වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා . . .

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා . . .

විශාරද ගුණදාස කපුගේ ගැන මතකය අවදි කරන බිරිය ප්‍රේමා කපුගේ

මහා වර්ෂාවත්, කෑලි කැපිය හැකි අඳුරත් අතරින් තම පියා එන්නේ කොයි මොහොතකදැයි බලමින් මිත්‍ර ආලින්දයට වී කල්පනා කළේය. පියා එනතෙක් දෑස් විවර කරන් බලා සිටින තම පුතුට රාත්‍රී ආහාරය ගන්නා ලෙස ප්‍රේමා කිහිපවරක් ඇවිටිලි කළත් මිත්‍ර ගණනකටවත් නොගත්තේ පියා සමඟම එක් වී ආහාර ගන්නා අටියෙනි.

වැහි කෝඩය අතරින් පෙනුණ තම පියාගේ රුව නිසා මිත්‍රගේ සිත අපමණ සතුටට පත්විය. ඒ තම සිහින ලෝකයේ රජු ඔහු නිසාවෙනි. දෙගිඩියාවෙන් පෙළුණ ප්‍රේමාගේ සිත ද ප්‍රේමාන්විත වූයේ තම සැමියාගේ ආගමනය නිසාය. මේ 2003 වසරේ මාර්තු 27 වැනිදාය. 28 වැනිදා අළුයම හතරට ඇති ගුවන් යානයෙන් තම පෙම්බර සැමියා විදෙස් ප්‍රසංගයකට යෑමට නියමිතය.

පාන්දර දෙක වනතුරු මිත්‍ර තම සෙනෙහෙබර පියාගේ ගමන් විඩාව සංසිඳවනු පිණිස කකුල් තැව්වේය. හොඳීන් සම්භාහනය කළේය. නිදිවර්ජිතව මුළු රාත්‍රිය පුරාම ගත කළ මිත්‍රට හා සෙනෙහෙබර සැමියා ප්‍රිය කළ හීං බෝවිටියා කැඳ කෝප්පයක් ද ප්‍රේමාගේ අතින් පිළියෙල වූවාය. මිත්‍ර උදෑසනම තම පියා කටුනායක ගුවන් තොටුපලට රැගෙන ගියේ තම වාහනයෙන්මය. පියා ඇරලූ මිත්‍ර නැවත නිවෙසට පැමිණියේය.

සාර්ථක ප්‍රසංගයකින් පසු ප්‍රේමාගේ සදාදරණීය සැමියා හා මිත්‍රගේ, සප්නි හා තාරාගේ ආදරණීය පියාණන් වූ මේ ප්‍රකට සංගීතවේදියා කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ අප්‍රේල් තුන් වැනිදාය. අවාසනාවක මහත එදින ගුවන් යානයෙන් බැසීමට යන මොහොතේ හෙතෙම ගුවන් යානයෙන් පය ලිස්සා ඇද වැටිණි. ඔහුගේ හිස පිය ගැට පෙළ මත ගැටිණි. ලංකාවම ආදරයෙන් වැළඳ ගත් ඒ සොඳුරු මිනිසා රෝහලට ගෙන එන අතරතුරදීම තම ආදරණීයන් හැරදා කොහෙදෝ සැඟව ගොස් තිබුණි. ගුණදාස කපුගේ, ලොවක සම්මානයෙන් පුද ලද, ලාංකේය ගී කෙතට අමිල මෙහෙයක් ඉටු කළ සංගීතවේදියා මෙලොව හැරපියා ගොස්ය. නමුත් ඔහුගේ මනෝරම්‍ය වූ සුමිහිරි ගී හඬ අදටත් අපගේ මතකයේ රැඳී ඇත. ඔහුගේ එකොළොස් වැනි ගුණ සමරුව යෙදෙන මේ මොහොතේ එතුමන්ගේ දයාබර බිරිය ප්‍රේමා කපුගේ මෙවර ‘පිය සටහන්’ සමඟින් විශාරද ගුණදාස කපුගේ ගැන මෙලෙස අතීත ස්මරණයක යෙදෙන්නීය.

‘ඒ 1974 අවුරුද්ද. මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. හෙවුඩ් එක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වා දී පළමුවෙන්ම විද්‍යාර්ථීන් වුණේ අපි. ඒ දිනවල මගේ ළඟම මිතුරිය වූයේ මංජුලා මානවසිංහ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ දියණිය. ඒ නිසාම මම නිතරම මංජුලාගේ නිවෙසට යනවා එනවා. මමයි මංජුලයි බැසිල් මිහිරිපැන්න මහත්මයාගෙන් නැටුම් ඉගෙන ගන්නවා. ඒ වගේම රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වෙලත් මම හිටියා.

ඒ වෙන කොට මානවසිංහ නිවෙසේ නැවතිලා ගුවන් විදුලියට ආව ගිය අය අතර අබේවර්ධන බාලසූරිය වගේම ගුණදාස කපුගේත් හිටියා. කපු ඉන්දියාවේ ඉඳන් විශාරද උපාධිය හදාරලා ආපු අලුත වගේ හරියටම 1974 දෙසැම්බර් 22 වැනිදා මංජුලාගේ උපන් දිනය යෙදිලා තිබුණා. එහේ ලොකු පාර්ටි එකක් තිබුණා.

එදා මට සිංදුවක් කියන්න කියලා මංජුලා මට බල කළා. මම ‘එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසෝදෝ’ කියන ගීතය ගායනා කළා. ඒ ගීතය ගායනා කරන දිහා කපුගේ හරිම වුවමනාවෙන් බලාගෙන හිටියා. එයා ඒ වෙනකොට සීතල සඳ එළියේ, දෑස නිලුපුල් තෙමා වගේ ගීත ගායනා කරලා තිබුණේ. මම ඒ බව දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි යහලුවන්ගේ ඉල්ලීමට සර්පිනාවත් වාදනය කරමින් කපු ‘දෑස නිලුපුල් තෙමා’ ගීතය මගේ ඇස් දිහාම බලාගෙන ගායනා කළා. මගේ ඇස් රතු වෙලා ගියා. මට හරිම ලැජ්ජා හිතුණා. කපු ඒ තරම් ළයාන්විතව ඒ ගීතය ගායනා කළා. ඊට පසුව රාජ්‍ය නාට්‍ය කණ්ඩායම යන ප්‍රසංග බොහොමයක සංගීතය සපයන්න කපුගේ ඇතුළු පිරිස සම්බන්ධ වුණා. ඒ කාලේ දැන් වගේ පෞද්ගලික වාහනවල නෙමේ ගියේ. හැමෝම ලොකු බස් එකක ප්‍රසංගවලට ගියේ. යූ. ආරිය විමල්, මර්සි එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහ වගේ අය සහ කපුගේ ඇතුළු පිරිසත් යනවා. කපුගේ ඒ වෙන කොට මංජුලා මානවසිංහගෙන් මම ගැන තෙරතුරු විමසලා තිබුණා. කොහොම හරි කාලයක් යනකොට අපි අතර සම්බන්ධයක් ඇති වුණත් අපේ අම්මලාට දන්වලා මේ ගැන තීරණයක් ගත්තා.

අපේ විවාහය සිදු වුණේ 1978 ජූලි මාසේ හය වැනිදා. අපේ විවාහයේ පිංතූර ගත්තේ පී. යූ. ඩී. පෙරේරා. සරසවිය පත්තරේ වගේම බොහොමයක් පත්තරවල මුල් පිිටුවේ අපේ විවාහයේ ඡායාරූප පළ වුණා.

පෝරුවේ කටයුතුª සේරම කළේ මානවසිංහ නිවසේ. උදය, ප්‍රභාත්, මංජුලා වගේම ශ්‍රීමා මානවසිංහ මැතිනිය තමන්ගේ දුවකට වගේ සැලකුවා. කපුගේ මිතුරු මිතුරියන් වගේම මගේ දෙවැනි මනමාලියන් ලෙස සැරැසුණේ මානවසිංහ පවුලේ දූවරුන්.

1979 දී අපිට මිත්‍රව ලැබුණා. එයා ඉපදුණ දවසේ කපුගේ සතුටු වුණේ තරම් සතුටක් මම කවදාවත් එයාගෙන් දැකලා නැහැ. 1981 හරි 82 හරි එයාට රජරට සේවයට දඬුවම් මාරුවක් ලැබුණා. පැමිණි දුක් පැණි රසයි කියලා මමත් නැටුම් ගුරුවරියක් නිසා දංඕවිට පාසලෙන් අස් වෙලා එහෙට ගියා.

අනේ අමතක වුණා මේකත් කියන්නම ඕනේ. මට මුල්ම රැකියාව ලැබුණේ වරකපොළ පැත්තේ දංඕවිටට කිට්ටු පාසලකට. අපි කුප්පි ලාම්පු එලියෙන්, පැදුරෙන් ජීවිතය ආරම්භ කළේ. මම ඉගෙන ගත්තේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඒ නිසා කපුගේ දඬුවම් මාරුව ආශිර්වාදයක් කර ගනිමින් එහේ පදිංචියට ගියා.

කොහොම හරි මම එහේ කලායතනයක් ආරම්භ කළා. එහේ අවුරුදු දහතුනක් ගත කළා. අපි ජීවිතය මොකක්ද කියලා එහෙන් ඉගෙන ගත්තා.

ගුණදාස කපුගේ කියන්නේ මානව දයාවෙන් පිරි හරිම කරුණාවන්ත මනුස්සයෙක්. දුප්පත් මනුස්සයෙක් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් ඇඳගෙන ඉන්න ඇඳුම හරි ගලවලා දෙන හරිම පරිත්‍යාගශීලී කෙනෙක් එයා.

ඔහුගේ ‘කම්පන’ ප්‍රසංග 998 වතාවක් ලංකාවේ විතරක් නෙමේ ලෝකේ හුඟාක් රටවල පවත්වලා තියනවා. සියලුම විශ්ව විද්‍යාලවල, ආනන්ද, නාලන්ද,, රෝයල් ඇතුළු බොහෝ පාසලවල ඔහු නොමිලේ මේ ප්‍රසංග පැවැත් වූයේ. ඒ මුදල් ඒ විද්‍යාලවලටම ලබා දුන්නා.

අපේ දරුවෝ තුන් දෙනාටම නිවැරැදි අධ්‍යාපනයක් ලබා දෙන්න ඔහුට ඕනෑ වුණා. එයා හම්බ කරන සල්ලි ගෙදරට නොදුන්නත් ඒවා එයා සමාජය වෙනුවෙන් බොහෝ වෙලාවල්වල වියදම් කළා. අසරණ රෝගීන්, දුප්පතුන් වෙනුවෙන් එයා එයාගේ පඩි පැකට් එකම දුන්න අවස්ථා තියෙනවා.

එක දිගට කපුගේ නැමැති මහා කලාකරුවා ගැන ඉපදුන ස්නේහයෙන් කතා කළ ප්‍රේමා හිස් අහස් කුස දෙස බලා සුසුමක් පිට කළාය. මඳක් නිහඬව සිටි ඕ නැවතත් හඬ අවදි කලේ කපු ගැන අප්‍රමාණ සෙනෙහසකිනි.

එයා හැම වෙලේම ප්‍රගතිශීලී අදහස් දැරුවේ. මම බුදුන් වඳින කොට එයා කිව්වේ එයා මාක්ස්වාදියෙක්නේ කියලා.

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැෙඟන - සුනිල දිය දහර වෙමු එකම ගඟකට ඇදෙන’ එයාගේ මුවේ නිතරම තිබුණේ ඔය අදහස්.

එයා දේශපාලන වේදිකාවට නැග්ගෙත් ඒ නිසා. දඬුවම් මාරු ලැබුණෙත් ඒ නිසා. ඒ මොන බාධක ආවත් එයාගේ ප්‍රතිපත්ති පවා දුන්නේ නැහැ. කුරා කූඹියෙකුටවත් වරදක් කළෙත් නැහැ. මධුවිත ටිකක් සප්පායම් වුණත් එයා හරිම සුන්දර මනුස්සයෙක්.

එයා හරියටම 2003 අප්‍රේල් තුන් වැනිදා ප්ලේන් එකෙන් බහින කොට ලිස්සලා වැටිලා ඔළුව වැදුන නිසා අපි හැමෝම දාලා ගියා. එත් එයා එදා කිව්ව සීතල සඳ එළියේ පිපුන කුමුදු මල වගේ දරුවෝ තුන්දෙනාව, මාව බලන්න කවමදාවත් එන්නේ නැහැ. ඒ වගේම පිහිටක් නැති සරණක් නැති මේ ලෝකේ අපි අසරණයි කියලා හිතෙන්නේ කපුගේ නැමැති අපේ කැදැල්ලේ මහා වනස්පති නැහැ කියලා දැනෙන කොටයි.

එයා වෙනුවෙන් හැම අප්‍රේල් තුන් වැනි දවකම දාන මාන පිංකම් කරනවා. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ එපමණයි.

දුක හාදු දෙන රැයක, නින්ද අහලකටවත් නොඑන රැයක දම්පියාව නෙතු පියාන බලා සිටින දාක, බිම්බරක් සෙනඟ අරන්, තරු මල් යාය දිගේ සාමයේ ඔල්වරසන් නඟන්න පිහිටක් නැති මේ සසර දනව්වට නැවත ඔබ එනතුරා මම බලා ඉන්නවා.’

ප්‍රේමා කපුගේ එහෙම පැවසුවේ එක්ටැම් ගෙයක තනි වූ කාන්තාවක මෙන් හෙළය සංගීතයෙන්, ගායන මාධූර්යයෙන් හැඩ කළ තම ස්වාමියාගේ වියෝව දරාගත නොහැකිවය.