|
මුලින්ම ලිව්වේ අනෝජා ගැන
මාගේ මාධ්‍ය ජීවිතය ඇරැඹෙනුයේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙසිනි. 1979 පටන් 1984 දක්වා මම නිදහස් මාධ්‍ය ලේඛිකාවක ලෙසින් ලේක්හවුස් පුවත්පත් සඳහා ලිපි ලිව්වෙමි. මා හාපුරා කියා ස්ථිර පත්විමක් ලබා ලේක්හවුස් පැමිණියේ 1984 දීය. ඒ මිහිර පත්තරයටය. සරසවිය, තරුණී, දිනමිණ, ජනතා, යොවුන් ජනතා පුවත්පත් හි මා හට වැඩ කරන්නට ලැබුණේ විවිධ අවස්ථාවලදීය. මා සරසවියට ලියන්නට පටන් ගත්තේ මිහිරේ සිටියදීමය. එවක සරසවියේ ප්‍රධාන කර්තෘවරයා වූයේ ග්‍රැන්විල් සිල්වාය. ඔහු මට සරසවියට එක්වන ලෙස ආරාධනා කළ ද මා වඩාත් කැමැති වූයේ බාහිර පුද්ගලයකු ලෙස හිඳිමින් ලිපි ලියන්නටය. මා සරසවියට ලිව්වේ සිනමා විචාර ලිපිය. මා දෙවරක්ම සරසවිය කර්තෘ මණ්ඩලයේ ස්ථිර සාමාජිකාවක් වූයේ 86’ දීය. දෙවන වරටත් සරසවියේ සාමාජිකාවක් ලෙස පත්වීම් ලැබුවේ 97’ දීය. කලාව සම්බන්ධයෙන් විවිධ වූ මාතෘකා ඔස්සේ සරසවියට මුලින් ලිව්ව මා සරසවියට ස්ථිරව එක්වීමෙන් පසු මුලින්ම ලිව්වේ අනෝජා වීරසිංහ සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ලියූ දීර්ඝ ලිපියකි. එයට පෙර යොවුන් ජනතා පුවත්පතේ කටයුතුª කරද්දී මට කලාකරුවන් බොහෝ දෙනෙක් පුද්ගලිකව හඳුනාගන්නට ලැබිණි. ඒ නිසාම සරසවියේ මගේ රාජකාරිය පහසු විය. යම් කලාකාරයකුගේ හෝ කලාකාරියකගේ විස්තර ඇතුළත් ලිපියක් සැකසීමට ඔහු හෝ ඈ සමඟ කතාබස් කොට අප පැමිණිය ද ඒ සම්බන්ධයෙන් ලිපිය පත්තරයේ පළ වූයේ සතියක් දෙකක් ඉක්ම ගොසිනි. විශේෂ සිද්ධියක් හැරුණු කොට සෑම අයකුගේම ලිපි පළ වූයේ එපරිද්දෙනි. මේ පිළිබඳ වැටහීමක් නැති සමහර පුද්ගලයන් තමන් පිළිබඳ ඊළඟ සතියේ පළ වී තිබුණේ නැති විට දොස් කියමින් බැන වැදුණු අවස්ථා ද තිබිණිි. සිනමා විචාර පිළිබඳ ලිපි වැඩි වශයෙන් මා ලියනු ලැබුවේ දිනමිණ සිනමා පිටුවටය. දෙවැනි වර මා සරසවියට පත්වීම් ලබා පැමිණියේ තිලකරත්න කුරුවිට බණඩාරයන් සරසවියේ මුල් පුටුවේ පසුවන අවධියේය. එතුමන්ගේ වකවානුවේ මට වැඩි වශයෙන් සරසවියට ලියන්නට ලැබුණේ විදේශ සිනමාව සම්බන්ධ ලිපි මෙන්ම විදෙස් රටවල සිනමාකරුවන් පිළිබඳවය. විදෙස් සිනමාව සම්බන්ධයෙන් පළ වූ සඟරා බොහොමයක් එදා කුරුවිට බණ්ඩාරයන් මා වෙත ගෙනවිත් පුවත්පතට ලිපියක් සකසන ලෙස උපදෙස් දෙනු ලැබුවේ සරසවිය පාඨකයන්ට විදෙස් සිනමාව පිළිබඳ අලුත් තොරතුරු ලබා දෙන්නටය. ඇවිදින රන් ආකරයේ නවතම ඉන්ද්‍රජාලය ස්ටීවන් ස්පීීල්බර්ග්, ඉන්දීය කැසට් රජා මහ මඟ මරා දමයි, අමීර් ඛාන්ට - ෂාරුක් ඛාන්ට මරණ තර්ජන මෙවැනි මාතෘකා ඔස්සේ මා විවිධ වූ ලිපි රැසක් සරසවියට ලිව්වේ සිනමාව සම්බන්ධයෙන් ලියැවුණු විදෙස් සඟරා පරිශීලනයෙන් අනතුරුවය. දෙවන වරට මා සරසවියට පැමිණියේ පුද්ගලික කාරණා දෙකක් මුල් කරගෙනය. ඉන් එකක් වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් පිළිබඳ තිබූ විශ්වාසයයි. පුවත්පත් කලාවේ පරිණත බුද්ධියක් ලබා සිටි එතුමන්ගෙන් මගේ පුවත්පත් කලා ජීවිතයට යම් දෙයක් එකතු කරගැනීම මගේ එක පරමාර්ථයක් විය. ඒ වන විට මා ශාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වන අවධියත් වූ හෙයින් ඒ සඳහා මට වඩාත් කැප කිරීමක් කළ යුතු හෙයින් එයට අවශ්‍ය නිදහස ලබා ගැනීම දෙවන අරමුණ විය. ලිපි ලිවීම පමණක් නොව පිටු සැකසීම, අකුරු ඇමිණීම, යතුරු ලියනය මේ සෑම දෙයක් පිළිබඳ හොඳ දැනුමක් මට ලබා ගැනීමට හැකි වූයේ සරසවියේදීය. සිනමා විචාර පිළිබඳ බොහෝ ලිපි මා අතින් ලියවීම නිසාම 91’ දී ඕ. සී. අයි. සී. සිනමා සම්මාන උළෙලේදී මා වෙත ජයවිලාල් විලේගොඩ අනුස්මරණ විචාර සම්මානය පිරිනමනු ලැබීය. සරසවිය පත්තරය හා බැඳී ඇති සරසවිය සම්මාන උළෙල සඳහා මා සම්බන්ධ වූයේ සරසවියේ සාමාජිකාවක් වීමටත් පෙර සිටය. මිහිර පත්තරයේ මා වැඩ කරන කාලයේ පටන් සරසවිය සම්මාන උළෙලට එක් වූයේ එහි ආසන පැනවීමෙ කාර්යය සඳහාය. පසු කලෙක සරසවියේ සාමාජිකාවක් වූ පසු ද සම්මාන උළෙලේ සංවිධාන කටයුතුවලට අමතරව එම කාර්යයට එක් වූ අවස්ථාද තිබිණි. වසර පහක් හෝ හයක් පමණ කාලයක් මා සරසවියේ ස්ථිර සාමාජිකයෙක් ලෙස කටයුතු කළ සමයේ පුවත්පත් කලාව පිළිබඳ ඉගෙන ගත් දෑ බොහෝය. විෂයානුබද්ධ දැනුම පුවත්පත් කලාවේ ප්‍රායෝගික දැනුම මා වැඩිපුර අත්විඳීනු ලැබුවේ සරසවිය තුළ සිටි වකවානුවේය. පුවත් පත් කලාවේ මුද්‍රණ කටයුත්තේ පටන් සියලු ක්‍රමෝපායයන් නවීකරණය දක්වාම දැනුම මා ලබාගනු ලැබුවේ ලේක්හවුස් ආයතනය තුළිනි. පුවත්පත් කලාවේ විෂයානුබද්ධ දැනුම සේම ප්‍රායෝගික දැනුම ලැබීමේදී මට ලේක්හවුස් ආයතනය විශ්ව විද්‍යාලයක් විය. 97’ නොවැම්බර් මාසයේදී මම පුවත්පත් කලාවෙන් සමුගෙන විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරට පැමිණිය ද මට ලේක්හවුස් ආයතනය අමතක කළ නොහැකි විය. මෙහිදීී අසාමාන්‍ය සිද්ධියකට ද මට මුහුණපෑමට සිදු විය. මා විශ්වවිද්‍යාලයට පැමිණීමත් සමඟම වාගේ විශ්වවිද්‍යාලය වසා දැමුවේ සිසුන් පිළිබඳ ප්‍රශ්නයක් මුල්කොටය. මේ නිසාම මට පැමිණි කටයුත්ත ඉටු කිරීමට නොහැකි විය. මා නැවතත් ලේක්හවුස් ආයතනයට ගියේ යළි එහි රැකියාව කිරීමේ අපේක්ෂාවෙනි. මාස කීපයක් යළි එහි රැකියාව කළ පසු නැවත ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව මම විශ්වවිද්‍යාලයට පැමිණියේ මුලින් පැමිණි අරමුණ සඳහාමය. දරුවන්ට ඉගැන්වීමේදී මට වඩාත් ප්‍රයෝජනවත් වූයේ ලේක්හවුස් ආයතනයෙන් මා පුවත්පත් කලාව පිළිබඳ ලැබූ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමයි. සරසවියේ සාමාජිකයකු වී පුවත්පත් කලාවේ බොහෝ දෑ මගේ දැනුමට එකතු කරගැනීමට හැකිවීම ගැන මම අදත් සතුටු වෙමි. මට යම් දැනුමක් ලබා ගැනීමට සරසවියක්ම වූ සරසවිය පුවත්පත අද පනස් වෙනි වියට පැමිණ තිබීම ගැන මා තුළ ද ඇති කරනුයේ මහත් වූ අභිමානයකි.
|