|
තාගෝර් මිනිබිරිය සිනමාවටඉන්දියානු සිනමා කතාව 20
ඉන්දියාවේ මුල්ම සිනමා කමිටුව හමුවේ සාක්ෂි දුන් පිරිස අතර වඩාත් අත්දැකීම් බහුල තැනැත්තා හිමන්සු රායි විය. හිමන්සු තම මුල්ම චිත්‍රපටය වූ ප්‍රේම් සන්‍යාස් හෙවත් ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටය නිර්මාණය කිරීම සදහා ජර්මානු සිනමාකරු ෆ්‍රාන්ස් ඔස්ටන් මුණ ගැසෙන්නට ගිය අයුරු පසුගිය සතියේ අවසානයේ සටහන් කළෙමු. ෆ්‍රාන්ස් සහ පීටර් ඔස්ටන් හෙවත් ඔස්ටර්මේයර් සොහොයුරන් අද ද එරට පවතින විශාලතම සිනමා සමාගම වූ බැවේරියා ෆිල්ම්ස් සමාගමේ නිර්මාතෘවරුන් ය. විශිෂ්ට චිත්‍රපට රැසකටම දායක වූ බැවේරියා ෆිල්ම්ස් සමාගම සිංහලෙන් තැනුණු ‘මචං‘ චිත්‍රපටයට ද සම්මාදම්ව ඇත්තේය. එහෙත් එකල ඔස්ටන් දෙසොහොයුරන් සිය චිත්‍රපට සමාගම ආරම්භයේ නම් කරන ලද්දේ ඔර්ජිනල් සයිසොග්‍රාෆ් කම්පැනි යන නමිනි. ඒ සංචාරක සිනමා සමාගමක් හැටියටය .පැතේ හා ගෝමනට් වැනි ප්‍රංශ සමාගම් සදහා වාර්තා චිත්‍රපට නිර්මාණය කරන ෆ්‍රාන්ස් සිය සොහොයුරා සමඟ සිය සමාගමේ නම කුන්ස්ට් ෆිල්ම්ස් යනුවෙන් ද පසුව එමෙල්කා ප්‍රඩක්ෂන්ස් යනුවෙන් ද වෙනස් කරන ලද්දේය. පසුකලෙක බැවේරියා වූයේ එමෙල්කාව ය. හිමන්සු ෆ්‍රාන්ස් හමුවනවිට එහි නම එමෙල්කා විය. හිමන්සු සහ එමෙල්කා ව අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය බොහෝ ඵලදායක එකක් විය. ඉන්දියාව ශිල්පීන් සහ රට ඇතුළත වියදම් දැරූමට එකඟ වූ අතර ජර්මනිය ප්‍රධාන තාක්ෂණ ශිල්පීන් සහ සිනමා උපකරණ?වලට ආයෝජනය කළේය. ඉන්දියාවේ ආයෝජන මුදල රුපියල් ලක්ෂයකි .එය එරට ශිල්පීන්ට ගෙවීම් ඇතුළු එරට දී වැය වන මුදල ය. චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතුවල වගකීම එමෙල්කා දරන්නට ගිවිස ගත්තේය. එහි දී චිත්‍රපටය බෙදාහැරීමේ දී ඉන්දියාව ඇතුළත තිරගත කිරීම එයට දායක වූ ග්‍රේට් ඊස්ටර්න් ෆිල්ම්ස් සහ ඉන්ඩියන් ප්ලෙයර්ස් සතු වූ අතර ජාත්‍යන්තර බෙදා හැරීම ඉමෙල්කා විසින් සිදු කරන ලද්දේ හිමන්සුට ප්‍රතිශතයක් ලැබෙන පරිද්දෙනි. ඉන්දියාවේ තිරගත කිරීම සඳහා ලැබෙනුයේ පිටපත් දෙකකි. ඒ අනුව හිමන්සු සහ නිරන්ජන් පාල් 1924 වසරේ දී බොම්බායේ දී සිය පූර්ව නිෂ්පාදන කටයුතු ඇරැඹූහ. එයින් තුන් මසකට පසු ජර්මානු සිනමා ශිල්පීන් වූ අධ්‍යක්ෂ ෆ්‍රාන්ස් සමඟ කැමරා ශිල්පී විල් කියර්මියර් සහ ජෝශෆ් වර්ෂිංග් සහ සහාය අධ්‍යක්ෂ බර්ට්ල් ෂුල්ටස් ඉන්දියාවට පැමිණියහ. මේ අතරින් වර්ෂිංග්ට ඉන්දියාව කෙතරම් අල්ලලා ගියාද කිවහොත් ඔහු ඉන්දියාවේ පදිංචි විය. දිල් අප්නා ඕර් ප්‍රීත් පරාහේ,මහාල්,අචුත් කන්‍යා,වැනි චිත්‍රපට කැමරාව මෙහෙයවූ ජෝශෆ් අවසන් වරට කැමරාව මෙහෙයවූයේ පාකිෂා චිත්‍රපටයේය. ඔහුගේ මුණුපුරා වත්මන් ඉන්දියාවේ කැපී පෙනෙන චිත්‍ර ශිල්පියකු වන ජෝර්ජ් වර්ශිංග් විය. කෙසේ වෙතත් තාක්ෂණික ශිල්පීන් ජර්මානුවන් වෙතත්, ඇදුම් නිර්මාණය,වෙස් ගැන්වීම කලා අධ්‍යක්ෂණය ඇතුළු අන් සියල්ලටම දායක වූවන් ඉන්දියානුවන්ය. සරදා උකිල්,රානි බාලා,ප්‍රෆුල්ලා රෝයි,දයානන්ද සහ මධු බෝස් යන ඉන්දියානු නළු නිළියන් සියල්ල හිමන්සු ගේ තෝරා ගැනීම විය. ඉන්දියාවේ දී චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ග්‍රෙට් ඊස්ටර්න් ෆිල්ම්ස් සහ ද ඉන්ඩියන් ප්ලෙයර්ස් යන චිත්‍රපට දායක විය. මායා දේවිය ලෙස රානි බාලා ද සුද්ධෝදන ලෙස සරදා උකිල් ද දේවදත්ත ලෙස ප්‍රෆුල්ලා රෝයි ද චරිත නිරූපණය කළ අතර යසෝධරාවගේ නම මෙහි ව්‍යවහාරවූයේ ගෝපී නමිනි. ඒ සඳහා තෝරා ගන්නා ලද ඇංග්ලෝ ඉන්දියානු යුවතියක වන රෙනී ස්මිත් යන ඇගේ නම සීතාදේවි ලෙස වෙනස් කෙරිණ. චිත්‍රපටය වැඩිපුර රූ ගන්වන ලද්දේ බාරානාසියේ මෙන්ම ගයාවේ වුව ද චිත්‍රපට කණ්ඩායම ඉන්දියාවේ බොහෝ තැන්වලට ගියහ. චිත්‍රපටයේ විශිෂ්ට කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය පසුකලෙක කැපී පෙනෙන බෙංගාලි සිනමාකරුවකු වූ චාරු රෝයි ගෙනි. ජායිපූර් මහරාජාව සිටි සවායි මාන් සිං සතු අලි - ඇත්තු, අශ්වයන් සහ ඔටුවන් සිය ගණනක් චිත්‍රපටය සඳහා යොදවා ගැනිණ. එමෙන්ම චිත්‍රපටය සඳහා අතිරේක නළු නිළියන් ලෙස යොදා ගත් දහස් ගණන් ජනතාව ද මාන් සිං ගේ යටත් වැසියන් විය. ඉන්දියාවේ දූවිල්ල, රස්නය, කෙතරම් ද යත් ලෙමනේඩ් බෝතල ගණනක් දිනපතා තම හිසමත රුවා ගත් අයුරු ඔස්ටන් පසුකලෙක සිහිපත් කළේය. චිත්‍රපටයේ වැඩි ගෞරවය හිමන්සු රායි වෙත පැවරීමට ජර්මානුන් මැළි නොවීය. බර්ට්ල් ෂූල්ට්ස් පවසන පරිද්දෙන් මේ මා හැඟි නළුවා චිත්‍රපටයේ නළු නිළියන් මෙහෙයවීමේ පටන් සියලු කටයුතුවලදී එයට දායක විය. චිත්‍රපටය යුරෝපයේ තිරගත වෙද්දී බොහෝදෙනාගේ අවධානය දිනා ගත්තේ හිමන්සු රායි සහ සීතා දේවියගේ රංගනයත්, වර්ෂිංග්ගේ කැමරාකරණයත්ය. චිත්‍රපටය ඇරැඹෙනුයේ බොම්බායේ සවාරියක යෙදෙන සංචාරකයන් පිරිසකට හමුවන මහල්ලෙකු විසින් සිද්ධාර්ථ කුමාරයන්ගේ කතා වස්තුව කියා දීමෙනි. බොහෝ දර්ශන රූ ගන්වන ලද්දේ ස්වාභාවික පරිසරයන් ඇතුළත ය. සතර පෙර නිමිති දැක්මේ දී ඇත්තම මහල්ලෙක් සහ මරණාසන්න රෝගියකු රූ ගැන්වීම සඳහා භාවිත කළේය. 1925 වසරේ ඔක්තෝබර් 22 වැනි දින ජර්මනියේ මියුනිච් නගරයේ දී චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන ලදී. චිත්‍රපටය ජර්මානු විචාරකයන් විසින් මහ ඉහළින් වර්ණනා කරන ලදී. මේ ප්‍රතිචාරය යුරෝපා වෙළෙඳ පොළටම ලයිට් ඔෆ් ඒෂියා විවෘත කිරීමක් විය. ලන්ඩනයේ චිත්‍රපට බෙදා හරින්නන් උදෙසා දර්ශනයක් සංවිධානය කරන ලද්දේ රායි සහ නිරන්ජන් පාල් විසිනි. එවකට ඉන්දියානු මහ කොමසාරිස්වරයා වූ ?ශ්‍රීමත් අතුල් චැටර්ජි ගේ මෙහෙයවීමෙන් එවකට බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පස්වැනි ජොර්ජ් රජු සහ මේරි බිසව ද චිත්‍රපටයේ මංගල දර්ශනයට ආරාධනා ලැබ පැමිණියහ. චිත්‍රපටය එක දිගට මාස හතරක් ලන්ඩනයේ තිරගත විය. එමෙන්ම එම වර්ෂයේ ?ටයිම් සඟරාව මගින් වාර්ෂිකව ?හොඳම චිත්‍රපට දහය තෝරා ගනිද්දී ලයිට් ඔෆ් ඒෂියා ද එයට ඇතුළත් කොට ගත්තේය. එහෙත් ඉන්දියාවේ තත්ත්වය එය නොවීය. ඉන්දියානු චිත්‍රපටයක් බැවින් හොඳ සිනමාහලක් එයට ලබා ගැනීමට ඉන්දියානු ආයෝජකයන් අසමත් වූ අතර සාමාන්‍යයෙන් ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය වන සිනමා ශාලාවක තිරගත වද්දී ඒ වනවිට භාවාතිශය කතා පුවත්වලට හුරුව සිටි ප්‍රේක්ෂකයෝ බහුතරය එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් චිත්‍රපටයේ ඉන්දියානු නිෂ්පාදකයන්ට තමන් වැය කළ මුදලවත් ලබා ගත හැකිවූයේ නැත. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැන්ම නිසා හිමන්සු තවත් චිත්‍රපට දෙකක් ජර්මනිය සමඟ එක්ව නිෂ්පාදනය ආරම්භ කළේ ය. ඒ ශිරාශ් සහ ප්‍රපංච පාශ් හෙවත් අ ත්‍රෝ ඔෆ් ඩයිස්ය. මේ චිත්‍රපට යුගළම නිරන්ජන් පාල් විසින් රචනා කරන ලද අතර එම චිත්‍රපට ද්විත්වයටම රංගනයෙන් මෙන්ම නිෂ්පාදනයෙන් ද හිමන්සු රායි දායක විය. මේ හවුල් නිෂ්පාදන ජර්මානු සිනමාවට ද නව උත්තේජනයක් විය. මේ වනවිට ජර්මනියේ කැපී පෙනෙන සිනමාකරුවන් අතර සිටි පොල් ලුනී, එෆ්.ඩබ්ලිව් මූනේ වැනි සිනමා කරුවන් ද එමිල් ජෙනින්ග්ස්,පෝලා නග්රි වැනි නළු නිළියන් ද හොලිවුඩ් සිනමාව විසින් ඩැහැ ගෙන තිබිණ. මේ නිසා කලක් ලෝකයේ අවධානය දිනා ගනිමින් සිටි ජර්මානු සිනමාව කෙරෙහි අලුත් උත්තේජනයක් අවශ්‍ය විය. ඉන්දියානු දායකත්වය ඒ සඳහා කදිම නව පිවිසුමක් විය. ශිරාශ් චිත්‍රපටය ට පාදක වනුයේ කුඹල් පවුලක තරුණයකු වූ ශිරාශ් නම් තරුණයෙකි. තම නිවසේ හැදෙන අනාථ තරුණියක වන සෙලිමා කෙරෙහි ආදරයෙන් වෙළෙන ශිරාශ් ගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගත්නේ යුවතිය කුර්රාම් කුමරුගේ ඇස ගැටුන පසුවය. පසු කලක ශා ජෙහාන් නමින් හැඳීන්වෙන රජු සුරූපි යුවතිය විවාහ කර ගෙන ඇයට මුම්ටාස් නමින් අලුත් නාමයක් ද ලබාදෙයි. එහෙත් අකල්හි මිය යන මේ යුවතිය වෙනුවෙන් රජු ටජ් මහල ඉදි කරන අතර එහි සැලසුම්කරු වනුයේ ශිරාශ්ය . මේ චිත්‍රපටය ද ඉන්දියාවේ මෙන්ම යුරෝපයේ ද විචාරකයන්ගේ ගෞරවය දිනා ගත්තේය. මේ චිත්‍රපටය සදහා ජර්මානු නව ප්‍රකාශනවාදි සිනමාවට උරදුන් යූ.එෆ්.ඒ සමාගම ද දායක වූයේය. ජගත් සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපට අතර සැලකෙන ද බ්ලූ ඒන්ජල්,මෙට්‍රොපොලිස් වැනි චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ එම සමාගම මගිනි. එයින් පසු හිමන්සු ඔහුගේ ජර්මානු පිරිස මහා භාරතයේ කතාවක් ඇසුරෙන් ‘ප්‍රපංච පාශ්‘ නිර්මාණය කරන ලදදේය. ඒ සඳහා ලන්ඩනයේ බ්‍රිටිෂ් ඉන්ස්ට්‍රක්ෂනල් ෆිල්ම්ස් ආයතනය ද නිෂ්පාදනයෙන් දායක වූයේය.මේ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය සඳහා එවකට එංගලන්තයේ ජිවත් වූ දේවිකා රාණි චෞදරී නම් යුවතියද දායක වූවාය. දේවිකාගේ මිත්තනිය ඉන්දුමතී මහා කවි රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ වැඩිමහල් සොහොයුරිය සෞදාමිණි දේවි ගේ දියනිය වූවාය.දේවිකාගේ පියා ඉන්දියාවේ මුල්ම ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වරයා වූ එම්.එන්.චෞදරි ය. එකල වෝල්ටෙයාර් යනුවෙන් හැඳීන්වූ වර්තමාන විශාඛාපට්නම් නගරයේ උපත ලද දේවිකා එංගලන්තයට පැමිණෙන්නේ රාජකීය රංගන කලා පාසලේ, සංගීත පාසලේ අධ්‍යාපනය හදාරන්නටය. එමෙන්ම මේ අවදියේ ඇය ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ඇඳුම් නිර්මාණය කිරීමට ද උගත්තාය. දේවිකාට හිමන්සු මුණ ගැසෙන්නේ එහිදීය. දේවිකා ඉන්දියානු සිනමාවේ විශාල ආකල්ප වෙනසකට ලක්කළ යුවතියක වූවාය. ඒ වනවිට ඉන්දියානු සිනමාවට පිවිසි බොහෝ කාන්තාවන් සිනමාවට පිවිසෙන්නේ සමාජ තලයේ පහළ ස්ථරයන්ගෙන් හෝ සමාජ සම්මතයට පිටුපා ජීවත් වෙමිනි. එහෙත් දේවිකා ඉන්දියානු සමාජයේ ඉහළම පිළිගැනීමකට ලක්වූ පවුලක යුවතියක වූවාය. චිත්‍රපටය අවසානයේ දේවිකා රාණි සහ හිමන්සු රායි අතිනත ගත්හ. අනතුරුව ඔවුහු ජර්මනියේ යූ.එෆ්. ඒ .චිත්‍රාගාරය වෙත ගියහ. මේ වනවිට කතානාද සිනමාව පිළිබඳ අවසාන පරීක්ෂණ සඳහා විවිධ සමාගම් අතර තරගයක් පැවැති අතර එය හිමන්සු රායි ට මහත් අත්දැකීම් සහිත පාඨමාලාවක් විය. ලෝක සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටයක් වන ද බ්ලූ ඒන්ජල් චිත්‍රපටය ඒ වනවිට ජර්මනියේ දෙබස් කැවෙමින් පැවැති චිත්‍රපටයකි. මේ කාලය ඇතුළත හිමන්සුට ලෝක සිනමාවේ මහා පුරුෂයන් අතර වැජඹුණ ෆ්‍රිට්ස් ලෑන්ග්,එෆ්.ඩබ්ලව්.මූනේ වැනි සිනමාකරුවන් කිහිපදෙනෙකු සමඟ කටයුතු කරන්නට ලැබිණ.එහෙත් මේ වන විට අමෙරිකානු කොටස් වෙළද පොලේ සිදුවීම් ජර්මනියට ද දැනිණ. එහි ප්‍රතිඵලය නම් එරට සිනමා කර්මාන්තයේ නියැලි බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීමයි .1926 වර්ෂය වන විට ඉන්දියාවට ආනයනිත දළ සේයා පටල සංඛ්‍යාව අඩි කෝටි දෙකක් වූ අතර එය ඊළඟ වසරේ කෝටි 9 ක් දක්වා වර්ධනය විය.1929 වසරේ අප්‍රෙල් පළමු වැනි දින සිට ඊළඟ වසරේ මාර්තු 31 වැනි දින දක්වා ඉන්දියාවේ තිර ගත කරවන ලද චිත්‍රපට සංඛ්‍යාව 99 ක්වූ අතර එයින් සමාජ කතාවන් පාදකවූයේ 27 කි.ඉතිහාස කතා 33කි. දේව කතා 14 කි.ඉස්ලාම් කතාන්දර 14 කි.විකට චිත්‍රපට දෙකකි. ඒ අතරින් ඉන්දියානු සිනමා කමිටුව මගින් අගය කළ චිත්‍රපටය වනුයේ නවාල් ගාන්ධිගේ බාලිදාන්ය. තාගෝර්ගේ කතාවක් අනුව තැනුණ මේ චිත්‍රපටයට පාදක වනුයේ කාලි දෙවඟන හමුවේ සතුන් බිලි දීමේ පැරණි චාරිත්‍රය පිළිබවය. පුදුමයකට මෙන් සිනමා කමිටුවේ සියළු දෙනාම එය ඉතා විශිස්ට ඉන්දියානු චිත්‍රපටයක් ලෙස කියා සිටියහ.එහෙත් මේ චිත්‍රපටය පවා ප්‍රදර්ශණයේ දී බලවත් අපහසු තාවයකට පත් විය. මදාන් වැනි සිනමාහල් හිමියන් වඩා මුදල් නොඉපයතියි සැක කළ මෙබදු චිත්‍රපට තරයේ ප්‍රතික්ෂප කළහ.අවසානයේ එය තිර ගත කරවීම බාර ගත්තේ ඒ වන විට විදේශ චිත්‍රපට පමනක් තිර ගත කරවන ලද ග්ලෝබ් සර්කිට් සමාගමයි.මේ චිත්‍රපටය පිළිබඳ 1927 වසරේ ඔක්තොබර් 12 වැනි දින නිකුත් වූ බොම්බේ ක්‍රෝනික්ල් පුවත්පත තාගෝර්ගේ මේ නාටකය සිනමාවට නැංවීම පහසු කටයුත්තක් නොවූවත් ආගමික විශ්වාසය,මිනිස් හැඟීම්,ආදරය වැනි කරුණු මත දෝලනය වන මේ පුවත් ඉතා අපූරු සිනමාවට නංවා ඇති අන්දම ඉහලින් වර්ණනාවක් යෙදෙයි.එමෙන්ම ඔක්තෝබර් 15 වැනි දින ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත මුල සිට අග දක්වාම සිනමා කෘතිය ප්‍රෙක්ෂකයන් ඇද බැඳ තබා ගන්නවා පමනක් නොව වෙනත් චිත්‍රපට කතා කියද්දී එය හැඟීම් උපදවන්නට සමත් වන වග පවසයි.” චිත්‍රපටයට පාදක වනුයේ එක් දිළිඳු යුවතියක් සතු එකම වස්තුව වන එළුවකු කාලි දෙවඟන හමුවේ බිලි දීමට ගන්නා ප්‍රයත්නය පිළිබඳවය. 1931 තිර ගත වූ ආර්.(රාම)එස්.(ශංකර්) චෞදරි නිර්මාණය රන ලද කුදා කී ශාන් චිත්‍රපටයට පාදක වනුයේ කුලවත් තරුණයකු අතින් අතවරයට ලක්වන කුලහීන යුවතියකගේ කතාවකි.එහෙත් ඇයට පිහිට වනුයේ බබා ගර්බ්බාස් නමැත්තෙකි මේ චරිතය රඟපෑවේ කොවාස්ජි මකන්දාස්ය. ඔහු පෙනුමෙන් මහත්මා ගාන්ධි තුමන්ට සමීප වූවෙකි. මේ චිත්‍රපටය එක් අතකින් ගාන්ධි තුමන්ගේ ආකල්පයන්ට සමීප වූයේය.එහෙත් එබැවින්ම චිත්‍රපටයේ බොහෝ දර්ශන වාරණයන්ට ලක් වූයේය. මේ නිහඩ සිනමාවේ අවසන් අදයරේ බෙංගාලි සිනමාවෙන් වඩාත්ම කතාබහට ලක් වූ එමෙන්ම අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් ගෙන ඒමට නරේශ් සී. මිත්‍ර සමත් විය. ඒ දේව්දාස්ය.එහි දේව්දාස් ලෙස පානි බර්මන් ද පාරේ ලෙස තරක් බබෝද චරිත නිරූපනය කළහ.මෙහි කැමරාව මෙහෙය වන ලද්දේ නිතින් බෝශ් විසිනි. පසු කලක ඉන්දියා කතානාද සිනමාව පිළිබද ලියද්දී නිතින් බෝස් පිළිබඳ වැඩි මනත් ලියන්නට සිදු වෙයි. කෙසේ වෙතත් සරත්චන්ද්‍ර චැටර්ජි විසින් රචනා කරන ලද මේ අතිශය ජනප්‍රිය නවකතාව සෑම සිනමාකරුවකුටම සදාකාලික ආශ්වාදයක් ගෙන දුන් එකකි. එමෙන්ම බෙංගාලි මහා කවි රබීන්ද්‍ර නාත් තාගෝර් සිනමාව නම් අලුත් මාධ්‍යයට බෙහෙවින් ඇලුම් කළේය.එය ඔහු දුටුවේ නිදහස් කලාවක් ලෙස වර්ධනය කර ගත හැක්කක් ලෙසටය. එබැවින්ම සිය කෘතින් සිනමාවට නංවනු දකින්නට ඔහු ඇළුම් කළේය.එහෙත් ඒවා ඔහු සිතන අන්දමින් සිනමාවට නංවා නැති වීම මේ ශ්‍රෙෂ්ට කවියා දෝමනස්සයට පත් කළේය.ඔහුගේ කතාවක් ඇසුනේ සිසිර් කුමාර් බහදූර් නිර්මාණය කළ බිචාරක් මහත් ආන්දෝලනයට ලක් වූයේ එය සම්පූර්ණයෙන් තහනම් කළ බැවිනි. එයට පාදක වනුයේ තරුණ වැන්දඹුවක් ඇගේ සැමියාගේ පාර්ශවය මගින් ගණිකාවක් බවට පත් කිරීමක් පිලිබඳ පුවතකි. කල්කටාවේ රැඟුම් පාලක මණ්ඩලයේ ඉන්දියානු සාමාජික ජේ.එන්.බැනර්ජ් සහ එහි ඉංග්‍රීසි නියෝජිතයා වන ජේ.එච්.හෙන්ඩර්සන් දෙදෙනාම චිත්‍රපටය තහනම් කිරිමට එක පයින් එකඟව සිටියහ.එහෙත් මසක් ගතවීමට මත්තෙන් මදාන් සමාගම තාගෝර යන්ගේ කෘතින් දෙකක් සිනමාවට නැංවූයේය. ඒ ගිරිබාලා සහ දාලියා ය. මේ චිත්‍රපට යුගලම අධ්‍යක්ෂණය මධු බෝස් ගෙනි.මේ නිහඩ චිත්‍රපට සියල්ලම ඉන්දියානු සිනමාවේ හැඩ තල නිර්මාණය කිරීමෙහිලා මහත් මෙහෙයක් කළේය.ඊළඟට එළැඹෙන කතානාද සිනමාවේ දී විසිවන සියවසේ මහා පුදුමය එතෙක් රූප කතන්දර සමග එක්තැන් කළ ඉන්දියාව භාෂා රාශියකින් බෙදන්නට සමත් වූයේය.
මතු සම්බන්ධයි
|