වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්

උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්

සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව
ඇහැලේපොළ කුමාරිහාමි

01 කොටස

මහ මුහුද ගෙනා උස් රැල්ල අසල වූ ගල්පරය මත වදින අයුරු බ්‍රවුන්රිග් බලා සිටියේ මුවඟට නඟා ගත් සෝපාහාසාත්මක සිනහවත් සමඟය. පසුගිය දින කිහිපය පුරාම රෑ නින්දත් නොනින්දත් අතර දකින සෑම පුදුම සිහිනයක් නිසාම ඔහු තිගැස්සී පිබිදුණේය.

එහෙත් එය තමාට ඇවැඩක් පෙන්වා දෙනු ලබන නරක සිහිනයක් නොවන වග ඔහු විශ්වාස කළේය. ශත වර්ෂ දෙවසරකට ආසන්න කාලයක් තම සමේ පැහැය ඇති මිනිසුන්ට කිසිසේත් යටත් කර ගත නොහැකි වූත් මේ භූමිය ඉතා ඉක්මනින් තමාට යටත් වනු ඇතැයි බ්‍රවුන්රිග්ට සිතිණි. ඒ සඳහා සියලු සැලසුම් කළ තෝමස් මේට්ලන්ඩ් මවු රට බලා ගියේ බලාපොරොත්තු සිඳගත් මිනිසකු හැටියටය. සදාකාලිකව තම දෙරටෙහිම මිනිසුන්ට සිහිපත් කළ හැකි ආදර කතාවක් පමණක් මේට්ලන්ඩ් ඉතිරි කර ගියේය. මෙට්ලන්ඩ් ගේ ආදර කතාවට භාජනය වූ යුවතියක වූ ලොවිනා සමඟ ආදරයෙන් වෙළුණ මන්දිරයට මෙහි සිට ඇත්තේ සැතපුම් කිහිපයකි.

ඉඳහිට ගල්පරය මතට ගොඩ නඟින බ්‍රවුන්රිග් දුරදක්නයෙන් අනුමාන වශයෙන් මේට්ලන්ඩ්ගේ මන්දිරය ඇති ඉසව්ව සිතින් අනුමාන කළේය. මේට්ලන්ඩ්ට රාජ්‍ය පරිපාලනයෙහි සහ ආදර කතාවෙහි වැරැදුණ තැන් තම ජීවිතයෙහි නොවිය යුතු වග බ්‍රවුන්රිග් සිතා ගත්තේය. ඔහු ආපසු සිය මන්දිරයෙන් එහා උදාරම්ව ලෙළ දෙන කතිර කොඩිය දෙස මොහොතක් බලා සිටියේය. තම රටේ රජු වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටු කිරීමට තවත් කල්ගත යුතුව නැත. එහෙත් තම රජුගේ අණසකට යටත්ව මේ වන තෙක් පැවැති කිසිදු රාජ්‍යයක් හෝ යටත් කරගත් පහසු විලාසයෙන් මේ කුඩා දිවයිනෙහි වෙසෙන මිනිසුන් යටත් කර ගත නොහැකි බව එය අල්ලා ගැන්මට තැත් කළ යුරෝපයේ සියලු ජාති ලද අත්දැකීමෙන් බ්‍රවුන්රිග් ඉගෙන සිටියේය.

සාමාන්‍යයෙන් ඉතා සංසුන් ජාතියක් වූ නමුදු සංග්‍රාමයේදී ඔවුන් මේ දූපත් වැසියන් තරම් අතිශය දරුණු ජාතියක් අප්‍රිකාවේ මිනී කන මිනිසුන් අතරවත් නොවූ වග එක් වාර්තාවක තිබිණ. වඩාත්ම භයානක කරුණ නම් කවර පඬුරු පාක්කුඩම් දී තමන් වෙත නම්මවා ගත්ත ද ඉතා තීරණාත්මක මොහොතෙහිදී මේ ජාතිකයන් තමන්ගේ ස්වදේශික රජු වෙත සිය පක්ෂපාතී බව පෙන්වන බැව් රහසක් නොවීය. මීට පෙර රන්දෙණිගල මෙන්ම ගන්නොරුවේදී ද තම ජාතියේ සෙබළුන් සමූල ඝාතනය වූයේ ඒ ආකාරයේ පාවාදීම් වූ නිසාය. සිංහලයන්ගේ රාජධානිය වූ කන්ද උඩරට ආක්‍රමණය කිරීම පහසු කටයුත්තක් නොවීය. අති විශාල කඳු වළල්ලකින් මෙන්ම සතර දිග වට කොට ගලන මහා ගංගාවකින් ද මේ රාජධානිය ආරක්ෂා වී ඇත්තේය. තම හමුදාව එහි පිවිසෙන විගසම ඔවුන් සිදු කරන්නේ නගරයේ වූ සියලු සැප සම්පත් හැරදමා පලා යාමය. ඔවුන් රැගෙන යන එකම වස්තුව රජු සමීපයේ වන බුදුරදුන්ගේ වාම දළදාව පමණි. කඳුකරයෙහි මහ වනාන්තරවල සිය දරුමල්ලන් සමඟ සැඟවෙන මේ දුඹුරු සම සහිත ජනතාව කල් මරමින් එහි සැඟව සිටිති. මෙහි සැඟවෙන්නට පෙර කිසිවකුට හෝ ප්‍රයෝජනයට ගැනීමට හැකි යැයි සිතන සෑම දෙයක්ම ඔවුහු විනාශ කර දමති.

වසර මැද මහ වැසි එළැඹුණ කළ කන්ද උඩරට අගනුවර මිහිපිට අපායක සිරි ගනියි. තැන තැන නැඟෙන මඩ ගොහොරුව මෙන්ම නිරන්තරයෙන් ලේ උරා බොන කූඩැල්ලන්ගෙන් හා මදුරුවන්ගෙන් තම වර්ගයාට වූ ගැහැට බ්‍රවුන්රිග් ඇස් පනා පිට දැක තිබිණි. ඔවුන් අසරණ වන ඒ මොහොතේ එක්වරම කඩා වදින ස්වදේශිකයෝ තමන්ට දෙවියන්වත් සිහිපත් කර ගන්නට අවස්ථාවක් නොදෙති. එමෙන්ම රැයක අඳුර හෝ දවාල ද අව් රශ්මිය ද මේ ස්වදේශිකයන්ට වෙනසක් නොවේ. ඔවුන් සංග්‍රාමයට වන් කළ රැයක් හෝ දවාලක් ගතවනු හෝ වෙහෙසක් දැනෙන්නේ නැත. ඔවුන්ගේ ඊතල මාරාන්තිකය. එමෙන්ම තමන්ගෙන්ම සොරා ගත් කාලතුවක්කු අනුකරණය කරමින් නිපද වූ කාලතුවක්කු හෙණ ගුලි නංවමින් පුපුරා යන්නේය. බ්‍රවුන්රිග් ඒ සියල්ල දැන සිටියේය. එබැවින් ඔහුගේ වෑයම වූයේ වෙනත් කරුණකි.

කිසිවකුගේ සපත්තු හඬ ඇසුණෙන් බ්‍රවුන්රිග් හැරී බැලුවේය. අනතුරුව බ්‍රවුන්රිග් ඉදිරිපස වූ දොර ඇරගෙන රැස්වීම් ශාලාවට ගියේය. එහි හතළිහක් පමණ අසුන්ගෙන සිටියහ. ඔවුන් සියලු දෙනාම හමුදාවේ තමන් සතු ඉහළම පදක්කම සිය නිල ඇඳුමෙහි පලඳා ගෙන සිටියහ. බ්‍රවුන්රිග් දුටුවනම ඔවුහු එතෙක් කරමින් සිටි කතාබහ නතර කොට වහා උන් තැනෙන් නැඟිට ගත්හ. බ්‍රවුන්රිග් සිය නිලධාරීන්ගේ නිල ඇඳුම් දෙස වුවමනාවෙන් බැලුවේය. නිසි ලෙස නිල ඇඳුම නොඅඳින්නා සංග්‍රාම භූමියේ ද නිසි ලෙස කටයුතු නොකරනු ඇතැයි බ්‍රවුන්රිග් විශ්වාස කළේය. හිස ඔසවාගෙන උදාරම්ව ගමන් ගත් බ්‍රවුන්රිග් තමන්ට නියමිත අසුනෙහි වාඩි වූයේය. ඉන් අනතුරුව සියලු නිලධාරීහු ද සමාචාර පවත්වා නිසි අසුන් සොයා අසුන් ගත්හ.

“උතුමාණන් වහන්සේගෙන් අවසර ලැබී ඇති මගේ යෝජනාව දැනට ඉන්දියාවේ සිටින අපේ සෙබලුන් 3000 ක් ක්‍රමයෙන් ලංකාවට ගෙන්වා ගැනීමත් ඉදිරියේදී එම සංඛ්‍යාව වැඩි කර ගැනීමත්, දෙවන යෝජනාව පහතරට ආශ්‍රිතව කෙරෙන වගාවන් වර්ධනය කිරීමත්, ලංකාවේ කුළු බඩු වර්ග අපනයනය වර්ධනය කිරීමත්, උඩරට සිංහල - දෙමළ වැසියන්ට විදේශිය මත්පැන් හා ඉංග්‍රීසි මුදල් පරිහරණයට වඩා පෙලඹවීමත් . . .”

බ්‍රවුන්රිග්ගේ හඬ මුළු සභාව පුරාම පැතිරිණ. එය උදාරම් හඬක් විය. එහෙත් එක් වරම ඔහු කතාව නැවැත්තුයේය. ඒ එම සභා ගැබට පැමිණි අමුත්තකු දැකීමෙනි.

‘මට සමාවෙන්න. නැව් තොටට එන්න බැරි වුණා ඔබ පිළිගන්න’

‘කමක් නැහැ. මම දන්නවා ඔබ කාර්යබහුල බව’

බ්‍රවුන්රිග්ට ඉතා ඉක්මනින් අමුත්තා සමඟ කතාවක් තිබිණි. එබැවින් ඔහු වෙනදාටත් කලින් තම නිලධාරීන්ගේ හමුව නිමා කළේය. අනතුරුව ඔහු අමුත්තා සමඟ සභා ගැබෙන් පිටව ගියේය. ඒ පසෙක වූයේ ඉතා හොඳින් අසුරන ලද මත්පැන් පෙට්ටි රාශියකි. ඒ සියල්ල තම රටෙහි ද ඉතා වටිනා ඒවාය. නිලධාරියකු එතැනට පැමිණ බ්‍රවුන්රිග්ට යමක් පැවසූයේ ඔහු ඒ පෙට්ටි එකින් එක පරීක්ෂා කළේය. අනතුරුව නිලධාරියා අත වූ පත්‍රිකාව තොල් මතුරමින් කියැවූයේය.

‘කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට තෑගි’

එයින් අමුත්තාගේ දෙබැම එසැවිණි.

‘සතුරන්ට’

අමුත්තා ඇසුවේය. බ්‍රවුන්රිග් හිස සැලුවේය.

‘මට තේරුම් ගන්ඩ බෑ’

එවර නම් බ්‍රවුන්රිග් කොක් හඬලා සිනාසුණේය. අනතුරුව අමුත්තාගේ කනට කර රහසක් පැවසූයේය. තරමක් වික්ෂිප්ත වූ අමුත්තා මහ හඬින් සිනාසීමට පටන් ගත්තේය.

ලබන සතියේ තවත් කොටසක්...