වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මම සංස්කෘතික අච්චාරුවක්

මම සංස්කෘතික අච්චාරුවක්

A Cloud in a Glass of Water නිර්මාණය කළ ප්‍රංශ සිනමාකරු 

ශ්‍රීනාත් ක්‍රිස්ටෝපර් සමරසිංහ

 

චිත්‍රපටය අද සවස තරංගනී ශාලාවේ

රොමේනියානු ජාතික ඇනා, ඊජිප්තු ජාතික නෝන් දෙදෙනාම පැරිසියේ පිහිටි පැරැණි ගොඩනැගිල්ලක වාසය කරති. ජීවිතයේ සැඳෑ සමය ගෙවනා නෝන්ගේ ආදරණීය මුනුපුරා සහ කහිල් නම් තරුණ චිත්‍රපට නිෂ්පාදකවරයා පැමිණෙනුයේ නෝන් සහ ඇනාගේ ජීවිත එකතුවෙන් චිත්‍රපටයක් නිපදවීමටයි. තාත්වික රංගනයක් ඉදිරිපත් කිරීමට ඇනා සහ නෝන් අකමැති වුවත් උත්සාහය අත් නොහරින මුනුපුරා පුදුමයට පත් වෙන්නේ රූගත කිරීම් සමඟින් පැරැණි රහස් හෙළිවීමෙනි. එම රහස් ඔබ වෙත ගෙන එන්නේ ප්‍රංශ චිත්‍රපටයක් වූ ‘අ ක්ලවුඩ් ඉන් අ ග්ලාස් ඔෆ් වෝටර්’ චිත්‍රපටයෙනි.

එය මේ දිනවල පැවැත්වෙන ප්‍රංශ චිත්‍රපට උළෙල නියෝජනය කරමින් අද (26) චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත කෙරේ. ‘අ ක්ලවුඩ් ඉන් අ ග්ලාස් ඔෆ් වෝටර්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ශ්‍රීනාත් ක්‍රිස්ටෝපර් සමරසිංහ විසිනි. අපේ රටට සමීප වූ සබඳකමක් ඇති ඔහු මේ දිනවල මෙහි පැමිණ සිටින්නේය. අපූරුතම සිනමා නිර්මාණයක් සමඟින් අප අතරට පැමිණි මේ තරුණ අධ්‍යක්ෂවරයා සමඟින් තොරතුරු විමසන්න සරසවියේ ඉඩක් වෙන් වූ වගයි.

* අ ක්ලවුඩ් ඉන් අ ග්ලාස් ඔෆ් වෝටර් තරමක් වෙනස් කතා තේමාවක් ගෙන එන චිත්‍රපටයක්?

ඔව්. මේක සීයා කෙනෙක් හා තමන්ගේ මුනුපුරා අතර සිදු වෙන සිදුවීම් දාමයක් ගෙන එන චිත්‍රපටයක්. මෙම සීයාගේ ජීවිතය, මුනුපුරා ඔහු දකින ආකාරය වගේම තේරුම් ගැනීම ගැන කතා කරනවා. සීයා ගැන මේ මුනුපුරා නිර්මාණය කරන චිත්‍රපටය සමඟින් හෙළිවන අතීත කතා පුවත් ඔස්සේ ඔවුන් ඒ සඳහා දක්වන ප්‍රතිචාර ඒ සඳහා මුහුණ දෙන ආකාරය විශේෂයි. මේ අතරතුර සිදු වන සීයාගේ මරණය සමඟින් එය තවත් ව්‍යාකූල තත්ත්වයකට පැමිණෙනවා. එකිනෙකා හා පැටළුණු මේ සිදුවීම නිරාකරණය කර ගැනීම ‘අ ක්ලවුඩ් ඉන් අ ග්ලාස් ඔෆ් වෝටර්’ චිත්‍රපටයෙන් නිරූපණය වෙනවා.

* මේ හරහා ඔබ සමාජයට දෙන්නට උත්සාහ කරන පණිවුඩය ගැනත් කිව්වොත්?

මහලු සීයා කෙනෙකුගේ ජීවිතයේ හෙළි නොවූ රහස් ආදරණීය මුනුුපුරෙකු හමුවේ හෙළිවීම් සමඟින් ඇතිවන මානුෂීය හැඟීම් මෙහිදී ඉස්මතු වෙනවා. එකිනෙකා ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරවල මම විශේෂත්වයක් දකිනවා. වැදගත්ම කාරණාව වෙන්නේ වැරදි කළ සීයා කෙනෙකු හමුවේ මුනුපුරා ඔහුට දක්වන සමාවයි.

ඒ වගේමයි මේ හරහා විවිධ සංස්කෘතීන් ගැන කතා වෙනවා. මෙහි එන ප්‍රධාන චරිත ඊජිප්තු, රොමේනියානු සහ ලාංකේය මෙන්ම ප්‍රංශ ජාතීන් අතර මිශ්‍ර වෙනවා. එහිදී ඔවුන්ගේ කලාවන්, ඇදහීම්, මරණය පිළිබඳ කෙරන විශ්වාස පිළිබඳ ආදී විවිධ කාරණා රැසක්ම මේ ඔස්සේ දිග හැරෙනවා.

* ප්‍රංශයේ ජීවත් වුණත් මෙරටට නෑකම් ඇති අයෙක් විදියට ඔබේ චිත්‍රපටය මෙරට පැවැත්වෙන සිනමා උළෙලකදී තිරගත වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ සීයා ලංකාවේ පැරැණි තියටර් එකක (සැවෝයි) මැනේජර් කෙනෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඔහුගේ නම ගමගේ. ඔහු නිසාම මට මේ චිත්‍රපටය සිංහලෙන් කරන්නත් වුවමනාව තිබුණා. නමුත් ඔහු අප අතරින් සදහටම සමුගත් නිසා එය වැළකුණා. අද එය ලංකාවේ පැවැත්වෙන ප්‍රංශ චිත්‍රපට උළෙලේදී තිරගත වෙනවා. ඒ වෙනුවෙන්මයි මම ලංකාවට ආවෙත්. ඒක මට ලොකු සතුටක්. මීට පෙර මෙම චිත්‍රපටය රොටඩැමි සිනමා උළෙල, ඩුබායි හා මොන්ට්‍රියල් සිනමා උළෙලවල් නියෝජනය කළා.

* ඔබ සිංහල චිත්‍රපටත් නරඹනවාද?

මේ වන විට නම් මට සිංහල චිත්‍රපට විශාල ප්‍රමාණයක් නරඹන්න අවස්ථාව ලැබිලා නැහැ. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය නම් නැරැඹුවා. මම සිංහල සිනමාව ගැන හදාරන්න ලොකු කැමැත්තකින් ඉන්නේ. ඉදිරියේදී එය හදාරන අතරම මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ද හඳුනා ගන්නට බලාපොරොත්තු වෙනවා.

* ශ්‍රීනාත් ඔබේ පවුලේ විස්තරත් දැනගන්න සරසවිය පාඨකයන් ආසවෙන් ඇති?

මගේ අම්මයි තාත්තයි දෙන්නම ලාංකිකයෝ. තාත්තා නිහාල් සමරසිංහ. අම්මා පුෂ්පරාණි සමරසිංහ. මම ඉපදුණේ ඉරානයේ ටෙහෙරාන් නුවර. පසුව අපි ප්‍රංශයේ පදිංචියට පැමිණියා. ප්‍රංශයට ඇවිත් දැන් වසර තිස් තුනක් විතර ගත වෙලා. මගේ බිරිඳ ඇලන් කැප්ට්ස්කි. ඇය ජර්මානු ජාතික කාන්තාවක්. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නව. ඒ නිසා මම නම් සංස්කෘතික අච්චාරුවක්. ඒ වගේම සඳහන් කරන්න ඕනෑ මගේ දෙමවුපියන් බෞද්ධයන්. මමත් බෞද්ධයෙක්. සරසවිය පුවත්පතේ කලක් සේවය කළ විවේකා සමරසිංහ මගේ පියාගේ සොහොයුරියයි.

* පුංචි කාලයේ පටන්ම හීනය වුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්නද?

පුංචි කාලයේදී චිත්‍රපට, ටෙලි නාට්‍ය, වැඩසටහන් නැරැඹුවත් අධ්‍යක්ෂවරයෙක් වෙන්න ලොකු හීනයක් හිතේ තිබුණේ නැහැ. මම උසස් අධ්‍යාපනය තෙක් හැදෑරුවේ විද්‍යා අංශයෙන්. සිනමා ක්ෂේත්‍රයට උනන්දුව ඇති වුණේ ඒ අවදියේදී. හැබැයි තාත්තා නම් එයට හොඳ ප්‍ර‍්‍රතිචාරයක් දැක් වූයේ නැහැ. එයාගේ කැමැත්ත වුණේ විද්‍යා අංශයෙන්ම ඉදිරියට යනවා දකින්නයි.

ඒත් මම කලාවට ලොකු ළැදියාවක් දක්වන බව මට දැනුණා. ප්‍රංශයේ දී චිත්‍රපට නිර්මාණකරණය හා තිර රචනය පිළිබඳ උපාධිය හැදෑරුවා. ඒ තුළින් මට ක්ෂේත්‍රය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නට හැකියාව ලැබුණා. අම්මා මේ ගැන ගොඩක් සතුටු වුණා. තාත්තාත් දැන් නම් මම සිටින තැන ගැන ගොඩක් සතුටු වෙනවා.

මේ වන විට මම කෙටි චිත්‍රපට දෙකක් සහ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. අම්මා නිතරම කියූ දෙයක් තමයි යුරෝපය හා ලංකාව එක් කෙරෙන දෙයක් කරන්න කියන එක. ඒ නිසා මම ප්‍රංශය සහ ශ්‍රී ලංකාව එක් කරමින් තවත් අලුත් සිනමා නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

* ඒ ගැනත් වැඩි විස්තරයක් සඳහන් කළොත්?

ලංකාවත් ප්‍රංශයත් යා කරමින් තනන්නට නියමිත මේ සිනමා නිර්මාණයේ මූලික වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙනවා. පුංචි ළමයෙක් පිළිබඳ වූ කතා පුවතක් එයට ඇතුළත් වෙනවා. විදෙස් රංග ශිල්පීන් සහ ලාංකේය රංගන ශිල්පීන් එහි රංගනයට දායක කරගන්න අදහස් කරගෙන සිටිනවා. ඉදිරි කාලය තුළ ඒ වෙනුවෙන් මෙරට දර්ශන තල බලන්න යන්නත් බලාපොරොත්තු වෙනවා. 2015 වසරේ දෙසැම්බර් මාසයේදී විතර රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

* සිනමාවෙන් සමාජයට ලබා දිය හැකි දේ පිළිබඳ තරුණ අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ දකින්නේ?

පෞද්ගලික ජීවිතයේ දෙයක් හෝ යම් කිසි සිදුවීමක් හෝ ඕනෑම දෙයක් රූප මාධ්‍යට නැඟිය හැකි වෙනවා. එහිදී වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකයා ඒ සම්බන්ධයට දක්වන සංවේදීතාවයයි. ඔවුන්ගේ හිත්වලට දැනෙන අයුරින් නිර්මාණය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේමයි නිර්මාණයේ අගය ඒ සඳහා යොදන පිරිවැය මත තීරණය කරන්න හොඳ නැහැ. අද කරන නිර්මාණයට විශාල මුදලක් වැය කළත් ඊළඟ නිර්මාණය සඳහා වැය කරන්නට වන මුදල අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ නිර්මාණයේ අගය මුල් නිර්මාණයට වඩා ඉහළ වෙන්න පුළුවන්. ඒ නිසා නිර්මාණයේ ගුණාත්මක බව ඉහළින් තබා ගැනීමටයි උත්සාහ කළ යුතු වෙන්නේ.