රැජිනන් දෙදෙනෙක් එක් සිනමාවක්

තිස් වසරකට පසු අර්නස්ට් වඩුගේ ‘සරසවියට’ සපයන විශේෂාංගයකි

සිනමා සයුරින් මුතු දෝතක්

හෙළ සිනමාවට හැටපස් විය සපිරෙන මෙම අසිරිමත් මොහොතේ, දශක පහකට ආසන්න මගේ මාධ්‍ය චාරිකාවේදී මට හමු වූ අප්‍රමාණ නළු නිළියන් අතරින් විශේෂිත පිරිසක් ගැන සඳහන් කිරිම අසීරු වූවකි. එහෙත් එය සිදු කරන්නෙමි. රුක්මණී දේවි, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, අනෝජා වීරසිංහ, ජීවන් කුමාරතුංග, ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙනිය, කාන්ති ගුණතුංග, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රන්ජන් රාමනායක හ දිල්හානි අශෝකමාලා පිළිබඳ මගේ මතක ගබඩාවේ වඩ වඩාත් අපූරු රස තොරතුරු තැන්පත්ව ඇත. ඒ සියල්ල පත් ඉරු දෙකකට කෙසේවත් ගොනු කිරීම අසීරු කරුණකි. එබැවින් මුලින්ම අපේ සිනමාවට හැට පහ පිරෙන විට ‘එදා රැජිනත් – අද රැජිනත්’ මගේ මතක ආවර්ජනයට ලක් කරන්නෙමි.

ශ්‍රී ලංකාව හඳුන්වනුයේ ඉන්දීය සයුරේ මුතු ඇටය යන විරුදාවලියෙනි. සිංහල සිනමාවට ද මෙම යෙදුම බෙහෙවින්ම සැසදෙනවා යැයි මට සිතේ. මන්ද ඉන්දීය සිනමා සයුරෙන් බිහි වූ මුතු ඇටය සිංහල සිනමාව බැවිනි. ඉන්දියාවේ ඉපදී ශ්‍රී ලංකාවට උරුම වූ සිංහල සිනමා රාජිනිය තව දෙදිනකින් හැටපස් වැනි වසර සම්පූර්ණය.

මගේ මාධ්‍ය ජීවිතයට දශක පහකට ආසන්න කාලයක් සපිරෙන්නේය. එසේ නම් හැටපස් වියැති සිනමා රැජිනත් සමඟ පුරා වසර පනහකට ආසන්න කාලයක් ආදරයෙන් ලෙන්ගතුව ජීවත් වූ නිසාදෝ කවදත් ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමා මුද්‍රිත ප්‍රකාශනය වූ ‘සරසවිය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මා මිත්‍ර අරුණ ගුණරත්න මගේ මාධ්‍ය ජීවිතයටම කිසිවෙකු භාර නොකළා වූ තරම්, අති මහත් වූ අසීරු ‘අභියෝගයක්’ සඳහා ආරාධනා කළේය.

සරසවියෙන්ම බිහි වූ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු ලෙස සිතන විට, හැටපහ සපිරෙන මේ අසිරිමත් මොහොතේ අරුණ ගුණරත්න කිසියම් ගරු කිරීමක් ලෙස මෙම ආරාධනය කළේ වී නමුදු එය එසේ මෙසේ ලෙහෙසු පහසු අභියෝගයක් නම් නොවේ. මට හිතෙන හැටියට මෙවන් දරුණු අභියෝගයක් මට කළ එකම මාධ්‍යවේදීයා ද අරුණ විය හැකිය.

හැටපහ සපිරෙන සිංහල සිනමාවේ, දශක පහකට ආසන්න දීර්ඝතම කාල පරාසයක් තුළ මට හමු වූ, මට සමීපතම වූ, සුවිශේෂී නළු නිළියන් පිළිබඳව රස ආවර්ජනයක යෙදෙන්න යැයි ඔහු මට ආරාධනා කළේය.

දෙවියනි! මෙය මොන තරම් ‘දරුණු’ ආරාධනාවක්ද?

පුරා වසර 65 ක් සපිරුණු අපේ සිනමාවේ එදා මෙදාතුර බිහිවූ ‘තරු’ අතරින් ‘සුවිශේෂී තරු’ කෙසේ නම් මෙවන් පත් ඉරු ස්වල්පයකින් ආවර්ජනය කරන්නද?

එහෙත් අදත් අපේ සිනමා පත්තර ලොවේ සිහසුන දරා සිටින ‘සරසවිය සෙවණේ හැදුණු වැඩුණු මට මෙන්ම, අදටත් එම සොඳුරු සෙවණෙහි පසුවන ඕනෑම කෙනෙකු හට අභියෝග ජය ගැනීම කිසිසේත්ම දුෂ්කර විය නොහැකිය.

හැටපස් වසරක් සපිරෙන සිංහල සිනමාව ගැන කතා කරන ලියන කිසිවකුටත් මේ දීර්ඝ කාල පරාසය තුළ බිහි වූ ශිල්පීන්, ශිල්පිනියන් අතරින් අග්‍රගන්‍ය නිළි රැජින කිසිසේත්ම අමතක කළ නොහැක්කේමය. අපේ සිනමාවේ බිහි වූ අසහාය අග්‍රගන්‍ය මුල්ම නිළි රැජින රුක්මණී දේවී බව ඉතිහාසයට එක් වී අවසන්ය.

දක්ෂතා, කුසලතා සපිරි ශිල්පියෙකුට, ශිල්පිනියකට සමහර විට තමා නියුතු ක්ෂේත්‍රයේ කිරුළු පැළඳීම හැකි විය හැකිය. එහෙත් ජන හදවත්වල කිරුළු පැළඳීමට නම් දක්ෂතා කුසලතා පමණක්ම කිසිදු කලාකරුවෙකුට ප්‍රමාණවත් නොවනා බව මගේ දීර්ඝකාලීන මාධ්‍ය ජීවිතයේදී මා ලත් ‘හොඳම’ සුවිශේෂී අත්දැකීම යයි පැවසීමට කැමැත්තෙමි.

ඕනෑම කුසලතා සපිරි අති විශිෂ්ට ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට හෝ වේවා ජන හදවත් තුළ කිරුළු පළඳා සිංහාසනාරූඪ වීමට නම් සත්‍ය වශයෙන්ම ඔහු හෝ ඇය මිනිස්කමින් සපිරි උදාර වූ චරිතයක් විය යුතුමය.

එසේ නම් එවන් උදාර මිනිස්කමින් සපිරි මට හමු වූ ශ්‍රේෂ්ඨතම නිළිය ලෙස රුක්මණී දේවිය හැඳීන් වීම අතිශයෝක්තියක් නොවේ. එනේම එය අනිකුත් කිසිවෙකුටවත් කරන්නා වූ අබමල් රේණුවක හෝ මදි පුංචිකමක් නොවේ යැයි සිතමි. අපේ වත්මන් අසහාය නිළි රැජින මාලිනී ෆොන්සේකා ද අපේ වත්මන් අසහාය ගී රැජින ලතා වල්පොල පවා එම මතයේම රැෙඳන බව මම පෞද්ගලිකවම දනිමි. ඔවුන් දෙදෙනාම මට වරින් වර එලෙස පවසා ඇත.

අප පාසල් සමයේදී අපට දෙමව්පියන්ගෙන් රැජිනියන් දෙදෙනකු ගැන නිතර නිතර අසන්නට ලැබුණි. එකල බොහෝ නිවෙස්වල බිත්ති සැරසූ කැලැන්ඩර්වල වූ ඡයාරූප ද බෙහෙවින් මෙම දෙදෙනාගේම බව මට යාන්තමට මෙන් අදත් මතකයේ තිබේ.

එක් රැජිනක් හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රැජින වූ දෙවන එළිසබෙත් රැජිනය. අනිත් රැජින ඉන්දියන් සයුරේ මුතු ඇටය නම් වූ ශ්‍රී ලංකාවේ කිරුළු පළන් අමරණීය රැජින ලෙස විරුදාවලී ලත් රුක්මණී දේවිය. අපට පුංචි කාලයේ නිතර නිතර අසන්න ලැබුණු මෙම රැජිනියන් දෙදෙනාගෙන් අපේ රැජින’ ට පෞද්ගලික ජීවිතයේදී සමීපව ඇසුරු කරන්නට ලැබීම සැබැවින්ම මගේ මාධ්‍ය දිවියේ පරම භාග්‍යයක්ම කොට මම අදත් සලකමි.

රුක්මණී දේවී සහ ඇගේ සැමියා වූ ‘අසහාය විකට රජා’ යනුවෙන් විරුදාවලිය ලත් එඩී ජයමාන්න පසුකාලීනව මගේ මාධ්‍ය දිවියේදී මට ඉතාම සමීපව ඇසුරු කරන්නට ලැබුණා පමණක් නොව එම අසහාය රැජින යම් අයුරකින් මෙහෙය වන්නට ද භාග්‍යය හිමි විය. ඒ මා, කතාව, දෙබස් සහ තිර රචනය කරමින් සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ස්ටැන්ලි ද සිල්වා, රාණි ද සිල්වා, නිමල් රිචඩ්, අයි. අමින් මොහොමඩ් ආදීන් නිෂ්පාදනය කළ ‘අනූෂා’ චිත්‍රපටයේය.

‘අනූෂා’ අධ්‍යක්ෂණය කරන ලද්දේ දයානන්ද රොද්‍රිගු විසිනි. මා එහි දෙබස් රචකයා වූ බැවින් දයානන්ද රොද්‍රිගු නළු නිළි දෙබස් පුහුණු කිරීම් මට පැවරුවේය. එහිදී අනූෂා’ ප්‍රධාන චරිතය රඟපෑ රුක්මණී දේවියට ද දෙබස් පුුහුණු කිරීමට මට සිදු විය. එහෙත් . . . එහෙත් . . . දෙවියනි . . . මා වැනි කෝඩුකාරයෙකු කෙසේ නම් මහා රාජිනියක් පුහුණු කරන්නද?

මට මෙහිදී මුලින්ම ඩේසි අක්කාට දෙබස් පේලියක් පුහුණු කළ ‘අසීරු’ මොහොත සිහිපත් වෙයි. කොළඹ කොල්ලුපිටියේ 5 වැනි පටුමගේ පිහිටි නිෂ්පාදකවරයකු වූ නිමල් රිචඩ් මහතාගේ නිවසේදී එදින රූපගත කිරීම සිදු විය.

මා අසල මහ රැජින අසුන්ගෙන, මා දෙබස් කියාදෙන තුරු බලා සිටියාය. මගේ අතේ තිර පිටපත තිබුණි. එහෙත් මගේ අත් වෙව්ලන්නට ගත්තේය. මට මහත් සේ අසීරුතාවයක් දැනුණි. දෙබස් පවසමින් ශෝකී ජනක දසුන් පෙළක රංගනයක යෙදීමට තිබුණේ ඇයටය. එහෙත් සහමුලින්ම අපූරු ශෝකජනක තත්ත්වයකට පත් වූයේ මාය. මගේ දෙතොල් අතරින් වදන් පිට නොවීය.

ඩේසි අක්කාට මෙය නොවැටහුණා නොවේ. ඇය ඉතාම කාරුණිකව මගේ අතකින් අල්ලා ගෙන මා ඇයට නොව ඇය මට දෙබස් කියා දෙන්නට වූවාය.

‘මල්ලී මෙතන රුක්මණී දේවිවත්, සරසවිය පත්තරේ අර්නස්ට් වඩුගේවත් නැහැ. මේ මූවි එකේ ඇසිස්ටන් ඩිරෙක්ටර් ඔයා. ඩිරෙක්ටර් මිස්ටර් දයානන්ද රොද්‍රිගු ඔයාට පැවරුව් ලොකු වගකීමක්. මං රුක්මණී දේවි නෙවි, අනූෂා එකේ මේන් රෝල් එක කරන නිළිය. ඔයා මට දෙබස් කියලා දෙන්න. වැරදුනොත් මට බනින්න වුණත් මල්ලිට අයිතියක් තියනවා.

ඉතාමත්ම නිහතමානීව රුක්මණී දේවි දුන් ඒ ඔවදන ඇසීමෙන් සැබැවින්ම මගේ දෑසින් එදා සතුටු කඳුළු උණා ආවේය.

රුක්මණී දේවිය ගැන කියනවා නම් මහා ග්‍රන්ථයක් සම්පාදනය කළ හැකි තරම් ප්‍රමාණ වූ කරුණු මම දනිමි. මට හිතෙන හැටියට එවන් වූ සමහර කරුණු අදටත් කිසිවෙකුත් නොදන්නවා විය හැකිය.කලක් එඩී අයියාත්, ඩේසි අක්කාත් පදිංචිව සිටියේ ආනන්ද තිස්ස ද අල්විස් මහතාට අයත් වූ කොල්ලුපිටියේ කාල්විල් පෙදෙසේ වූ දෙමහල් නිවසේ උඩු මහලේය. ආනන්ද තිස්ස ද අල්විස් මහතා යනු අපේ රටේ බිහි වූ කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම මාධ්‍යවේදියකු ද විය. අතිශය ජනප්‍රිය සඟරාවක් වූ ‘දින දින’ නිර්මාතෘ වූයේ අල්විස් මහතාය.

එකල දිනක මම කොල්ලුපිටියේ පිහිටි එඩී, ඩේසි නිවසට ගියෙමි. ඩේසි අක්කා මෙන්ම එඩී අයියා ද මගේ හොඳම මිතුරන් වූහ. මා ගෙට ගොඩ වෙන විටම මාව පිළිගත්තේ එඩී අයියාය. ඔහු සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් ජැන්ඩියට සැරසී සිටියේය. මගේ බලාපොරොත්තු සුන් විය. එඩී අයියා ටයි කෝට් හැඳගෙන සැරසී සිටි අන්දම දුටු මට හැඟී ගියේ එඩී අයියාත් ඩේසි අක්කාත් මඟුල් ගෙදරක යාමට සැරසෙනවා විය යුතුය කියාය.

අර්නස්ට් වාඩි වෙන්න . . . වාඩි වෙන්න. ඔන්න අද ඔයාට නිදහසේ අපේ ඩේසි නෝනව ඉන්ටවීව් කරන්න පුළුවන්. මං මේ මීගමුවට දුවල එන්න.’ එඩී අයියා සුපුරුදු හෘදයාංගම හඬින් පවසද්දී මට මහත් අස්වැසිල්ලක් ඇති විය. මොහොතකට පසු එඩී අයියා දැවැන්ත මෝටර් රථයකින් මීගමුව බලා පිටත් විය. නිකමට ඔහේ මීගමු ගිහින් එන්නත් ඔහු සැරසී සිටියේ මගුල් ගෙදරක යන්නාක් මෙන් තේජාන්විත ලීලාවෙනි.

පැය ගණනාවක් ඩේසි අක්කාත්, මාත් පිළිසඳරේ නිරත වූයෙමු.

‘සරසවිය’ පුවත්පතට මා විසින් සම්පාදනය කරන ලද ‘නළු නිළි කඳුළු’ විශේෂාංගය ආරම්භ කිරීම සඳහා මුලින්ම රුක්මණී දේවි සමඟ කතාබහ කිරීමට එදා මා එහි ගියේ ‘නළු නිළි කඳුළු’ විශේෂාංගය කතාබහ අවසන් කළේ සැබැවින්ම ඇය දෑසින් කීප වතාවක්ම කඳුළු වගුරුවමින්ය. රුක්මණී දේවියගේ ජීවිතයේ බොහොමයක්ම තොරතුරු එදා ඇය අව්‍යාජව මා සමඟ එළි කරමින් කතා කළාය. රුක්මණී දේවිය විරුදාවලී ලැබ සිටියේ ‘සිංහල සිනමාවේ කඳුළු බිංදුව’ ලෙසිනි. ඒ ඇය ගැයූ බොහොමයක් ගීත, ඇය රඟපෑ බොහෝමයක් චරිතත් ශෝකජක ගී සහ චරිත වීම නිසාය.

එහෙත් එදා රුක්මණී දේවි හෝරා කීපයක් පුරා කඳුළු සලමින් හෙලිදරව් කළා වූ ‘තොරතුරු’වලට සවන් යොමද්දී, ගීයෙන්, රංගනයෙන් පමණක් නොව, සැබැවින්ම රුක්මණී දේවි යනු ‘කඳුළු’ කාන්තාවක්ම නොවේ ද කියා මට සිතුණි.

ඇගේ සම්පූර්ණ කඳුළු කතාව එදා සරසවියේ පිටු දෙකකට පමණක් මමගොනු කළෙමි.

ඒ එදා මුල්ම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ මගින් සිය රංගන චාරිකාව ආරම්භ කොට කෙටි කලකින්ම සිංහල සිනමාවේ සිංහාසනාරූඪ වී නිළි රැජින කිරුළු පළන් සදාදරණීය රුක්මණී දේවි පිළිබඳව මා ලැබූ අත්දැකීම් ආවර්ජනයෙන් බිඳුවකි.

හැටපහ සපිරෙන සිංහල සිනමාව තවත් ’පුංචි බබා’ කෙනෙකු සිංහල සිනමාවේ සිංහසනාරූඪ කොට නිළි රැජින කිරුළ පළඳවා අවසානය. මුල් නිළි රැජින මගේ ඇසුරට පත් වූයේ ඇය කිරුළු දරා කලකට පසුවය. එහෙත් අද කිරුළු දරා ජගත් කීර්තියට පත්ව සිටින අපේ වත්මන් අග්‍රගන්‍ය මහා නිළි රැජින මගේ ඇසුරට පත් වූයේ ‘පුංචි බබා’ටත් පෙරාතුව සිට වීම තවද විශේෂයක් යැයි සිතමි. ප්‍රිය සහෘදය! මෙහිදී මම මුලින්ම එක්තරා හිතුවක්කාර නිගමනයකට එන්නෙමි. එය හිතුවක්කාර ද නැතහොත් අතිශයෝක්තියට බර ද,, එසේ නැතහොත් යථාර්වාදී ද කියා මට ම නිශ්චිතව නිගමනයකට එළඹිය නොහැකිය.

එහෙත් මේ ‘පුංචි බබා’ අපේ සිනමාවේ ‘මහ බබා’ ට සම කිරීමට කැමැත්තෙමි.

මහ බබා යනු මෙතෙක් අපේ අවධානයට ලක් වූ එදා නිළි රැජිනය. ‘පුංචි බබා’ යනු එම නමින් යුතු සිනමා පටයෙන් සිනමාවේ රංකිරි කට ගාමින් ඉපදී, සිනමාවේ නව යෞවනත්වයට ද පත්වීමට ද පෙරාතුව නිළි රැජින වූ අපේ සාදාදරණීය මාලිනී ෆොන්සේකාය.

මා මෙසේ මාලිනී, රුක්මණී දේවියට සංසන්දනය කරනවාට මාලිනී කැමති වේදෝ, එකඟ වේදෝ කියා මම නොදනිමි. එනමුත් දෙදෙනාම ලෙන්ගතුව දිගු කලක් ඇසුරු කළා වූ මගේ හැඟීම දැනීම හා මතය අනුව රුක්මණී දේවියත්, මාලිනී ෆොන්සේකාත් කදිමට සැසෙඳ් යැයි මට සිතේ. ඒ රංගනයෙන් හෝ ගායනයෙන් නොවේ.

අවංකවම පැවසුවහොත් අපේ ඩේසි අක්කාට මියෙනතුරා අති විශිෂ්ට චරිත නිරූපණයක යෙදීමට භාග්‍යය උදා වූයේ නැත. එහෙත් මාලිනී ‘පුංචි බබා’ කාලයේ සිටම ප්‍රශස්ත මට්ටමක රංගනයක යෙදෙමින් කෙමෙන් කෙමෙන් දක්ෂතා වර්ධනය වී අති විශිෂ්ට නිළියක ලෙස පමණක් නොව, සිංහල සිනමා රාජධානියේ කිරුළ පැළඳීමට තරම් සුවිශේෂී වූවාය.

එබැවින් මා මෙහිදී රුක්මණීත්, මාලිනීත් සංසන්දනය කරනුයේ රංගන දක්ෂතා පිළිබඳව නොව මා හොඳින්ම දන්නා වූ පරිදි දෙදෙනාම තුළ පිහිටි හෘදයාංගම අති සංවේදී ගුණ සමුදායන් නිසාමය.

රුක්මණී දේවි හැඳින්වූයේ අපේ සිනමාවේ ‘කඳුළු බිඳුව’ වශයෙනි. මාලිනීව කවදාවත්ම එවන් හැඳින්වීමකට ලක් වූයේ නැත. ඇය මුල් කාලයේ ‘සුදු පාට මීදුම් ගලා’ ආ සමයේ ‘ආදරේ හිතෙනව දැක්ම දෙවඟන වාගේ ලස්සන’ යුවතියකි. ඇයගේ අති ආකර්ෂණීය, ආදරණීය රංගනයෙන් වශී වූ සුවවිශාල රසික කැළ පමණක් නොව ඇසුරු කළ අය පවා ඇයට ඉමහත් සේ ආදරය නොකළා නම් පුදුමයකි. එපමණටම ඇය මන බඳින රංගනයක පමණක් නොව, මොකක්දෝ අමුතු මිහිරි පෙනුමකින් ද යුක්ත වූ ‘දෙවියන්ගේ අපූරු නිර්මාණයක්’ කියාදෝයි මට සිතේ.

ලබන කලාපයේ තවත් රස ආවර්ජනයක්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව