|
‘තවමනි දේවි’ මා සමඟ කතා කළේ සිංහලෙන්
බන්දු ගුණසේකර නොමළ අතීතය දිග හරියි
නොමග ගිය සරත් නමැති හිතුවක්කාර දරුවා සුමඟට ගෙන සූරයකු කළ ගුරුන්නාන්සේ මාමා කවුරුත් හඳුනන චරිතයකි. ඔහුම අපරාජිත සීතාවකින් පරදේශක්කාරයන් පලවා හැරීමට අභීත සටනක නියැළුණ සිංහල කැරැලිකරුවන් පෘතුගීසීන් හට පාවාදීමේ උත්සාහයක යෙදී අකාලයේ මැරුම් කෑ දේශද්‍රෝහී ඔත්තුකරුවකු විය. එහෙත් අපකීර්තියට බඳුන් නොවී ඔහු තව තවත් ජනාදරයට පත් වූයේ මේ චරිත දෙකම සිනමාවෙන් දුටු හෙයිනි. ඉතාමත් තාත්වික රංගනයන් ඉදිරිපත් කිරීමට සමත් ඔහු කාලයක් සොයා ගැනීමට නැතිව සිටියේය. හදිසියේ ලැබුණු ඔත්තුවක් අනුව මා 011-2622536 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේ දෙගිඩියාවෙනි. පිළිතුරු දුන් තැනැත්තා මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීිර්ණයේ අංක බී/7/2/3 දරන නිවසට පැමිණෙන මෙන් සුහදව අරැයුම් කළේය. එතැනදී අතුරුදන්ව සිටි බන්දු ගුණසේකර නම් අතිශය පැරැණි සිනමා හිල්පියා ජීවමානව දැකගන්න ලැබීම සත්තකින්ම පුදුමයකි. මෙම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මා ඔහුගේ නිවැරැදි වතගොත මෙලෙස එකතු කර ගත්තේ හුදෙක්ම පැරැන්නන්ට ගරු කරන සරසවිය පාඨකයන් වෙනුවෙනි. * ඔබේ ආරම්භක ජීවිත කතාව ඉතාමත් ලුහුඬින් අර්ථවත්ව විස්තර කරන්න පුළුවන්ද? බන්දුරත්න ධර්මවිජය ගුණසේකර කියන්නෙත් මට. ඉපදුණේ මාතලේ. ඒ මීට අවුරුදු 82 ට පෙර 1930 ජූලි 09 වැනිදා. නොතාරිස්වරයකුව සිටි හේමචන්ද්‍ර ධර්මවිජය ගුණසේකර හා සුමනාවතී ගුණසේකර දෙමාපියන් අපි කුඩා සන්ධියේම මිය පරලොව ගියා. මෙබැවින් මා ඇතුළු සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් අනාථව දුක් ගැහැට මැද ඥාතීන්ගේ නිවෙස්වල ලොකු මහත් වුණා. මම ඉස්ඉස්සෙල්ලාම අකුරු කළේ මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙන්. අනතුරුව හරස්ගම සිංහල පාසැල, ගෝනපොල ඔලබොඩුව සිංහල විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ හා කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල්වල අධ්‍යාපනය ලැබුවා. මාතලේ ශාන්ත තෝමස් විදුහලේ විකට ඇඳුම් තරගයකට මනප්පුවා ලෙස ඉදිරිපත් කළ හාස්‍ය රංගනයෙන් පළමු ස්ථානය දිනුවා අද ඊයේ වගේ මතකයි. ඉගෙනීමෙන් පසු මම රැකියාවන් ද කිහිපයක් කළා. මුල්ම රැකියාව ශ්‍රී ලංකා බැංකුවේ ලිපිකරුවෙක්. මාස දෙකක් ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාවට බැඳී සිටියා. ගුවන් විදුලි සේවයේ ප්‍රචාරක පත්‍රයක වැඩ කෙරුවා. සමුපකාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරද්දී එහි ප්‍රවර්ධන නාට්‍යවල රඟපෑමේ අවස්ථාව සැලසුණා. මේවා අධ්‍යක්ෂණය කළේ ලැඩී රණසිංහ නම් ප්‍රතාපවත් කලාකරුවා. * ඔබ සිනමා රංගනය සමඟ බැදෙන්නේ මින් පස්සෙද? ඔව්. සිනමාස් සමාගම රදල පිළිරුව චිත්‍රපටයේ මූලික කටයතු සම්පාදනය කෙරුවා. ප්‍රංශ ජාතික මොලියර් ලියූ ලේ බුරුෂ්මා ජෙන්ට්ලි හෝම් නාට්‍ය පුවත අනුසාරයෙන් ඩබ්ලිව්. ඒ. සිල්වා රචිත රදල පිළිරුව නවකතාව පසුබිම් කරගත් මෙහි පණ්ඩිත ශ්‍රීී කමලනාථ යනුවෙන් චරිතයක් තිබුණා. මගේ වේදිකා රංගනයන් කෙරෙහි පැහැදී සිටි ලැඩී රණසිංහගේ නිර්දේශය මත එම චරිතයට මාව තෝරා ගත්තා. 1954 දෙසැම්බර් 25 වැනිදා ලංකාදීප මුල් පිටුවේ රදල පිළිරුව විචාරයෙන් කරුණාසේන ජයලත් කියනවා නව කතාවේ එන විදියට රඟපාන හොඳම නළුවා කමලනාථ බව. * රදල පිළිරුවට පස්සේ ඔබ සිනමාවෙන් හමුවෙන්නේ මොන චිත්‍රපට තුළින්ද? ඉතාලි ජාතික ලුවී පිරැන්දොලෝගේ නාට්‍ය කතාව ආශ්‍රීතව මදුරාසියේ ඒ. වී. එම්. නිෂ්පාදකයින් තැනූ එන් මනවි දෙමළ චිත්‍රපට කතාවම යොදා ගෙන ඔවුන්ම 1956 නිෂ්පාදිත දොස්තර චිත්‍රපටයේ බෙහෙත් අලෙවි කරන්නකු ලෙස කුඩා චරිතයක් රඟපෑවා. වික්ටර් හියුගෝගේ ලා මිසරාබ්බල් කතාවෙන් ගොඩ නැගූ ඒලෙයි පාඩුම් පාඩු දෙමළ චිත්‍රපටය අනුකරණය කළ දුප්පතාගේ දුක චිත්‍රපටයේ තේමිස් නම් සුවච කීකරු මෙහෙකරුවාගේ සැලකිය යුතු චරිතය පණ පෙව්වේ මම. 1957 මම රඟපෑ සූරයා, සූරසේන තිරයට පැමිණියා. තිරුට්ටු රාමන් දෙමළ චිත්‍රපටය අනුකරණය කළ සූරයා හි ගුරුන්නාන්සේ මාමා හැටියට ආදර්ශමත් චරිතයක ජීවත් වුණා. මදුරාසියේ පක්ෂිරාජා ස්ටුඩියෝව ඉදිරිපත්කළ සූරසේන ඔවුන් භාෂා පහකින් නිපදවන ලද චිත්‍රපට කතාවක්. එකම දර්ශන තලවල රූපගත කළ චිත්‍රපට මාලාවක් වන මෙය දෙමළෙන් මලෙයි කල්ලන්, හින්දියෙන් අසාඩ් හා මලයාලම්, තෙළිඟු බසින් ද දකින්න ලැබුණා. දොස්තර වගේම ඉන්දීය සමාගමක් මඟින් නිෂ්පාදිත මෙහි ප්‍රදර්ශන අයිතිය පමණක් සිනමාස් සමාගම සතුව පැවතියා. නළු නිළි සම්බන්ධීකරණය කළේත් ඔවුන්මයි. මේ වන විට සිනමාස් සමාගමේ ස්ථිර පදනම යටතේ සේවය කළ මට ඔවුන්ගේ දැවැන්ත නිෂ්පාදනයේ ප්‍රබල චරිතයක් හිමි වුණා. 1960 ප්‍රදර්ශනයට මුදාහළ සංදේශය මේ චිත්‍රපටයයි. සීතාවක පෙරළිකාර යුගය වටා ගෙතුණු මෙහි හිමි වුණ පුංචි අප්පු හෙවත් ද්‍රෝහියා චරිතයට අමතරව ඊට තිරයෙන් පිටුපස සිටත් අත්වැලක් දුන්නා. ඔබ දුටු දා ඩෙනිස් රොබින්ස්ගේ අන්ෂේකින් ලෝයලිටි බටහිර නවකතාව ඇසුරෙන් එස්. සිවානන්දන් අධ්‍යක්ෂණය කළ වටිනා චිත්‍රපටයක්. සිනමාස් සමාගමේ ප්‍රචාරක නිලධාරියාව සිටි ඔහුගේ මෙම නිර්මාණයට නිෂ්පාදක සමාගම එතරම් පැහැදීමක් දැක්වූයේ නැහැ.මෙහි මගේ පෙම්වතිය සන්ධ්‍යා කුමාරි. සහෝදරයා ගාමිණී ෆොන්සේකා. සෙසු කාන්තා චරිත ජීවරාණි කුරුකුලසූරිය, අයිරාංගනී සේරසිංහ, ශිරාණි ගුණතිලක, ශාන්ති ලේඛා රඟපෑවා. * ඔබම කියන පරිදි රංගනයට පරිභාහිරව සිනමාවේ වෙනත් අංශවලටත් සම්බන්ධව සිටියාද? දුප්පතාගේ දුක, සූරයා, සූරසේන යන චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා. මේවායේ රඟපාමින් එම කටයුත්ත කළත් වනමෝහිනී, වීර විජය චිත්‍රපටවල රංගනයේ යෙදුණේ නැහැ. අධ්‍යක්ෂණයෙන් සහාය වුණා පමණයි. වනමෝහිනී කේ. තවමනි දේවි සමඟ එම්. කේ. රාධා ප්‍රධාන චරිත නිරූපණය කළ එනමින්ම යුත් දෙමළ චිත්‍රපට කතාවක්. වර්ණයෙන් නිපදවීමට ගිය වීර විජය පසුව කළු සුදු චිත්‍රපටයක් වුණේ අනුකාරක දෙමළ චිත්‍රපටයේ ඇතැම් දර්ශන කොටස් ද එයට යොදා ගත් නිසා. එය ජයවීරන් චිත්‍රපටයේ කොපියක්. පසුබිම් හඬ ශිල්පියකු වෙමින් පතිවත, වීර පුතා, සිම්බෝ, අංගුලිමාල යනාදී චිත්‍රපට සඳහා හින්දි නළුවන් වෙනුවෙන් මගේ කට හඬ මුසු කළා. මෙකී චිත්‍රපට අනු පිළිිවෙළින් දේවතා, බහුදීන් හුවේ, සිම්බෝ, අංගුලිමාල යන චිත්‍රපටයන්ගේ සිංහල දෙබස් කැවූ සිංහල පරිවර්තන. ඔය කාලේ දවසක් මම කේ. තවමනි දේවි මුණ ගැසීමට ගිය බව විශේෂයෙන් හෙළි කරන්න ඕනේ. ඇය සමඟ බැඳුණු චින්තාමනී උම්මාදය ගැන අසා තිබුණු මටත් ඈ දැක බලා ගන්න ආශාවක් තිබුණා. දෙමළ සිනමාව ආක්‍රමණය කළ ප්‍රථම සිංහල කාන්තාව බව කියන තවමනි දේවි එදා මා සමඟ කතා කළේ සිංහලෙන්. මෙය මෙරටේ ඉපදුන ඕනෑම ජාතිකයකුට ආදර්ශයක්. * ඔබ තනිවම චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙක් හැටියටත් හඳුනා ගන්න පුළුවන් නේද? සිනමාස් සමාගමේ ලඝු ලේඛක රෙජිනෝල්ඩ් සයිමන් චිත්‍රපට නිෂ්පාදක වෝල්ටර් මේදිස්ගේ බෑණා. නොයෙක් හේතූන් මත අතරමග නතර වුණු සීගිරි කාශ්‍යප නැවත පණ ගන්වන්න ඔහු මාව නිෂ්පාදකවරයාට හඳුන්වා දුන්නා. එතෙක් රූපගතව තිබූ දර්ශන පිරික්ෂා බලා ඉන් ගත හැකි දර්ශන පමණක් ගෙන සීගිරි කාශ්‍යප නිිර්මාණය කළා. යුතුකමක් වශයෙන් ආරම්භක අධ්‍යක්ෂ ප්‍රේම්නාත් මොරායස් කැමරවට හසු කරගත් දර්ශන සදහා නමත් නාමාවලියට යෙදුවා. මෙය සම අධ්‍යක්ෂණයක් කියා හඳුන්වනවාට මම අකමැතියි. සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ එන නරපතියා වෙත යන්නේ ගීතයට අනුව කරත්තකරුවකුගේ භූමිකාව මා නිරූපණය කළේ ආශාවට. දෙවන වරට අධ්‍යක්ෂණය කළ හොඳින් ඉන්න මුල් නිෂ්පාදකවරයා ඇන්ඩෲ නායගම් මුත්තයියා. ඔහු මෙයත් සමඟ තවත් චිත්‍රපට තුනක නිෂ්පාදන කටයුතු පටන් ගත්තා. සියලුම නිෂ්පාදන ක්‍රියාවන් අවසන් වූ පසු හොඳින ඉන්න හියුබට් ඇන්තනි ප්‍රනාන්දු නම් නිෂ්පාදකවරයකුගේ චිත්‍රපටයක් ලෙසින් 1980 ප්‍රදර්ශනය කෙරුණා. මෙය දැනට මගේ අවසන් රංගනය රැගත් චිත්‍රපටයයි. තෙවනුව නිර්මාණය කිරීමට ගිය නිෂ්පාදනය මඟ ඇනහිටි ප්‍රයත්නයක් කීවොත් වරදක් නැහැ. මෙහි නිෂ්පාදකවරයා දාස් මොහොමඩ්. ඔහුගේ මාමා කෙනකු පැවසූ ඕර් ඉරවු දෙමළ චිත්‍රපට කතාව අනුව අඩි 5000 පමණ රූපයට නැඟූ එය නම් කොට තිබුණේ දවසක් දා නමින්. කැමරා ශිල්පියා වී. වාමදේවන්. සංගීතය එම්. කේ. රොක්සාමිගෙන්. ඔහුගේ සංගීතය යටතේ ගීත පවා පටිගත කළා. මේ චිත්‍රපට කතාවම ඊට කාලයකට පස්සේ දැන් මතකද කියා තිරයට ආවා. ඒක කෙසේ සිදු වුණාදැයි මම දන්නේ නැහැ. මම රූපගත කළ පොඩි ළමයින්ගේ දඟකාර දර්ශන එහි නාමාවලියට ඇතුළත්ව තිබුණු බව වසන් කරන්න බැහැ. * ඔබ සිනමා තිරයේ වගේම පුංචි තිරය සඳහාත් රංගන දායකත්වයක් සපයා තිබෙනවාද? යශෝරාවය, රත්ගල් තලාව නමින් විකාශය කළ ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වුණා. දෙවැන්නේ රඟපෑ චරිතය සුදු අන්කල් කියා යාන්තම් මතකයි. * ඔබට ගුප්ත බලවේගයක් තිබෙන බවට කතාවක් පැතිර පවතින බව ඇත්තක්ද? වරක් මට ශ්‍රී සත්‍ය සායිබබා හමුවීමට ලැබුණා. එතුමා පවසා සිටියා මට පිරිත් ස්තෝත්‍ර බලයෙන් ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඇති බව. ඒ අනුව ක්‍රියා කළා. සාර්ථක ප්‍රතිඵල අත්දුටුවා. මෙයින් සුවයක් ලැබූවන් අතර සංගීතඥ ලයනල් අල්ගම හා ඔහුගේ බිරිඳ සහ තවත් බොහෝ අය ඉන්නවා. ඔබේ අනාගත අපේක්ෂාවන් විමසුවොත් කියන්න තියෙන්නේ මොනවාද? නිර්මාණ කාර්යයකට අත තියන්න අදහසක් ඇත්තෙම නැහැ. වයසට ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපානවා. ඇත්තම කියනවා නම් මම වැඩි කාලයක් ගත කරන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පුතා ළඟ. මේ මහල් නිවසේ පදිංචිව ඉන්නේ ලොකු දුව පූර්නිමා. ඇය නර්තන ශිල්පිනියක් ලෙස කාලයක් ජාත්‍යන්තර සාම පදනමට ටවර් හෝල් රංග කණ්ඩායමට සම්බන්ධව සිටියා. ඔබට සරසවිය පුවත්පත මඟින් රටටම හඬගා කියන්න මැසිවිල්ලක් තිබෙනවාද? සිංහල සිනමාවට වසර 66 ක් පිරුණා. මගේ සිනමා ජීවිතයට වසර 58 ක් පිරිලා අවසානයි. චිත්‍රපට සංස්ථාවෙන් සුළු විශ්‍රාම දීමනාවක් ලැබෙනවා. මේතාක් කිසිම අගැයීමකට ලක්වෙලා නැහැ. සිනමා උත්සවයකට ආරාධනා ලැබිලා නැහැ මතක ඇති කලෙකට. අපිට සලකන්නේ මෙහෙමද?
|