|
සැළෙන රළ මත ගිලී ඉපිලී ගලන සිතුවිලි මුළාවේ
සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සිය සිත සංවේදීත්වයට පත්කරන ගේය පද අපගේ ගීත සාහිත්‍යයෙහි ඕනෑ තරම්ය. එවැනි ගේය පද සංවේදී මිනිසුන් බවට පත් කරන්නේ අප පමණක් නොවේ. අන් අය ද එලෙස සංවේදී මිනිසුන් කරන ගීත බොහෝ අපගේ ගීත සාහිත්‍යයෙහි වෙයි. මෙවර ‘මතක ගීී පොතට’ සහභාගි වන ඒ සංවේදීී සිතැත්තා ඔහුය. වරෙක ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු ලෙසින් ද, තවත් වරෙක ගී පද රචකයෙකු ලෙස ද අප අසල පෙනී සිටින ඔහු සමන් චන්ද්‍රනාත් වීරසිංහය. එකල මා සේවය කළේ ලේක්හවුස් ආයතනයෙහි සිළුමිණ පුවත්පතෙහි බව මට මතකය. එහි රාජකාරි කරන කළ අහම්බෙන් මෙන් අසන්නට සිදු වූ පුවතක් නිසා මා ඇතුළු සියලු දෙනාගේම සිත්වල හට ගත්තේ කුහුලකි. ‘මුහුද ගොඩ ගලනවා’ මුහුද ගොඩ ගැලූ බව අප අසා ඇත්තේ ඉතිහාස කතා පුවතකය. එනමුදු එය නැවත සිදුවන බවක් කිසි දිනෙක අපි නොසිතීමු. එහෙත් එය සිදු විය. මා සේවය කළ පත්තර මහ ගෙදර දක්වා පැමිණීමට තරම් නිල් සයුරෙහි රළ චණ්ඩ වී තිබිණි. එය කොතරම රෞද්‍ර වී ද යත් මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත අපට අහිමි කළේය. සිය ගණනකගේ ජීවිත බලා සිටියදීම නිල් සයුර පත්ලෙහි සැඟ වී ගියේ නොසිතු විරූ අයුරෙනි. විශාල ලෙස විනාශ මුඛයට ඇද වැටුණු දකුණු පළාත බලා අපි ගමන් ආරම්භ කළෙමු. අපගේ කණ්ඩාමට අරුණි මුතුමාලි නම් ජනමාධ්‍යවේදිනිය ඇතුළු කිහිප දෙනෙක්ම අයත් වූ බව මගේ මතකයෙහි ලියැ වී තිබේ. විපත දුටු අප සියලු දෙනාම සිිටියේ තුෂ්නිම්භූතවය. කැමරා ශිල්පියාට සේයාරුවක් ගැනීම සඳහා තම කැමරාව එක එල්ලයකට ඉලක්ක ගත කිරීමට හැකි වූයේ විනාඩි කිහිපයක් ගිය පසුවය. ඒ තරමටම ඔහුගේ සිත සසල වීම පුදුමයක් නොවේ. එකල මේ විපත හැඳින් වූයේ ද අලුත් නාමයකිනි. ‘සුනාමිය’ ඒ යෙදුම අපට නුහුරු නුපුරුදු එකක් බව සැබෑවකි. එනමුත් නිල් සයුර අපගේ ජීවිතය හා සැසඳුණු සොඳුරු තීරයකි. විඩාව නිවන්නටත්, කවියන්ගේ කවි සිතුම් පුබුදු කරන්නටත් ඒ මහා සයුරට තිබුණේ අපූරු හපන්කමකි. නමුදු ඒ සියලු සෞන්දර්ය පැරැදූ සයුරු තෙම මා සිතෙහි ශේෂ කරනු ලැබුවේ මියෙන තුරාවට අමතක නොවන ශෝකී මතක සටහනක්ම ය. ඒ අප පවුලෙහි ඥාතීහු එකොළොස් දෙනෙකුම ඊට බිලි වූ බව අසන්නට ලැබුණු කනගාටුදායක පුවතත් සමඟය. මගේ මෑණියන්ගේ සොහොයුරෙකුගේ දියණිය ඇතුළු ඒ පවුලෙහි සියලු දෙනාම ඒ සුනාමි ඛේදවාචකයෙහි සාක්ෂිකරුවෝ වූහ. ඥාතිත්වයෙන් අක්කා වූ ඇයත් පවුලෙහි සැමත් කතරගම යන්නට පිටත් වූයේ පෙර යොදාගත් සැලසුමකට අනුවය. එදිනම ඔවුන් සොයා සුනාමිය පැමිණියේද, සුනාමිය යොදා ගත් පෙර සැලසුමකට අනුව මෙන් යැයි වරෙක මට සිතේ. ඉන් සමරු සටහනක් අප අතර තබා යන්නට ද සුනාමිය අමතක නොකළ බව කිව යුතුමය. ඒ අක්කණ්ඩියගේ එකම පුතු සුනාමියෙන් සයුරු ගැඹුරෙහි නොරඳවමිනි. එනමුත් ඔහු සිදු වූ සියල්ල සිය දෙනෙතින් දකින්නට තරම් අවාසනාවන්ත පුද්ගලයකු වී තිබුණි. ඒ සිය පියාණන් දෙවරක්ම ගොඩ බිමට ගසාගෙන විත් සයුර පත්ළටම රැගෙන යන අයුරුය. සිය නැඟණියගේ දියණිය වෙන අයකු අත තැබුව ද ඊළඟට පැමිණි රැල්ල ඈ ද රැගෙන ගියේ නොසිතූ විරූ ලෙසිනි. අකුලක රැඳුණු පුතුගේ සිරුරෙහි වූ තුවාලවලට වඩා ඔහුගේ සිත පෑරූයේ කිසි දිනෙක සුව නොවන තුවාලයකි. ඉන් ඔහු මෙන්ම මා ඇතුළු පවුලෙහි සැමගේ සිත්වල ඇති වූයේ ද සුව නොවන තුවාලය. බොහෝ සේ මගේ ආදරය හිමි වූ සයුර එලෙස රුදුරු වූ අයුරු මේ ගීතය අසන සෑම මොහොතක මගේ සිහියට නැඟේ. ඒ දුක්බර අතීතය මේ ගීතයෙහි සංගීතය අතරෙන් මතුව එයි.
සිනිඳු සුදු මුදු තලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
බුර බුරා නැඟි ගේය පද – මහගමසේකර සංගීතය - සෝමදාස ඇල්විටිගල ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
‘සත් සමුදුර’ චිත්‍රපටයෙහි ගැයෙන ගීතයක් වන මෙහි මහ මුහදෙහි රටාව, ස්වභාවය විදහාපාන අපූර්ව බව මා පුදුමයට පත් කරයි. ඒ පුදුමය වඩාත් අර්ථවත් වන්නේ සෝමදාස ඇල්විටිගලගේ සංගීතයෙනි. සාගරයෙහි කැලඹීම නිසා ඇති කරන මානසික ආතතියත්, ගුඪ බවත් අපූරු ලෙස සංගීතයෙන් ඉස්මතු කිරීමට ඔහු පෑ සමත්කම අගය කළ යුතුය. එලෙස ඉස්මතු කිරීමට මහගමසේකරයන් සයුර පිළිබඳ කොතරම් දැන සිටියේදැයි ගීතයෙහි ගේය පද දෙසට අපගේ අවධානය යොමු කරන විට පෙනේ. අමරදේවයන්ගේ මියුරු ස්වරය ද ඊටම ගැළපීම නිසාම මේ ගීතය අපූරු සුසංයෝගයක එකතුවක් බවට පත් වී ඇත. මහ මුහුද පිළිබඳ මේ තරම් ගැඹුරු අයුරෙන් පවසන්නට හැකි ද යන වග මට සිතා ගත නොහැකිය. ඒ නිසා මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි. මේ ගීත රචනයට ද මා බෙහෙවින් ප්‍රිය කරමි. ආදරය කරමි.
විදුලි මිණි පහන් දැවී
එන්න කන්න බොන්න මිහිරේ
දෙන්න කන්න බොන්න නොකියා
ඔබේ මන්දිරෙන් එහා ගේය පද – ලූෂන් බුලත්සිංහල සංගීතය – විශාරද ගුණදාස කපුගේ ගායනය – විශාරද ගුණදාස කපුගේ
මේ ගීතය අසන සෑම විටම එකල අප කාර්යාලයට පිවිසෙන සෑම උදෑසනකම නෙත ගැටෙන එක් ස්ථානයක් සිහිපත් වෙයි. ඒ තරු කිහිපයක් දිනා සිටින සුප්‍රසිද්ධ හෝටලයකි. රසවත් මෙන්ම මිල අධික ආහාර පානවලින් සුසැඳුණු එහි යන්නන් හා එන්නන් ඉහළ මධ්‍යම පාන්තිකයෝය. සිත් ගන්නා අයුරෙන් නිමකර ඇති හෝටල් පරිසරයෙහි නිතර අසන්නට ලැබෙන්නේ ඔවුනගේ සිනහ හඬය. ඊටම සරිලන ඔවුන්ගේ රසමසවුළුවල ප්‍රණීත සුවඳය. මේ සුවඳ මුසු වූ ප්‍රණීත ආහාරපාන අතගත් සේවකයෝ සිත්ගන්නා අයුරෙන් හැද පැළඳ, ලතාවකට, මනා සංයමයෙන් යුතුව ඔවුන්ගේ ඇණවුම් මේසය මතට රැගෙන යන්නේ සොඳුරු සිනහවකින් මුව සරසාගෙනය. ඔවුන් සමහරෙක් රොත්ත පිටින් පැමිණ ඇණවුම් කරන ඒ රසමසවුළුවල මිල කොතරම් ද යත් සමහර සේවකයකුට එතරම් වැටුපක් ද නොලැබෙන බව කවුරුත් දන්නා රහසකි. එක වේලක් සඳහා මෙලෙස විය පැහැදම් කරමින් ඒ භූමියෙහි සැරසරන ඔවුන් සිහිපත් වනවිට මගේ සිතෙහි චිත්ත රූප මැවෙන්නේ වේලක්වත් කන්නට නැතිව ඔවුන් දෙස බලා සිටින දුගියකුගේ දෙනෙත්ය. මේ ගීතයෙන් කියැවෙන ඒ ඇති නැති පරතරයේ අරුමය අපූරුය. ලූෂන් බුලත්සිංහල නම් අපූරු ගී පද රචකයා නම් මගේ මිත්‍රයා මේ ගීතයෙහි පද ගෙතූයේ දුප්පතුන් විඳිනා වේදනාවයි. දිළිඳුකම යටපත් කර ගනිමින් නැඟී සිටින සුඛෝපභෝගී ජීවිත අතර කුසට අහරක්වත් නොගෙන වැතිරී සිටින මිනිසුන්ගේ ශෝකාලාපය බව මගේ මතය වෙයි. ඒ නිසා එවැනි වූ සුඛ විහරණයන්ට නතු වූ පිරිසත් පවත්වන සඳළු තලයේ සාදයක් දෙස බලා සිටින කුරා කුහුඹු මිනිසකු පිළිබඳ මගේ සිතෙහි ඇඳී නෑඳී යන්නේ නිතැතිනි. මගේ සිතට මේ ගීතය කොතරම් කා වැදුණේ ද යත් එහි එන ‘කුරා කුහුඹු මිනිසා’ යන වචනය මා සංවේදී සිතැත්තෙකු බවට පත් කිරීමට තරම් සමත් විය. එපමණින්ම මේ ගීතය මා නම් කරන්නේ කුරා කුහුඹු මිනිසාගේ ගීතය හෙවත් අපගේ ගීතය නමිනි. ඒ තරමටම සිත සංවේදී තත්ත්වයට පත් කිරීමට තරම් හැකියාවක් ඇති මේ ගීතය එක් පුද්ගලයකුගේ සිතෙහි පහළ වූ අදහසක් බව සත්‍යයකි. එය අප සියලු දෙනාගේම පොදු අත්දැකීමක් බවට පත් වී තිබෙන්නේ මේ ගේය පද රචකයාගේ සමත්කමෙනි. ඒ නිසා මේ අදහස අපූර්ව ලෙස ලූෂන් බුලත්සිංහල ගේයපද ඔස්සේ සිත්තම් කර තිබේ. ගීතයක් වූ පසුව එහි තිබිය යුතු සංගීතාත්මක සංඝට්ටනාව පදවල ගැබ් වී ඇති අයුරු අපට පෙනේ. එමෙන්ම සංගීතයෙහි ද ඒ ගීතයෙහි පදවැලට අනුගත වන ස්වර මාලාවක් තිබීම මැනවින් කියාපාන මේ ගීතය මැනවින් ඊට උචිත අයුරෙන්ම මියුරු ස්වරයෙන් ගයා ඇත. ඒ ගීතය අසන විට මට නිතැතින්ම සිහිපත් වන අතීතයත්, ගීතයෙහි සංගීතය හා පද හා මියුරු ස්වරයත් නිසා මා හදවත උපදින්නේ සොඳුරු හැඟී¼මකි. ඒ නිසාම මම මේ ගීතයට බෙහෙවින් සිත් බඳිමි.
|