වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සෙල්ලම ලෙල්ලම වෙලා

සෙල්ලම ලෙල්ලම වෙලා

විනෝද සමයේ කට්ටියයි මුවන් පැලැස්සේ කට්ටියයි දවසක් පොළොන්නරුවේ විනෝද චාරිකාවක් ගියා. ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී, මම, ගැමුණු විජේසූරිය, වික්ටර් මිගෙල්, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුණවෙල, චිත්‍රා වාකිෂ්ට ඔය වගේ කට්ටිය තමයි එදා විනෝද චාරිකාවට එකතු වුණේ. ඔය ගමනේදී කාටත් ඕනෑ වුණා වැවකින් නාන්න.

ඒ නාන්න ගිය වැව නෙළුම් මල්. ඕලු මල් කොලවලින් සම්පූර්ණයෙන්ම වැහිලා. කොළවලින් වැහිලා නැති එක තැනක් තිබුණා. අපි එතනින් බැහැලා නාන්න තීරණය කළා.

ඔන්න ඉතිං මම මුලින්ම කොළවලින් වැහිලා නොතිබුණ තැනකින් වතුරට බැහැලා වතුර යටින් ටිකක් දුර ඈතට ගියා. ගිහින් නෙළුම් කොළ අස්සෙන් ඔලුව දාගෙන මාත් එක්ක ආපු කට්ටිය මම නැතුවාම මොනවද කරන්නේ කියලා බලාගෙන හිටියා. ඔය අතරේ ගොඩ ඉන්න කට්ටිය ඩ්‍්‍රන්ක් එකකට සෙට් වෙමින් තමයි හිටියේ. ඔය අතරේ වික්ටර් මිගෙල් කිව්වේ නැතෑ ඒක නෙමේ බලපල්ලා බලපල්ලා ඇල්පියා (ඇල්ෆ්‍රඩ්) දැන් ටික වෙලාවකට කලින් මෙතනින් වතුරට පැන්නා.

දැන් හුඟක් වෙලා මිනිහා ගොඩට ආවේ නෑ කියලා. ඔන්න ඉතිං ඒ කතාවට කට්ටිය කලබල වුණා. දැන් මාව හොයන්න පටන් ගත්තා. ඇනස්ලි මගේ ළමා වියේත්, පාසල් වියේත් මගේ සගයා. එයා මාව හොයන්න වතුරට පනින්නත් හදනවා. ඔය අතරේ ඔය ගමේ උළු පෝරනුවක් කරන කෙනෙක් ඔතනින් යන්න ආවා.

ඒ මනුස්සයට අපේ කට්ටියගේ කතාව ඇහිලා අපේ කට්ටියට කිව්වා මහත්තයෝ ඔතනින් නම් බහින්න එපා භයානකයි, ලණුවක් හරි උණ බටයක් හරි වතුරට දාන්න කියලා. දැන් කට්ටිය ලණුවක් වතුරට දාලා හනික බලා ඉන්නවා වතුරට බහින්නේ නැතුව. මම ටික වෙලාවක් මේ සිද්ධිය බලාගෙන ඉඳලා හෙමිහිට වතුර යටින් ඇවිත් කට්ටිය කිට්ටුවෙන් මතු වුණා.

උඹ කොහෙද හිටියේ ඇල්පියෝ කියලා කවුරුත් මගෙන් ඇහුවා. මම ඇල්ෆ්‍රඩ් මෙහෙමයි හිටියේ කට්ටියටම කිව්වා. ඊට පස්සේ මම කට්ටියට ඇත්තම කියලා මම විහිළුවක් කළ බව කිව්වා.

හැබැයි ඔන්න ඉතිං තවත් දවසක් විනෝද සමය හා මුවන් පැලැස්ස රඟ දක්වන්න විවිධ ප්‍රදේශවලට ගිය අවස්ථාවක විනෝදයටත් එක්ක මහවැලි ගඟේ නාන්න ගියා. මට ඒ වෙන කොට පීනන්න බෑ.

එත් මම ගඟට බැස්සා. බැහැපු ගමන්ම මාව ගිලුණා. එක සැරයක් උඩට ආවා. මම හෙල්ප් මී කියලා කෑගැහුවා. මට මගේ දරුවොත්, බිරියත් මතක් වෙන්න පටන් ගත්තා. දෙවැනි සැරේටත් යට ගිහින් උඩ ආවා. මම මර බියෙන් දඟලමින් කෑගහන්න වුණා.

දැන් මට වතුරත් පෙවිලා හුස්ම ගන්නත් අමාරුයි. ඒ පාර මාව තුන් වෙනි සැරේ ගිලෙන්න යන කොට කට්ටියම එකතු වෙලා මාව බේර ගන්න උත්සාහයකට එක් වුණා.

ඔය අතරේ විජයරත්න වරකාගොඩ වතුරට පැනලා යාන්තම් මාව ගොඩට ගෙනත් පණ බේරුවා. මම මුලින්ම බේර ගන්න කියලා කෑ ගහන කොට කවුරුවත් ගණන් නොගෙන ඉඳලා තියෙන්නේ මම මීට කලිනුත් මේ වගේ රඟපෑම් එයාලට කළ නිසා. එයාල මම ඇත්තටම ගිලෙන්න යන එකත් විහිළුවට කරන දෙයක් කියලා හිතලා හිනාවෙවී ඉඳලා තියෙන්නේ. අන්තිමට මගේ මේ වගේ නොහොබිනා විහිළු නිසා අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නෙත් තව පොඩ්ඩෙන් මටමයි.

මැණික් ගලේ පය හැපිලා නිවේදන කටයුතු, භාෂා පරිවර්තන කටයුතුවලට අමරතව මම චිත්‍රපටවල රඟපෑමත් කළා. ඔන්න දවසක් ඉන්ද්‍රඛීලය චිත්‍රපටයේ රූපගත කිරීම්වලට මම සහභාගි වුණා. මේ චිත්‍රපටයේ පතලක වැඩ කරන ජවනිකාවක් තියෙනවා.

එය රූපගත කළේ රත්නපුර දෙනවක ගඟ අසල පතලක. පතළ ඇතුළේ හරිම මඩ ගඳයි. පතළට ලයිට් දාලා කුප්පි ලාම්පුවක් පත්තු කරලයි තිබුණේ. එහෙම කුප්පි ලාමපු පත්තු කරල තිබුණේ පතලේ ඔක්සිජන් වායුව ඉවර වෙනවාද කියලා දැනගන්න. කුප්පි ලාම්පුව නිවුණොත් හැකි ඉක්මනින් පතල ඇතුළේ ඉන්න අයව ගොඩට ගන්නවා. ඔන්න ඉතිං අපි අමුඩ ගහගෙන පතල ඇතුළට බැහැලා රූපගත කිරීම් කර කර ඉන්න කොට පතල ඇතුළේ දල්වල තිබුණ කුප්පි ලාම්පු නිවෙන්න පටන් ගත්තා.

කවුරුත් එකතු වෙලා පතල ඇතළේ හිටිය අයව ගොඩට ගත්තා. ගොඩට එනතොට අපි හැමෝගෙම ඇඟේ මඩ. අමුඩ තෙමිල මඩ ගඳේ බෑ. හැකි ඉක්මනින් අපි ගියා අසල තිබුණ දෙනවක ගඟට නාගන්න. නාන්න ගඟට යන කොට ගඟ ළඟ මනුස්සයෙක් හිටියා එතන තිබිල මැණිකක් අහුලගෙන.

ඒ මනුස්සයා අපිටත් ඒ මැණික පෙන්නුවා. ඒ කාලේ හැටියට ඒකේ වටිනාකම රුපියල් ලක්ෂ අටක් දහයක් විතර ඇති. අනේ අපොයි මට ඒ වෙලාවේ හිතුණා පතලට බැහැලා දුක් වින්ඳ අපට මැණික් ගලක් තියා තිරිවාන ගලක්වත් හමු වුණේ නෑනේ කියලා. එදා මේ සිද්ධියෙන් මම තේරුම් ගත්තා මොන දේ ලැබෙන්නත් තමන්ට වාසනාව ලැබීම තියෙන්න ඕනෑ කියලා.