|
හැට වසරක් සිනමාවේ සිටි පුණ්‍යා බුලත්සිංහල මිය යයි
ඉතාම නිහතමානි සහ සුන්දර පුද්ගලයකු ලෙස ප්‍රකට පුණ්‍යා කොළඹ කිරුළපන ප්‍රදේශයේ හැදී වැඩුණේය. තම ගමේ විසූ විල්සන් කරූ, වීණා ජයකොඩි, නිහාල් සිල්වා, සුමිත් මුදන්නායක වැන්නවුන් ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ ද ඔහුටය. ඔහු රංගනයට පිවිසියේ 1954 වර්ෂයේ තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙනි. අනතුරුව ළාදළු, කිවුලෙ ගෙදර මොහොට්ටාල ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ හෙතෙම ඉන් හදවත් නැත්තේ චිත්‍රපටය සඳහා කළ රංගනය විචාර පැසසුමට ද ලක්විණ. ළාදළු සිනමාපටයෙහි සහාය තිර නාටක රචකයා වශයෙන් තිර රචනා ක්ෂේත්‍රයට එක් වූ පුණ්‍යා ඉපදුණේ ඇයි, කොහොමද වැඩේ, හදවත් නැත්තෝ ආදී සිනමාපටයන්හී තිර නාටක රචකයා වූවේය. පෙන්වා නේද, ඔක්කොම හරි, සංසාරේ, කපටිකම සහ ලියතඹරා ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට අතර පෙරමුණේ ඇත. පුණ්‍යා ජීවිතයේ අවසාන කාලය වනතෙක් කලාව අත් නොහැරියේය. දයාරත්න රටගෙදර ගේ බෝගල සවුන්දිරිස් ටෙලි සිතුවමේ නිෂ්පාදන කළමනාකරුැ ලෙස වැඩ කරද්දී ඔහුගේ වයස අවුරුදු හැට හතක් පමණ වන්නට ඇත.
පුණ්‍යාගේ අවසන් කටයුතු ඉකුත් තුන් වැනි දින කිරුළපන පොදු සුසාන භූමියේදී සිදුවිණ. ඔහුගේ මේ හදිසි නික්ම යාම කලා ක්ෂේත්‍රයට සිදු වූ බලවත් පාඩුවක් යැයි කිව හැකිය. නළු සුමිත් මුදන්නායක විවාහ වී සිටියේ පුණ්‍යාගේ සොහොයුරිය සමඟිනි. ‘සරසවිය’ අපි පුණ්‍යාට නිවන්සුව පතමු. |