වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අතක් උඩින් අතක් තබා සුබ පතන විජයගේ පුරුද්ද

අතක් උඩින් අතක් තබා සුබ පතන විජයගේ පුරුද්ද

දස වසරක් සරසවිය සමඟ මතක සටහන් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදිනී ලතා බොතේජු

එවක පුවත්පත් කලාවේදී සමාජය (ප්‍රෙස් ක්ලබ්) පිරිමින්ට පමණක් යැයි කියා මතයක් තිබිණි. මේ මතය බිඳ හෙළීමට මමත්, දීප්ති ෆොන්සේකාත්, නෙළුම් විමලරත්නත් කතිකා කර ගත්තෙමු. ජීවිතයේ කිසිදු දිනෙක ප්‍රෙස් ක්ලබ් එකට පය නොතබා තිබූ අපි තිදෙනා හිතේ දෙගිඩියාවෙන් එහි ගියේ ඒ පරිසරය ගැන වැටහීමක් ලබා ගන්නටය. තැන තැන මේසවල වාඩි වී සිටි පිරිමි පුද්ගලයන්ට ද මෙය විස්මය දනවන්නක් විය. ගෑනුත් ප්‍රේස් කල්බ් ඇවිල්ලා. සමහරු කියනවා ඇසුණි. අපිත් අසල තිබූ මේසයක වාඩිගෙන පැය කීපයක් එහි ගත කරමින් මත්පැන් වෙනුවට සිසිල් බීම තොල ගෑවෙමු. කෙසේ හෝ අපි පසුව ආයතනයට එද්දී ලතා ප්‍රෙස් ක්ලබ් ගිහිල්ලා කියන ආරංචිය හැම තැනම පැතිර තිබුණි.

නළු නිළියන් කා අතරත් සුහද බවක් ගොඩ නගාගෙන තිබුණ ද ඒ අතරින් විජය කුමාරණතුංගයන් සුවිශේෂ විය. විජය හා අප අතර පැවතියේ ද නළුකමට වඩා එහා ගිය සහෝදර ලබැඳියාවකි. විජය පිට පිටම ජනප්‍රිය නළුවා වෙමින් සරසවිය සම්මානය දිනා ගන්නා වකවානුව විය. එක්තරා සම්මාන උළෙලක විජයට ආරාධනා පතක් යැවිණි.

එහි අතපසුවීමකින් මට මතක හැටියට ඔහුට ලැබුණේ පසු පෙළේ අසුනකි. මේ බවක් නොදැන සිටි සංවිධායක මණ්ඩලයේ කිසිවකුත්, පසුව මේ බව දැනගත්තේ විජය සම්මාන උළෙලට පැමිණියාට පසුවය. සිය පවුලම කැටිව විත් තමන්ට ආරාධනා කර තිබූ ආසනයේ විජය අසුන්ගනු ලැබිණි. සිදුව තිබූ අතපසුවීමට සමාව ඉල්ලමින් ඉදිරි පෙළේ අසුනක් වෙත අප ආරාධනා කළ ද විජය එය ප්‍රතික්ෂේප කළේ නිහතමානීවය.

මට දී තිබෙන අසුනේ මම ඉන්නම්. ආයේ වෙනස් කරන්න එපා. විජය කිව්වා මට මතකය. ඒ සම්මාන උළෙලේ විජය ජනප්‍රිය නළුවාට සම්මානය දිනාගනු ලැබිණි. සම්මානය පිළිගන්නට විජය වේදිකාවට ආවේ පිටුපස පේළියේ අසුනේ සිටය. සම්මාන උළෙල ඉවර වී කිසි දවසක ඒ පිළිබඳ කියමින් විජට අපට දොස් කිව්වේ ද නැත. මෙවැන්නක් එදා වෙනත් අයකුට සිදු වූවා නම් එහිදී සිදුවන දේ අපට අත්දැකීමෙන් හිතාගත හැකිය. ඒ තරමට නිහතමානී වූ විජය කිසිමදාක අපේ සිත් රිදෙව්වේ නැත. තමන් ගැන ලිපි ලියන්න බල කළේ ද නැත. අප ඔහුව සොයා ගොස් පින්තූර ගෙන ආටිකල් කළා මිස ඔහු එවැන්නකට අපිට බල කළේ නැත.

සම්මාන රාත්‍රියක් ඉවර වූදාට සම්මාන ලැබුවන්ට සුබපැතීම සරසවිය කර්තෘ මණ්ඩලයේ කා අතරත් සිරිතක් විය. විජයට සුබපැතුම් එක් කිරීම ඒ අතරින් විශේෂ විය. විජය අතට අතදී කරන සුබපැතීම හරි අපූරු ආකාරයකට සිදු කරනු ලැබිණි. පළමුව ඔහුගේ අත හා අපගේ අත එකිනෙක සම්බන්ධ වූ පසු විජය තමන්ගේ අනෙක් අත ඒ අත් දෙක උඩින් තබා තරයේ අල්ලා ගනී. එවිට අපිදු ඒ බැඳීමට අපගේ අනෙක් අත ද ඔහුගේ අත උඩින් තබා සුබ පතයි. මේ ලෙස සුබපැතුම් ලබා ගැනීමේ පුරුද්දක් තිබුණේ විජයට පමණි. එය ඔහු තුළ තිබූ මානව දයාවේ ළෙන්ගතුකමේ සංකේතයක් බව කවුරුත් වටහාගෙන තිබුණේය.

1988 පෙබරවාරි 16 වැනිදා සරසවියේ අපටත් මුළු රටේම ජනතාවත් කම්පා වූ දිනයක් විය. ඒ කවුරුත් ආදරය කළ විජය කුමාරතුංගයන්ගේ ඝාතනය සිදු වූ දිනය විය. එදා සතියේ දිනයක් වූයෙන් අපි කවුරුත් රැකියාවට පැමිණ සිටියෙමු. එදින මම වරුවක නිවාඩුවක් දමා නිවෙස බලා යමින් සිටියෙමි. එවකට මා පදිංචිව සිටියේ රත්මලානේය. විජය ඝාතනය කළ සිද්ධිය මට දැනගන්නට ලැබුණේ බසයේ සිටියදීයි. ඒ වෙන කොට බස් රථය බම්බලපිටිය හරියේය. අද මෙන් ජංගම දුරකථන ද එවක නොතිබූ හෙයින් මා බම්බලපිටියෙන් බැස නෙළුම් විමලරත්නගේ ගෙදරට ගියෙමි. එහිදී මේ පුවත සනාථ විය.

නෙළුම්ගේ නිවසෙන් ලේක්හවුස් ආයතනය වෙත ඇමතුමක් ගත් මම ග්‍රැන්විල් සිල්වාට කතා කළෙමි. ලතා අපි විශේෂ සරසවිය පත්තරයක් ගහනවා. වහාම එන්න. ඒ අනුව මම හනික ලේක්හවුස් ආවෙමි. ඒ මා විවාහ වූ අලුතය. මගේ සැමියාට මේ රැකියාවේ බැරෑරුම්කම පිළිබඳ එතරම් වැටහීමක් නොතිබුණි.

ඔහු මා ගැන විමසමින් කීප විටකදීම කර්තෘ මණ්ඩලයට දුරකථන ඇමතුම් දෙනු ලැබුවේය. රෑ දෙගොඩ යාමය වනතුරුත් මට ගෙදර යා ගත නොහැකි විය. ග්‍රැන්විල් මා නිවසට එවන බවට සැමියාට පොරොන්දු වූ හෙයින් ඔහුගේ විමසීම් නතර විය. ලේක්හවුස් නිෂ්පාදන අංශය විජය වෙනුවෙන් නිකුත් වන සරසවිය පසුදාට පාඨකයන් අතරට පත් කිරීමට උපරිම සහාය දුනි. රෑ දොළහ පසුවන තුරුත් අපි එකා මෙන් වැඩ කර පත්තරය මුද්‍රණය සඳහා භාර දුනිමි. අපගේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙසින් එදා සරසවිය එක් ලක්ෂ විසි පන් දහසක් මුද්‍රණය කෙරිණි. පසුදා එය පැය කිහිපයක් තුළ අලෙවි වූයේ උණු කැවුම් මෙන්ය. සරසවිය එදා ගන්නට නොලැබුණු විශාල පිරිසක් ලේක්හවුසියට පැමිණියහ.

පත්තරය මුද්‍රණය වී අතට පත් වූ පසු නිවෙස බලා යාමට මා ලෑස්ති වන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබුණි. ප්‍රවාහන අංශයට යන ලෙස ග්‍රැන්විල් මහතා මට පැවසූ බැවින් මම සරසවියේ සිට තනිවම ප්‍රවාහන අංශයට යාමට පඩි පෙළ බැස්සෙමි. මා එකවරම දුටුවේ මා පසුපසින් සිටින මගේ තාත්තාගේ රූපයයි. ඒ වන විට තාත්තා මිය ගොසිනි. මම විමතියට පත්වීමි. මා වහා නිෂ්පාදන අංශයට දිව ගොස් එහි සේවය කරමින් සිටි ආතර් අයියාට හඬමින් මේ බව කියා සිටියෙමි. ඔහු මා අස්වසා සිද්ධිය වූ තැනට තවත් කීප දෙනකු සමඟ ගොස් විපරම් කළ නමුත් එවැනි දෙයක් එහි නොවීය. නමුත් මට මගේ දෑස් විශ්වාසය. මේ සිද්ධියත් සමඟ මා තරයේ විශ්වාස කළ දෙයක් විය. ඒ නම් මගේ තාත්තා මා පිටුපස සෙවණැල්ලක් සේ සිටිනවාය යන්නයි.

මගේ දරු ප්‍රසූතිය සිදු වූයේ ද මේ සමයේය. ඉන් අනතුරුව නැවත රැකියාවට පැමිණීමත් සමඟ මාත් දරුවාත් පත් වූයේ ලොකු අපහසුතාවයකටය. මවු කිරෙන් මගේ ඇඳුම් තෙත් වී යන හැටි දුටු ග්‍රැන්විල් මහතා ඒ සඳහා මට සහනයක් සලසා දුන්නේය. ඒ එවකට ඩේලිනිව්ස් පුවත්පතේ විදෙස් ප්‍රවෘත්ති කර්තෘවරයා වූ තවුෆික් මහතා දහවල් ආහාර සඳහා නිවෙස බලා ගියේ ආයතනයේ වාහනයකිනි. ඔහු පදිංචිව සිටියේ රත්මලානේ මා පදිංචි නිවෙසට ටිකක් නුදුරිනි. ග්‍රැන්විල් මහතා මාස තුනක්ම එම වාහනයෙන් දහවල් කෑම පැයේදී නිවසට යවා ඔහු ආපසු එන විට නැවත ලේක්හවුස් පැමිණීමට අවසර ලබා දෙනු ලැබිණි. ඒ කාලයේදී මම නිවෙසට ගොස් දරුවාට කිරි පොවා නැවත ලේක්හවුස් පැමිණියෙමි.

කවුරුත් නොසිතූ මොහොතක ග්‍රැන්විල් සිල්වා සරසවියෙන් ඉවත් විය. මේ සිද්ධියෙන් කනගාටු වන කවුරුත් අස්වැසූ ග්‍රැන්විල් මහතා අපෙන් සමු ගත්තේ ටික දිනක් යන කොට ඔය දුක තුනී වේවි යැයි කියමිණි.

ඉන් පසු සරසවියේ මුල් පුටුවට පත් වූයේ ඒ. ඩී. රංජිත් කුමාර මහතාය. මේ කාලයේදී රංජිත්ගේ දයාබර බිරිය ගායිකා දමයන්ති ජයසූරියගේ හදිසි ශල්‍ය කර්මයක් කරන ලද්දේය. මේ නිසාම රංජිත් මහතා පසු වූයේ ව්‍යාකූල වූ මනසකින් යුතුවය. පත්තරයේ බොහෝ වගකීම් ඔහු විසින් මා වෙත පවරන ලද්දේ මට ඒ වන විටත් අත්දැකිම් රැසක් තිබූ හෙයිනි. ඒ වකවානුවේ මට පැවරූ වගකීම් මා නොපිරිහෙලා ඉටු කළේ පාලන අධිකාරියේ ප්‍රශංසාව ද ලබමිණි.

කෙසේ හෝ 1991 වසරේදී මට තරුණී පුවත්පතට මාරුවීමක් ලැබිණි. සරසවිය අත්හැර නොයන්නට සිත් දුන් වාර අනන්තය. එහෙත් ඒ මාරුව අවලංගු කර ගැනීමට තරම් මට හැකියාවක් නොතිබිණි. මගේ ජීවිතයේ වඩාත් මා දුක් වූ දවස් අතුරින් සරසවියෙන් සමුගත් දිනය ද මුල් තැනක් ගනී. මගේ එක් සිහිනයක් වූයේ තාත්තා දැරූ සරසවියේ මුල් පුටුවේ අසුන් ගැනීමය. එහෙත් අවාසනාවකට ඒ වරම ලබන්නට මම පින්කර නොතිබිණි. තරුණී පත්තරයට මා එක් වූ පසු සරසවියට දායක වන්නට ඉඩ නොලැබිණි. මගේ පත්තර කලා ජීවිතයේ සුන්දරම කාලය ගෙවුණේ සරසවිය පත්තරයේ ගත කළ කාලයේදීයි. එවන් වූ සුන්දර අතීතයක් මට ජීවිතයේ තවම ලැබුණේ නැත. තාත්තා මුල් පුටුව හෙබ වූ පත්තරයේ වැඩ කිරීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකමි. පුවත්පත් කලා ජීවිතයේ මට අමරණීය මතක රැසක් එක් කළ සරසවිය තවත් චිරාත් කාලයක් කලාවේ උන්නතිය වෙනුවෙන් කැප වේවා.