් මා පුටුවට බර වූයේ තවත් වේලාවක් සිටගෙන සිටියේ නම් බිමට ඇදගෙන වැටෙනු නියත බැවිනි. නොසිතූ මොහොතක අසන්නට ලැබුණු ඒ සෝබර පුවත මගේ හදවත මොහොතකට අකර්මණ්‍ය කළේය. මම බලාගත් අත බලාගෙන සිටියෙමි. ‘මම යන්නම්’ ග්‍රේෂන් කිව්වේ අප අතර වූ නිශ්ශබ්දතාව දරාගත නොහැකි වූ මොහොතෙහිය. මම හිස වැනීමි. මගෙන් සමුගෙන යන ග්‍රේෂන් දෙසම මම බලාගෙන සිටියෙමි. අතීතයේ ඔහු හා සම්බන්ධ බොහෝ දෑ මගේ මතකයට පිවිසියේ රූප පෙළක් මෙනි. රැකියාවට යන කාර්යය මඳකට අමතක කළ මා පෑන සුරතට ගත්තේ බෙහෙවින් ආදරය කළ මේ සොඳුරු සිතැත්තා පිළිබඳ යමක් ලියා තබන්නටය. අතීතයේ බොහෝ දෑ පිළිබඳ ලියැවුණු ඒ ලිපියට මම අපූරු හෙඩිමක් ද යෙදුවෙමි. ඒ ‘අවසානයෙහි බණ්ඩාර කේ. විජේතුංග මිය ගියේය’ යන්නය. දිවයින පුවත්පතට ලිපිය භාර දුන් මා සුපුරුදු ලෙස රැකියාව කරන ස්ථානයට ගියේ ඔහු සමඟ වූ මතක අතර සැරිසරමිනි. ඊට පසුදින දිවයින පුවත්පතෙහි ඒ ලිපිය පළ විය. මා ඔහු පිළිබඳ ලියූ ලිපිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවිධ අදහස් ගලා ආවේය. ලිපිය ලිවීමෙන් පසුව මගේ සෝබර සිතට තරමක සහනයක් දැනුණු බැව් සැබෑය. එනමුදු ඔහු නොමැති හිස්තැන පුරවන්නට කිසිවකුටත් නොහැකි වූ බව ද සැබෑවකි. මේ සියලු අතීතය සැඟව ගත් අතීතය සිහිපත් කරන මේ ගීතය ලියූ ඔහුගේ භාෂා භාවිතය පිළිබද යමක් කිව යුතුය. ගීතයක වුව ද බස කෙසේ පරිහරණය කළ යුතු ද යන වග ඔහු අපට කියා පෑවේ මේ ගීතය මඟිනි. ඔහු ‘ඇ’ කාරය යොදා ගනිමින් ගීතය ලියු අයුරු කදිමය.
නින්ද නැති රැයේ - සඳ කඳුළු මීදුමේ
කිලි පොලා සැලී යමින් - නොහිම් සීතලේ
රැය ගෙවේ සඳත් නිවේ – දුරයි ජිවිතේ ගේය පද – රත්න ශ්‍රී විජේසිංහ සංගීතය – විශාරද ගුණදාස කපුගේ ගායනය – විශාරද ගුණදාස කපුගේ
ගුණදාස කපුගේ නම් සොඳුරු ගායන ශිල්පියා ජනතාවාදී ගායකයෙකි. විවිධ වූ සමාජ ප්‍රශ්න අළලා ඔහු ගැයූ ගී අතර ප්‍රේමය නම් සොඳුරු තේමාව අළලා ගැයුණු ගීත කිහිපයක් ද වෙයි. ඒ අතර ‘නින්ද නැති රැයේ’ ගීතයට හිමි වනුුයේ ප්‍රමුඛ ස්ථානයකි. ප්‍රේම ගීතයක් ලෙස සැවොමගේ හදවත බැඳුණු මේ ගීයට මා ප්‍රිය කරන්නේ ඔහු හා බැඳුණු සොඳුරු සැමරුමක් ‘නින්ද නැති රැයේ’ සමඟ බැඳී ඇති නිසාය. ගුණදාස කපුගේ යනු සොඳුරු කොවුලාණන් කොපමණ සංවේදී නිහතමානි මිනිසෙක් ද යත් ඔහුට ගීතයක් ගයන්නැයි කවුරු හෝ ආරාධනා කළොත් එය ඉටු කිරීමට දෙවරක් නොපැකිළෙන බව කවුරුත් දන්නා කතාවකි. ඒ කියමනද මීට අදාළය. අතීතයේ යම් දිනෙක අග නගරයේ ප්‍රධාන අවන්හලක රැස් වූ කලාකරුවන් රැසක් අතර මම ද සාමාජිකයෙක් වීමි. මධුවිතක් තොල ගාමින් විවිධ කතාබහ අතර නියැළී සිටි අප අතර මා ප්‍රිය කළ ඒ සොඳුරු මිනිසා ද විය. ගුණදාස කපුගේ නම් වූ ඒ සොඳුරු මිනිසා අත තිබුණේ ද මීවතකි. මේ ගීතයට බෙහෙවින් ප්‍රිය කළ මට ඔහු දුටුවනම ගීතය අසන්නට දොළක් උපන්නේය. මා සෙමෙන් ඔහු අසලට පැමිණියේ මගේ සිතේ ඇතිවුණු ඒ අපූරු සිතුවිල්ල වචනවලට නඟන්නටය. ‘කපුගේ අයියේ නින්ද නැති රැයේ කියන්නකෝ’ මම ඔහුගෙන් ඉල්ලීමි. සැනෙන් ඔහු ගීතය ගයන්නට පටන් ගත්තෙන් අප සිටි ශාලාව පමණක් නොව මුළු අවන්හලම නිශ්ශබ්ද වූවා යැයි මට සිතිණි. එවේලෙහි ගුණදාස කපුගේ නම් ඒ කෝකිලයාගේ මියුරු ස්වරය අපගේ හදවත සෝ සයුරෙහි ගිල් වූයේ නොමැකෙන මතකයක් මා සිතට පිවිසවමිනි. ඔහු ගීතය ගයා අවසාන වන මෙහොත වන විට අප සියල්ලන්ගේ නෙත්වලින් කඳුළු කැට එක දෙක රූරා වැටෙන්නට වූයේ ඉබේමය. එමෙන්ම ඔහුගේ දෙනෙතෙහි ද කඳුළු කැට කිහිපයක් දිලිසෙන අයුරු මම දිටිමි. ඒ තරමටම සංවේදී, නිහතමානි සහෘද මිනිසකු සමඟ ඒ හෝරා කිහිපය ගෙවන්නට තරම් මම වාසනාවන්තයෙක් වීමි. මේ ගීතය අසන සෑම විටෙකම ඒ සොඳුරු හෝරා කිහිපය මා හදවතේ නැවත නැවතත් මතකයට නැඟෙන්නේ මටත් හොරෙනි.
|



ගේයපද රචකයකු
තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
එහිදී කරළියට පිවිසි නිවේදකයෝ දෙදෙනාගෙන් එක් අයකු වූයේ ප්‍රේමකීර්ති ද
අල්විස් ය. අනෙක් නිවේදකයා බණ්ඩාර කේ. විජේතුංගය. ඔහුව වඩාත් අපගේ සිත්වල අමතක නොවන
චරිතයක් බවට පත් වන්නේ මේ ගීතය නිසාවෙනි.
ගුවන් විදුලියේ වෙළෙඳ සේවයට මා ලියූ ‘මකර තානායම’ ගුවන් විදුලි නාට්‍යයේ සුදු
රැවුළා වූයේ ඔහුය. ඒ නිසා මා කුඩාකල පටන් ප්‍රිය කළ ඔහුගේ සමාගමය මට මහ මෙරක් තරම්
විය. කුඩාකල මා දුටු පතාක යෝධයා මේ තරමටම සොඳුරු නිහතමානී මිනිසකු නොවේදැයි මගේ හිත
පුදුමයට පත් කළේය. මේ නිසා ඔහු හා ගෙවුණු ඒ කාල පරාසය මගේ මතකය අතර ලියැ වී
තිබෙන්නේ නොමැකෙන ලෙසිනි.
ගුණදාස කපුගේ නම් ඒ සොඳුරු මිනිසා ගයන මේ ගීතය ද මගේ මතකයේ රැඳුණු ගීත අතරෙන්
විශේෂත්වයක් හිමි වෙයි.