අපේ සිනමාවේ නාමයෙන්

සිංහල සිනමාවේ ජන්ම දිනය ලෙස ජනවාරි 21 වැනි දින අප සලකනුයේ මෙරට ඉතිහාසය පුරාම අප විසින් අප ලඝු කොට දැක්වීමේ ජන්ම ගතිය නිසා බැව් මගේ පෞද්ගලික හැඟීමයි.

විජයාවතරණයට පෙර මහත් වූ සංස්කෘතියක් සහිත ජාතියක් ඇතැයි ඇස් පනා පිට ඔප්පු කළ හැකි හැම සාධකයක්ම මෙරට ඉතිරිව තිබියදී විජයගෙන් ජාතිය පහළ වී යැයි සිතමින් සතුටු වන්නට පුරුදු අප, සිංහල සිනමාව දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ කුඩා චිත්‍රාගාරයක උපත ලැබුණා යැයි සිත හදා ගන්නේ එයට පෙර ලාංකික සිනමාවේ උපත වෙනුවෙන් වෙහෙසුනු මිනිසුන් පිළිබඳ අමතක කරමිනි. එසේ විනා එයට වසර හැත්තෑවකට පමණ පෙර එම නගරයේ මිහිදන් ව ගිය මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ට හෝ අදටත් එහි ජීවත් වන ඔහුගෙන් පැවැත එන්නන්ට නෑකම් කියන්නට නොවේ. මේ වැකිය මා ලියන්නේ කඩවුණු පොරොන්දුව හෝ අසෝකමාලා හෝ යන චිත්‍රපට නිපදවීමට පුරෝගාමි වූ නායගම්, බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ජේ. සිංහ වැන්නන් ගැන හෝ ශ්‍රීමත් ගාඩිනර්, ශාන්ති කුමාර් සෙනෙවිරත්න වැන්නන් ගැන හෝ අවතක්සේරු කිරීමේ හෝ ඔවුන් එදා ගත් වෑයම නොසැලකිය යුතු ය යන සිතකින් නොවන වග සඳහන් කළ යුතුය.

අප දකුණු ඉන්දියාවේ චිත්‍රාගාරයකට යන්නට පෙර මෙරට දී සිංහල චිත්‍රපට දෙකක් එනම් 1925 වසරේ දී රාජකීය වික්‍රමය නමින් ද දෙවෙනුව 1936 වසරේ දී පළි ගැනීම නමින්ද නිපද වී ඇති වග අමතක කළ යුතු නැත.

කඩවුණු පොරොන්දුව තිරගතකළ කොටහේන කිංස්ලි සිනමාහළ

රාජකීය වික්‍රමය ප්‍රදර්ශනයටත් පෙර විනාශ වී ගිය ද පළි ගැනීම 1936 වසරේ මැයි 19 වැනි දින කොළඹ ගෙයිටි සිනමාහලේ තිරගත විය. එමෙන්ම ආසියාවේ ප්‍රථම සිනමා සමාජය වූ කොළඹ සිනමා සමාජය ද බිහිවූයේ කඩවුණු පොරොන්දුවට කලිනි.

සෝලටන් කෝර්ඩාගේ ඩ්‍රම් චිත්‍රපටය මෙරට රූ ගැන්වෙද්දී මීරියම් පීරිස් එම චිත්‍රපටයේ රඟපාමින් ජාත්‍යන්තර සිනමාවට අවතීර්ණ වූයේ ද එයට පෙර ය. ඒ වනවිටත් විදේශ චිත්‍රපට දෙක තුනක්ම මෙරට නිපදවා තිබිණි. එහෙත් අප මුල්ම කතානාද චිත්‍රපටයක් තනන්නට තරග වදිනුයේ දකුණු ඉන්දියාවේ මදුරෙයි සහ මදුරාසියේ චිත්‍රාගාර දෙකක ය. එමෙන්ම පූර්වෝක්ත කරුණු සලකා බැලීමේ දී ලාංකික සිනමාව සිතනවාට වඩා වැඩි වයසකින් යුත් එකකි.

ලොව බොහෝ රටවල සිනමා කෘති නිපද වීම ඇරැඹෙන විට සිනමාව යනු ඒ ඒ රටවල ජනතාවට මැජික් එකක් වුව ද මෙරට මුල්ම කතානාද සිනමාව ඇරැඹෙන විට මෙරට සාමාන්‍ය පේ‍්‍රක්ෂකයනට එහි මැජික් එකක් වූයේ නම් එය එතුවක් වෙනත් භාෂාවලින් කතා කළ රූප මුල් වරට තම මව් බසින් කතා කිරීම පමණී. එමෙන්ම මෙරට කඩවුණු පොරොන්දුව තිරගත කරන විට සිංහල කතා කරන චිත්‍රපටයක අවශ්‍යතාව ජනතාව අතරින් ම පැන නැඟී තිබුණාට කිසිම සැකයක් නැත්තේ එම අවශ්‍යතාව පෙන්වා දෙන ලිපි රැසක් ඒ වනවිටත් මෙරට පුවත්පත්වල පළ වී තිබුණ බැවිනි.

එබැවින් මෙරට මුල්ම චිත්‍රපටය බිහිවීම යන කාරණාව පවා වෙනත් රටවල සිනමාව බිහිවීම ට වඩා වෙනස් බැව් මගේ හැඟීමයි. ඒ නිසාම මුල්ම කතානාද සිනමාව බිහිවීම උදෙසා තරගයක් ඇති වීම ද පුදුමයට කරුණක් නොවේ. එයින් එස්.එම්.නායගම් හැමවිටම අලුත් නිෂ්පාදන බිහි කිරීමේ පුරෝගාමිව කටයුතු කිරීමේ අභිලාෂයෙන් පෙළුණ ව්‍යවසායකයෙකු වන අතර තරගයෙන් දෙවැනි තැන දිනූ සිලෝන් තියටර්ස් සමාගම ඒ වනවිටත් මෙරට සිනමා ව්‍යාපාරයේ දැවැන්තයෙක්ව සිටියෙකු වෙයි. නායගම් ද ඒ වනවිටත් ඉන්දියාවේ දෙමළ චිත්‍රපට කිහිපයක් නිපද වූ මදුරෙයි නගරයේ චිත්‍රාගාරයක හිමිකරුවෙකි. එමෙන්ම මුල්ම සිංහල කතානාද සිනමා කෘතිය නිපද වීමෙන් නොනැවතී හෙතෙම මෙරට මුල්ම චිත්‍රාගාරය ගොඩනැඟීමේ කර්තව්‍යයේ ද ගෞරවය දිනා ගත්තේ ය. ඔහු එසේ කළේ ඒ වනවිට මෙරට චිත්‍රපට නිපදවීමට අත ගැසූ බොහෝ ලාංකිකයන් චිත්‍රපට නිපදවීම ලංකාවට වඩා ඉන්දියාවේ සිදු කිරීම වඩා ලාබදායක යැයි ගණන් බලා පෙන්වා දෙද්දී ය. එබැවින් එස්.(සුන්දම් පිල්ෙලෙ) එම්. (මධුර) නායගම් ගේ නම සිංහල සිනමාව පිළිබඳ ඉතිහාසයේ දී මෙයට වඩා හොඳීන් ගරු කළ යුතු නාමයක් වේ. එමෙන්ම ඔහු මෙරට සබන්, ප්ලාස්ටික්, විළවුන්, ගිනි පෙට්ටි ඇතුළු දේශීය කර්මාන්ත රැසකම පුරෝගාමියකු ද වෙයි.

මෙරට සිනමාව ආරම්භයේ සිටම පැවැතියේ දැවැන්ත වෙළෙඳ පොළක ශක්‍යතාවයෙන් තොරව ය. රටපුරා සිනමා ශාලා අදට වඩා තිබුණ ද උතුරු නැගෙනහිර මෙන්ම උඩරට බොහෝ සිනමා ශාලා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ගලවා ගැනීම කිසි විටෙකත් කළ නොහැකි විය. කොළඹ නගරයේ පවා පැවැති සිනමාහල්වලින් ද වැඩි කොටස වෙන්ව ගියේ තමිල්නාඩුවේ තැනුණ චිත්‍රපටවලට විනා අපේ චිත්‍රපටවලට නොවේ. එබැවින් අපට හිමිව තිබුණේ සීමා සහිත වෙළෙඳ පොළකි. මේ තත්ත්වය නිසා යම් පළාතකට ගංවතුර ගැලුව ද පොදුවේ එය අපේ නිෂ්පාදනයන්ට සෘජුව දැනිණ. එමෙන්ම චිත්‍රපට නම් ව්‍යාපාරයේ ශක්‍යතා අධ්‍යයනයක් කිසි කලෙකත් මෙරට සිදු නොවිණ. එබැවින්ම මෙරට බොහෝ චිත්‍රපට තැනුණේ කරන්නන් වාලේ ය.

කෙසේ වෙතත් ලාංකික සිනමාවේ ගැටලු කිසිසේත් මෙරට සිනමාව සම්බන්ධ හුදකලා ගැටලු නොවී ය. සිනමාවේ මෙරට සිදුවූ ප්‍රවණතාවන් ද එබඳූම ය. වෙනස මේ ගැටලු අපට දැනුණේ අදට වඩා ප්‍රමාදව ය. මෑත කාලීන බොහෝ ගැටලුවල හේතු වූයේ ද ඒවා ඔඩු දමා දුර ගියේ ද සිනමාව සම්බන්ධව ලොවපුරා සිදුවන ඇතැම් ප්‍රවණතාවන් නිසිලෙස හඳූනා නොගැනීමේ වරද නිසාවෙනි.

පසුගිය දශකයේ ලොව දෘශ්‍ය මාධ්‍ය ව්‍යාපාරයේ බරපතළ විපර්යාසයක් සිදුවිණ. තව දුරටත් සිනමාව යනු සිනමාහලකට කොටුවන එකක් නොවේ යැයි මා සටහන් කළේ මෙයින් දස වසරකට පමණ එපිට ය. මේ සමඟ සිනමාවේ ආදායම් ඉපැයීම පුළුල් වන බව මම විශ්වාස කළෙමි.

මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය යැයි හඳූන්වන සමයක පවා වාර්ෂිකව මෙරට චිත්‍රපට නැරැඹීමට සිනමාහලකට ගිය ජන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මෙරට ජනතාවෙන් සියයට එකොළහක් වූයේ නැත. එහෙත් පසුගිය දශකයේ සිනමාහල්වලින් බැහැර විකල්ප මාර්ගයෙන් සිනමා කෘති නරඹන සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් ය. මේ මෙරට සිනමාව සතු වෙළෙඳ පොළක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙයට දස වසරකට පමණ පෙර ලාංකික චිත්‍රපට ව්‍යාපාරය කෙතරම් අවදානමකට ලක් විනි දැයි කිවහොත් සමහරු එහි මිනී පෙට්ටියේ අවසන් ඇණය ගැසීමට පවා සැරැසී සිටියහ. එහෙත් රටේ පැවැති වාතාවරණය සමඟ එම තත්ත්වය වෙනස්ව ගියේය. එහෙත් මේ තත්ත්වය සිනමාවේ ප්‍රගතිය තවත් වර්ධනය කරන්නට නම් එය යාවත්කාලීන විය යුතුය. පවතින පැරැණි සිනමා හල් පද්ධතිය නවීකරණය වීම අත්‍යවශ්‍ය කරුණකි. චිත්‍රපට නැරැඹීම සම්බන්ධ ඇති රාත්‍රි ප්‍රවාහන පහසුකම් ආදියේ හිඟවීම් ආදිය ට පිළියම් අනිවාර්යය විය යුතුය. පසුගිය දශක තුනක් මුළුල්ලේ මෙරට වෙළාගත් භීෂණය හේතුවෙන් සවස් ජාමයේ සිනමාහලකට එළියට යෑමේ පුරුද්ද බැහැර විය. එම තැන රූපවාහිනිය යන්ත්‍රය උදුරා ගත්තා නොවේ. ඉබේටම එය විකල්පයක් බවට පත්විණ. එහෙත් පසුගිය වසරේ සිනමාහල්වලට ඇදී ආ ජනගහනය එම තත්ත්වයේ වෙනසක් පෙන්වූයේ මිනිසුන්ගේ බිය සැක නැතිව ගොස් ඇති බැවිනි.

කලකට ඉහත සිනමා කෘතියක් නිර්මාණය කිරීම මහත් විශාල කටයුත්තක් ලෙස සැලකී ය. අද පවා එය වගකීම් විරහිත දැවැන්ත එකක් යැයි සිතන්නට මම මැලි වෙමි. එහෙත් ලෝක සිනමාවේ පුරෝගාමියකු වූ ඩී.ඩබ්ලිව්.ග්‍රීෆිත් කවදාක හෝ පෑන්, පැන්සල් ගණනට සිනමාව යා යුතු යැයි මෙයින් සියවසකට පෙර පළ කළ අදහසට අනුව අද සිනමා නිර්මාණ පහසුකම් සුලබ වෙමින් පවතී. කොල්ලෝ, කුරුට්ටෝ තම අතැති ජංගම දුරකතන මගින් ද කෙටි චිත්‍රපට නිර්මාණ කරන යුගයක් එළැඹ ඇති වග අප අමතක නොකළ යුතුය. තම සිතැඟි පරිදි ආත්ම ප්‍රකාශනයක් ලෙස නිර්මාණයේ යෙදෙන තරුණයකුට සිය නිර්මාණය අන්තර්ජාලය ඔස්සේ යැවිය හැකි දුරට ඉමක් නැත.

මේ අපේ සිනමාවේ අනාගතයේ එක් පරිච්ඡේදයකි. අද කිසිදු සිනමාහලකට යොමු නොවී තම ආත්ම ප්‍රකාශනය ලෙස සිනමාව භාවිත කරන්නට සැරැසෙන පිරිස ඉමහත ් ය. ඒ අතර සිනමාව ගෙයින් ගෙට එන්නේ අනාදිමත් කාලයක් මුළුල්ලේ කතා අසන්නට අප සිත් හි ඇති පුරුද්දට ආලෝකයක් දෙමිනි. ටෙලිවිෂනය යනු සිනමා කෘති නැරැඹීමට ඇති විකල්ප මාර්ගයක් නොවේ යන්න යල් පැන ගිය මතයක් ව ඇත්තේ ය. එළැඹෙන යුගයේ සිනමාව මේ සියලු අභියෝග මැද වැජඹේවා යැයි ප්‍රාර්ථනා කිරීමෙන් නොසෑහී එම නවයුගයට ගැළපෙන ලෙස කටයුතු කිරීම එහි ඇතිව තිබෙන ප්‍රබෝධය සදාකල් රඳවා ගැනීමට හේතුවන බැව් මම සඳහන් කරනු කැමැත්තෙමි. මගේ රටේ සිනමාව බිහි කිරීමෙන් පමණක් නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය කැප කළ එම සිනමාව ඉදිරියට ගෙන ගිය ජීවත් වන සහ එදා ජීවත් ව සිටි කුදු මහත් සියලු සුන්දර මිනිසුන්ගේ නාමයන්ට මම ශීර්ෂ ප්‍රණාමය කරන්නට කැමැත්තෙමි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව