|
ඉන්දියානු සිනමා කතාව 36
ජාතික ගීයත් චිත්‍රපටයකට
ඉතා ඉක්මනින් නැගී ගෙන ගිය ඉන්දියානු සිනමා කර්මාන්තයට දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ඇති වූ බලපෑම ඉමහත්ය. යුරෝපයේ ඇති වූ යුද්ධය හේතුවෙන් චිත්‍රපට ආනයනය සම්බන්ධ විවිධ ගැටලු ඇති වුවත් චිත්‍රපට ප්‍රෙක්ෂකයන්ගේ විශාල වර්ධනයක් මේ සමයේ දක්නට ලැබිණ. 1939- 40 වර්ෂයන්ගේ වාර්ෂික ආදායම ඉන්දියානු රුපියල් මිලියන 36.2 ක් වූ අතර එය 1942 වර්ෂය වන විට මිලියන 58.6ක් දක්වා වර්ධනය වූයේය.රජය ආදායම් බදු ලෙස 33.5ක් අය කර ගත්හ. චිත්‍රපට නිෂ්පාදනය සංඛ්‍යාත්මකව අඩුවක් පැවතිය ද සිනමා ප්‍රෙක්ෂකයන්ගේ වර්ධනය හේතුවෙන් සිනමාහල් ඉදි වීම කෙරෙහි ආයෝජකයන්ගේ අවධානය යොමු වූ බවක් පැහැදිලිව පෙනෙයි.
මේ අවදියේ ඉන්දියාවේ ගම් දනව් අත හැර අලුත්
රැකියා අවස්ථා සොයමින් නගරයට ඇදී ආ ජනතාවගේ විශාල වර්ධනයක් විය.සිනමාහල් කරා
රොක්වුණ අලුත් ප්‍රේක්ෂකයන් බහුතරය ඔවුන් විය. මේ අලුත් සිනමා ලෝලීන් බලාපොරොත්වූයේ
වින්දනය පමණී.එබැවින් පැරණි දේව කතා වලට වඩා ඉල්ලුමක් තිබුණේ නව පන්නයේ ගීත නැටුම්
සපිරි චිත්‍රපට කතාවන්ටය.පී.සී.බරුවා ගේ ජවාබ් ඇන්ඩ් රානි, නිතින් බෝස් ගේ
පරයාධාන්, දේබකී බොස් ගේ අප්නා ඝාර් වැනි චිත්‍රපට වලට වඩා වැඩි ඉල්ලුමක් තිබුණේ
ප්‍රතිග්යා,මනෝරාමා වැනි සරල විනෝදාත්මක චිත්‍රපටයන්ටය. කෙසේ වෙතත් 1943 වසරේ දි පිහිටුවන ලද ඉන්දියානු ජනතා නාට්‍යය සංවිධානය (indian people’s thetre association) ඉන්දියානු සිනමාවේ ඊළඟ වකවානුවට බෙහෙවින් බලපෑම් කළ ආයතනයක් විය. අයි.පී.ටී.ඒ යන නාමයෙන් හඳුන්වන ලද මේ සංවිධානය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ කලා එකමුතුව විය.එය ගොඩ නැගුණේ කල්කටාව කේන්ද්‍ර කොට ගෙන වුව ද එහි බලපෑම ඉක්මනින් මුළු මහත් ඉන්දියාව කරා පැතිර ගියේය.ප්‍රීතිවිරාජ් කපූර්,කේ.ඒ.අබ්බාස්,රජින්දර් සිං බේඩ්,සහීර් ලුඩියාන්වි,කයිෆ් අස්මි,බල්රාජ් සහ්නි,රිට්වික් ඝටක්,මිර්නාල් සෙන් ආදි බහුතරයක් අයි.පී.ටී.ඒ සාමාජිකයන් වූහ.
එහි ප්‍රතිඵලය නම් රුසියානු සිනමාකරුවන්ගේ විලාසය මෙන්ම අදහස් මගින් ද ඉන්දියානු සිනමාකරුවන් පෝෂණය වීමය.1944 වසරේ දී කල්කටාවේ නිව් තියටර්ස් සමාගම වෙනුවෙන් එහි කැමරා ශිල්පියාව සිටි බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ උදයර් පාතේ මෙකී රුසියානු බලපෑම කදිමට පෙන්වන අවස්ථාවක් විය. මේ චිත්‍රපටය අති සාර්ථක වීමත් සමග එය හින්දි බසින් යළි නිර්මාණය විය. ඒ හම්රාහි නමිනි.මෙම චිත්‍රපටයට පාදක වනුයේ ධනවත් කම්හල් හිමියෙකු වෙනුවෙන් ඔහුගේ ලිපි ලේඛන සහ කතාවන් සකසා දෙන අදිසි ලේඛකයකු වන මාක්ස්වාදි තරුණයකු පිළිබදවය.
ධනවතා
නිර්මාණශීලී මිනිසකු ලෙස පෙනෙන නමුත් ඔහු පසුපස සිටින ලේඛකයාත් ව්‍යක්ත දේශකයාත්
ගොඩ නගනුයේ තරුණයාය. තරුණයා ධනවතා ගේ දියනිය සමග සම්බන්ධතාවක් ආරම්භ
කරයි.චිත්‍රපටයේ කූටප්‍රාප්තිය ඇරඹෙනුයේ එම සිදුවීමත් සමගය.මේ චිත්‍රපටය සඳහා බිමල්
රෝයි වෘත්තිය නළු නිළියන් භාවිත කළේ නැත. එමෙන්ම චිත්‍රාගාරයක් මඟින් නිපදවන චිත්‍රපටයක් වුව ද එහි බොහෝ දර්ශන රූ ගන්වන ලද්දේ එයින් බැහැරවය.මේ චිත්‍රපටය සඳහා රායි බොරාල් ගේ මිහිරි සංගීතය බෙහෙවින් වැදගත් විය.එහි එන ගීත දෙකක්ම රචනා කරන ලද්දේ මහා කවි රබීන්ද්‍ර නාත් තාගෝරයන් විසිනි. එතුමන් විසින් 1911 වසරේ දී ලියන ලද ගීතයක් මේ චිත්‍රපටයට ඇතුළත් විණ.ඒ පසු කලක ඉන්දියාවේ ජාතික ගීය ලෙස තෝරා ගැනුණ ජන මන ගන අධිනායක ගීතයයි.චිත්‍රපටය අති සාර්ථක වනුයේ ඉන්දියානු සිනමාවට අලුත් විලාසයන් ආරම්භ කරමිනි.
ගජානන් ජගිර්දාර් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විය.බොම්බාය විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලද ජගිරිදාර් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ද විය.ඔහු ප්‍රභාත් චිත්‍රගාරයට එක් වනුයේ ශාන්තාරාම්ගේ පදෝසි චිත්‍රපටයේ රඟපෑමටය. පසුව සමාගමේ තිර නාටක රචකයා ද වන ඔහු ශාන්තාරම් සමාගමෙන් ඉවත්ව ගිය පසු එහි සිනමාකරණයට එක් විය.රාම් ශාස්ත්‍රී ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ අතර එහි ප්‍රධාන චරිතයද රඟපෑවේ ඔහු විසිනි. මේ අවදියේම ශාන්තාරම් රාජ කමාල් කලා මන්දිර් සමාගම පිහිටු වා එමගින් කාලිදාසයන්ගේ ශාකුන්තලය සිනමාවට නැංවූයේය. එය අති සාර්ථකව සති 104 ක් බොම්බායේ සිනමාහල් වල නොකඩවා තිර ගත කෙරිණ. කේ.ඒ.අබ්බාස් ගේ දාර්ති කේ ලාල් අයි.පී.ටී.ඒ මඟින් වේදිකාවට නංවන ලද නාට්‍යක් ඇසුරෙන් සැකසුනකි. එය අබ්බාස්ගේ මුල්ම චිත්‍රපටය විය. ඉතා අවම වියදමකින් තනන ලද මේ චිත්‍රපටය සඳහා බොහෝ ස්වෙච්ඡා සංවිධාන ආධාර කරන ලදී.කල්කටාවේ දිළිඳු කම පාදක කර ගත් පුවතක් එයට ඇතුළත් විය.එහි සංගීතය මෙහෙය වන ලද්දේ පන්ඩිත් රවි ශංකර් විසිනි.රවි ශංකර් ද අයි.පී.ටී.ඒ. සාමාජිකයකු විය. |