වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මම ජීවිතේ හැමදේම කළේ කලාව වෙනුවන්

මම ජීවිතේ හැමදේම කළේ කලාව වෙනුවන්

‘මගේ පුංචි කාලයේදී වේදිකා නාට්‍ය, චිත්‍රපට හැරුණාම තිබුණේ ගුවන් විදුලිය පමණයි. මගේ මවුපියොත් කලාවට ගොඩක් ලැදියි. ඒ දෙන්නාට හිටිය එකම දරුවා වුණ මට කලාව රස විඳින්න පූර්ණ නිදහස ලබාදීල තිබුණා. ඉස්කෝලේ පාඩම් වැඩ කලාට පසුව මගේ විනෝදාංශය වුණේ ගුවන් විදුලියට සවන්දීම තමයි. ඒ කාලයේ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් වූ ‘මුවන් පැලැස්ස’, ‘මොනරතැන්න’ වගේ ගුවන්විදුලි නාට්‍යවලට මම සවන් දුන්නේ හරිම ආසාවෙන්. මට මතකයි තවත් නාට්‍යයක් තිබුණා ‘යකාගේ වංගුව’ කියලා.

ඒ නාට්‍යයට නම් මං ටිකක් බයයි. එහි හඬ කැවූ එක ශිල්පියෙකුගේ හඬට තමයි මම වැඩියෙන්ම බය වුණේ. ඒ හඬ ඇහෙන වෙලාවට මං රේඩියෝ එක තියෙන තැනින් ඈතට දුවනවා. ගුවන් විදුලියේ ගීත ඇහෙන වෙලාවට මම අම්මගේ සාරි ඇඳගෙන නැටුවා මතකයි.’

මීට වසර ගණනාවකට පෙර ඒ පුංචි දැරිය කලා

ක්ෂේත්‍රයට පිවිස එහි සාර්ථක ගමනක යෙදේවි යැයි ඇයවත් ඇයගේ ආදරණීය මවුපියන්වත් සිහිනෙකුදු නොසිතන්නට ඇත. නමුත් ඒ පුංචි දැරිය අද ප්‍රතිභාපූර්ණ නිළියක්. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටවල ද අමරණීය මතක සනිටුහන් කළ ඇය එහි තව තවත් සාර්ථක වෙමින් ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදිකාවක, අධ්‍යක්ෂිකාවක ලෙස ද කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කරන්නීය. ඇය ශ්‍රියාණි අමරසේන. එදා සිට අද දක්වා ඇය සිය ජීවිතයේ විවිධ කඩඉම් පසුකරමින් කලා ජීවිතයේ සාර්ථක ගමනක යෙදෙන්නීය.

‘පාසල් අවධියේදීත් මම කලා කටයුතුවලට දායකත්වයක් ලබා දුන්නා. මම අධ්‍යාපනය ලැබූ මීතොටමුල්ල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ මියුසියස් විද්‍යාලය සහ මරදාන ගෝතමී බාලිකා විද්‍යාලය යන පාසල් තුනේදීම විවිධ කලා කටයුතුවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. සිංහල සාහිත්‍ය, නර්තනය, ගායනය වගේම චිත්‍ර කලාවේත් මම විශේෂ දස්කම් දැක් වූවා. නමුත් එදා කලා ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ. ඒ වුණාට කලා කටයුතු සමඟ මම ඉස්කෝලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණා.

මම සිංදු කියනවා අහල නීතිඥවරයෙක් වගේම දක්ෂ කවියෙක් වුණ ඒ. යූ. එස්. පෙරේරා මහතා මට ළමා පිටියේ ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ කාලේ ළමා පිටිය මෙහෙය වූයේත් සිරි අයියා වුණෙත් ඔහුයි. මම පිටතට ගිහින් සහභාගි වූ පළමු කලා කටයුත්ත එයයි. ට්‍රිලිශියා ගුණවර්ධන, දයා අබේසේකර එදා ළමා පිටියේ හිටියා. මගේ කලා ජීවිතය ආරම්භ වුණේ ඒ ආකාරයෙන්.’

එදා ගායන දක්ෂතා පෙන්වමින් ක්ෂේත්‍රයට පිවිසි ඇයට කලා ලොවේ තව තවත් දොරටු විවර වූයේ ඇය සතු වූ දක්ෂතාව නිසාමයි.

‘ඒ වන විටත් මට චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලා තිබුණත් චිත්‍රපටවල රංගනයේ යෙදෙනවාට නම් අම්මයි තාත්තායි එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. දවසක් පුවත්පතක දැන්වීමක් දාලා තිබුණා කුවේණි නාට්‍යයේ කුවේණිගේ චරිතයට නිළියක් අවශ්‍යයයි කියලා. මම ඒක අම්මට පෙන්නුවම අම්මා මාව එහි සම්මුඛ පරීක්ෂණයට එක්කර ගෙන ගියා. කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ ශාලාවක තමයි සම්මුඛ පරීක්ෂණය තිබුණේ. එදා ගොඩක් අය ඇවිත් හිටියා. මමත් එහිදී නර්තනයක් ඉදිරිපත් කළා. විනිශ්චය මණ්ඩලය එදා මට කිව්වේ ‘ඔයා හොඳ ඉදිරිපත් කිරීමක් කළා. ඒ වුණාට ඔයාගෙ පෙනුම කුවේණිගේ චරිතයට ගැළපෙන්නේ නැහැ.

අපි ඔයාව වෙනත් චරිතයකට තෝරා ගන්නවා’ කියලා. ජී. ඩී. එල්. පෙරේරා, ධම්ම ජාගොඩ, අශෝක පීරිස්, වික්ටර් මිගෙල්, සුගතපාල සෙනරත් යාපා ඇතුළු කණ්ඩායම තමයි එදා ඒ විනිශ්චය මණ්ඩලය නියෝජනය කළේ. ඊට පසුව මට දයානන්ද ගුණවර්ධන මහතාගේ නරි බෑණා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වෙන කොටත් මම ගෝතමී විද්‍යාලයේ සිසුවියක්. පාසල් ගමනට බාධාවක් නොවන ලෙසයි මම රංගන කටයුතුවලට දායකත්වය ලබාදන්නේ. ඒ තුළින් කලාව පිළිබඳ ලද අවබෝධය සහ ප්‍රතිචාර මා තව තවත් ධෛර්යමත් කළා.’

ඒ ධෛර්ය ඇයට කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නට තව තවත් උද්යෝගිමත් කළා. ඒ ගමනට ඇයගේ ආදරණීය මවුපියන්ගෙන් ලැබුණේද නොමඳ සහායක්.

‘මට මතකයි ඒ කාලේ තිබුණ සිනමා පත්තරයක් විසිතුර කියලා. මම හැම සතියෙම එය අරගෙන කියවනවා. එහි තිබුණේ ජනප්‍රිය නළු නිළියන්ගේ විස්තර, පිංතූර. ඒවා බලන එක තමයි මගේ විනෝදාංශය. ඒ වගේමයි චිත්‍රපට නරඹන්නත් මම හරිම ආසයි. අම්මයි තාත්තයි මමයි නිවාඩු දවස්වලට චිත්‍රපට බලන්න යනවා. මගේ ප්‍රියතම නිළිය වුණේ රුක්මණී දේවියයි. දවසක් තාත්තාට ලැබුණු ආරාධනාවකට අනුව බොරැල්ල වයි. එම්. බී. ඒ ශාලාවේ නාට්‍යයක් බලන්න අපි ගියා. අපට අසුන්ගන්න ලැබුණේ දෙවැනි

පේළියේ. ටික වෙලාවකින් මුළු ශාලාවම තරමක් නොසන්සුන් වුණා. මමත් ඇසිපිය නොහෙළා බලාගෙන හිටියා. ඒ වෙලාවේ රුක්මණී දේවි එතැනට පැමිණෙමින් සිටියා. ඇය එදා ඒ ස්ථානයට ආවේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියටයි. ඇය අසුන් ගත්තෙත් මට ඉදිරියෙන් තිබූ ආසනයේ. මම නාට්‍යයට වඩා ඇය දෙසයි බලාගෙන හිටියේ. ඒත් මට වචනයක්වත් කතා කරන්න ලැබුණේ නම් නැහැ.

කාන්තාවන් රංගනයේ නොයෙදුණු අවදියක ඒ අභියෝගයට මුහුණ දීලා ක්ෂේත්‍රයට පැමිණීමට ඇය තැබූ පියවර නිසා තමයි අපිත් අද මෙහෙම ඉන්නේ. එය අපි අගය කළ යුතු දෙයක්. පසුකාලිනව මට රුක්මණී දේවිය සමඟ රංගනයේ නිරත වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සියයේ නෝට්ටුව චිත්‍රපටයේදීයි. එහිදී මට ඇයත් සමඟ දර්ශන කිහිපයකටම පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඊට පසුව ඇය මට හොඳ මිතුරියක් වුණා. රුක්මණී දේවි හෙවත් ඩේසි අක්කාගේ නිරහංකාර බව මම හැමදාම අගය කරනවා. ඇය අපේ කලා ලොවට ආදර්ශයක්.’

එදා ඒ පුංචි කලාකාරිය යෞවනියක ලෙස සිය ජීවිතයේ සුන්දරතම කඩඉම අසල.

‘පාසල් අධ්‍යාපනයෙන් පසුව අමරෙයි (ආතර් යූ. අමරසේන) මමයි අතර විවාහය සිදු කෙරුණා. එය යෝජිත විවාහයක්. විසිතුර සිනමා පත්තරේ කර්තෘවරයා ලෙසත් ඔහු කටයුතුª කරලා තිබුණා. ඒ කාලේ මම කවදාවත් හිතුවේ නැහැ මම ආසාවෙන් බැලූ පත්තරේ කර්තෘවරයා සමඟ විවාහ වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. අමරේ නිසා මගේ ජීවිතය වාසනාවන්ත වුණා. මට සිනමාවට එන්න අත දුන්නෙත් අමරේ.

ඒ දක්වා මවුපියන්ගෙන් සිනමා රංගනයට තිබූ තහනම ඔහු ඉවත් කළා. මම සිනමා රංගනයට පිවිසියේ අපේ ලොකු දුව ඉනෝකා ලැබුණාටත් පසුවයි. කාලය ගත වෙලා දැන් මගේ සිනමා දිවිය අඩ සියවසකටත් ආසන්නයි. එහි ගෞරවය හිමි වන්නේ ඔහුටයි. සිනමාව පිළිබඳ මට අවබෝධය ලබා දුන්නේ ඔහුයි. රංගන කටයුතු සමඟ කාර්ය බහුල වුණ මගේ ජීවිතයට අමරේ ශක්තියක් වුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘ගොළු හදවත’ චිත්‍රපටයේ රංගනයට දායක වෙන විට අපේ පුතා සම්පත් අපේ පවුලට එකතු වෙලා හිටියේ. ඒ වෙන කොට 70 දශකය, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මමත් හිටියා. ජීවරාණි, සන්ධ්‍යා, අනුලා, පුණ්‍යා, ජෝ, ආනන්ද ජයරත්න වැනි අය අතරේ මමත් හිටියා. ගාමිණී, විජය, ටෝනි, රවීන්ද්‍ර වැනි රංගන ශිල්පීන් සමඟ රංගනයේ නිරත වෙන්න අවස්ථාව ලැබුණා.

ගාමිණී ෆොන්සේකා තමයි මගේ ප්‍රියතම නළුවා. ඔහුත් සමඟ රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා. තවත් විශේෂයක් තියෙනවා. ජෝ අයියාගෙයි වොලී නානායක්කාරගෙයි උපන් දින යෙදිලා තියෙන්නෙත් මගේ උපන් දිනය වන ජූනි 14 වැනිදාටමයි. මම හැමදාම ඒ දෙන්නාට සුබපතනවා. ඒ වුණාට හෙට මට එහෙම සුබපතන්න අවස්ථා ලැබෙන්නේ නැහැ.

‘අහසින් පොළවට’, ‘දෑස නිසා’, ‘දුවට මවක මිස’, ‘මහ ගෙදර’, ‘විරාගය’, ‘තරණය’, ‘රත්තරං අම්මා’, ‘කල්‍යාණි ගංගා’, ‘සාගරිකා’, ‘සිහසුන’ වැනි චිත්‍රපටවල චරිත මගේ රංගන ජීවිතයේ මා දැඩි ලෙස ප්‍රිය කරන චරිත. මට ගොඩක්ම ලැබුණේ ගැමි අහිංසක චරිත. මගේ පෙනුමට එවැනි චරිත ලැබුණා ද කියල නම් දන්නේ නැහැ. මට ලැබුණු චරිත අනුව එහි මට යම් කරදරයක් සිදුවන අවස්ථාවලදී

රසිකයන් ආවේගශීලි වූ අවස්ථා පවා මට දැනගන්නට ලැබිලා තියෙනවා. ‘කුලගෙය’ චිත්‍රපටය නරඹා එක් රසිකයෙක් එලෙස ආවේගශීලීව කතා කරලත් තිබුණා. ඒ ඔවුන්ගේ හිත්වල අපි වෙනුවෙන් වූ ලෙංගතුකමයි. අපි එය සැබැවින්ම අගය කළ යුතුයි’.

වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස

කරළියට පිවිසි ඇය සිනමා රංගගනයේ සාර්ථකත්වය සමඟ කලා ලොවේ තවත් මාවතක.

‘කාලයත් සමඟ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මගේ හිත යොමු වෙලා තිබුණා. ඒ අනුව මගේ ප්‍රථම සිනමා නිෂ්පාදනය වුණේ ‘දෑසේ මල් පිපිලා’ චිත්‍රපටයයි. ඒ වකවානුවේ ජනප්‍රියම නළු විජය කුමාරණතුංග ප්‍රධාන චරිතය රඟපෑ එහි සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා වැනි දක්ෂ ශිල්පින් ශිල්පිනියන් එයට රංගනයෙන් දායක වුණා. දෙවැනි චිත්‍රපටය වුණේ ‘ තරණය’යි ටෝනි රණසිංහ සහ ජැක්සන් ඇන්තනි එහිදී මා සමඟ රංගනයෙන් එක්වුණා. එය ජාත්‍යන්තර සිනමා උළෙල කීපයක්ම නියෝජනය කළා. ඒ අත්දැකීම් කලා ජීවිතයට බොහෝ වැදගත් වුණා. එවැනි අවස්ථා සඳහා අනෙකුත් කාර්මික ශිල්පීන් පවා යොමු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. විරාගය චිත්‍රපටය සමඟ ඉන්දියාව, රුමේනියාව, රුසියාව වැනි රටවල්වලට ගොස් මා ලද අත්දැකීම් වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ අත්දැකීම් ඉදිරි පරපුරටත් අපි ලබා දෙන්න ඕනෑ.

ටෙලිවිෂනය පැමිණීමත් සමඟ සිනමා කර්මාන්තය හකුළා ගත්තා කියලා මට හැෙඟනවා. බොහෝ දෙනා ටෙලිවිෂනය වෙත යොමු වෙද්දී මගේ හිතත් ඒ දෙසට යොමුවුණා. ඒ අනුව තමයි මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ‘සුබ ප්‍රාර්ථනා’, ‘එක මවකගේ දරුවෝ’ වැනි නාට්‍ය ඒ අතර ජනප්‍රිය වුණා.

මේ වෙන කොට මටත් හිතුණා ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි ‘මැගි’ ටෙලි නාට්‍යය මගේම නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් යුතුව නිර්මාණය වුණේ. එය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ උනන්දුව තුළින් තරණය චිත්‍රපටය රැගෙන මම එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවලට ගියා. එංගලන්තයේදී මගේ යෙහෙළියක් වන ලිලානි පෙරේරා මගෙන් ඇහුවා ‘විදෙස් රටකදී ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි කරන්නේ නැත්තේ ඇයි’ කියලා. ඒ අදහසට මමත් ගොඩක් කැමැති වුණා. ඒ අනුව තමයි ‘ඉරබටු තරුව’ ටෙලි නාට්‍යය නිර්මාණය වුණේ. එංගලන්තයේ සහ ලංකාව අතර සුන්දර දසුන් සමඟ එය ගොඩක් ජනප්‍රිය වුණා. එහි මගේ තරුණ කාලය නිරූපණය කරමින් සේමිණි ඉද්දමල්ගොඩ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. ‘හේමන්තයේ වසන්තයක්’,

‘පුෂ්පරාගය’ වැනි ටෙලි නාට්‍ය ඇතුළු ටෙලි නාට්‍ය 14 ක් මෙලෙස මෙරට හා විදේශයන් එක් කරමින් නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා’.

කලාවට වූ ලැදියාවෙන් කලා ක්ෂේත්‍රයට පිවිස රංගන ශිල්පිනියක ලෙස පමණක් නොව

නිෂ්පාදිකාවක, අධ්‍යක්ෂිකාවක ලෙස වටිනා නිර්මාණ ක්ෂේත්‍රයට දායාද කරමින් ඇය භාර ගත්තේ අභියෝගයක්.

‘විදෙස් රටක් සම්බන්ධ කර ගනිමින් නිර්මාණයක් කිරීම ඇත්තටම අභියෝගයක්. මම ඒ අභියෝගය භාර ගත්තේ ආදරණීය රසිකයන් වෙනුවෙන්. ඔවුන් ඒ වෙනුවෙන් දක්වන කැමැත්ත, ඔවුන්ගේ ප්‍රතිචාර තමයි මා දිරිමත් කරන්නේ. මේ තුළින් කවදාවත් මුල්‍යමය ලාභ ලබන්න බැහැ. ඒ වුණත් එයින් ලබන තෘප්තිය මට ඊට වඩා වැදගත්. ඒ නිසයි එවැනි නිිර්මාණ සඳහා මා පෙළඹුණේ. අවසාන වශයෙන් ඉතාලිය හා ශ්‍රී ලංකාව එක්කරමින් ‘වෙරෝනිකා’ ටෙලි වෘත්තාන්තය නිර්මාණය කළා. එය ඉදිරියේදී පුංචි තිරයෙන් දිග හැරෙන්නට නියමිතයි.

ඒ හැරුණාම මට ගැළපෙන චරිතයක් සමඟින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම චිත්‍රපටයක් සහ විදෙස් රටක් යා කරමින් තවත් ටෙලි නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ හැම දෙයම කරන්නේ කලාව වෙනුවෙන්. කලාව තුළින් අපි ඉදිරියට ආවා නම් අපිත් කලාවට යමක් කළ යුතුයි. එය තමයි මගේ සතුට’.

එදා මෙදාතුර විවිධ චරිත මවමින් ඔබට සමීප වූ ඇය අද ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මෙලෙස කැප වී සිටින්නීය. රංගන ශිල්පිනියක, ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක, අධ්‍යක්ෂිකාවක යන තනතුරුවලින් බැහැරව ආදරණීීය බිරිඳක, මවක, මිත්තණියක ලෙස ද ඇය ඉතාම තෘප්තිමත් වූ ජීවිතයකට හිමිකම් කියන්නීය. හෙට දිනය ඇයගේ ජීවිතයේ සුවිශේෂ දිනයක් ලෙස උදාවන්නට නියමිතය. එදින අපි ඔබට ‘සුබ උපන් දිනයක්’ කියා සුබ පතන්නෙමු.