වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මා ඇන්දේ සරසවියටයි
හුලවාලි, බාඳුරා මල්, තවලම, නිළියකට පෙම් කළෙමි

මා ඇන්දේ සරසවියටයි

ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ

චිත්‍ර කතා ක්ෂේත්‍රයේ දෙවැනි පරම්පරාවට හිමිකම් කියමින් හැටේ දශකයේ මැද භාගයේ චිත්‍ර කථා නිර්මාණයට යොමුවීම මගේ ජීවිතයේ දෛවෝපගත සිදුවීමක් විය. සුසිල් ප්‍රේමරත්නයන්ගේ චිත්‍ර අනුකරණයට පෙම් බැඳි මා, මගේ සහජ කුසලතා ඔප් නංවා ගත්තේ ඔහුගේ චිත්‍ර සම්ප්‍රදාය සැම විටම අනුගමනය කරමිනි. මගේ පියා සේවය කළේ විදුලි බල මණ්ඩලයේය. මගේ ගැටවර විය ගෙවුණේ ලක්ෂපාන, නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේය. පිරිමි දරුවන් තිදෙනකු හා ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ මා හැරෙන්නට අන් කවරෙකුවත් චිත්‍ර කලාවට ඇල්මක් නොතිබිණි. බහ තේරෙන වයසේ සිට චිත්‍ර ඇදීමට වඩාත් සිත් යොමු කළ මා ඉගෙනුම ලැබූ නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය, ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයේ සිටි අවධියේ ද වඩාත් සිත් යොමුකරනු ලැබුවේ ද චිත්‍ර ඇදීමටය.

හැමදාම මගේ සිහිනය වූයේ මගේ චිත්‍රයක් පත්තරවල පළවනවා දැකීමය. එහෙත් පත්තර ලෝකයේ කිසිවකුත් හඳුනා ගෙන නොතිබූ මට එය සිහිනයක් විය. එදා මට වයස අවුරුදු විසිහයක් පමණ විය. මම ‘ඉන්දුු’ නමින් කොටස් පහකින් යුතු චිත්‍ර කතාවක් නිර්මාණය කළෙමි. මගේ දුර ඥාතියකු වූ පියදේව කල්දේරා එවක ඇත්ත පුවත්පතේ සේවය කළේය. එය පළ කර ගැනීමේ අදහසින් මම ඔහු සොයා ඇත්ත කන්තෝරුවට ගිය ද ඒ බලාපොරාත්තුව බිඳ වැටුණි. පිළිසරණක් නැති තැන මා මේ චිත්‍ර කතා කොටස් පහම එකට රෝල් කර මුද්දර ගසා ලේක්හවුස් ආයතනයට තැපැල් කළෙමි. එවක ලේක්හවුස් ආයතනය යනු පත්තර ලෝකයේ මෙරට රාජධානියයි. මා වැන්නකු එදා මේ ආයතනයට යනවා තබා අහලකින්වත් යාමට බියක් දැක්වූයේ ආයතනය සතු වූ ප්‍රෞඪත්වය නිසාමය. දිනමිණ කන්තෝරුව නමින් බොහෝ දෙනා එකල ලේක්හවුස්් ආයතනය හඳුන්වනු ලැබිණි.

ලේක්හවුස් ආයතනයට තැපැල් කළ චිත්‍ර කතා මිටිය යවා සතියක් ගියේ නැත. මට එවක සිළුමිණ පත්තරයේ වැඩ කළ ප්‍රධාන කර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතාගෙන් මට ලිපියක් ලැබිණි. ඔහුගේ අත් අකුරින් එහි ලියා තිබුණේ ඔබ එවූ කෙටි චිත්‍ර කතාව ලබන 16 වැනිදා සිළුමිණ පත්තරයේ පළ වන අතර ඉදිරියටත් තව චිත්‍ර කතා අදින්න. ලේක්හවුසිියට පැමිණ මා හමුවන්න යනුවෙනි. 1966 දෙසැම්බර් 16 වැනිදා ඉන්දු චිත්‍ර කතාව සිළුමිණ පත්තරයේ පළ වී තිබුණි.

මගේ මුල්ම චිත්‍ර කතාව වූ ඉන්දු ජනප්‍රිය වීම නිසාම මට ඉහළ පිළිගැනීමක් ඇතිවෙමින් තිබිණ. එක රැයකින් ජනප්‍රිය වෙමින් ඉහළ පිළිගැනීමක් ඇති වෙමින් තිබෙන වකවානුවක් වූ 1967 දී මම ලේක්හවුස් ආයතනයට මුල් වරට පැමිණියෙමි. ඒ පැමිණීමත් සමඟ මා හට මුල් වරට තලංගම ජයසිංහ හමු වූයේද, ඔහු සමඟ කතාබහ කොට ඔහුව හඳුනාගනු ලැබුවේද එදාය.

එස්. සුබසිංහයන්ගේ ආරාධනා පරිදි ලේක්හවුස් පැමිණිය ද කිසි විටෙකත් මම එහි ස්ථිර සේවකයෙක් නොවන්නට වග බලා ගත්තෙමි. ස්ථිර සේවයට මට කොතෙකුත් ආරාධනා ලැබුණ ද මා එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නිදහස් චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමට මා සතු වූ කැමැත්ත නිසාමය. නලා හඬ, වානරයෝ නමින් මම සිළුමිණ පුවත්පතට චිත්‍ර කතා ඇන්දෙමි.

දිනමිණ, සිළුමිණ, සරසවිය, නවයුගය, මිහිර වැනි ප්‍රකාශන සඳහා නොකඩවා මම චිත්‍ර කතා නිර්මාණය කළෙමි. 1974 දී දිනමිණ පත්තරයට ඇදි ‘ආදර කෝමා’ චිත්‍ර කතාව මගේ චිත්‍ර කතා නිර්මාණයේ සුවිශේෂී නිර්මාණයක් විය. රොබෝ සංකල්පයක් නොතිබුණු අවධියක එවැන්නක් ගැන කතාවක් නිර්මාණය වීම කා තුළත් කුතුහලය දනවන්නක් විය.

මා ඇදි සියලු චිත්‍ර කතා සංකල්පයන් මගේම විය. මා වඩාත් ආදරය කරන විෂයක් විම නිසාම ඒ සඳහා මම උපරිම කැපකිරීමක් සිදු කළෙමි. කිසිදු වතාවක එකම කොටසක්වත් අඩු නොවන අයුරින් සෑම කතාවක්ම නිතිපතා හෝ සතිපතා මම නිර්මාණය කළෙමි. සෑම කතාවක්ම මා නිර්මාණය කිරීම අරඹනු ලැබුවේ කතාවේ මුල මැද අග ගැන මතකයේ තියාගෙනය. කතාව පත්තරයේ පළ වන්නට පටන්ගත් පසු ඒ සඳහා පාඨකයන් දක්වන උනන්දුව මත සෑම නිර්මාණයකම කතාව ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට වෙනස් කරනු ලැබිණි.

සරසවියට මා චිත්‍ර කතා ඇදීමට පටන්ගනු ලැබුවේ 1968 දීය. එවක එහි කර්තෘවරයා වූයේ විමලසිරි පෙරේරා මහතාය. එතුමන්ගේ ආරාධනයකට මා සරසවියට මුලින්ම අදිනු ලැබුවේ ලැව් ගිනිදැල් චිත්‍ර කතාවය.

ඉන් පසු හුලවාලි, බාඳුරා මල්, තවලම, සුබෝධා, නිළියකට පෙම් කළෙමි ආදී චිත්‍ර කතා කිහිපයක්ම සරසවියට නිර්මාණය කළෙමි. සරසවියේ පළ වන චිත්‍ර කතාවක් සඳහා මට මුලින්ම ලැබුණේ රුපියල් හතළිහක මුදලකි. මේ මුදල පසු කලකදී රුපියල් හයසීයක් දක්වා වැඩි විය.

සෑම පුවත්පතක්ම ජනප්‍රිය කරලීම සඳහා මගේ චිත්‍ර කතාවක් ඇතුළත් කිරිමට බොහෝ කර්තෘවරුන් උත්සාහ ගනු ලැබිණි. පත්තරයේ ඇතුල් පිටුවල කෙටි කතා දෙකක් සඳහා ද, පත්තරයේ අග පිටුවේ පිටු භාගයක් ද මා වෙනුවෙන් වෙන්ව තිබිණි. ඒ අනුව මගේ චිත්‍ර සඳහා පත්තරයක පිටුවක් වෙන් කර තිබීම ද විශේෂත්වයක් විය.

තවත් අපූරු සිද්ධියක් වූයේ මගේ අලුත් කතාවක් එන්නේ නම් පත්තරයක ලිඩ් එක උඩින් දයා රාජපක්ෂ ගේ කතාවක් කියා පළ වීමය. ශ්‍රීී ලංකාවේ චිත්‍ර කතාවක් ආශ්‍රයෙන් නිපද වූ මුල්ම චිත්‍රපටය වූයේ මගේ කතාවක් වූ වානරයෝ චිත්‍ර කතාවයි. වර්ණ යොදා මුල්වරට චිත්‍ර කතාවක් අත්හදා බලනු ලැබුවේ මගේ චිත්‍ර කතාවක් ආශ්‍රයෙනි. සිළුමිණ පත්තරයට අදිනු ලැබූ රෝමියෝ ජුලියට්, පරිත්‍යාගය චිත්‍ර කතා ලංකාවේ මුල්්ම වර්ණ චිත්‍ර කතා වීම මා ලැබූ එක්තරා ජයග්‍රහණයක් විය.

මේ වන විට මා ඇදි චිත්‍ර කතා ප්‍රමාණය පන්සියය ඉක්මවනු ඇත. එයින් චිත්‍ර කතා දොළහක් පමණ චිත්‍රපට නිර්මාණයන්ට එක් විය. චිත්‍ර කතා ආශ්‍රිතව නිර්මාණය වූ ටෙලි නාට්‍ය ප්‍රමාණය පණහක් පමණ වේ. බාඳුරා මල්, සක්විති සුවය, හුලවාලි, තවලම, වානරයෝ, අනුපමා, සුබෝධා , නිවන් දක්නා ජාති දක්වා, නිළියකට පෙම් කළෙමි, සුර දූතියෝ, හස්ති වියරුව ආදී චිත්‍රපට මා ඇදි චිත්‍ර කතා ආශ්‍රයෙන් නිර්මාණය කෙරිණි. නිරුපමාලා, පස්, දුලාරි, සකිසඳ එළියස්, හතේ වසම, මතක මං පෙත, කම්මිත්ත ආදී ටෙලි නාට්‍ය නිර්මාණය වූයේ ද මගේ චිත්‍ර කතා ඔස්සේය. චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයකු සේම ගීත රචකයකු ලෙස ද මා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ විය.

සරසවියට මා චිත්‍ර කතා ඇදීමට පටන් ගත් දා පටන් සිනමා කර්මාන්තයට සම්බන්ධ වීමට මට බොහෝ සෙයින් අවස්ථා උදා විය. සරසවිය නිසාම මම බොහෝ නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, චිත්‍රපට නිෂ්පාදකයන් හඳුනා ගත්තෙමි. චිත්‍රපට ගීත රචකයකු, කලා අධ්‍යක්ෂවරයකු වීමට ද මට උදවු වූයේ සරසවියයි.

අගනුවරත්, අගනුවරින් බැහැරවත්, වතුකරයේත් මා දුටු මෙන්ම එදිනෙදා හමුවන චරිත මගේ කතාවන් සඳහා ඇතුළත් විණි. එදා සරසවිය දුරබැහැර ගැමියාටත්, නගරබද නාගරිකයාටත් බෙදනු ලැබුවේ කලා රසයෙන් පිරි එකම හැන්දෙනි.

උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වන කවරකුට හෝ තරාතිරම නොබලා දක්ෂතාවට අතහිතදීමක් එදා සරසවියෙන් සිදු කෙරිණි. සරසවිය නිසාම මා හට සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, එඩී ජයමාන්න, රුක්මණී දේවි ආදී බොහෝ පිරිස් සමඟ කුලුපගව ආශ්‍රය කරන්නට හැකි විය.

නිදහස් චිත්‍ර ශිල්පියෙක් ලෙසින් ලේක්හවුස් ආයතනයේ කටයුතුª කළ මා 1979 දී එයින් ඉවත්ව විජය පුවත්පත් සමාගමට සම්බන්ධ වනුයේ සතුට පත්තරයත් සමඟය. එදා මා ලේක්හවුස් ආයතනය හැර දමා සතුට පත්තරයට ගියේ මගේ දක්ෂතාවට අත හිත දුන් රංජිත් විජයවර්ධනයන්ට කෘතගුණ දැක්වීමටය.

මට සුපතල නමක් දිනා ගැනීමට උපකාර කළ එවක ලේක්හවුස් ආයතනය හිමිව තිබූ රංජිත් විජයවර්ධන මහතාට කෙලෙහි ගුණ දැක්වීමට මට අවශ්‍ය විය. ඔහුත් සමඟ මා සතුට පත්තරයට ගියත් ලේක්හවුස් ආයතනයෙන් නික්ම යෑමට එදා සිදු වීම මා වෙත ඇති කළේ දැඩි සිත් වේදනාවකි. ආර්ථික වශයෙන් ද මට මහත් පාඩුවක් ගෙන දුන් ඒ මගේ ප්‍රතිපත්තිගරුක තීරණය ගැන අද මම පශ්චාත්තාප නොවෙමි.

අද වන විට මගේ චිත්‍ර කතා නිර්මාණයන්ට වසර හතළිස් හතක් සපිරී ඇත. මට කලා ක්ෂේත්‍රයේ විවිධ වූ පැති ඔස්සේ පිය මනින්නට උපකාර කළ සරසවිය අද පනස් වන වියට පැමිණ ඇත. අද සරසවිය නවීකරණය වී ඇත. එදා පැරැණි සරසවිය අපට ගෙන ආවේ හෘදයන්ගම බවකි. අද පනස් වන වියට පැමිණ ඇති මොහොතේ එහි පැරැණි බවට වඩා ආගන්තුක බවක් වර්තමානයේ සරසවියේ දැක ගත හැක.

මා අද යම් ජනප්‍රියත්වයක් ජයග්‍රහණයක් ලබා තිබේ නම් එහි සියලු ගෞරවයන් හිමි විය යුත්තේ සරසවියටය. මා චිත්‍ර කතා ශිල්පියෙක් ලෙසම නොව ගීත රචකයෙක්, කලා අධ්‍යක්ෂවරයෙක් දක්වා ඔසවා තබනු ලැබුවේ සරසවියයි. මා ලැබූ ජයග්‍රහණ, කීර්ති ප්‍රශංසා සියල්ලෙහිම ගෞරවය සරසවියටත් ලැබෙන්වා. ඉදිරියටත් දස්කම් සපිරි කා හටත් සරසවිය මිණි පහනක් වේවා.