වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘මනෝරාණී’ මට සිනමාවේ යළි ජීවය දුන්නා
ස්වර්ණා මල්ලවාරච්චි අසංක දේවමිත්‍ර පෙරේරා සමඟ හෘදයාංගම කතාබහක...

‘මනෝරාණී’ මට සිනමාවේ යළි ජීවය දුන්නා

සිය කුලුඳුල් රංගනයෙන්ම විශිෂ්ටත්වයට පත් අපේ චරිතාංග සිනමා නිළිය කවුරුන්දැයි යමෙකු විමසුවහොත් මගේ නිසැක පිළිතුර ස්වර්ණා මල්ලවාරච්චිය.

ඕ සිය රංගන චාරිකාව අරඹන්නේ උස් කඳු මුදුනක හිඳය. ඒ සත් සමුදුර චිත්‍රපටයේ ‘සෝමා’ ගේ චරිතය නිරූපණය කරමිනි. එතැන් පටන් ඕ ඒ කඳු මුදුනෙහිම රැඳී සිටියා විනා ඉන් පහළට බැස්සේ නැත.

සුද්දිලාගේ කතාව - ‘සුද්දි’, සාගර ජලය - ‘හීන් මැණිකා’, කැඩපතක ඡායා - ‘නන්දා’, දඩයම - ‘රන්මලී’, අයෝමා - ‘ලාලනී’, බවදුක - ‘නෝනාහාමි’ අනන්ත රාත්‍රිය - ‘අයරින්’ වැනි අපේ මහ පොළොවේ ජීවත් වූ චරිත ඈ ඉතා සරුසාර ලෙස රිදී තිරය මත ජීවමාන කැරවූවාය.

වසර දහ අටක නිහැඬියාවකින් පසු ස්වර්ණා යළිත් සිනමා රංගනයට පිවිස සිටින්නීය. ඒ නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ “තන්හා රතී රඟා” සමඟිනි. ඉනික්බිතිව ඈ නිලේන්ද්‍රගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘දේ ඩාන්ස් අලෝන්’ හි ප්‍රධාන භූමිකාව සඳහා ද සූදානමින් හිඳින්නීය.

මේ එය පුමුඛත්වයෙහිලා දිගු කලෙකට පසු ‘සරසවිය’ ස්වර්ණා හා කළ හෘදයාංගම කතාබහකි.

වසර දහ අටක කාලයක් ඔබ රංගගනයෙන් ඈත්ව සිටියා. ඇයි?

අපේ සිනමා කර්මාන්තය එක්තරා කාලයක කඩා වැටුණානේ 83 ජූලි කලබලත් එක්ක. මිනිස්සු චිත්‍රපට බලන්න යන එක නැවතුණා. ඒකෙන් චිත්‍රපට කලාව ආපස්සට ගියා. අපේ සමහර චිත්‍රපට ශාලා, චිත්‍රාගාර ගිනි තිබ්බා. ඒ ඉතිහාසය මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනෑ නැනේ. සිනමාවේ වැටීමත් එක්ක අපේ රටේ රූපවාහිනිය නැගිට්ටා. අපේ ප්‍රේක්ෂකයෝ රූපවාහිනිය වටේ රොක් වුණා. බොහෝ ප්‍රවීණ නළු නිළියන් රූපවාහිනී ටෙලි නාට්‍යයවල රඟපාන්ට පටන් ගත්තා. මම හිතන්නේ මම විතරක් වෙන්නැති ටෙලි නාට්‍යවල රඟ නොපෑ එකම නිළිය. මේ වගේ රටක, මේ වගේ ක්ෂේත්‍රයක අවුරුදු දහ අටක් නිහඬව ඉන්න ලොකු විල් පවර් එකක් තියෙන්න ඕනෑ. ඒක මට තිබුණා.

අපේ සිනමාවේ බිඳ වැටීමට රූපවාහිනිය බලපෑ බව එකල බොහෝ දෙනා කිව්වා?

එහෙම කියන්න බැහැ. මොකද රූපවාහිනිය මඟින් චිත්‍රපටවල වෙළෙඳ දැන්වීම් විකාශය කරනවා. නළු නිළියෝ ගෙන්වලා විවිධ වැඩ සටහන් ඉදිරිපත් කරනවා. දැන් ඉන්දියන් චැනල්ස් එහෙම තාමත් ඉන්දීය සිනමාවට විශාල සේවයක් කරනවා. ලංකාවේත් එහෙම මොන මොනවා හරි තියෙනවනේ. ඒක අපි පිළිගන්න ඕනෑ. විවිධ රූපවාහිනී නාළිකාවල අදටත් අපි රඟපෑ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනවා. මම අවුරුදු දහ අටක් සිනමාවෙන් ඈත් වෙලා හිටපු බව ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නැහැ. මමම කිව්වොත් මිසක.

ඇයි ඔබ ටෙලි නාට්‍යයවලට සම්බන්ධ නොවුණේ?

අපි යම් චරිතයක් රඟපාන්නේ ලොකු මහන්සියකින් සහ කැපවීමෙන්. නමුත් රූපවාහිනියේදී ඒක ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් බලද්දී කවුරු හරි නිවසේ සීනුව නාද කළොත් නැගිටලා යනවා. අර විකාශය නවත්තන්න බෑනේ. ආයේ ඇවිත් ඉඳගන්න කොට භාගයක් ගිහින්. එතකොට ටෙලි නාට්‍යය අතරතුරේ කන්න යනවා. අරවා මේවා කරනවා. කෝ මානසික ඒකග්‍රතාවයක්. නිළියක් විදිහට මම කැමැති ප්‍රේ්ක්ෂක අවධානය දිගටම රඳවා ගන්න. අපි කරපු නිර්මාණයත් එක්ක ඔවුන් ඉන්නවා නම්. නමුත් රූපවාහිනිය නරඹන කොට ඒක කරන්න බෑ.

ශාලාවකට ගිහින් සිනමා පටයක් නරඹනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්?

ඔව්. ඇත්තටම ඒක වෙනම කටයුත්තක්. වෙනම ඉවෙන්ට් එකක්. චිත්‍රපටයක් නරඹන්න යනවා කියන්නේ අවුටින් එකක් නේ. දැන් ඒක තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මම කැමැතියි අන්න ඒකට. මිනිස්සු විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන් ලෑස්ති වෙලා ඇවිත් අර අඳුරු ශාලාවේ සිනමාපටයක් නරඹන එක ඇත්තෙන්ම සුන්දර අත්දැකීමක්. අපි පුංචි කාලේ එහෙම සිනමාවක් තිබුණා. එහෙම සිනමාවක් නැති වුණාට පස්සේ මගේ හිත මට කිව්වා ‘නෑ ඔයා ඔහොම ඉන්න. හිතට දැනෙන චරිතයක් ලැබුණොත් රඟපාන්න’ කියලා. ලබන අවුරුද්දේ කරනවා, ඊළඟ අවුරුද්දේ කරනවා කියලා මේ අවුරුදු විස්සම මම බලාගෙන හිටියා.

නැවත ඔබ සිනමාවට කැඳවාගෙන ඒමේ ගෞරවය හිමි වෙන්නේ නිලේන්ද්‍ර දේශප්‍රියට?

අවුරුදු දහ අටකට පස්සේ තමයි නිලේන්ද්‍රගේ ඇරයුමෙන් මම “තන්හා රතී රඟා” චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඉන් අවුරුදු දෙකකට පස්සේ තමයි ‘දේ ඩාන්ස් එලෝන්’ චිත්‍රපටයේ රඟපාන්න සූදානම් වෙන්නේ. ඇත්තටම නිලේන්ද්‍ර තමයි ‘ස්වර්ණා අක්කා අපි මේ වැඩේ කරමු’ කියලා මාව උනන්දු කළේ. ඒ වගේම බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා නැවත නිෂ්පාදනයට පිවිසෙනවා. එදා මම රඟපෑ ‘සුද්දිලාගේ කතාවේ, ‘අයෝමා’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ ඔහු. අද එතුමා අමාත්‍යවරයෙක්. මේ තරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් නැවත එතුමා සිනමාවට එන්නේ ඊට තිබෙන බලවත් කැමැත්ත නිසයි. නිලේන්ද්‍ර වැනි සිනමාවට ලැදි, එය ජීවිතය කරගත් අධ්‍යක්ෂවරයෙක් හා බන්දුල ගුණවර්ධන වැනි සිනමා රසිකත්වයක් තියෙන නිෂ්පාදකවරයකු සමඟ අලුත් චිත්‍රපටයේ වැඩ කරන්න ලැබීම ලොකුම ලොකු සතුටක්. අයෑම් ඉන් ද සෙවන්ත් හෙවන්.

‘නිලේන්ද්‍ර - ස්වර්ණා’ දැන හැඳුනුම්කමට සැහෙන දිගු ඉතිහාසයක් තිබෙනවා?

ස්වර්ණා, මනෝරාණි ලෙස

මුලින්ම නිලේන්ද්‍ර මට හමු වෙන්නේ 1989 වසරේ. විජය කුමාරතුංගගේ පළමු ගුණානුස්මරණය නිමිත්තෙන් නිලේන්ද්‍ර සහ දයාන් ගුණතිලක එකතුව වාර්තාමය චිත්‍රපටයක් කළා. ඒකේ සෑහෙන වැඩ කොටසක් කළේ නිලේන්ද්‍ර. විජයගේ මව, විජයගේ අක්කා සහ මම තමයි ඒ ඩොකියුමෙන්ට්රි එකට සම්බන්ධ වුණේ. අවුරුද්දෙන් අවුරුද්ද කපලා කොටල දැන් ඒකෙ මාව ඇත්තෙත් නෑ. දැන් ඉන්නේ වෙන අය. ඔය වාර්තාමය චිත්‍රපටයට විජය ගැන කතා කරන්න එදා නිලේන්ද්‍ර ක්ෂේත්‍රයේ කීප දෙනෙකුට කතා කළා. ආවේ නෑ බයේ. නමුත් මට නම් බයක් තිබුණේ නෑ. මොකද විජය මගේ හොඳ මිතුරෙක්. ‘හන්තානේ කතාවේ’ දී විජය මට හමු වෙන කොට මට අවුරුදු දහ නවයයි. විජයට අවුරුදු විසි හතරක් විතර ඇති. ඒක වෙනම කතාවක්. මගේ යාළුකම කිව්වේ.

ඉන් පසු නැවත නිලේන්ද්‍ර ඔබට මුණ ගැසෙන්නේ සිනමාව හරහා?

ඔව්. ඒ ‘අයෝමා’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විදිහට. ඒ හමුවීමෙන් පස්සේ තමයි අපේ මිත්‍රත්වය තහවුරු වුණේ. ඒ 1993 වසරේ. නිලේන්ද්‍ර එක්ක විතරක් නෙවෙයි ඔහුගේ පවුලේ අය සමඟත්. අද වෙනතුරු ඒ හිතවත්කම, ළෙන්ගතුකම එහෙමම තියෙනවා.

‘දේ ඩාන්ස් අලෝන්’ චිත්‍රපටයට අඩිතාලම වැටෙන්නේ සෑහෙන කාලයකට පෙරාතුව?

1995 දී තමයි නිලේන්ද්‍ර මේ චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ. ඒ මම සිනමාවේ මුදුන් හිනි පෙත්තේ හිටපු කාලේ. වාත්තීය මට්ටමෙන් ඉතා ඉහළ මට්ටමක හිටියේ. තාම ඒ වගේනේ? (හිනැහෙමින්). එතකොට නිලේන්ද්‍ර සහාය අධ්‍යක්ෂවරයෙක් විතරයි. මම දන්නේ නෑ ඔහුට ලොකු වුවමනාවක් තිබුණා මේ චිත්‍රපටය කරන්න.

එක්තරා කාලෙක මේ රටේ ආන්දෝලනාත්මක සිදුවීමකට මුල පිරූ රිචඩ් ද සොයිසා ගේ මව වූ මනෝරාණි සරවනමුත්තු චරිතයයි ඔබට රඟපාන්න තිබුණේ?

නිලේන්ද්‍ර ස්ක්‍රිප්ට් එක ලියලා මට දුන්නා. ජෝ සෙනෙවිරත්නත් එයාට උදව් කළා. ඇත්තටම මට විශාල කැමැත්තක් තිබුණේ ඒ චරිතය රඟපාන්න. එතකොට මනෝරාණී සරවනමුත්තු මහත්මිය ජීවතුන් අතර සිටියා. අපි කීප වතාවක් ගිහින් ඇය හමු වුණා. ඇය කැමැති වුණා මේ චිත්‍රපටය කරනවාට. එතකොට එයා හොඳ සනීපෙන් හිටිියා. අපි එක්ක කෑමකට පවා ගියා. ස්වීට්ස් කන්න හරි කැමතියි. අපි යනකොට ස්වීට්ස් අරගෙන යනවා. ඉතිං අපි හොඳ සංවාදයක යෙදුණා ඇයත් එක්ක. මනෝරාණි ජීවත්ව ඉන්න කොට එයා මුණ ගැහෙන්න ලැබීම මගේ භාග්‍යයක්. එයා අපිට අර ඉන්සිඩන්ට් එක ගැන ගොඩක් තොරතුරු අනාවරණය කළා. ඊට පස්සේ නිලේ ලක්ෂ එක හමාරක් ණයට හොයාගෙන කම්පියුටර් එකක් අරගෙන තමයි නැවත ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගත්තේ. ඒ කාලේ නිලේ ළඟ සල්ලි නෑ.

චිත්‍රපටයේ දර්ශන කිහිපයකුත් රූගත කළා නේද?

නෑ. ඇත්තටම ඒක ස්ක්‍රීන් ටෙස්ට් එකක්. චිත්‍රපටයට සම්බන්ධ චරිත සියල්ල යොදාගෙන අපි දින කිහිපයක් ෂූට් කළා. සාජි එන් කරූන් ගේ ‘පිරවි’ චිත්‍රපටයේ කැමරමන් සනී ජෝශප් ඉන්දියාවේ ඉඳන් ගෙන්නුවා මේක කරන්න. ඊබට් විජේසිංහ තමයි මේකප් කළේ. කොහොම හරි මනෝරාණි මහත්මියත් සෙට් එකට ආවා මේ ෂූට් එක බලන්න. නිලේන්ද්‍ර‍්‍රට ඒ කාලේ හැටියට ලක්ෂ නවයක් ද කොහෙද වැය වුණා වැඩේට. ඒකත් හොයාගෙන තිබුණේ ණයට. 35 ර්. ර්. කැමරාවෙන් ෂූට් කළේ.

මම හිතන්නේ චිත්‍රපටයට නිෂ්පාදකවරුන් පවා ඉදිරිපත් වුණා නේද?

චන්ද්‍රන් රත්නම් අපට උපකරණ නොමිලේ ලබා දෙන්න පොරොන්දු වුණා. එතකොට ‘සාගර ජලය’, ‘කැඩපතක ඡායා’ චිත්‍රපට නිෂ්පාදනය කළ හර්ෂ නවරත්නට මම කතා කළාම ඔහුත් එකඟ වුණා චිත්‍රපටයට මුදල් යොදන්න. ඒත් ගාමිණී ෆොන්සේකා ඔය කාලෙම චිත්‍රපටයක් කරන්න ගියා නිලේ සහාය අධ්‍යක්ෂවරයා හැටියට යොදාගෙන ‘ජජ්මන්ට්’ කියලා. ඒකට පැවති රජයෙන් අවසර ලැබුණේ නෑ. ඊට පස්සේ 1998 දී නිලේ ‘සිරස’ රූපවාහිනියේ වැඩ සටහන් නිෂ්පාදකවරයකු ලෙස සේවයට බැඳෙනවා. ඔහු ඉතාමත් කාර්යබහුල වෙනවා. එතනින් වැඩේ නැවතුණා. හර්ෂ නවරත්න ආයෙත් අප හමුවෙලා කිව්වා ස්විට්සර්ලන්තයෙන් ෆන්ඩිස් ගන්න පුළුවන් චිත්‍රපටය කරමු කියලා. ඒත් මම හිතන්නේ නිලේට ඒ අවශ්‍ය නිවාඩු ගන්න පුළුවන් වුණේ නැහැ.

ඒ කාලයේ චිත්‍රපටය නොකෙරුණ එක ගැන දැන් මොකද හිතෙන්නේ?

මම හිතන්නේ ඒක හොඳයි. මගේ පෙනුම පවා මනෝරාණිගේ චරිතයට එදාට වඩා වඩා ගැළපෙන්නේ අද. එදා මම තරුණ වැඩියි. ඒ වගේම නිලේත්, මමත් අද අත්දැකීම්වලින් පරිණතයි. රිචඩ් ඇටෙන්බරෝ ‘ගාන්ධි’ පෙන්වද්දී කිව්වා අවුරුදු විස්සක් මේක පෙන්නන්න බලාගෙන හිටියා කියලා. එදා අපට හිතුණා ඒ බොරුවක් කියලා. බොරු නෙවේ ඇත්ත. අපිටත් වුණා එහෙම. අනෙක නිලේට පුළුවන් වුණා ස්ක්‍රිප්ට් එක ඒ අවශ්‍ය අය මුණ ගැහිලා තවත් ඩිවලොප් කරගන්න. පුංචි දිය දහරක් ගලාගෙන ගලාගෙන ඇවිත් අද මහ මුහුදක් වගේ වෙලා.

‘තන්හා රතී රඟා’ චිත්‍රපටයේත් ඔබ මනෝරාණී ලෙස රඟපෑවා?

ඒ නමින්ම, ඒ හැඩරුවත් එක්ක විනාඩි හතරක දර්ශනයක් මම ඒ චිත්‍රපටයේ රඟපානවා. ඒක නිකං පූර්විකාවක් වගේ. දැන් ‘තන්හා රතී රඟා’ බලලා ‘දේ ඩාන්ස් එලෝන්’ බලන කාලෙක මිනිස්සුන්ට තේරෙයි ඇයි මම ඒකෙ හිටියේ කියලා.

නිලේන්ද්‍ර සහ ඔබ මහත් උද්දාමයෙන් යුතුව සිනමාවට ගේන්න හදන මමෝරාණි සරවනමුත්තු චරිතයේ ඇති වටිනාකම වත්මන් සමාජය පසක් කරගෙන ඇද්දෝයි මා තුළ තිබෙන්නේ කුකුසක්. ඇයි මනෝරාණී අපට වටින්නේ?

විශේෂයෙන්ම ගැහැනියක ලෙස ඈ තුළ තිබූ නිර්භීත බව. ආත්ම ශක්තිය, පෞද්ගලික දෙයක් ඇය පොදු දෙයක් බවට පත් කර ගත්තා. තමන්ගේ පුතා අකාලයේ අහිමි වුණා කියා එයා කරබාගෙන ගෙයි මුල්ලට වෙලා හිටියේ නෑ. ඒ දුක දන්න අනෙක් අම්මාවරුන් වෙනුවෙන් පෙනී හිටියා. ඇය මව්වරුන්ගේ පාද යාත්‍රාවක් සංවිධානය කරන්න පුරෝගාමී වුණා. වත්මන් ජනාධිපතිතුමාත් එදා ඒ කටයුත්තට ඒ අයට උපකාර කළා. ඇය නිහඬව සමාජයට ලොකු මෙහෙවරක් කළ අපේ කාලයේ උදාර කාන්තාවක්. අපි ඒ වටිනාකම අද සමාජයට මෙවැනි නිර්මාණයකින් හෝ පෙන්වා දිය යුතුයි.

අපේ සිනමාවේ ‘ඉංගිත ගායිකාව’ ලෙසයි වරක් ජැක්සන් ඇන්තනි ඔබ හඳුන්වා දී තිබුණේ. ඒ ඔබේ අද්විතීය රංගනය පිළිබඳ අපූරු තක්සේරුවක්?

ජැක්සන් එහෙම කියලා තිබුණද, අනේ මම දන්නෙත් නෑ. මම හිතන්නේ ඔහු වඩාත් ප්‍රිය කරන නිළියන්ගෙන් කෙනෙක් මම. ඒ වගේම රවීන්ද්‍ර රන්දෙණිය එක්තරා පුවත්පතකට ‘දඩයම’ චිත්‍රපටයේ මගේ රඟපෑම ගැන ‘ස්වර්ණාගේ රංගනය ‘ඔකේස්ට්‍රා එකක බිංදු මාත්‍රයක්වත් වැරැද්දක් නැති ස්වර වාදනයක්’ වගෙයි කියලා කියා තිබුණා. ඉතින් ඒක ලොකු දෙයක් නේද . . .? මගෙත් එක්ක රඟපාපු සහාය නළුවෝ එහෙම කියන එක.

අවුරුදු දහ අටකට පස්සේ සෙට් එකට ගියාම මොන වගේ හැඟීමක් ද දැනුණේ?

ජෝ සෙනෙවිරත්න, රොබ් නේවිස්, නිලේන්ද්‍ර දේශප්‍රිය, සනී ජෝශප් ස්වර්ණා සහ මනෝරාණි

ඕනෑම අධ්‍යක්ෂවරයකු ළඟට මම යන්නේ හිස් අතින්. මුලින් තිර රචනය බලලා ඒ චරිතය පිළිබඳ මම අධ්‍යක්ෂවරයා එක්ක සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට මම මනෝරාණී දැනගෙන හිටියත් ප්‍රතිනිර්මාණය කරන්න ඕනෑ නිලේන්ද්‍රගේ හිතේ ඉන්න මමෝරාණි. මට ඕනෑ මමෝරාණි ගෙනියන්න බෑ එතෙන්ට. මම නිළියක් හැටියට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේයි කළ යුත්තේ.

ජීවිතයෙන් ඔබ අහුලා ගත් දෑ රංගනයේදී ඊට එකතු කරගන්නා නිළියක් ඔබ?

ඔව්. ඒක ඉතින් ඉබේටම වෙනවානේ. අපිත් එක්ක ඒ චරිතයට අනෙක් නළු නිළියන් හැඩ ගැහෙන කොට ඒ හැම දේම ඒකරාශි වෙලා රංගනයක් ඉදිරිපත් වෙනවා. හැබැයි චිත්‍රපටයක ඉන්න ප්‍රධාන නළුවා තමයි හීන් නූලක් වගේ අනෙක් චරිත එක්ක බැඳී ඉන්න අධ්‍යක්ෂවරයා. එයා තමයි මේ ටීම් එකම ගැට ගහගන්නේ. චිත්‍රපට කලාව කියන්නේ ටීම් වර්ක් එකක්. චිත්‍රයක් අඳින්න, පොතක් ලියන්න, කවියක් පබඳින්න පුළුවන් තනියෙන්. ඒත් චිත්‍රපටයක් එහෙම තනියම කරන්න බැහැ. ඒකයි මම කිව්වේ චිත්‍රපටයක ප්‍රධාන නළුවා අධ්‍යක්ෂවරයා කියලා. ඔහු අවශ්‍ය දේ තේරුම් කරලා දුන්නම මම හිතන්නේ ඕනෑම නළුවකුට නිළියකට හොඳ රඟපෑමක් ඉදිරිපත් කරන්න පුළුවන්.

සිනමාවේ ඔබට බොහෝ විට නිරූපණය කරන්නට ලැබුණේ පුරුෂාධිපත්‍යයට අභියෝග කරන චරිත. සැබෑ ජීවිතයේදීත් ඔබට එබඳු අත්දැකීම් නැතුවා නෙවේ?.

ඒවා ඉතිං ලියන්න වෙන්නේ දවසක මගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ තමයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් ඒ දවස්වල කියනවා කාට හරි කියලා මගේ ජීවිත කතාව ලියන්න. එයා ඒක සිනමාවට නඟනවා කියලා. මම දන්නවා. සමහර අය යම් යම් ප්‍රශ්න පැන නැගුණාම ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා, දැන් ඉතින් ජීවිතය මෙතනින් ඉවරයි කියලා. එහෙම නෙගටිව් විදිහට හිතලා වැරැදි තීන්දු ගන්නවා. දැන් අවුරුදු දහයකට කලින් මගේ බ්‍රේන් ඔපරේෂන් එකක් කළා. ඇනුවරිසම් එකක්. මිනිස්සු වෙන වෙන දේවල් කිව්වා. ඊට පස්සේ ගිය අවුරුද්දේ බ්‍රෙස්ට් කැන්සර් එකක්. තවම ඒකට ට්‍රීට්මන්ට් ගන්නවා. DR මහේන්ද්‍ර පෙරේරා මට ට්‍රීට් කළේ. මගේ ශල්‍ය වෛද්‍යවරයා වුණේ නියෝමාල් පෙරේරා. ඒත් මම හිතන්නේ දැන් මම පෙරටත් වඩා හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා. ඔළුව ඔපරේෂන් කළාට පස්සේ මම අවුරුදු අටක්  N. G. O  එකක වැඩ කළා මාධ්‍ය උපදේශිකාවක් හැටියට.

සියලු අභියෝග බාධක මැද ජීවිතයට එඩිතරව මුහුණ දුන් දිරිය කතක් ඔබ?

සියල්ල සිදු වෙන්නේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුව. මගේ ඔළුවේ ඔපරේෂන් එක කරපු වෙලාවේ DR බය වුණේ මට කතා කරන්න බැරි වෙයි කියලා. මගේ DR ෆ්‍රෙඩි පෙරේරා. ඔහු දුවට කියලා තිබුණා ‘අම්මට අවුරුදු දෙකක් විතර තෙරපි කරන්න වෙයි’ කියලා. ඊට පස්සේ මට මතකයි යන්තම් සිහිය එනකොට DR මගෙන් අහනවා ‘වට් ඉන් යුවර් ෆ්‍රොෆිෂන්’ කියලා. මම කිව්වාලු ‘අයෑම් ෆිල්ම් ඇක්ට්‍රස්’ කියලා. බෙහෙත් දීලා නිදි මතේ වගේනේ ඉන්නේ. මම එහෙම කිව්වලු. පස්සෙයි මම දන්නේ මට කතා කරන්න පුළුවන් ද කියලා බලන්න තමයි ච්අ එදා එහෙම අහලා තියෙන්නේ.

ඔබ දිගටම රංගනයේ නියැළුනා නම් මීට වඩා වැඩි යමක් අපේ සිනමාවට එකතු වෙන්න තිබුණා කියා මම හිතනවා. මේ දිගු නිහැඬියාව තුළ ඔබේ රංගන ප්‍රතිභාව අපතේ ගියා කියලා හිතෙන්නේ නැද්ද?

නෑ . . . නෑ . . . මට එහෙම හිතෙන්නේ නෑ. පසුගිය කාලයේ මට ගොඩක් තිර පිටපත් ලැබුණා. නමුත් මට එක්සයිට්මන්ට් එකක් ආවේ නෑ මේකෙ රඟපාන්න ඕනෑ කියලා. සමහර අලුත් අධ්‍යක්ෂවරු ඇවිත් කතා කරලා තියෙනවා. තිර පිටපත කියෙව්වාම කිසියම් සසලවීමක් ඇති වුණොත් තමයි ඒ චරිතය රඟපාන්න හිතෙන්නේ. මේ ගෙවුණ වසර දහ අට පුරා මනෝරාණී දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස මගෙත් එක්ක හිටපු නිසා මට දැනුණේ නැහැ මගේ කාලය අපතේ ගියා කියලා. දවසින් දවස ඒ චරිතයට මම අලුතෙන් දේවල් එකතු කරගත්තා.

ඒ නිසා දුකක් කණගාටුවක් නැහැ?

මට පෞද්ගලිකව එහෙම දැනුණේ නැහැ. සමහර විට ප්‍රේක්ෂකයෝ හිතනවද දන්නේ නෑ අපරාදේ අවුරුදු දහ අටක් රගපෑවේ නැහැ කියලා. ඒත් සමහරු දන්නෙත් නෑ මම එච්චර කාලයක් රඟපෑවේ නැහැ කියලා. කවුරු හරි මගෙන් ඇහුවත් දැන් රගපාන්නේ නැද්ද කියලා මම කියන්නේ ළඟදීම රඟපානවා කියලා. මම හිතන්නේ අපේ සිතිවිලි හරි ෆවර්ෆුල්. ඒ නිසා නෙගටිව් දේවල් මම කවදාවත් කියන්නේ නැහැ. මේ අවුරුදු දහ අට පුරාම මම හිතුවේ නෑ මම අද නැතිනම් හෙට චිත්‍රපටයක රඟපානවා කියලා.

ඒ වසර දහඅට පුරා ඔබ පෞද්ගලික ජීවිතයේ වැඩි ඉඩකඩක් වෙන් කළේ දියණිය වෙනුවෙන්?

මගේ දුවගේ අධ්‍යාපන කටයුතු සහ ඇගේ ජීවිතය වෙනුවෙන් ඒ කාලය වැය වුණා කිව්වොත් හරි. එයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යවලා, ඊට පස්සේ එංගලන්තයේ කිංග්ස් යුනිවර්සිටි එකේ අධ්‍යාපනය ලබා දීලා අවසානයේ කේම්බ්‍රිජ් යුනිවර්සිටියේ ශාස්ත්‍රපති උපාධිය ගන්න තැනකට යනකල් ගෙනිච්චා. ඒ කාලේ මට වෙන ලෝකයක් තිබුණේ නෑ. එයා තමයි මගේ ලෝකය වුණේ. පුංචි කාලේ එයාගේ අතින් අල්ලගෙන ගිහින් මොන්ටිසෝරියට ඇරලුවේ, එක්ක ආවේ මම. දුව මොන්ටිසෝරියට ගිහින් මාස හතරකින් මම කාර් එකක් ගත්තා. ඒ කාලේ කාරෙක රිවස් කරන්නවත් බෑ. මම කොළඹ හතෙන් අපාට්මන්ට් එකක් ගත්තා. ඊට පස්සේ ව්‍යාපාරයක් කළා. මේ හැමදේම කළේ එයාගේ අනාගතය වෙනුවෙන්.

ඒ කැපවීම, උත්සාහය අද මල්ඵල ගැන්විලා?

මම විශාල සටනක යෙදුණා ඒ කාලේ ප(ර්)සනල් ලයිෆ් එකේ. අද ඇත්තටම මට සතුටුයි. ලෝකෙට මම හොඳ පුද්ගලයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. දරුවෝ කියන්නේ දෙවියන් අපට දෙන තෑග්ගක්. ඒ දෙයියෝ දුන්න දරුවා මම හරි විදිහට රැක බලා ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අද දුව ඉතා හොඳ ජීවිතයක් ගත කරනවා. ඈ එංගලන්තයේ ජීවත් වෙන්නේ.

හුදෙකලාව, පාළුව, කාන්සිය අප කාටත් උරුම දෙයක්. ඔබට එහෙම දෙයක් දැනෙන්නේ නැද්ද?

මට හොඳ යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. අපි නිරන්තරයෙන් හම්බ වෙනවා. අද තාක්ෂණය කියන එක හරි ඉහළ තැනකනේ තියෙන්නේ. දුවත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරනවා. මගේ පරිගණක ඥානය සෑහෙන්න හොඳයි. මම ඉස්සර වෙලාම කම්පියුටරයක් හැන්ඩ්ල් කළේ 1989 දී. මම හිතන්නේ. මම පරිගණක තාක්ෂණය ඉගෙන ගත්තා. ජීවිතයේ යමක් ඉගෙන ගන්න හිතුණොත් මම ඒකේ උපරිම තැනට යනවා. මේවත් එක්ක මම හිතන්නේ මිනිස්සු හුදෙකලා වෙන්නේ නෑ.

ෆේස් බුක් එකෙත් ඉන්නවා නේද?

ඔව්. හැබැයි ඒකට නම් මගේ එච්චර කැමැත්තක් නැහැ. මගේ ඉන්නවා දහස් ගාණක් කන්(ෆ)ර්ම් කරන්න කියලා කියන අය. ඒත් එහෙම දඩිබිඩියේ යාළුවෝ හදාගන්න පුළුවන්ද? ෆේස්බුක් එකට මම සම්බන්ධ වුණේ මගේ පින්තූර ටික සංරක්ෂණය කර ගන්න. සමහර දේවල්වලට ෆේස් බුක් එක හොඳයි. අයිඩියාස් මිනිස්සු අතරට යන්න, බිස්නස් මිනිස්සු අතරට ගෙනියන්න වගේ. ඒත් නැත්තේම ෆ්‍රෙන්ඩ්ස්ලා. ෆේස් බුක් එක කියන්නේ දැලි පිහියක් වගේ. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනෑ. ඉතින් ඔයා අහපු ප්‍රශ්නයට උත්තරය තමයි ‘මම තනිවෙන්න කැමැතියි. ඒත් ඒකට වෙලාවක් නෑ’ කියන එක. අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඒක. හැමෝම බිසී. මිනිස්සුන්ට කල්පනා කරන්න වෙලාවක් නෑ.

ඉදිරියේදී දිගටම රඟපාන්න තීරණය කර තිබෙනවාද?

රඟපාන්නේ නැහැ කියලා මම කවදාවත් කිව්වේ නැහැනේ. අර අවුරුදු දහ අට පුරාමත් මම කිව්වේ රඟපානවා කියලා. ‘තන්හා රතී රඟ’ චිත්‍රපටයට පස්සේ මම අශෝක හඳගමගේ අලුත් චිත්‍රපටයේ රඟපෑවා. ඒ ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ඒකත් හරිම වැදගත් චිත්‍රපටයක්. මොකද අශෝක හඳගම කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ‘අක්ෂරය’ චිත්‍රපටයටත් මට කතා කළා. නමුත් ඒක යම් යම් හේතූන් නිසා වැළකුණා. මැයි මාසෙදි ඔහුගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණා. මට හිතෙනවා ආයෙමත් මොකක්දෝ ලොකු පිබිදීමක් කියලා.

ඒක මොන වගේ චරිතයක්ද?

ඒකත් වෙනස්ම චරිතයක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරයකුගේ බිරිය විදිහට මම රඟපාන්නේ. මගේ සැමියා විශ්ව විද්‍යාලයේ සිසුවියකට ආදරය කරවා. ඒ දෙන්නාගේ ආදරයට මම මුහුණ දෙන හැටි තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මෙහිි මගේ සැමියා ලෙස රඟපාන්නේ ඉන්දීය සිනමාවේ විශිෂ්ට නළුවෙක් වන ද්‍රිතිමත් ටැචර්ජි. ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපටවල මුල් කාලයේ රඟපෑවා. ඉන් පසු මනි රත්නම්, සංජය ලීලා බන්සායි වගේ අධ්‍යක්ෂවරු යටතේ රඟපෑවා.

මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ වැනි ඔබේ සහෝදර නිළියන් වගේ කවදා හරි ඔබත් දේශපාලනයට එනවාද?

කොහොමද අනාගතය ගැන කියන්නේ. ඒක මමවත් දන්නේ නෑ.