වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




දුලීකා රඟපාන විට මම ඉන්නේ දත් මිටි කාගෙන

දුලීකා රඟපාන විට මම ඉන්නේ දත් මිටි කාගෙන

පුංචි වලව්ව තැනූ ඉරේෂ් ලොකු බණ්ඩාර

මහේෂ් රත්සර විනයක් තියෙන කතා රචකයෙක්

දැන් ටෙලි හදනවා නෙමේ ෂෙඩුල් කරනවා

මෙරට ටෙලිවිෂන් නරඹන්නන්ගෙන් වැඩි දෙනෙක් සතියේ සෑම දිනකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පුංචි වලව්ව ළඟ නතර වන්නේ එහි ඇති අපූර්වත්වය නිසාමයි. පුංචි වලව්වේ ජීවත්වන මේකලා, භූපති, විහාරා, භුමිතෙල් ජස්ටින් වැනි චරිත බොහොමයක් මේ වන විට සමජගත වී ඇත්තේ සැබෑ ලෙසටම ජීවත් වන්නවුන් පරිද්දෙනි. ඒ පිරිස අතරින් මේකලාට නිතැතින්ම තිබෙන්නේ විශේෂ තැනකි. එම චරිතයට පණ පොවන දුලීකා මාරපන ගැන යළිත් කතිකාවතක් ගොඩ නැගී තිබෙන බව අතිශෝක්තියකින් තොරවම කිව යුතුය. අප මේ සොඳුරු ටෙලි සිතුවමෙහි අධ්‍යක්ෂවරයා සොයා ගියෙමු. නමින් ඔහු ඉරේෂ් ලොකු බණ්ඩාරය. හංස ගීතය, එක්ටැම් ගේ, තඹ පාට හැන්දෑව, දුවන බාබර් ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි නාට්‍යයන් වේ. පුංචි වලව්ව ඉරේෂ්ගේ පස්වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයයි.

ඉරේෂ්, පුංචියට පටන් ගත්තත් ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයින් ග්‍රහණය කර ගත්තා නේද? මොකක්ද එහි රහස?

පුංචි වලව්ව හරිම සරලයි. ඒකෙ නරඹන්නන්ට විසඳන්න අපබ්‍රංස ප්‍රශ්න නැහැ. කෙටිකාලීන රස වින්දනයකින් මිනිස් ප්‍රජාවගේ මානසික ආතතිය නැති කරනවා. පුංචි වලව්ව මා නිර්මාණය කළේ හුදෙක්ම රස වින්දනයට පමණයි. ඒක තමයි මෙය ජනප්‍රියවීමේ රහස. පුංචි වලව්ව බැලුවට පස්සේ හිතට සැහැල්ලුවක් දැනෙනවා කියලා නරඹපු අය මට පෞද්ගලිකව පවසලා තියෙනවා. අන්න ඒ නිදහස විඳගන්නයි මිනිස්සු පුංචි වලව්ව නරඹන්නේ.

ඔබේ අධ්‍යක්ෂණය කළ නාට්‍ය පහෙන් හතරකම තිරකතා රචකයා වන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්චි. ඇයි ඔහු ඔබට විශේෂ?

මහේෂ් හරිම විනයක් තියෙන තිරකතා රචකයෙක්. ඔහු කවදාවත් හදිස්සියට කතා ලියලා නැහැ. නව පරපුරේ තිරකතා රචකයින් අතර ඔහු ඉදිරියෙන්ම ඉන්නේ ඒ හින්දයි. මහේෂ් අයියා පෑනෙන් ප්‍රතිනිර්මාණය කරන්නේ ඔහු අත්දැකපු සැබෑ ලෝකයේ ඉන්න චරිත. ඒවාට මිනිස්සු ප්‍රිය කරනවා. තිර කතාව කියවද්දී මමත් මහේෂ් අයියගේ රසිකයෙක් වෙනවා. මේ කරුණු කාරණා මත මට ඔහුව විශේෂයි.

යොවුන් අධ්‍යක්ෂවරයකු විදිහට වර්තමානයේ තිබෙන ටෙලි නාට්‍ය කලාව ගැන ඔබ දරන මතය කුමක්ද?

අද නිර්මාණකරුවන් ළඟ හොඳ සංකල්ප තියෙනවා. ඒත් ඒවා වර්ධනය කර ගන්නට ඉඩක් නැහැ. ඒකට මෙන්න මේකයි ප්‍රධාන හේතුව. මට ඒක කියන්න පුළුවන්ද.

අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ කියන අදහස් වාරනයකින් තොරවම මා මෙහි පළ කරන්නම්.

මෙන්න මේකයි කාරණය. අද අපි ටෙලි නාට්‍ය හදනවා නෙවෙයි. ටෙලි නාට්‍ය ෂෙඩුල් කරන එකනෙ කරන්නේ. නිර්මාණකරුවන්ට දෙන ටාගට් එකත් එක්ක නිර්මාණ ශක්තිය නිර්මාණශීලිත්වයට වැය කරන්න අමාරුයි. හදපු ශෙඩුල් එකට දඩිබිඩි ගාලා ෂොට්ස් ගන්නවා හැර වෙන දෙයක් හිතන්න කාලයක් නැහැ. මලක් වුණත් විකසිත වන්නට යම් කාලයක් ගත වෙනවා. නිර්මාණයකටත් එහෙමයි.

තව කාලය දුන්නා නම් පුංචි වලව්ව තුළ ඔබට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලද ඔබ මේ කියන්න උත්සාහ කරන්නේ?

කොහෙත්ම නැහැ. අද තත්ත්වයයි මං පැහැදිලි කළේ. මටත් ටාගට් එකක් තියෙනවා. නමුත් මගේ හිතේ ඇදුන දර්ශනය මට ඕනෑ විදිහට ආවේ නැත්නම් සිය වතාවක් හරි නැවත නැවත රූගත කරලා අවශ්‍ය දර්ශනය කැමරාවට හසුකර ගන්නවා. වාසනාවට අද වෙනකම් එහෙම වෙලා නැහැ. දවසේ ටාගට් එක මං යස අගේට කවර් කරලා තියෙනවා.

ටාගට් එකට නාට්‍ය කරන්න ගියාම රංගන ශිල්පීන් වෙහෙසට පත් වෙනවා නොවේද?

එළ දෙනෙකුට රිද්දුවොත් උගෙන් ගන්න පුළුවන් කිරි ප්‍රමාණය අඩු වෙනවා. කිරි දොවන කලාව දැනගෙන වැඩේට බැස්සොත් එළදෙනට රිද්දවන්නේ නැතුව වැඩි කිරි ප්‍රමාණයක් දොවා ගන්න හැකියි. ඒ වගේම තමා අධ්‍යක්ෂවරයකු දැනගෙන ඉන්න ඕනෑ නළුවකු හෝ නිළියක වෙහෙසට පත් නොකොට ඔහුගේ හෝ ඇයගේ රංගනය එළියට ඇදලා ගන්න. රංගනය තියෙන්නේ රංගනයේ යෙදෙන්නාගේ අතේ. ඔවුන් ඒ ඒ මොහොතවල්වලදී ඉන්න මානසික මට්ටම් එක්ක රංගනයේ අඩුපාඩු සිදුවන්න පුළුවන්.

නමුත් අධ්‍යක්ෂවරයා ඒවා සියල්ල යටපත් කොට ඔහුගෙන් හෝ ඇයගෙන් රංගන කාර්යය හරියාකාරව කරගත යුතුයි. පුංචි වලව්වට රංගනයෙන් දායක වන කිසිම කෙනෙකුව මා වෙහෙස වූයේ නැහැ. මං ඒක වගකීමෙන් කියන්නේ ඔබට පුළුවන් නාට්‍යයට සම්බන්ධ වූ නළුවකුගෙන් හෝ නිළියකගෙන් මේ ගැන අහලා සැකයක් ඇත්නම් නිවැරිදි කරගන්න.

ඔබ වෘත්තීමය කලාකරුවෙක්. කොහොමද ඔබට සමාජයේ ඇති පිළිගැනීම?

ඒ ගැන නම් කතා කළ යුතුමයි. කියන්න කනගාටුයි. අද අපේ වෘත්තීය ගරුත්වය අන්තිම පහළ තත්ත්වයට වැටිලා. එහෙම වෙලා තියෙන්නේ මේ ජන ප්‍රවාහය ඇතුළෙ කලාකරුවා කියන වෘත්තීය නොමැති වීම.

ඔබේ ඒ අදහස තවදුරටත් පැහැදිලි කළොත්?

කලාව හැර වෙනත් සැම වෘත්තියකටම වගේ එම වෘත්තිය ඇතුළෙ යම් ප්‍රශ්නයක්, ගැටළුවක් වුණාම ඒ ඒ වෘත්තිකයින්ට ගිහින් කියන්න තැනක් තියෙනවා. නමුත් කලාකරුවන් වන අපට අසාධාරණයක් වුණාම එය පැමිණිලි කරන්න කෝ තැනක්? කෙටියෙන්ම කිව්වොත් කලාකරුවාට මේ සමාජය ඇතුළේ අයිතිවාසිකමක් නැහැ. කලාව යාන්ත්‍රණ ගතවන්න ඕනෑ. කලාව යන වෘත්තියට පිළිගැනීමක් තිබිය යුතුයි. එතකොට කලාකරුවාට පීචං නොවී ඉන්න පුළුවන් වේවි.

මේ වෙන අසාධාරණෙත් එක්ක ඔබට කෙදිනක හෝ කලාව එපා වේවිද?

කිසිසේත්ම නැහැ. මගේ ලේවල කලාව තියෙන්නේ. එහෙව් එකේ මොන කරදර බාධක ආවත් කලාවෙන් තොර ජීවිතයක් ගැන හිතන්නේ නැහැ කවදාවත්ම.

පුංචි වලව්වේ මේකලා, එහෙමත් නැතිනම් දුලීකා මාරපනගේ හාස්‍යෝත්පාදක දර්ශනවලදී අපට සිනා නොවී ඉන්න බැරි තරම්. එහි අධ්‍යක්ෂවරයා විදිහට සජීවීව ඇගේ රංගනයන් දකිද්දී හිනා නොවී අධ්‍යක්ෂණය කරන්නට සිදුවනවා?

ඇත්තම කිව්වොත් ඒ අවස්ථාවන්වලදී පුදුම අපහසුවකින් මං ඉන්නේ. ඇයගේ ජවනිකා රූගත කරන සැම වෙලාවකම පාහේ දත් මිටි කාගෙනයි මං සිටින්නේ. මං හිතනවා කිසිම අධ්‍යක්ෂවරයකු මේ වගේ සොඳුරු අපහසුතාවයකට පත් වෙලා නැතුව ඇති. මේකලාගේ සමහර අංග චලන දුලීක විසින්මයි හදා ගත්තේ. ඇතැම් විට ඇය රිහසල් එකේදී නොකරන දේවල් ටේක් එකේදී කරනවා. අන්න එතකොටයි වැඩිපුරම මට තරු පේන්නේ.

ඔබ පුංචි වලව්ව ඉතාමත් හොඳින් අධ්‍යක්ෂණය කරන බව පේනවා. කොහෙන්ද ඔබ ඊට දැනුම එක් රැස් කර ගත්තේ?

හර්බට් රංජිත් පීරිස් මහත්මා තමයි මට අධ්‍යක්ෂණය ඉගැන්නුවේ. මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගෙන් කලාව ගැන සහ මහේෂ් අයියාගෙන් තිර රචනය පිළිබඳ දැනුම මා ලබා ගත්තා. ඒ අය නිසයි මගේ හැකියාවන් වඩාත් ඔප් නැංවුණේ.

ඔබ සිතන පරිදි සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක කොටස් ගණන කීයකට සීමා විය යුතුද?

දැනට තියෙන කොටස් සියයේ සංකල්පය ඉතාම හොඳයි. ඊට එහා ගියොත් නාට්‍යයක කිසිම හරයක් නැතිව යනවා. කොටස් ගණන සියයකටත් අඩු වෙනවා නම් මං කැමැතියි.