|
යසපාලිතගේ ජීවිතයම රස සාගරයක්රස සාගර තැනූ සිනමාකරුගේ බිරිය මනෝ කියන කතාව
පොසොන් සඳ පෙර දිගින් මෝදු වෙමින් හාත්පස පරිසරයම පින්වන්ත ආලෝකයකින් පිරී ඉතිරී ගොසින්ය. සොමි කැන්වලින් නැහැවුණු තුරුලතාවෝ අලුත් පණක් ලැබුවා සේය. ඒ සොඳුරු රාත්‍රියේ මිහිරිපැන්න ප්‍රදේශයම පුණ්‍යවන්ත බවකින් ඇලළී ගොස් ඇත. ඒ 1940 වසරේ පොසොන් මස දහනව වැනි දිනය. මිහිරිපැන්න ප්‍රදේශයේ ජීවත්වන ඉඩම් හිමි වැවිලිකරුවකු වූ සයිමන් නානායක්කාර සහ අයිරින් නානායක්කාර ගේ දෙවැනි පුතුගේ උපත ද මේ පින්බර දිනයේ සිදුවිය. දස දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූයේ මේ වාසනාවන්ත කුල කුමරුවාය. සුන්දර ගාලු කුමරියගේ දියණියක බඳු වූ මිහිරිපැන්න පුරවරයේ ඇති මිහිරිපැන්න මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරණ සමයේදී දඟකාර කෙළිලොල් කොලු ගැටයකු වූ මේ දරුවා සාහිත්‍යයට මහත් ඇලුම්කම් පාන්නට විය. තම වැඩිමහල් සහෝදරයා වූ වාසු මෙන් අධ්‍යපනයට වඩා හේ වෙනත් අංශ සඳහා උනන්දුවක් දැක්වීය. උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු වූ ඔහු එහි අධ්‍යාපනය නිමකර කොළඹට පැමිණියේ ගණකාධිකරණය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමටය. තම වැඩිමහල් සහෝදරයා නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා නිසා අපේ කතා නායකයාට කොළඹ දී තනිකම, පාළුවක් නොදැනෙන්නට විය. ඔහුගේ හිතකවත් නොතිබූ චිත්‍රපට කලාවට හේ කොළඹ දී අත් පොත් තබන්නේ සහාය අධ්‍යක්‍ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් විදියටය. ගාල්ල මිහිරිපැන්න පුරවරයෙන් කොළඹ ගෙන්ඳගම් පොළොවට පය තැබූ මේ සුන්දර තරුණයා කලක් ගත වෙද්දී රටම හඳුනන චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස සුපතල නමක් දිනා ගත්තේය. හේ රිදී තිරය ‘රස සාගරයක් - සිනා ආකරයක් කරන්නට සමත් විය. යසපාලිත නානායක්කාර නම් වූ සිනමාකරු පිළබඳ මෙවර ‘පියසටහන්’ තුළින් මතකාවර්ජනයට එක් වන්නේ ඔහුගේ පි‍්‍රය බිරිය මනෝ නානායක්කාරයි. අමිත් එස්. සේනාරත්නත් මමත් කලාකරුවන් රැසක් ජීවත්වන ගල්කිස්ස කලාපුරය වෙත ගියේ සයපාලිත නානායක්කාරගේ පවුලේ උදවිය මුණ ගැසීමටය. කලා පුරයේ ඇති සුවිශාල බෝ රුකට මුහුණ ලා අලංකාරව තනා තිබූ නිවෙසක් අසල මමත් අමිතුත් නැවතුණෙමු. සුන්දර ළඟන්නා සුළු සිනහවකින් සැරසී මැදි විය ඉක්ම වූ පැහැපත් කාන්තාවක් අප සාදරයෙන් පිළිගත්තාය. ඕ යසපාලිත නානායක්කර ගේ දයාබර බිරිය මනෝ නානායක්කාරය. නිවෙසේ නිදහස් තැනෙක අසුන් පැන වූ ඇය ඔහුගේ සොඳුරු අතීතය ගැන සිහිපත් කළේ නෙතඟට ඉනූ කඳුළක් වම් අතින් පිස දමන ගමන්ය. “1960 දශකයේ මුල් කාලෙ දී පාලිත එකවුන්ටන්සි ඉගෙන ගන්න ගාලලේ ඉඳන් කොළඹ ආවා. එයා වාණිජ විෂය දහරාව ගැන ඉගෙන ගත්තට කලාවට ගොඩක් ලැදියි. එයා ‘තිසාහාමි’ චිත්‍රපටයට සම නිශ්පාදකවරයෙක් විදියට කටයුතු කළා. ඒ වගේම ඔහු සම නිෂ්පාදනයෙන් දායක වන සමහර චිත්‍රපටවල පොඩි පොඩි චරිත නිරූපණය කළා. ඒ කාලෙ මම මගේ සහෝදරියො සමඟ ඔය චිත්‍රපටය රූගත කරන විදිය බලන්න යනවා. අපේ ගෙවල් තිබුණෙ කළුබෝවිල. පාලිත ඒ වෙනකොට චිත්‍රපටය නිෂ්පාදකයෙක් නිසා මට නිතරම මුණ ගැසෙනවා. ඔය නවසිය හැටහය හැට හත අවුරුදුවල. කොහොමින් කොහොම හරි අපි දෙදෙනා අතර හිතවත්කමක් ගොඩ නැඟුණා. ඒ හිතවත්කම ආදරයක් බවට පත් වුණා. 1969 වසරේ අපි විවාහ වුණා. තම සෙනෙහෙබර ස්වාමියාගේ අතීත සැමරුම් අතර ඇගේ සිත සරද්දී ඈ නැවතත් හීන් ස්වරයෙන් කටහඬ අවදි කළාය. 1969 වසරේදී අපි දෙන්නගේ කුලුඳුල් දරුවා ලැබුණා. ඒ රජීව්. එදා රජීව් ගේ මුහුණ දැකපු පාලිතගේ මුහුණේ තිබුණ සතුට මට වචනයෙන් විස්තර කරන්න බැහැ. එයා පුදුම සතුටකින් හිටියේ. රජීව් ලැබුණට පස්සේ එයා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ආශාවෙන් හිටියේ. ඔය 70 දශකයේ මුල් වසර. එයා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන කාලෙම මට දෙවැනි පුතා හර්ෂණ ලැබෙන්න හිටියේ. එයාගෙ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘තුෂාරා’ චිත්‍රපටයේ ගීතයක් පටිගත කරද්දී තමයි මට හර්ෂණව ලැබුණේ. ඒ ආරංචියට එයා ස්ටුඩියෝ එකේ ඉඳලා එක පිම්මට දුවගෙන ආවා. එදා රජීව් දැකපු වෙලේ තිබුණ සතුට මම ආයෙත් පාලිත ගේ නෙත් දෙකෙන් දැක්කා. එසේ කියූ මනෝගේ දෙනෙතින් සිහින් කඳුළු බිඳුවක් දෙකම්මුල් දිගේ ගලා විත් මේසය මතට වැටුණි. ඇය ඔහුට තිබූ ආදරයක තරම නෙතින් ගිලිහුණ ඒ කඳුළු බිඳුව සාක්ෂි දැරුවේය. සෙමෙන් බිමට නැඹුරු වූ හිස එස වූ මනෝ නැවතත් අතීත මතක අප හට පැවසුවේ හදෙහි සිර වූ දුක ද සඟවා ගනිමිනි. “1972 වසරෙදි තුෂාරා චිත්‍රපටය තිරගත වුණා. හිතුවටත් වඩා ප්‍රතිචාර ගලාගෙන ආවා. ඒ වගේම ඒ චිත්‍රපටයේ ගීත තුඩ තුඩ රැව් පිළිරුව් දෙන්න වුණා. යසපාලිත නානායක්කාර කියන නම ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයා වැලඳ ගත්තා. එතැන් පටන් සහායට ඩැනී, ප්‍රදීපේ මා වේවා, ඇගේ ආදර කතාව, ගැහැනියක්, මොනරතැන්න, ටක් ටික් ටුක්, මුවන් පැලැස්ස 2, ගීතිකා, අංජානා, නැවත හමුවෙමු, ජය සිකුරු, රෝසි, යුක්තියද ශක්තියද, රස රහසක්, දේදුන්නෙන් සමනළියක්, සිහින අහසේ වසන්තය, ජය ශ්‍රී වේ කුමරියේ, සුරනිමල, මුවන් පැලැස්ස, කදිරා, ප්‍රතිඥා, චායා මායා ආදී ජනපි‍්‍රය දහරාවේ චිත්‍රපට රැසක් රිදී තිරයට තිළිණ කරන්න ඔහු සමත් වුණා. එවකට වෙළෙඳ දැන්වීම්වල ප්‍රචාරය වුණේ යසපාලිත නානායක්කාර නිර්මාණයක්, රස සාගරයක් කියලා. ඔහු නිතරම ජීවිතය ගෙව්වේ හරිම සැහැල්ලුවෙන්. විනෝදකාමීව, එයාගේ පවුලේ සහෝදර සහෝරියෝ දහ දෙනෙක් හිටියා. වැඩි මහලුම කෙනා තමයි වාසු අයියා (අමාත්‍ය වාසුදේව නානායක්කාර) ඊළඟට යසපාලිත නානායක්කාර, ඊළඟට පිළිවෙළින් පද්මකුමාර නානායක්කාර, ස්වර්ණා, රශ්නි, ලංකා, ධර්මා, හේමකුමාර, අසංග, නිල්මින් යන පිරිස. මේ පිරිස අතරින් හරිම කලාකාමී විනෝදකාමී කෙනා තමයි පාලිත. එයා කිසිම දවසක පවුලේ යුතුකම් මඟහැරලා නැහැ. ඉස්සර එයා ඉන්නකොට අපි ජීවත් වෙලා හිටියේ කළුබෝවිල නිවෙසේ. එයා උදේ කෑම ගන්න හැම වෙලාවකම කවුරුහරි අමුත්තෙක් එනවා. ඉතින් ඒ අමුත්තත් එක්ක තමයි එයා කෑම ගන්නේ. කිසිම දවසක අපේ ගෙදර කෑමෙන් බීමෙන් අඩුවක් තිබුණේ නෑ. නළු නිළියන්ට වඩා අපේ ගෙදර නිතර රැඳුණේ චිත්‍රපට කාර්මික ක්ෂේත්‍රයේ පිරිස. නිතරම පාලිත ළඟින් ආශ්‍රය කළේත් මේ පිරිස. ඒ වගේම මාධ්‍යවේදියෝ. එයා විනෝදකාමියා වගේම හරිම මානව හිතවාදියි. කිසිම කෙනකුගේ හිතක් රිදවන්නේ නැහැ. හරිම කලාතුරකින් තමයි එයාට තරහා යන්නෙ. රජිව් පොඩි කාලෙම රඟපාන්න යොමු කළා. එයා තරුණ වයසේදීත් රඟපෑවා.
ඒ නිසාම හොඳම නැඟී එන නවක නළුවා විදිහට රජිව් සරසවිය සම්මානයට පාත්‍ර වුණා. ඒ පිළිබඳ පාලිත හරිම සතුටින් හිටියේ. හර්ෂණ රඟපෑමට වැඩිය කැමැත්තක් දැක්වුයේ නැහැ. චිත්‍රපට කිහිපයක තමයි හර්ෂණ රඟපෑවේ. එයා නීතිඥයෙක් විදිහට වැඩ කරනවා. සතුටින් ජීවිතය ගලාගෙන යද්දී පාලිතගේ පනස් හයවැනි උපන්දිනයට මාස ගණනක් තියෙද්දි “පටලැවිල්ල” ටෙලි නාට්‍යය එයා නිර්මාණය කළා. එහි එක දර්ශනයක් තියෙනවා ආනන්ද වික්‍රමගේව තව කෙනෙක් කරේ තියාගෙන යන. ඒ සීන් එක රඟපාන විදිය පාලිත ආනන්දව කරේ තියන් කරලා පෙන්නුවා. හැබැයි ආනන්ද දෙගුණයක් විතර මහතයි. කොහොම හරි පටලැවිල්ල 2 නාට්‍යයත් ඉවර කළා. නමුත් පාලිතට කොන්දෙ අමාරුවක් ඇති වුණා. එයා හිතුවේ අර ආනන්දව කරට ගත්ත නිසා ඒක ඇති වුණා කියලා. නමුත් එන්න එන්නම කොන්දෙ අමාරුව වැඩි වුණා. අපි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. එහිදී තමයි දැනගත්තෙ එයාට උදරයේ පිළිකා තත්ත්වයක් කියලා. ඊට පස්සේ අපි එයාව ඉන්දියාවේ ඇපලෝ රෝහලට රැගෙන ගියා. එහි වෛද්‍යවරු කිව්වේ දැන් ප්‍රමාද වැඩියි කියලා. එයාලා ඒක කෙළින්ම පාලිතටත් කිව්වා. ඊට පස්සෙ එයා ලංකාවට අරගෙන ඇවිත් පෞද්ගලික රෝහලක නැවැත්තුවා. අපි හැමෝම දුකින් හිටියේ. එයා ළඟින්ම හිටිය එයාගෙ යාළුවෝ හැමෝම එයාව බලන්න ආවා. එයා ලංකාවේ පළමු පළාත් සභා ජන්දයටත් ඉල්ලලා දිනලා හිටියේ. ඊට පස්සෙ නම් දේශපාලනය කළේ නැහැ. ඒ වෙනකොට රටේ ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් නිතරම සුවදුක් විමසලා බැලුවා. පාලිතට පොඩි කාලෙ ඉඳලා යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අමිත වික්‍රමරත්න, අනෙක් කෙනා තමයි පියසිරි අමරසිංහ. අපේ විවාහ උත්සවයේ දී දෙවැනි මනාලයා වුණෙත් අමිත වික්‍රමරත්න. එයා අසනීප වෙලා රෝහලේ ඉද්දි අපි හැමෝම දුකින් හිටියේ. නමුත් පාලිත හරිම සතුටෙන් හිටියෙ. ඒක වෙලාවකට අපිට දරාගන්න බැහැ. එයාගේ පනස් හයවැනි උපන් දිනය යෙදිලා තිබුණෙ 1996 ජුනි දහනව වැනිදා. (අප මේ කතාබහ සිදුකළෙත් 2014 ජුනි 19 වැනිදාය) අද වගේ දවසක්. එයා පුතාලා දෙන්නව ළංකරගෙන කිව්වෙ “මම නැති දවසක, කවදාහරි අමිත වික්‍රමරත්න අංකලුයි, පියසිරි අමරසිංහ අංකලුයි අමතක කරන්න එපා පුතාලා” කියලා. අදටත් මට ඒ සිදුවීම මැවි මැවී පෙනෙනවා. ඕ පාලිත ගේ සේයාරුවක් දෙස නෙත් නොහෙලා බලමින් පවසන්නීය. මඳ වේලාවත් නිහඬව සිටි මනෝ සිහින් ස්වරයෙන් හඬ අවදි කළාය. හරියටම 1996 අවුරුද්දෙ ජුනි විසිතුන් වැනිදා එයාගෙ පනස් හය වැනි උපන් දිනේ ගෙවිලා දවස් හතරයි ගත වුණේ. එයාගෙ පි‍්‍රයතමයන් හැරදාලා එයා යන්න ගියා. මිනිසුන් දහස් ගණනක් රස සාගරයක ගිල් වු පාලිත ඒ හැමෝම කඳුළු සාගරයක තනිකරලා දාලා එයා යන්න ගියා. ආය නොඑන්නම යන්න ගියා. මගේ ජීවිතේ මා දැකපු මනුස්සකමෙන් පිරිපුන් මිනිසෙක් පාලිත. හරියටම මේ මාසෙ විසිතුන් වැනිදාට එයා අපහැර ගිහින් අවුරුදු දහඅටක් ගතවෙනවා. ඒත් මට නම් ඒ සිදුවීම මේ අද ඊයේ වගේ මතකයි. පාලිත ඉන්න කාලෙත් නැති කාලෙත් ළඟින් හිටිය මිතුරු මිතුරියෝ හැමෝම මේ වේලාවේ ආදරයෙන් සිහිකරනවා. එයා ඉන්නකොට වගේම, එයා ජීවතුන් අතර නැති විටත් ඒ හැමෝම අපත් සමඟ ඉන්නවා. ඒ අයගේ කාර්යබහුලත්වය නිසා නිතර මුණ නොගැසුණත් සිරි කහවල, අරුණ ගුණරත්න, වැනි මාධ්‍යවේදීන් වගේම බොහෝ එයාගේ හිතවතුන් එදත් අදත් එක වගේ අප සමඟ ඉන්නවා. රජිව් පුතා කොහුවල යසපාලිත ගේ “වයි එන්” පි‍්‍රන්ට් ෂොප් එක කරගෙන ඉන්නවා. පොඩි පුතා අපරාධ අංශයේ නීතිඥයකු ලෙස කටයුතු කරනවා. එකම දුක අපේ ළඟින් මහා දැවැන්ත සෙවණක් දෙන වනස්පතියක් බඳු වූ යසපාලිත නානායක්කාර නම් වූ සුන්දර මිනිසා, මා පි‍්‍රය සැමියා, සෙනෙහෙබර පියතුමා අප ළඟින් නොසිටීමයි. එසේ පැවැසූ මනෝ කලාපුරයේ හිස් අහස දෙසට නෙත් යොමු කළේ යසපාලිත නානායක්කාර නම් වූ තම සෙනෙහෙබර සැමියා කොහේ සිට හෝ ඈ දෙස බලාන සිටින්නේය යන සිතුවිල්ලෙනි. |