|
|
සිරිමාබෝ මුල මතු දින බුදුවෙනු අම්මේඇය කලකට ඉහතදී මෙසේ ගැයුවාය.
මේ ගීතය අපට යළිත් සිහිපත් වූයේ පසුගියදා මරදාන ටවර් රඟහලේදී පැවැති රණවිරු මා පිය ප්‍රණාම උළෙලෙහි දීය. ලෝක වැඩිහිටි දිනය හා 64 වැනි යුද හමුදා දිනයට සමගාමීව සේවා වනිතා යුද හමුදා ශාඛාව මෙම රණවිරු මා පිය ප්‍රණාම උළෙල සංවිධානය කර තිබුණි. ඇය, ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක වේදිකාවට ගොඩවුවාය. ඇය වේදිකාවට පැමිණෙනවිටත් අවට සිසාරා ඇසුණේද ඇයගේ මිහිරි හඬයි. දුනුකෙයියා මලක් වගේ දුරක පෙනෙනවා... වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා... ගීතයෙන් මුළු මහත් දේශයම පිනවූ ඇය එදා වේදිකාවට ගොඩවූයේ ගායිකාවක ලෙසින් නම් නොවේ. රට වෙනුවෙන් දිවි පිදු අභීත රණවිරු මවක් ලෙසිනි. කලක් මවුබිම ගීතයෙන් පිනවූ ඇය, තම මවුබිම වෙනුවෙන් උතුම්ම කාර්යයකදී තම පුතු රට වෙනුවෙන් දන්දීමෙනි. ඇය තම ජීවිතයේ කළ උතුම්ම පුණ්‍යකර්මය එයයි. දස මසක් කුස හොවා බිහි කළ තම ආදරණීය පුතණුවන් උස් මහත් කර තම මවුබිම වෙනුවෙන් ඇය පූජා කළාය. ඒ වීර පුතු කපිතාන් චානක සංජීව අත්තනායක 1992 වසරේ පුනරීන්හිදි තම මව්බිම වෙනුවෙන් දිවි පිදුවේය.
කපිතාන් චානක සංජීව එදා දිවි පිදුවේ තම ආදරණීය මෑණියන් කළ පරිත්‍යාගයේ අගය තව තවත් ඉහළ නංවමිනි. ඒ උදාර මාතාව සිය පුත්‍ර රත්නය රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ උදාර මෙහෙවර උදෙසා පසුගියදා සම්මානනීය වූවාය. ඇයට එම සම්මානය පිරිනැමූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක විසිනි. නිල තේජස හමුවේ උතුම් මාතෘත්වය ඉහළින් තැබූ යුද හමුදාපතිතුමා එදා මේ අග්‍රගණ්‍ය ගායිකාවට, රණවිරු මාතාවට සම්මානය පිරිනැමූයේ මෙසේ වැඳ ආචාර කිරීමෙන් අනතුරුවය. එය දුටු සියල්ලන්ගේම නෙතට කඳුළු ගලා ආවේ කෙතරම් තරුපටි පැලැඳීයද කිසිවෙකුට හිස නොනැමුවද උතුම් වූ මාතෘත්වය හමුවේ යුද හමුදාපතිතුමන් දැක්වූ ගෞරවය නිසාවෙනි.
|
|