වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




 සුද්දො කොහෙද ඕයි සිංහලෙන් අහන්නේ

 සුද්දො කොහෙද ඕයි සිංහලෙන් අහන්නේ

විනෝද සමයටත්, මුවන් පැලැස්සටත් පිට පළාත්වලින් පුදුමාකාර පිළිගැනීමක් තිබූ වැඩසටහන් දෙකක්. පිට පළාත්වල ආරාධනා ලැබූ අපි ගිය හැම ප්‍රසංගයකදීම ඒවාට පැමිණ සිටි සංගීත කණ්ඩායම අපේ තේමා වාදනය හොඳින් දැන සිටියා. ගුවන් විදුලියේ විනෝද සමය රැගෙන එන තේමා වාදනය ඇසෙන සැනින් එදා ගුවන් විදුලි ශ්‍රාවකයන් ගුවන් විදුලිය වටා රොක් වුණා. ඒ තරමට ඒ තේමා වාදනය මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තිබුණා. පිට පළාත්ල මහජන සංදර්ශන සඳහා අපි පිටපත් සකස් කලේ ගුවන් විදුලියේ සීමාවලින් බැහැරවයි. එක පිටපතක මම සිංහල චිත්‍රපටයක් කරන්න යන දෙමළ අධ්‍යක්ෂවරයෙක්. තවත් එකක සුද්දෙක්. එහෙම නැතිනම් ඇනස්ලි දේශපාලඥයෙක්. මුදලාලි කෙනෙක්. බර්ටි මෝඩ පහේ තරුණයෙක්. එහෙමත් නැතිනම් ඉලන්දාරි ඔපිසරගේ සිරිසේන හෙවත් අයි. ඕ. සිරිසේන (අයියෝ සිරිසේන) සැමුවෙල් කපු මහත්තයෙක් එහෙමත් නැත්නම් කුඩා දරුවෙක්. ඔය වගේ වෙනස්ම චරිතවලින් තමයි එදා අපි මහජන දර්ශනවලට එක් වුණේ.

එදා ගුවන් විදුලියේ අපේ කටහඬ අහල සිනාසුණ අය පිට පළාත්වල ප්‍රසංග වේදිකාවේදී අපිව සැබවින් දැකලා සතුටු වුණා. එහෙම ගිහිල්ලා ලේසියෙන් අපේ රසිකයන්ගෙන් බේරිලා එන්න බෑ. අපිට නොයෙක් අයගෙන් සුහද සංග්‍රහ තිබුණා. ඒ සංග්‍රහ කොහොමද කියනවා නම් හරියට ජාතික ගුවන් විදුලිය පෞද්ගලිකව ගෙවල්වලට ගියා වගේ. අපි සිනමාවටත් රූපවාහිනියටත් පන්නරයක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ. හැබැයි අපේ පළපුරුද්ද අපි ලැබුවා නම් ඒ ගුවන් විදුලියෙන්. මා අවුරුදු විස්සක් ජාතික ගුවන් විදුලියෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ විනෝද සමය නිසා තමයි ඇනස්ලි, බර්ටි, සැමුවෙල් යන නම් තුන රට තුළ ප්‍රසිද්ධියක් ලැබුවේ. ඒ විතරක් නොවෙයි, මේ තුන් කට්ටුව හාස්‍ය රසය ඇඟට ගත්තෙත් මගේ මේ අවුරුදු විස්සේ විනෝද සමය නිසා. එදා විනෝද සමයේදී අපි ඉතාමත් සීරියස් චරිත ඉදිරිපත් කළා මිසක් දැඟලුවේ නැහැ. මුහුණ විකෘති කළේ නැහැ.

මේ කතාවට එදා චරිතවලින් දායක වූණේ ඇනස්ලි ඩයස් (හාමු මහත්තයා) බර්ටි ගුණතිලක (සේතන්) සැමුවෙල් රුද්‍රිගූ (අමාරිස්) විදියට. මෙතනදි වෙන්නේ අමාරිස් අයියා සේතන්ව කැඳවගෙන හාමු මහත්තා ළඟට පැමිණනවා. හාමු මහත්තයා සූදානම් වෙනවා සේතන්ව සුද්දෙක් ළඟ වැඩකාරකමට යවන්න. මෙන්න මේ සිද්ධි මේ ආකාරයට එදා විනෝද සමය රසවත් කළා.

අමාරිස් - ඔන්න හාමු මහත්තයා අර මං කියාපු හාදයාව එක්කං ආවා.

හාමු මහත්තයා - අර සුද්දා ගාව වැඩටද?

අමාරිස් - අන්න හරි.

හාමු මහත්තයා - අපොයි ඒක ආප්ප සුද්දෙක් (සේතන් දෙසට හැරී) ආප්ප හදන්න දන්නවාද?

සේතන් – පුළුවන්, පුළුවන්. සුදු ආප්පද? බිත්තර ආප්පද? වන්ඩු ආප්පද?

හාමු මහත්තයා - අපි කියමු සුදු ආප්ප.

සේතන් – වාටි ඇතුවද? නැතුවද?

හාමු මහත්තයා - ආප්පවලට වාටි ඕනේ.

සේතන් – වාටි කර කරලද, ලාවටද?

හාමු මහත්තයා - ඕයි වාටි කර කරලනෙ.

සේතන් – මැද ඇතුවද? නැතුවද?

හාමු මහත්තයා - එහෙනම් තව ටික වෙලාවකින් සුද්දා තමුසෙගෙන් ප්‍රශ්න තුනක් අහයි.

සේතන් - සිංහලෙන්ද?

හාමු - සුද්දෝ කොහෙද ඕයි සිංහල දන්නේ?

විනෝද සමය කරන කාලේ බර්ටි ගුණතිලකත් හරි අපූරුවට ළමා චරිත කළා. ළමා චරිත කරන්නත් බර්ටි හරිම දක්ෂයා. ඔන්න දවසක් විනෝද සමයට දඟකාර කොල්ලෙක් වුණ බර්ටිව කොලු ගැටයෙක් වගේ කොට කලිසමක් එහෙම අන්දවාගෙන සැමුවෙල් ඉංග්‍රීසි ටිකක් උගන්වා ගන්න ටියුෂන් මාස්ටර් කෙනෙක් ළඟට එක්කන් එනවා. මම තමයි ටියුෂන් මාස්ටර්.

බර්ටි - සර් ද(The)  කියන්නෙ මොකක්ද?

මාස්ටර් – ද (the ) කියන්නෙ ද (The)

බර්ටි - තේරුමක් එහෙම නැද්ද?

මාස්ටර් – මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව ඉගෙන ගන්නවා. කියන්ඩ බලන්ඩ p u t  සද්ද කරන හැටි.

බර්ටි – දන්නේ නැහැ.

මාස්ටර් - put  පුට්. හරි එතකොට  b u t?

බර්ටි – දන්නේ නැහැ.

මාස්ටර් -  b u t බට්.

බර්ටි - p  u t පුට් නම් b  u  t බූට් වෙන්ඩ එපායැ.

උඹ දන්න ඉංග්‍රීසියක් නැහැ. වරෙන් තාත්තෙ යන්ඩ.

ඉතිරි කොටස ලබන සතියේ...

* ලේබල් ලයිබල් වෙලා

* බැනපු කතාවත් පරිවර්තනය කළා