වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ රියැලිටි වැඩසටහන් ඇරැඹීමේ ප්‍රමුඛයෙකු වූ දාස මුදලාලි

ලංකාවේ රියැලිටි වැඩසටහන් ඇරැඹීමේ ප්‍රමුඛයෙකු වූ දාස මුදලාලි

ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් පිබිදෙන ගායක පරපුර ගැන කියූ අතීත මතක

සරතැස මතින් ගලා යන ජීවන ගමනේ විඩාව සංසිඳවාලන්නට මිනිසා විසින් කලාව බිහි කළේය. මේ සකලවිධ කලාවන් අතරින් සංගීතය විශ්වීය භාෂාවක්ව අප හද සන්තානය විවිධ අයුරින් ස්පර්ශ කරන්නට සමත්ව ඇත.

සිතක නැඟෙන සුන්දර සිතිවිලි ගේය පද සිත්තමක්ව ඊට නිවැරැදි අයුරින් සංගීතය ප්‍රස්ථාර ගතකොට, අර්ථයට සුදුසු සුමිහිරි හඬකින් ගීතය ගැයූ විට දැනෙන සතුට මෙතෙකැයි කියා පැවසිය නොහැකිය. දුක, සතුට, සංත්‍රාසය, වීරත්වය පමණක් නොව හාස්‍යය ද මුසු වූ ගීතයකට සමාජයක ගමන් මඟ ද වෙනස් කළ හැකිය.

ලෝකයේ ගුවන් විදුලිය ආරම්භ වූ දින පටන්ම සංගීතයට එහි සුවිශේෂී තැනක් හිමි විය. 1923 දී මෙරට ගුවන් විදුලිය ආරම්භයත් සමග ගීත කලාවට සුවිශේෂී තැනක් හිමි වීම නිරායාසයෙන්ම සිදු විය. හද පිනවන මාධ්‍යයක් වූ ගුවන් විදුලියට ගීතයේ පිළිසරණ නැතුවම බැරි විය. එම නිසාම නිසියාකාරව සංගීතය අධ්‍යනය කළ බොහෝ පිරිසක් මෙරට ගුවන් විදුලි ශිල්පීන් ලෙස ද ප්‍රචලිත වූහ.

තවත් බොහෝ පිරිසක් සහජයෙන්ම උරුම කරගත් තම සංගීත ඥානය මෙන්ම සුවිශේෂී ගායන හැකියාවට ඉඩකඩ ලබා ගැනීමේ පිපාසාවෙන් පෙළෙන්නට විය. එකල මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළින්ම දිදුලන නාමයක් විය. ඒ ඩියුරෝ නාමයයි. එහි අධිපති එස්. ඩී. ගුණදාස මහත්මා මෙරට සංගීත හැකියාව ඇති තරුණ, බාල, මහලු කාටත් අවස්ථාවක් හිමිකර දීමේ අවශ්‍යතාවකින් පෙළුණේය. එවකට ගුවන් විදුලි සංස්ථාව සමඟ ඇතිකර ගත් ගිවිසුමකින් එතුමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගත්තේය. ඒ අදටත් ජනප්‍රිය ‘පිබිදෙන ගායක පරපුර’ වැඩසටහනයි.

වර්තමානයේ මෙරට රියැලිටි තරග අනන්ත අප්‍රමාණ ගණනක් තිබුණත් ‘ඩියුරෝ’ නාමය මෙරට ප්‍රචලිත කළ ‘දාස සමූහ’ ව්‍යාපාරයේ නිර්මාතෘ එස්. ඩී. ගුණදාස මහත්මා මෙරට රියැලිටි කලාවට අතිහිත දුන් පුරෝගාමියෙකි. පසුගියදා දාස සමූහ ව්‍යාපාර අධිපති එස්. ඩී ගුණදාස හෙවත් දාස මුදලාලි අප අතරින් සදහටම සමු ගත්තේය. එම නිසාම මෙවර මෙරට සංගීත ශිල්පීන් විශාල ප්‍රමාණයක් බිහි කිරීමට අත හිත දුන් දාස මුදලාලි හෙවත් එස්. ඩී. ගුණදාස මහත්මා බිහි කළ ‘පිබිදෙන ගායක’ පරපුර වැඩසටහන හා සබැඳී අතීතය ගැන තොරතුරු කතා කරන්නට එම වැඩසටහන දිගු කලක් ඉදිරිපත් කළ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහත්මා මෙවර පිය සටහන් සමඟ එක් විය.

‘1970 දශකය මුල් කාලයේදී මෙරට ගුවන් විදුලිය ජනතාවගේ සමීපතම මිත්‍රයෙක් වුණා. ඒ කාලේ පුවත්පත්වලට අමතරව ප්‍රධානතම විනෝදාස්වාදය ලබා දෙන මාධ්‍ය වුණේ රේඩියෝ එක. ඒ කාලේ දාස සමූහ ව්‍යාපාරයේ දාස මුදලාලිට වුවමනාවක් වුණා ගුවන් විදුලියත් සමඟ එකතු වෙලා රටේ අස්සක් මුල්ලක් නෑර සිටින දක්ෂතා සපිරි ගායන හැකියාව ඇති අයට අවස්ථාවක් ලබා දෙන්න. දවසක් එතුමන් ගුවන් විදුලියට ඇවිත් විමසුවාලු මෙතන රුපියල් දෙසිය පනහක් තියෙනවා. මට ගුවන් විදුලියෙන් මේ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා. එහෙම කියලා ටික දවසක් ගිහින් එවකට ගුවන් විදුලියේ සිටි ප්‍රවීණ නිවේදකයෙක් වුණ කරුණාරත්න අබේසේකරයන් (කරු අයියා) වෙළෙඳ සේවය ඔස්සේ අලුත් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා නම යෝජනා කරලා තියෙන්නෙත් දාස මුදලාලි තමයි. ඒ නම තමයි ‘පිබිදෙන ගායක පරපුර’.

දිවයින පුරා ගායන හැකියාව තිබූ බොහෝ පිරිස් මේ සඳහා අයැදුම් කරලා තිබුණා. අවුරුද්දකට තුන් දෙනා බැගින් මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ පිරිසක් බිහි කරන්න මඟ පෑදිලා තියෙන්නේ පිබිදෙන ගායක පරපුර වැඩසටහන හරහා. දැන් මොන ආකාරයේ ස්ටාර් වැඩසටහන් තිබුණත් මෙරට ගායන ඉතිහාසයේ ඒ අවදියේ රියැලිටි වැඩසටහන ‘පිබිදෙන ගායක පරපුර’. ඒ කාලේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදන ශිල්පියාටත් සංගීතය ගැන සාමාන්‍ය ඥානයක් හෝ තිබිය යුතුයි. පිබිදෙන ගායක පරපුර හරහා මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ පරපුරක් බිහි කළා. ඔවුන් අදටත් මෙරට සුභාවිත ගීත කලාවේ ඉදිරියෙන්ම සිටින ප්‍රවීණයන්. විල්බට් ඇන්තනි, රෝහණ බෝගොඩ ආදී ප්‍රවීණ ගායන ශිල්පීන් සිටිනවා. ඔය හැත්තෑව දශකයේදී එඩ්වඩ් ජයකොඩි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීතය ඉගෙන ගන්නවා. එතකොට විශ්ව විද්‍යාලය හැඳින් වූයේ ‘හේවුඩ්’ නමින්. සංගීත ඥානය ප්‍රගුණ කරමින් ඉන්න එඩ්වඩ්ටත් හිතුණලු පිබිදෙන ගායක පරපුර වැඩසටහනට අයැදුම්පතක් දාන්න. එහෙම කරලා එහි අවසාන වටයටත් තේරුණ එඩ්වඩ් අවසන් තරඟයේදී ජයග්‍රහණය කරන්නේ දෙවැනියා විදිහට. පළමුවනියා වුණේ මරදාන පැත්තේ නිහාල් ප්‍රනාන්දු කියලා හාදයෙක්. නමුත් එඩ්වඩ් එතනින් නොනැවතී දිගටම ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළා. අද ලංකාවේ සිටින ප්‍රවීණතම සංගීතඥයන් අතරින් ප්‍රමුඛ පෙළේ සංගීතඥයෙක්නෙ එඩ්වඩ්. ඔය ‘දාස මුදලාලි’ බිහි කළ පිබිදෙන ගායක පරපුරෙන් බිහි වු කිහිප දෙනෙකු විතරයි. තව මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සිටිනවා පිබිදෙන ගායක පරපුර තුළින් බිහි වුණ.

කොහොම හරි හැත්තෑව දශකය අවසන් භාගයේදී කරු අයියාගෙන් පසුව කේ. ඩී. කේ. ධර්මවර්ධන, ආරියදාස පීරිස්, ලලිත් එස්. මෛත්‍රීපාල, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ වැන්නවුන් මේ වැඩ සටහනේ නිවේදකයෝ බවට පත් වුණා. 1989 දී ලලිත් එස්. මෛත්‍රීපාල මහත්මයා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති බවට පත් වුණා. ඒ නිසා පිබිදෙන ගායක පරපුර වැඩසටහන මට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් මමත් දාස මුදලාලි ඉදිරිපිටම ප්‍රථම වරට එම වැඩසටහන ඉදිරිපත් කළා. එතුමන්ට සතුටුයි. ඔය වැඩසටහන ඉදිරිපත් කළේ ගුවන් විදුලියේ හයවැනි මැදිරියේ ඒ කියන්නේ කුමාරතුංග මැදිරියේ සජීවී පටිගත කිරීමක් විදියට. එතැන් පටන් මම වැඩ සටහන මෙහෙයවන්න පටන් ගත්තා. දාස මුදලාලිත් නොවරදවාම මේ වැඩසටහන පටිගත කිරීමේ දිනයට පැමිණෙනවා. දවසක් දාස මුදලාලි මට කිව්වා මේ වැඩසටහන මැදිරියක පටිගත කරලා මදි. රටේ විවිධ පළාත්වලට ගෙන යන්න ඕනෑ කියලා. ඒ කියලා මෙහෙමත් කිව්වා. ‘මගේ කමිස, බැනියම්, සරොන් කොළඹ අයට නෙමේ වටින්නේ, ගමේ අයට. ඒ වගේම සිංදු කියන්න දක්ෂ අය සිටින්නෙත් බොහෝ විට ගමේ. ඒ නිසා අපි මේ වැඩසටහන රට වටේ ගෙන යන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනෑ’ කියලා කිව්වා.

ඊට පසුව ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයෙන් පිට ප්‍රථම සජීවී පටිගත කිරීම කළේ අනුරාධපුරදී. ඒ අනුරාධපුර නගර ශාලාවේ. අපි පටිගත කරන දිනට පෙර දින සංගීත භාණ්ඩ, වාදන ශිල්පීන් ඒ වගේම දාස මුදලාලිත් ආරාධිත ගායන ශිල්පීනුත් රැගෙන බස් එකක් මෙහෙන් පිටත් වෙනවා. බොහෝ වෙලාවට සංගීතය මෙහෙය වූයේ ටියුලින් ජයරත්න, රන්ජන් ගාමිණී ආදී අය. අමරසිරි පීරිසුත්, නිමල් ගුණසේකර, සේන ගුණසේකර ආදී පිරිසක් විටින් විට සංගීතය සපයන්න එක් වුණා. දෛවයේ හාස්කම කියන්නේ පිබිදෙන ගායක පරපුර තුළින් ජනප්‍රිය වුණු රෝහණ බෝගොඩත් පසු කාලේදී එහි තබ්ලා වාදනයෙන් එක් වුණා.

අනුරාධපුරයෙන් පස්සේ ගිරාඳුරුකෝට්ටේ, අම්පාර නගර ශාලාවේ, පදවි ශ්‍රීපුර, ගාල්ල, මාතර, බදුල්ල, කුරුණෑගල, මහනුවර වැනි රටේ ප්‍රධාන නගරවල ‘පිබිදෙන ගායක පරපුර’ වැඩසටහන පටිගත කළා. මෙහි තියෙන සුන්දරම අත්දැකීම තමයි මේ හැම ගමනකටම දාස මුදලාලි අපිත් සමඟ බස් රථයෙන් පැමිණීම. අනෙක් කාරණය තමයි මෙහි විනිශ්චය මණ්ඩලය වෙන්නේ සංගීතය සපයන වාදක මණ්ඩලයේ ප්‍රධානියා, නිවේදකයා වගේම දාස මුදලාලි.

දවසක් සිසිර සේනාරත්නයි, ඉන්ද්‍රානි සේනාරත්නයි ‘පිබිදෙන ගායක පරපුර’ වැඩසටහනක ආරාධිත ගායන ශිල්පීන් ලෙස එක්වන්න අපිත් එක්ක ගියා. ඒ කාලේ දැන් වගේ තම තමන්ගේ පෞද්ගලික වාහනවලින් නෙමේ යන්නේ. හොඳ බස් එකක් අරන් හැමෝම එකට යන්නේ. ඔය යන අතරෙදි නොයෙක් රස කතා සිංදු එහෙම කියනවා. ඉතින් ඉන්ද්‍රානිටයි, සිසිරටයි සිංදුවක් කියන්න කියලා කට්ටියම ඉල්ලීම් කළා. දැන් රෑ අටට විතර ඇති. ඒ දෙන්නාගෙන් ඉන්ද්‍රානි අක්කා අදි මදි කළා. එතකොට සංගීත කණ්ඩායමේ කොල්ලෙක් හිටියා ඉන්ද්‍රානි අක්කා වගේම ඒ හඬින්ම සිංදු කියන්න පුළුවන්. ඉන්ද්‍රානි අක්කා බැහැ කියපු නිසා බස් එකේ ලයිට් නිවන්න කියලා අර හාදයා ‘රතු පාට මල් මට තාම මතකයි කියන ගීතය වචන අනිත් පැත්ත හරවලා ඉන්ද්‍රානි අක්කටත් ඇහෙන්න ඒ හඬින්ම කිව්වා. ලයිට් දාලා බැලුවත් කවුද කිව්වේ කියලා කව්රුත් දන්නෙ නැහැ. ඔය වගේ රසවත් සිදුවීම් බොහෝමයක් තියනෙවා.

ලංකාවේ රියැලිටි කලාවක් ගීතය හරහා බිහි කළා නම් එහි පුරෝගාමියා විය යුත්තේ දාස මුදලාලි. එතුමන් ගුවන් විදුලිය හරහා එය හරියාකාරව ඉටු කළා. මෙරට සංගීත ක්ෂේත්‍රයට, දක්ෂ සංගීත ශිල්පීන් පිරිසක් ගුවන් විදුලිය හරහා බිහි කරන්නට දායක වුණා. ඒ වගේම මෙරට ව්‍යාපාරික පැත්තෙන් ඉතාම කුඩ තැනින් පටන්ගෙන ඉහළම ස්ථරයකට පැමිණි ධෛර්යවන්ත මිනිසෙක්. එතුමන් මෙරට ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙය අමිලයි. එය විශිෂ්ටයි. පසුගියදා එතුමන් වියෝ වුණා. දිගු කලක් ‘පිබිදෙන ගායක පරපුර’ වැඩසටහන ඉදිරිපත් කළ මට එය මහත් වේදනාවක්. ඒ වගේම එතුමන් ගැන හිතන කොට ආඩම්බරකාර ලංකා පුත්‍රයෙක් කියන සිතුවිල්ල ඇති වෙනවා. මේ වෙලාවේ එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම අපි හැමෝගෙම යුතුකම.