|
කුමාරයාට අත තියන්න එපා 03
ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය
අග බිසවගේ නියෝගය ලැබුණු සැනින් පුරෝහිත කලබල වූවේය. ඔහු මොහොතක් වත් පමා වන්නට නොරැඳී මාලිගය බලා පිටත් වූයේය. වසුන්දරා පුරෝහිතට පෙර ගමන් කළාය. මේ අන්ත:පුරයට ඇතුළුවීමට රජු තමන්ට අවසර දී ඇත්තේය. එහෙත් එහි සීමාවන් ඇති වග පුරෝහිතට මතක් විය. ඒ අග බිසව හමුවීමට වුවද නිසි තැනක් ඇත. එහෙත් වසුන්දරා එම සීමාවේ ද නතර වූයේ නැත. තමන්ට නොපෙණුන ද මේ අන්ත:පුරයේ බිසවුන්ගේ අනග බැලුම් තමන් වෙත ද හෙළනු ඇතැයි මොහොතකට පුරෝහිතට සිතිණ. එහෙත් ඒ සමඟ මැවෙන්නට වූයේ විජයබාහුගේ දේහ විලාසයයි. එබැවින් සිතුවිල්ල තමන් වෙතම රඳවා ගන්නට පුරෝහිත වග බලා ගත්තේය. එබැවින් ඔහු වට පිට නොබලා ඉදිරියට ඇදුණේය. බිසව තව මොහොතකින් පුරෝහිත සිය සිරියහන් ගැබට වදින වග පසක් කර ගෙන උන්නාය. ඇය කැඩපත ඉදිරියේ සිටගෙන සිය උඩ සළුව මුදා හැරියාය. දරුවකුගේ මවක් වුව ද තවමත් තම දේහයට පිරිමියකු වසඟ කර ගත හැකි බව ඇය දැන උන්නාය. සිංහලය එක් සේසත් කරන්නට දිව්රුම් දී සිටින විරෝදාර රජු සිංහලයෙක් නොවන තමා වෙතින් ජන්ම ලාභය ලද කුමරුන්ට රජකම් ලබා දෙන්නට කැමැති වූයේ ද මේ සිරුර නිසා බැව් ඇයට සිහිපත්වීමෙන් සිනහවක් නැඟිණ. එහෙත් එයට හරස් කපන පිරිවරක් සිටින්නේය. ඉන් පළමුවැන්නා සංඝරාජ මාහිමිපාණන් යැයි සිතීම ඇයට ගෙන එන්නේ කෝපයකි. ඇය යළිත් තම සිරුර පිරික්සුවාය. ඇඳී රෙදි කඩ විනිවිද පෙනෙන සුළු බැව් ඇය කැඩපතින් දුටුවාය. එය වසාගන්නට වඩා තවත් නිරාවරණය වනු මැනැවි යැයි ඇයට සිතිණ. ඇයට දොරක් විවර වන හඬක් ඇසුණි. ඇය කැඩපතින් එදෙස බැලුවාය. පුරෝහිත සිය සිරියහන් ගැබට ඇතුළු වන අයුරු දුටු ඇයට මද සිනහ පහල විය. වසුන්දරා පුරෝහිත සිරියහන් ගබඩාවේ රඳවා දොර වසා නික්ම ගියාය. පුරෝහිතගේ මුහුණින් දහඩිය දමන්නට විය. මේ නම් රාජ උදහසට ලක් වන්නක් වග ඔහු ඉඳුරාම දත්තේය. එහෙත් ආපසු හැරී යන්නට ද නොහැක. ඒ සියල්ලට වඩා බිසවගේ නාරි දේහය මහලු සිතට තරුණ බවක් ගෙන දීමට සමත් ව ඇති හැටි ය. බිසව පුරෝහිතගේ ඉරියව් කැඩපතින් හොඳ හැටි පිරික්සුවාය. යකඩයක් නමා ගන්නට නම් කෙතරම් රත් කර ගත යුතු දැයි ඇය සිතා බැලුවාය. අනතුරුව ඇය මධු බඳුන් දෙකක් ගෙන පිරෙව්වා ය. පුරෝහිත උන්නේ පියවි සිහිය වෙන් ව යන තරමේ භීතියකිනි. මහ රජු සමඟ යුද්ධයට ගියා නම් මැනවැයි ඔහුට සිතිණ. එහෙත් මේ තරම් සුරූපී නාරි දේහයක් දෙස නොබලා සිටින්නේ කෙලෙස දැයි ඔහුට සිතිණ. මධු කුසලාන අතට ගත් දේවිය පුරෝහිත ඉදිරියට පැමිණියා ය. ඇයගේ සිනහව ඔහුගේ සිත් වසඟ කළේය. ‘‘අවසරයි දේවියන් වහන්ස‘‘ ඔහු තැතනුවේය. ‘‘කුමක් සඳහා ඔබ අවසර පතන්නේද පුරෝහිත‘‘ යැයි බිසව ඇසුවේ අසුනක වාඩිවෙමිනි. ‘‘ඔබ වහන්සේගේ රාජ නියෝගය නිසාම මිස දේවියන් වහන්ස‘‘ පුරෝහිත කතා කරන්නට වචන සෙව්වේය. බිසව එය වළකාලූවා ය.‘‘මහරජතුමා නැති මොහොතක අග මෙහෙසියගේ සිරි යහන් ගැබට වැදීමෙන් ඔබ කරන්නේ බරපතළ වැරැද්දක්‘‘ බිසව පැවසුවාය. පුරෝහිත වේවලන්නට පටන් ගත්තේය. ‘‘අවසර දේවියන් වහන්ස මා පැමිණියේ ..‘‘ පුරෝහිත පවසන්නට පටන් ගත්තේය. එහෙත් ඔහුට යළිත් කතා කරන්නට ඉඩ නොලැබුණි. ‘‘මා මේ පුවත මහ රජතුමාට සැලකළ හොත්, තොපගේ ඉරණම කුමක් විය හැකිද?‘‘ ඇය ඇසුවාය. තම කටේ කෙළ සිඳෙනු පුරෝහිතට දැනිණ. මේ වනතෙක් අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙන්නකු ලෙස මේ රාජ්‍යයේ තමා අත් විඳී සියල්ල මොහොතකින් අවසන් වන වග ඔහුට වැටහිණ. ‘‘ඔබ වහන්සේගේ නියෝගය නිසයි මා මෙසේ පැමිණියේ. දේවින් වහන්ස ‘‘ පුරෝහිත නිදහසට කරුණු කියන්නට සැරසුණි. ‘‘මා එවන් නියෝගයක් නොකළ වග රජතුමාට සැළ කළහොත්‘‘ එවර තවත් වචනයක් සොයා ගන්නට පුරෝහිතට කල් ගතවිය. ඒ කාලය ඕනෑ තරම් ගන්නට බිසව ද ඉඩ හැරියාය. ‘‘ඔබතුමිය මා මෙහි කැඳවූ වගට වසුන්දරා දාසිය සාක්ෂි දරණු ඇත.‘‘ පුරෝහිත පැවසුවේ සැනසෙන්නටත් එක්කය.‘‘සාක්ෂි දරන්නට වසුන්දරා දැන් ජීවතුන් අතර නැත.‘‘ මේ රූමතියගේ තරුණකම අතර මර උගුලක් ඇතැයි දැණුන පුරෝහිතට මරණ බියක් දැනිණ.වසුන්දරා පිළිබඳ ඇය පවසන්නේ ඇත්තක් නම් මේ ගැහැනිය මහත් බියකරු එකියකි. කිමෙක්ද මේ සිදුවන්නේ, මා දකින්නේ බියකරු සිහිනයක් ද? පුරෝහිත ට කියැවිණි. ගත වූ රාත්‍රියේ තමා අවදි වූයේ බිහිසුණු සිහිනයකිනි. එහෙත් එය රාජ්‍යය අරබයා නොවේ යැයි ඔහුට වැටහිණ. දේවිය මධුවිත තොල ගෑවාය. මේ මධුවිත හැඟීම් අවුස්සන සුළු ය .ඇය පුරෝහිතගේ උරහිසට අත තැබුවාය. මේ තරම් සියුමැලි අතක්වුව ද පුරෝහිතට ගිනියම් ව දැනිණ. ‘‘මේ තරම් පුරුෂකායක් ඇති තොප සියුමැලි ගැහැනියක් ඉදිරියේ වෙව්ලන්නේ “ පුරෝහිතගේ ගත තවත් වෙව්ලන්නට පටන් ගත්තේය.ඔහුට බිසවගේ හඬ ඇසුණේ සිහිනයකින් මෙනි. ‘‘මා බසට අවනත නොවුණොත් මරණීය දණ්ඩනයත්, අවනත වන්නේ නම් රාජ සුඛ විහරණයත් තොප සතුයි.“ පුරෝහිත වාඩිවන්නට ආසනයක් සෙව්වේය. ‘‘එයින් තොපට අවශ්‍ය කුමක්ද?‘‘ බිසව විතාළා ය. ‘‘මට දැන් වාඩි වන්නට අවශ්‍යයයි දේවින් වහන්ස‘ දේවිය ඔහු වත්තම් කර අනතුරුව අසුන් ගැන්වූවාය. අනතුරුව එතෙක් තමන් ළඟ තිබූ මධු බඳුනෙන් එකක් ඔහුට පිරි නැමුවාය. පුරෝහිත අසරණව දේවිය දෙස බැලුවේය. ‘‘රාජ නියෝගය අනුව ඔබ මෙය පානය කළ යුතුයි.‘‘ තවත් වරක් රාජ අණ නිකුත් ව ඇත්තේය. පුරෝහිත වෙව්ලන්නට පටන් ගත්තේය. ‘‘පානය කරව‘‘ එවර බිසව ගුගුළා ය. පුරෝහිත කලබල විය. දෝතිනම ගත් මධුවිත ඔහු එකවර ගිල දැමුවේය. වෙව්ලීම අඩුවිය. එය නම් අමාපානයක යැයි ඔහුට සිතිණ. හිස්වන බඳුන අතට ගත් දේවිය යළිත් එය පිරෙව්වා ය. එවර එය පානය කරන්නට පුරෝහිතට ඇණවුමක් වුවමනා නොවීය. හිස්වන මධුවිත පුරවන්නට බිසව වේලාවක් නොගත්තාය. එහෙත් කෙනෙකු මත් කළ යුතු ප්‍රමාණය බිසව දැන උන්නාය. වැඩිපුර බොන්නට දීමෙන් වන්නේ නිකම්ම කියැවීම පමණි. කෙනෙකුගෙන් වැඩක් ගන්නට නම් ඔහු මත්කළ යුතු ප්‍රමාණයක් තිබේ. එබැවින් ඇය යළි මධුවිත පිරවීම නතර කළාය. තවත් මධුවිතක් තිබී නම් සැහෙන්නේ යැයි කියන්නට පුරෝහිතට ඇවැසි වුවත් එය කියන්නට ඔහු මැළි වූයේය. ‘‘මහ රජතුමාගෙන් පසු මගේ වත්හිමි කුමාරයාට රජකම හිමිවන ලෙසට මම මහරජු සපථ කර ගත්තා‘‘ ‘‘මම එය දනිමි. දේවියන් වහන්ස‘‘ ‘‘එහෙත් බෞද්ධ භික්ෂූන්ට අවශ්‍ය පරාක්‍රමබාහු කුමාරයාට රජකම දෙන්න. පරාක්‍රමබාහු ජීවත්වීම මගේ වත්හිමි කුමාරයාට තර්ජනයක්. පුරෝහිතට වැටහේ ද?‘‘ පුරෝහිත බලා උන්නේ පිළිතුරු දීමට නොහැකිව ය. ‘‘දේවියන් වහන්සේගේ බස වැටහේ. හැබැයි කළ යුත්ත කුමක්දැයි නොවැටහේ‘‘ පුරෝහිත අසුනෙන් නැගි සිටින්නට උත්සාහ කළේය.වහා ඉදිරියට ආ බිසව පුරෝහිත අල්ලාගෙන සිරියහනට ගෙන ගියාය. ඔහු සිරියහනේ වැතිරිණි. ඔහුට සමීප වූ බිසව ඔහුගේ උඩුකය වස්ත්‍රය ගැලවූයේය. ‘‘කිසිවකුට සැක නොසිතන අයුරින් මෙය සිදුවිය යුතුයි.‘‘ දේවිය පැවසුවාය. කුමක්දැයි විමසන න්‍යායෙන් පුරෝහිත අග බිසව දෙස බැලුවේය. ‘‘පරාක්‍රමබාහු ජීවත්වීම වත්හිමිට තර්ජනයක්‘‘ ‘‘මට තව මධුවිතක්‘‘ පුරෝහිත ඉල්ලා සිටියේය. ‘‘තව මධුවිතක් ගතහොත් තොප මෙහි කාලක්‍රියා කරනු ඇත. තොපට අවශ්‍ය අප්‍රානික වන්නටද, නැත්නම් සප්‍රානික වන්නටද? බිසව ඇසුවේ හෙමිහිටය. ඒ හඬ තමන් කලඹන බැව් පුරෝහිතට සිතිණ. ‘‘අප්‍රානික වන්ට ‘‘ පුරෝහිතට කියැවිණ. දේවිය මධුවිතක් පිරවූවාය. අග බිසව සමඟ රාජ සුඛ විහරණය ලබන්නට අකමැති අමනයා, මධුවිත පුරවන ගමන් බිසව කෝපයෙන් සිතුවාය. එකවරම පුරෝහිත කතා කළේය. ‘‘නුවණක් පහල වූවා දේවිය‘‘ ඔහු කෑගෑවේය. ඒ වන විට පුරෝහිත යස අගේට කල්පනා කර සිටියේය. ඒ වනවිට රජුගේ ජයග්‍රහණය සනිටුහන් කරමින් ශ්වේත වර්ණ ධජය රැගත් සෙබළා පෙරමග එමින් සිටියේය. අග බිසව තමන්ගේ සෙබළෙකු ඒ මගට යැව්වේය. ශ්වේත වර්ණ ධජය රැගත් සෙබළා එනතුරු මග රැක සිටි ඔහු මොහොතක් වත් පමා නොවී විද මරා දමන්නට සැලසුම් කළේය. ඉලක්කය නිවැරැදි විය. ඉන් අනතුරුව ඉදිරියට ඇදුණේ කාල වර්ණ ධජයක් රැගත් සෙබළෙකි. සුරාවෙන් මත් ව සිටි පුරෝහිත අන්ත:පුරයේ සිටි සියලු බිසොවරුන් කැඳවූයේය. ‘‘කුමාරිකාවනි, යුද්ධයේ සංඥාකරු තව ටික වේලාවකින් ළඟා වනුඇත. සියලුදෙනාම බැලුම්ගලට පැමිණෙන ලෙස අග බිසව නියෝග කර සිටිනවා. ඔහු ශ්වේත වර්ණ ධජයක් ගෙන එන්නේ නම් අප ජයපැන් බොනවා. එහෙත් එය කාල වර්ණ ධජයක් නම් බැලුම් ගලින් පැන දිවි නසා ගත යුතුයි.‘‘පුරෝහිතගේ කීම සමඟ තරුණ බිසව්වරු බැලුම් ගලට නැංග්ගහ. මාලිගාව අසල පිහිටි මේ පර්වතය රාජධානියේ ද මාලිගයේ ද ආරක්ෂාවට මහත් පිටුවහලක් වූයේ එහි සිට බොහෝ දුර බැලිය හැකිව තිබුණ හෙයිනි. අන්ත:පුර කුමාරිකාවන්ට බිය වන්නට හේතුවක් නොවීය. සංඝරාජ හිමිපාණන්ගේ අනාවැකිය ඔවුනට මහත් අස්වැසිල්ලක් විය. එබැවින් කිසිවකු හො ආපසු යන්නට සැලසුම් කළේ නැත. අග බිසව එහි මත්තට නැග්ගේ පරාක්‍රමබාහු කොහිදැයි විමසිලිමත් වූවාය. පතිරාජ සිටියේ කුමරු සමඟ ය. එහෙත් පතිරාජගේ ඉවට යමක් වැටෙමින් තිබිණ, ඔහු තම සළුවෙන් කුමරුගේ ඉණ ද අනෙක් කොණ තම සිරුරේ ද ගැට ගැසුවේය. ‘‘පතිරාජ සියලුදෙනා සමඟ බැලුම්ගලට පැමිණිය යුතුයි‘‘ බිසව කෑගෑවාය. ‘‘කුමාරයා සමඟ මම එන්නෙමි‘‘ පතිරාජ කියා සිටියේය. ‘‘ අපේ තීරණය ඔබ දන්නවා ද?‘‘ බිසව ඇසුවාය. පතිරාජ දන්නා බව පැවසුවේය. ‘‘කුමාරයා මා අත රඳවා ගොස් අන් සියල්ල සූදානම්ද කියා සොයා බලනු‘‘ බිසව අණ කළාය. ඇය පරාක්‍රම බාහු වෙත අත පෑවාය. එහෙත් ඇය වෙත යන්නට යන්නට කුමාරයා මැළි විය. තමා හැර අන් කිසිවකු වෙත නොයන්නැයි පතිරාජ පවසා ඇති වග ඔහුට සිහිවිණ. ‘‘මා කුමාරයා සමඟ බැලුම්ගලට එන්නම් දේවියනි‘‘ පතිරාජ පැවසුවෙන් එයින් සෑහෙන්නට බිසවට සිදුවිය. බැලුම්ගල වෙත පිවිසි පිරිස බලා උන්නේ ඈත මාර්ගයේ කෙළවර දෙසය. එක්වරම කළු කොඩියක් රැගත් සංඥාකරුවකු මතුවිය. ගැහැනු විලාප දෙන්නට වූහ. ‘‘ අප දිවි නසා ගත යුතුයි‘‘ පුරෝහිත කෑගෑවේය.දේවිය පතිරාජ අත සිටි කුමරායා අල්ලන්න ට තැත් කළාය. ඒ වනවිටත් අන්ත:පුර ළඳුන් කිහිපදෙනෙකුම පර්වතයෙන් බිමට පැන අවසන්ය. පුරෝහිත ඇතැම් ගැහැනියක් එයින් තල්ලු කළේය. පතිරාජ අත සිටින කුමරු දුටු පුරෝහිත වහා එහි දිව ආවේය. ඔහු එක්වරම කුමරු පර්වතයෙන් බිමට තල්ලු කළේය. එහෙත් කුමරු පතිරාජගේ සළුවෙන් ගැටගසා ඇති අයුරු ඔහු නොදත්තේය. පතිරාජ වහා කුමරු ඇද ගත්තේය. පුරෝහිත යළි කුමාරැ වෙත පැන්න ද එවර පතිරාජ ඉක්මන් වූයෙන් පය පැකුළුණ පුරෝහිත ප්‍රපාතයට පෙරළී ගියේය. ‘‘පතිරාජ කුමාරයාත් සමඟ පනින්න‘‘ බිසව කෑගෑවාය. එහෙත් මේ යෝනක ස්ත්‍රියගේ මායමට හවුල් නොවන්නට පතිරාජ සැලසුම් කර සිටියේය. ‘‘කුමාරයාට අත තියන්න එපා,‘‘ පතිරාජ කෑගෑවේය. ඔහුගේ හඬ පර්වතය සිසාරා මුළු රාජ්‍යය පුරාම ඇසුණාසේය. පතිරාජගේ හඬට බිසව තැති ගත්තාය. ඇය වත්හිමි සමඟ වහා මාලිගාවට රිංගා ගත්තාය. එහෙත් ඒ වනවිට අන්ත:පුර බිසෝවරුන් සියල්ල පර්වතයෙන් පැන හමාර ය.
ලබන සතියේරෙදි නැන්දාට ලැබෙන දරු සම්පත |