අපි පහු කරන්නේ සැලෝලයිට් සිනමාවේ අවසාන යුගය

අපේ සිනමාවේ අනාගතය ගැන ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ කියයි.

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ හදවත ජාතික චිත්‍රපට සංස්ථාව යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ අපේ සිනමාවේ අභ්‍යුදය වෙනුවෙන් බොහෝ තීන්දු, තීරණ ගනු ලබන්නේත්, නිර්ණායකයන් සකසනු ලබන්නේත් ජාතික චිත්‍රපට සංස්ථාව හරහා වන බැවිනි.

තව හරියටම දින දෙකකින් එනම් මෙම 21 වැනි දිනට සිංහල සිනමාවට හැට පස් වසක් සපිරේ. ආ මග දෙස අප හැරී බැලිය යුතු වුවත්, වඩාත් වැදගත් වන්නේ අනාගත සිනමාව පිළිබඳ නව දැක්මක් සහිත වැඩ පිළිවෙලකි. එකී අභියෝගාත්මක වගකීම නැවත වරක් පැවරී ඇත්තේ ජාතික චිත්‍රපට සංස්ථාවේ අභිනව සභාපති, නීතිඥ අශෝක සේරසිංහයන් වෙතය. මේ ඔහු සමඟින් අපේ සිනමාවේ හෙට දවස පිළිබඳ කළ විමර්ෂණාත්මක සංවාදයකි.

දෙවැනි වරටත් ඔබ චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුවට පත්ව සිටිනවා. මම හිතන්නේ මෙය සුවිශේෂී අවස්ථාවක්?

නැවත වරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මට මේ තනතුර පිරිනමන්නට ඇත්තේ ගිය වර මා සභාපති ධූරය දැරූ කාලයේ මං ඉටු කළ වැඩ කොටස පිළිබඳ සෑහීමකට පත් වූ නිසා වෙන්නැති. අසාර්ථක වුණ කෙනෙකුට මම හිතන්නේ එතුමන් නැවත එම දෙයම බාර දෙන්නේ නැහැ. මේ ගැන මගේ සිතේ තිබෙන්නේ උද්දාමයක්. ඒ වාගේම සිනමාවේ අනාගතය පිළිබඳ සුබදායී වැඩ පිළිවෙලක් මා විසින් දියත් කරාවි යැයි කියන විශ්වාසයත් එතුමාට තිබෙන්න ඇති.

පෙර සභාපති ධූරය දැරූ සමයේ ඔබ විසින් ක්‍රියාත්මක කළ ඇතැම් සැළසුම් අතරමග නැවතුණා. ඒවා යාවත්කාලීන කිරීමට ඔබේ බලාපොරාත්තුවක් නැතිද?

අනිවාර්යයෙන්ම. අපට ජය ගත යුතු අභියෝග රැසක් මේ මොහොතේ තිබෙනවා. අපේ සිනමාවට දැන් වසර හැට පහයි. මේ කාලය ඇතුළත අපි එකම ප්‍රවේශ පත්‍රයක්වත් විදෙස් නරඹන්නෙකුට අලෙවි කර නැහැ. එක ඩොලරයක්, එක රුපියලක් අපි උපයලා නැහැ හැට පස් වසරක සිනමාව ගැන කොයි තරම් උදම් ඇනුවත්. මගේ මුල්ම ගිවිසුම අස්සන් කළේ චීනයත් සමඟ. ඩ්නයත් සමඟ එකතු වී චිත්‍රපට හදලා ඒවා දෙරටේම ප්‍රදර්ශනය කරලා අන්‍යොන්‍ය වශයෙන් ඒ ආදායම් බෙදා ගන්න චීන රජයේ සිනමා බියුරෝවත් සමඟ ඒ ගිවිසුම අස්සන් කළේ. ඒක ඇන හිටියා.

මොකක්ද ඒකට හේතුව?

ඒක මම දන්නේ නැහැ. ඊට පස්සේ මම තවත් ගිවිසුමක් අස්සන් කළා ඉන්දියාවේ ජෙමිණි සමාගමත් එක්ක. එහි ප්‍රධානියා ලංකාවට ඇවිත් ඊට පස්සේ මමත් එහෙට ගිහින් අපි තීරණය කළා ඉන්දීය - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් කරන්න. ජෙමිණි සමාගම සතුව හයිද්‍රාබාද් – අන්ද්‍රා ප්‍රදේශයේ තියෙනවා සිනමා සංකීර්ණ දහයක්. දමිළ සහ තෙළිගු භාෂාවෙන් දෙබස් කවලා අපි මේ චිත්‍රපටය එහෙ ප්‍රදර්ශනය කරන්න ගිවිසුම් පවා අස්සන් කර තිබියදීයි මට යන්නට සිදු වුණේ.

නමුත් දැන් ඔබට ඒ ගිවිසුම බලාත්මක කළ හැකි යැයි මා සිතනවා . . .?

ඔව්, එය යාවත්කාලීන කළ හැකියි. ඒ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කර එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

චිත්‍රපට සංස්ථා මහ පුටුවේ ඔබ දෙවැනි වර අසුන් ගන්නට ඇත්තේ සුවිශේෂී වැඩ පිළිවෙල රාශියක් සමඟ?

ඔව්. ඇත්ත වශයෙන්ම ගිය පාර වැඩ භාර ගත්තට වඩා හොඳ පදනමකින් තමා අද සිනමාව තියෙන්නේ. එදා මම සංස්ථාව බාර ගන්න කොට තිබුණේ චිත්‍රපට ශාලා වැසෙන ප්‍රවණතාවක්. නමුත් අද වෙන කොට මගේ මේසය උඩට එන්නේ සිනමා ශාලා විවෘත කිරීම සඳහා වූ ඉල්ලීම්. විශේෂයෙන් උතුරු, නැගෙනහිර. යුද්ධයෙන් විනාශ වෙලා ගිය සිනමා හල් ප්‍රතිසංස්කරණය කරලා, ඒවා විවෘත කරලා අද චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. යුද්ධයට භාජනය නොවූ රටේ අනෙකුත් ප්‍රදේශවලත් අලුත් සිනමා ශාලා සඳහා ඉල්ලීමක් තියෙනවා.

මේ අලුත් සිනමා ශාලා බිහි වෙන්නේ නවීන තාක්ෂණයත් සමඟ මම හිතන්නේ?

අපි මේ පසු කරන්නේ සැලෝලයිඩ් සිනමාවේ අවසාන කාලය. දැන් ඩිජිටල් සිනමාව අපේ දොරකඩටම ඇවිත්. අප ඒක බාර ගන්නේ කොහොමද කියන ගැටලුවේ ඉන්නේ. ඒ අවදානම දරමින් දැනට අපේ නිෂ්පාදකයෝ ඩිජිටල් තාක්ෂණය යටතේ චිත්‍රපට දහසයක් හදලා තියෙනවා. ඒ දහසයම දැන් ප්‍රදර්ශනයට සූදානම්. මට තියෙන ලොකුම අභියෝගය තමයි ඒ ඩිජිටල් සිනමාව ප්‍රක්ෂේපනය කළ හැකි ශාලා පද්ධතියක් හඳුන්වා දීම. ඒකට දේශීය සහ විදේශීය වෙළෙඳ සමාගම් කිහිපයක්ම ඉදිරිපත් වෙලා තිබෙනවා. දැන් ඔවුන් කැමැතියි සිනමා ශාලා නවීකරණය කරලා අතිරේක වශයෙන් ඩිජිිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර ඒවායේ ස්ථාපිත කරන්න. මේ පනත සම්මත කර ගැනීම සඳහා දැන් නීති කෙටුම්පත් සකස් කර බාර දී තිබෙනවා. මම හිතනවා වෙන බාධාවක් නොආවොත් මාස දෙක, තුනක් ඇතුළත මේ පනත සම්මත කර ගත හැකි වෙයි කියා.

මෙවැනි නවීන තාක්ෂණ ක්‍රමවේදයන් නිසා අපට විශේෂිත වාසි අත් වෙනවාද?

ඩිජිටල් තාක්ෂණයේදී අපට සැලෝලයිඩ් පට භාවිතයක් සිදු වෙන්නේ නැහැ. පරිගනක දත්තයන් මගිනුයි චිත්‍රපටය ප්‍රක්ෂේපනය කරන්නේ. මෙතනදි රසායනික පරිවර්තනයක් සිදු වන්නේ නැහැ. අප දැන් මේ යන්නේ රසායනික සිනමාවේ ඉඳලා ඉලෙක්ට්‍රොනික සිනමාවට. රසායනික සිනමාවේදී බොහෝ මුදලක් වැය වෙනවා. ඒ රසායනික ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීමට හා රසායනාගාර පවත්වාගෙන යාමට. අපි දැන් ගණන් හදලා තියනවා චිත්‍රපට නිෂ්පාදන වියදමෙන් 30% ක් ඉතිරි කරන්න පුළුවන් ඩිජිටල් සිනමාවට ගියොත්.

මේ සංක්‍රාන්තිය නිසා අපේ සිනමාකරුවන්ට, නිෂ්පාදකයන්ට ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවනවා යැයි කියන්නට බැහැ?

යම් යම් සමාගම් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු දැනටත් මේ අධි තාක්ෂණික කැමරා උපකරණ ගෙන්වා තිබෙනවා. සුමිත්‍රා පීරිස්ගේ අලුත් චිත්‍රපටය රූගත කරන්නේ ‘රෙඩ් එපික්’ කියන ඩිජිටල් කැමරාවෙන්. ඇත්තටම මේ ප්‍රතිලාභය නිෂ්පාදකයාට ලැබෙනවා. ඊළඟට ඒ ප්‍රතිලාභයම ලැබෙනවා සිනමා ශාලාවට.

ප්‍රොජෙක්ටරයක් ධාවනය කිරීමට යන පිරිවැය සහ විදුලිය පරිභෝජනය හුඟක් අඩු වෙනවා. අපි මේ හැම සහනයක්ම දෙන්න ඕනෑ නරඹන්නාට. මම විශ්වාස කරන මූලික දේ ඒකයි. මෙයින් පෙරනය වෙලා එන ඒ ලාභ තීරුව ප්‍රේක්ෂකයාට ලබා දීලා, දැනට චිත්‍රපටයක් නරඹන මුදලට වඩා අඩු මුදලකට චිත්‍රපටයක් නැරැඹීමට ඔවුන්ට අවකාශය ලබා දීම මගේ මූලික අභිප්‍රායක්.

දිවයිනේ ප්‍රධාන සිනමා ශාලා කිහිපයක් හැර බොහෝ සිනමාහල්වල තිබෙන්නේ අවම පහසුකම්. ප්‍රේක්ෂකයාට අද සිනමා හලකට ගිහින් චිත්‍රපටයක් නරඹනවා කියන්නේ ඇත්තටම හිරිහැරයක්. සිනමාහල් පද්ධතිය නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් අද වෙන කොට ප්‍රමුඛ කාරණයක් ලෙස මතු වී තිබෙනවා?

දැනට අපි තෝරා ගත් සිනමාහල්වලට රුපියල් මිලියනයක ණය මුදලක් දෙනවා ඒ අවශ්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා. දැන් ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන හැම චිත්‍රපටයක්ම D. T. S.  තාක්ෂණය යටතේ තියෙන්නේ. ඉතින් කොළඹ අය D. T. S.  බලනවා. ගමේ අයට ඒ පහසුකම් නැහැ. අපි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙන පිට පළාත්වල සිනමා ශාලාවලට මේ ණය මුදල දෙන්නේ ඒ පහසුකම් ගමටත් ගෙන යන්න.

ඔබ මතු කළේ වැදගත් ප්‍රශ්නයක්. අපේ සිනමාහල් බොහොමයක් එක්දාස් නවසිය හතළිස්, පණස් ගණන්වල හදපුවා. ඒවායේ වහල හුඟක් උසයි. අවකාශය ඉතා විශාලයි. නමුත් අද මුළු ලෝකයම ගිහින් තිබෙන්නේ මිනි සිනමා ශාලා යුගයට. දැන් එවැනි පැරැණි සිනමා ශාලා අපට සිදු වෙනවා කුඩා සිනමාහල් දෙක, තුනකට පරිවර්තනය කරන්න. නැතිනම් සිනමා ශාලාව සමඟ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා අපි ඒ ගොඩනැගිල්ල යොදා ගන්නවා.

වත්මන් එල්ෆින්ස්ටන් රඟහල, අතීතයේ ඉතා ආකර්ෂණීය චිත්‍රපට ශාලාවක්. නැවතත් එහි චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹුවහොත් හොඳ ප්‍රේක්ෂකාගාරයක් හිඳීවි?

ඇත්තෙන්ම ඔබ මතු කළේ කිසියම් දැවෙන ප්‍රශ්නයක්. 1977 දී අපේ රට සාමාජීය, ආර්ථික, දේශපාලනය වශයෙන් උඩු යටිකුරු වුණානේ. හැබැයි ඒ දේ සිදු වුණේ ධනාත්මකව නෙවෙයි, සෘණාත්මකව. ඔය එල්ෆින්ස්ටන් රඟහල සිනමාවෙන් ඈත් කළේ ඒ යුගයේ. ‘එල්ෆින්ස්ටන්’ කියන්නේ අපි ඓතිහාසිකව ප්‍රවේශම් කර ගත යුතු විශාල ඉතිහාසයක් තිබෙන සිනමාහලක්. අඩු ගානේ එවකට සිටි බලධාරීන්ට තිබුණා චිත්‍රපට පෙන්වන්නට බැරි නම් ඒවා සංරක්ෂණය කරන්න. එහෙම නැතිව මේකේ නාට්‍යය, සංගීත සංදර්ශන පවත්වන්න දුන්නා. නාට්‍යකරුවෙක් හැටියට මට අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ නාට්‍යකරුවෝ කිසි කෙනෙක් එල්ෆින්ස්ටන් රඟහලේ නාට්‍යය පෙන්වන්නේ නැහැ. ටවර්, ජෝන් ද සිල්වා, ලයනල් වෙන්ට්ඩ්, වැනි රඟහලවල් ඒවාට තියෙනවා. දැන් ‘නෙළුම් පොකුණ’ ඉදි වී තිබෙනවා. මියුසියස් විද්‍යාලයේ අලුත් රඟහල ආවා. එල්ෆින්ස්ටන් එක හරියට නාට්‍යය පෙන්වන්නෙත් නැහැ. චිත්‍රපටවලට ඉඩ දෙන්නෙත් නැහැ. අපට හොඳ මර්මස්ථානයක් වෙනවා චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා එල්ෆින්ස්ටන් රඟහල මුදා හැරියොත්. ඒ වගේම බෙදා හැරීමේ මූලස්ථානයක් බවටත් එය පත් වේවි.

ඔබ මේ ප්‍රශ්නයට සෘජුව මැදිහත් වෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම මම මැදිහත් වී සිටිනවා දැනටමත්. මම දන්නවා කිසිම නාට්‍යකරුවකු මේ දේට විරුද්ධ නොවන බව.

1983 ට පෙර සිනමා ශාලා තුන්සිය ගණනක් තිබුණ මේ රටේ අද තිබෙන්නේ ඉන් අඩක් වගේ ප්‍රමාණයක්. ඇතැම් නගරවල පවා සිනමාහල් නැහැ. සිනමාහල් ප්‍රතිසංස්කරණය කිරීම වගේම අලුතින් සිනමාහල් ඉදි කිරීමත් යුගයේ අවශ්‍යතාවයක්?

අවුරුදු තිහක යුද්ධයෙන් පසු අද අපේ රට, යෝධ සංවර්ධන ක්‍රියාදාමයකට යොමු වී සිටිනවා. මේ යෝධ සංවර්ධනය ඉදිරියේ තවදුරටත් සිනමාවට හකුලාගෙන ඉන්න බැහැ. අපටත් සිදු වෙනවා ඊට අනුගත වෙන්න. ;කාටහේනේ ‘සිනෙ වර්ල්ඩ්’ නමින් පසුගියදා අලුත් සිනමා ශාලා සංකීර්ණයක් ඉදි වුණා. ඒකෙ එකවර චිත්‍රපට තුනක් පෙන්වන්න පුළුවන්. මධ්‍යයම නගර සැළසුම්වල නගර මැද්දේ ලොකුª බස් නැවතුමක් ඉදි වෙනවා. ඒ බස් නැවතුමේ උඩ තට්ටුව නැතිනම් රූෆ්ටොප් එක සිනමා ශාලාවකට භාවිත කරන්න අපි පළාත් පාලන ආයතන හා ගමනා ගමන මණ්ඩලයත් එක්ක එකතු වී සාකච්ඡා කරගෙන යනවා. ආශ්චර්යමත් ශ්‍රීී ලංකාවේ වාස්තවික පරිසරයට උචිත සිනමාහල් ඉදිරියේදී මේ සැළසුම යටතේ හැම නගරයකම ඉදිවේවි.

ඔය මොනවා කළත් වැඩක් නැහැ ප්‍රෙ‍්‍ර්ක්ෂකයන් ශාලාවට ගෙන්න ගන්න බැරිනම්. මම එහෙම කියන්නේ බොහෝ චිත්‍රපට ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කරන නිසා?

අපේ සිනමාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය ඕකයි කවුරුත් තේරුම් නොගත්ත. චිත්‍රපටයක් පෙන්නලා අසාර්ථක වුණාම සංස්ථාවට බනිනවා, මිනිස්සුන්ට බනිනවා, ශාලාවලට බනිනවා. හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරලා එළිමහනක පෙන්නුවත් මිනිස්සු බලන්න යනවා. ඒක තමයි සත්‍යය. ආකර්ෂණීය චිත්‍රපට පිළිබඳ අපේ පොදු එකඟතාවයක් නැහැ. චිත්‍රපට හැදෙන්නේ එක එක්කෙනාගේ න්‍යාය පත්‍රවලට අනුව. මට හිතෙන දේ මම කළා. නමුත් ලෝකයේ හැම රටකම චිත්‍රපටයක් හදන්න කලින් වෙළෙඳ පොළ අධ්‍යයනයක් කරනවා. කාටද අපි මේ චිත්‍රපටය කේටර් කරන්නේ කියලා. විශේෂයෙන්ම බොලිවුඩ් සිනමාව ගත්තොත් කතා රචකයාට තමයි එහි මුල් තැන හිමි වෙන්නේ. ඔහු ඉස්සර වෙලා කතා සැකිල්ලක් හදලා ඒක පරීක්ෂා කරන්න විශාල පිරිසකට දෙනවා. මේ ගැන මට අත්දැකීම් තියෙනවා. චෙන්නායි චිත්‍රපට සංගමයත් එක්ක මම සාකච්ඡා කරද්දී ඔවුන් කීවේ ‘අපි ළඟ කතා තියෙනවා. ඒවා චිත්‍රපට කරන්නයි ඕනෑ’ කියලා. ඒත් අපි ළඟ කතා නැහැ. අද සමහරු චිත්‍රපට හදන්නේ කොහෙන් හරි මොනවා හරි අරන්. ඒවා අපට තේරෙන්නෙත් නැහැ. ඒ අයට තේරෙන්නෙත් නැහැ.

අපේ සිනව ජාත්‍යන්තරයට ගෙන යන්න ඔබ මැදිහත්ව සිටිනවා. මෙය අසීරු අභියෝගයක්?

මම චෙන්නායි සිනමා සංගමයත් එක්ක ඒ කාලේ කතා කළ දෙයක් තමයි ද්විත්ව ප්‍රධාන චරිත යොදා චිත‍්‍රපට හදන්න. ඒ සඳහා අපි ඉන්දියාවේ මාධවන් කියන නළුවා සහ ලංකාවෙන් චන්න පෙරේරා තෝරා ගත්තා. මෙහෙ ජැක්සන් ඇන්තනී, එහෙ ප්‍රබල නළුවකු වන කමලා හසන් දාලා චිත්‍රපටයක් කළොත්, අපි ඒකට කියන්නේ ඩබල් හීරෝස් කියලා. ඒ චිත්‍රපටයට හොඳ මාර්කට් එකක් තියෙයි. ලංකාවේදී ජැක්සන් වීරයා. ඉන්දියාවේදී කමල් හසන් වීරයා. මෙන්න මේ වගේ චිත්‍රපට හරහා අපට විදෙස් වෙළෙඳ පොලේ පෙන්නලා පළමු ඩොලරය අපේ රටට ගෙන ඒමත් මගේ එක් අරමුණක්.

නිර්මාණ මංකොල්ලයත් අද ජයටම කෙරෙනවා. කොතරම් නීති රීති අවත් මේවාට තිරසාර විසඳුම් නැහැ?

ඒකට මම හිතන්නේ ප්‍රධාන වගකිව යුත්තා කලාකරුවාමයි. තමන්ගේ ගීත කැසට්, සංයුක්ත තැටි, චිත්‍රපට පේව්මන්ට් එකේ අලෙවි වෙනවා ඔහු දකිනවා. නමුත් කරබාගෙන යනවා. අනෙක් අතින් රසිකයෝ, ප්‍රේක්ෂකයන් දෙකට නැවිලා අර පේව්මන්ට් එකෙන් ඒවා මිලදී ගන්නවා. ඔවුන් දැනගන්න ඕනෑ තමන් ආදරය කරන, ගරු කරන කලාකරුවන්ගේ නිර්මාණ එහෙම ආවාට ගියාට මිලදී නොගන්න. මම හිතන්නේ කලාකරුවන් මේ අභියෝගය ජය ගත යුත්තේ එකම රෑනක් වගේ එකට බැඳී ප්‍රබල සංවිධානයක් ගොඩ නගා ගැනීමෙන්. බුද්ධිමය දේපළ සුරැකීමේ කර්යාංශයට ඔවුන්ගේ සහාය නිබඳවම ලබා දිය යුතුයි.

ජාත්‍යන්තර සිනමා උළෙලක් මෙරට පැවැත්වීමට ඔබේ සැළසුමක් නැතිද?

අනිවාර්යෙයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේත් එවැනි අවශ්‍යතාවයක් තිබෙනවා. ලෝකයේ එක් එක් සිනමා සංස්කෘතීන් නියෝජනය කරන ප්‍රබල ජාතීන් එක් වහලක් යටට ගෙනල්ලා එක් සතියක් ඇතුළත සිනමා උළෙලක් පැවැත්වීම අපේ එක් සුවිශේෂ අරමුණක්. පසුගිය කාලයේ අපට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් එහෙම නැහැ. අපට අනුග්‍රාහකයන් අවශ්‍යය වෙනවා මේ කාර්යයට. අපි වෙළෙඳ සමාගම් කිහිපයක් එක්කම සාකච්ඡා පවත්වනවා. එහෙම වුණොත් ජාත්‍යන්තරයට යන්න පෙර ආසියානු සිනමා උළෙලක් පවත්වන්න අපට හැකියාව ලැබේවි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව