වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සීසර් සමග මංගල

සීසර් සමග මංගල

මංගල සේනානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය විලියම් ශේක්ස්පියර්ගේ ‘ජුලියස් සීසර්’ නාට්‍යයේ නව නිෂ්පාදනයයි. හෙට කොළඹ ලුම්බිණි රඟහලේදී එහි මංගල දර්ශනය පැවැත්වීමට නියමිතයි. මංගල සේනානායක නම් වූ ඔහු අසූව දශකයේදී මෙරට හොඳම නාට්‍යකරුවන් දස දෙනා අතර වූ සුවිශේෂ නාට්‍යකරුවෙක්.

1985 වසරේදී ‘කිරට හඬන සප්පයෝ’ නාට්‍ය නිර්මාණයෙන් තමගේම අනන්‍යතාවක් ගොඩ නගා ගනිමින් ‘අං ආවෝ’, ‘උතුරු සළුව‘, ‘මගුල් කෑම’, ‘මිස් යුලි’ වැනි අගනා නිර්මාණ ඔහු මෙරට වේදිකාවට දායාද කළා. නාට්‍ය කලාව කෙරෙහි උපන් බැඳීම නිසාම ඔහුගේ වෑයම නාට්‍ය කලාව ග්‍රාමීය ජනතාව අතරට ගෙන යාමයි. මේ කතාබහ මංගල සේනානායක නම් වූ ඔහු සමඟයි.

කාලයකට පසුව ඔබ වේදිකාවට තිළිණ කිරීමට සැරසෙන ‘ජුලියස් සීසර්’ නාට්‍යය පිළිබඳ වගේම එයට විශේෂ වූ හේතුව සඳහන් කරමු?

ජුලියස් සීසර් නාට්‍ය නිර්මාණය මගේ දෙවන පරිවර්තන නාට්‍යයයි. මීට පෙර 2004 වසරේදී මම නිර්මාණය කළ මිස් යුලි නාට්‍ය ය මගේ ප්‍රථම පරිවර්තන නාට්‍යය. විලියම් ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යය දේශපාලන නාට්‍යයක්. ඔහුගේ බොහෝ නිර්මාණවලට පාදක වුණේ ඉතාලි පුරාවෘත්ත සහ ප්‍රේම කතා. ජුලියස් සීසර් වැනි නාට්‍ය නිර්මාණකට ඔහුට බලපෑ සමාජ දේශපාලන තත්ත්වයන් හේතුවන්නට ඇති බව හිතන්න පුළුවන්. ඔහුගේ ඛේදාන්ත නාට්‍යවල වීරයා මැරෙන්නේ නාට්‍ය අවසානයේදීයි.

නමුත් මෙහි තෙවන දර්ශනයේදී වීරයා මරණයට පත් වෙනවා. නමුත් ඔහුගේ බලපෑම කතාව පුරාවට තියෙනවා. එයට හේතුව නාට්‍යය තුළ සීසර් මරන්න බැරි විදියට ජීවත් වීමයි. මෙය කියවන විට මම එහි වෙනස් පැති මානයක් දැක්කා. මෙම නාට්‍යයේ එම උපක්‍රම කවුරුවත් වෙනත් විදියට ග්‍රහණය කළේ නොමැති බව මම තේරුම් ගත්තා. මේ අතරතුරදී නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරුන් කීප දෙනෙක් මෙම නාට්‍ය නිර්මාණය කිරීමට කළ ඉල්ලීම මා තවත් ඒ පිළිබඳ උනන්දු කරවූවා. ඒ නිසාම මම තවත් එහාට යන්න උත්සාහ කළා. නාට්‍ය දෙබස්වලට හානියක් නොවන ලෙස ඒවා ආකර්ෂණීය ගීත බවට පත් කළා. එහිදී යුද්ධය වගේ අවස්ථාවන් පෙන්වීමට නාට්‍ය ක්‍රියාකාරකම් යොදා ගත්තා.

මේ සඳහා සහභාගිවන ශිල්පීන් ගැන සඳහන් කළොත්?

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගලිකා ජයතුංග විසින් තමයි මෙම පරිවර්තනය කළේ. නලින් ප්‍රදීප් උඩුවෙල, සංජීව දිසානායක, චමින්ද ජයසුරිය, වසන්ත මුහන්දිරම්, චාමික හත්ලහවත්ත, රවීන්ද්‍ර මාපිටිගම, අයේෂා දිසානායක, සෙනෙවිරත්න රුද්‍රිගූ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. විලියම් ශේක්ස්පියර් ඔහුගේ මෙම නිර්මාණය සඳහා පළමු වතාවේදී රංගන ශිල්පීන් 17 දෙනකු සහභාගිකර තිබෙනවා. මගේ මෙම නව නිෂ්පාදනය සඳහා ශිල්පීන් 30 දෙනෙකු දායක වෙනවා. මේ හැම දෙනාටම ඒ ඒ චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් කියල කියන්න පුළුවන්.

ඔබ අවසානයට කළ නිර්මාණය මිස් යුලි 2004 වසරේදී වේදිකාගත කළේ. මේ නිර්මාණය ඉදිරිපත් කිරීමට මේතරම් කාලයක් ගත වුණේ?

දිගු නාට්‍ය වශයෙන් 1985 වසරේදී ‘කිරට හඬන සප්පයෝ’ නාට්‍යයෙන් පසුව 86 වසරේදී ‘අං ආවෝ’, 89 වසරේදී ‘උතුරු සළුව’, 97 වසරේදී ‘මඟුල් කෑම’ ළමා නාට්‍ය සහ 2004 වසරේදී ‘මිස් යුලි’ නාට්‍ය නිර්මාණය කළා. නමුත් මේ අතරතුරදී අත්හදා බැලීමක් වශයෙන් කෙටි නාට්‍ය රැසක් නිර්මාණය කළා. මම වසර දොළහක විතර සිට ප්‍රජා නාට්‍ය පිළිබඳ පර්යේෂණ කළා. එහිදී ජන රංග සභා ආයතනය හරහා නාට්‍ය කලාව ගැටලු සාකච්ඡා කිරීමේ මාධ්‍යයක් ලෙස පාවිච්චි කෙරෙනවා. ඒවා සංවාද මණ්ඩප නාට්‍ය ලෙස ක්‍රියාත්මකයි.

මේ තුළින් අරමුණු කළේ?

සම්මාන කේන්ද්‍රීය නාට්‍ය කලාවෙන් බැහැරව නාට්‍ය මිනිසුන් අතරට ගෙන යන්න තමයි බලාපොරොත්තු වුණේ. නාට්‍ය කලාව ගමට ගෙන ගොස් ග්‍රාමීය ජනතාව තුළ රස වින්දනය, දැනුම ලබා දීල හොඳ ප්‍රේක්ෂකාගාරයක් හදන්නයි මම උත්සාහ ගන්නේ. මේ කැප කිරීමෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ටිකට් එකක් ගහල ගෘහස්ථ වේදිකාවේ නාට්‍ය පෙන්වනවා වගේ නොවෙයි මෙහිදී සංවාදයක් ඇති වෙනවා. නාට්‍යයෙන් පසුව අපි පැය කිහිපයක්ම ඒ පිළිබඳ කතා වෙනවා. ආචාර්ය සුනිල් විජේවර්ධන වැනි විචාරකයින් අපිත් සමඟ මේ අවස්ථා සඳහා එක්වනවා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනෑ ගැමි ප්‍රේක්ෂකාගාරය හරිම පොහොසත්. ඔවුන්ට රසඥතාවය උදෙසා නිසි මග පෙන්වීමක් කළ යුතුයි. මිල මුදලට වඩා ප්‍රජා නාට්‍ය නිර්මාණය තුළින් ලබන තෘප්තිය ඉහළයි.

ඔබේ නාට්‍ය නිර්මාණවල ස්වභාවය ගැනත් සඳහන් කළොත්?

මම හැමවිටම මගේ නාට්‍ය නිර්මාණ සඳහා සංගීතය සහ නර්තනය අර්ථාන්විතව යොදා ගන්නට උත්සාහ කරනවා. හැම එකක්ම සෞන්දර්යාත්මක අයුරින් ඉදිරිපත් කිරීම තමයි එයින් බලාපොරොත්තු වෙන්නේ. එහිදී ගීතය යොදා ගැනීම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි.

මේ ගමනේ ආරම්භය ගැනත් කියමු?

මගේ ගම අනුරාධපුර රාජාංගනයේ පහළ මාරගහ වැව. එහි ගැමි පරිසරයේ සුන්දරත්වය වගේම ගුරුවරු තමයි මෙයට මූලික වුණේ. ගමේ පුංචි කාලේ වෙසක්, පොසොන් නාට්‍යවලත් ටීටර් වලත් රඟපෑවා. උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහා විද්‍යාලයේ. එහිදී බණ්ඩාර රත්නායක ගුරුතුමාගේ ගුරුහරුකම් ඇතිව ඔහුගේ නාට්‍ය සඳහා දායක වුණා. එතුමාගේ ‘මිනිසෙක් සහ මවක්’ නාට්‍යයේ ප්‍රධාන චරිතය කළා. ඊට පසුව කොළඹ විශ්වවිද්‍යාලයේදීත් නාට්‍ය කලාවට යොමු වුණා. 80 දශකයේදී නාට්‍ය කලාවට හොඳ පසුබිමක් තිබුණා. නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වුණා. අන්තර් පීඨ නාට්‍ය තරගාවලියකදී ‘එහෙත්’ නාට්‍යය නිර්මාණය කළා. ජැක්සන් ඇන්තනී එහි කළ රංගනයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. එය ඔහුගේ කලා දිවියේ ද සුවිශේෂ සංදිස්ථානයක් වුණා. 1986 වසරේදී ජාතික තරුණ සේවා සභාවේත් පසුව ජාතික අධ්‍යාපන ආයතනයේත් කටයුතු කළා. මැලේසියාවේ පශ්චාත් උපාධිය ලබා ගැනීමෙන් පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කටයුතු කරන්න පටන් අරන් දැන් අවුරුදු නවයක් විතර වෙනවා. මේ වන විට එහි නාට්‍ය හා මුද්‍රා නාට්‍ය හා නූතන අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කරනවා.

සම්මානනීය වූ අවස්ථා සිහිපත් කළොත්?

මගේ පළමු නිර්මාණය කිරට හඬන සප්පයෝ නාට්‍යයට 85 වසරේ පැවැති යෞවන සම්මාන උළෙලේදී හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා, නිළිය සම්මාන හිමි වුණා. ම¼ගුල් කෑම නාට්‍යය 96 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනය සහ සංගීතයට හිමි සම්මාන දිනා ගත්තා. මිස් යුලි නාට්‍යය 2004 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළා. එම වසරේදීම මට බුන්කා සම්මානයත් හිමි වුණා.

ඔබ වසර ගණනාවක සිට යෞවන නාට්‍ය උළෙල විනිශ්චය කරන අයෙක් ලෙස නාට්‍ය කලාවේ වත්මන් තරුණ පරපුර ගැන සඳහන් කළොත්?

94 වසරේ සිට නොකඩවා මම එහි සාමාජිකත්වය දරනවා. සෑම වසරකම අපි නාට්‍ය පිටපත් 400 ක් විතර බලනවා. එයින් සියයට අනුවක්ම ටෙලි නාට්‍ය ආකෘති කරගත් ඒවා. වර්තමානයේදී බොහෝ නාට්‍ය පිටපත් රචකයන් තුළ පරිකල්පන ශක්තිය අඩු බව කියන්න පුළුවන්. රසඥතාවය විෂය කේන්ද්‍රය සීමිත වෙලා තියෙනවා. මේ සඳහා ටෙලි නාට්‍ය විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා.

ඔබ ක්ෂේත්‍රයට පිවිසියේ 80 දශකයේදී. එදා සහ අද නාට්‍ය කලාව පිළිබඳ ඔබේ අදහස?

මම ක්ෂේත්‍රයට පිවිසි 80 දශකයේ දුටු දේ අදත් මම දකිනවා. එය හරියටම වක්‍රාකාරව ක්‍රියාත්මක වෙන දෙයක්. 80 දශකයේදී ප්‍රහසනාත්මක නාට්‍ය රැල්ලක් තිබුණා. නම්වලින් නිර්මාණ කළ නාට්‍ය රැල්ලක් තිබුණා. අදත් එය දකින්න පුළුවන්. පසුගිය වසර කිහිපය තුළ නාට්‍ය කලාවේ යම් පිබිදීමක් ඇති වුණා. අනුකාරකවාදී වීමත් එදා වගේම අදත් තියෙනවා.

’ජුලියස් සීසර්’ 12 දා ලුම්බිණි රඟහලේ

මංගල සේනානායක ගේ අධ්‍යක්‍ෂණයෙන් විලියම් ශේක්ස්පියර් ගේ ‘ජුලියස් සීසර්’ නාට්‍යයේ නව නිෂ්පාදනය ජනවාරි 12 වැනි දා ලුම්බිණි රඟහලේ දී වේදිකාගත කෙරේ.

මංගලිකා ජයතුංග විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නාට්‍යයේ නලීන් ප්‍රදීප් උඩුවෙල, සංජීව දිසානායක, චමින්ද ජයසූරිය, වසන්ත මුහන්දිරම්, චාමික හත්ලහවත්ත, රවීන්ද්‍ර මාපිටිගම, අයේෂා දිසානායක, සෙනෙවිරත්න රුද්‍රිගු, එස්. අයි. සමරක්කොඩි, රුක්මන් තිලකරත්න, චමින්ද පුෂ්ප කුමාර, ජයන්ත කපුගේ, දුලාංජලී විජේසේන, පූජන දන්දෙණිය, ජෙනාඩ් දුලංජය, අකලංක ප්‍රභාෂ්වර, ලක්මි වීරසිංහ, කසුන් මධුශංක, කැලුම් කල්හාරි, රන්දිකා චතුරාණි, ශ්‍රීමාල් මධුශංක, දර්ශන උබේසේකර, රේණුකා පද්මිණී, නයනතාරා, ගයාන් විතාන, මනීෂ බණ්ඩාර රංගනයෙන් දායක වෙති.