360 හරහා රට කැළඹූ ඩිල්කා සමන්මලී අද යුග දිවි අරඹයි

 ‘ජීවිතේ සුන්දර ද මෙතරම්’

ජංගම දුරකතනයෙන් ඇසෙන රූකාන්තගේ මියුරු ගීතය මුමුණනා ඇගේ දෙනෙත් පියවිලා. ගීතයේ තාලයට එහා මෙහෙ යන ඇඟිලි තුඩු අතරට වගේම උවනේ රැඳුණු සුන්දරත්වය කිව්වේ වෙනම කතාවක්.

‘මොකක්ද මේ කතාව?’

එහෙම අහන්න හිතුණත් ඒ ගීතය විඳින මිහිරියාවෙන් ඈව ඇහැරවන්න අපට හිත් දුන්නේ නෑ.

ඩිල්කා සමන්මලී’

ඉගිල්ලිලා යන්න හදන්නේ අලුත් කූඩුවක් තනන්න කියලා අපට ආරංචි වුණේ පසුගිය දවසක.

‘මේ ආරංචිය ඇත්තක්ද?’

අප ඇගෙන් ඇසුවේ සුපුරුදු ළෙන්ගතු ස්වරයෙන්ම. ඇගේ උවන හිනාමල් වට්ටියක්. ඒ හිනාවෙන්ම ඈ පිළිතුරු බැන්ඳා.

‘අපේ ආදරයට අවුරුදු හතර හමාරක්. ඒත් අපි දැන හැඳින ගෙන නම් අවුරුදු දහයකටත් වැඩියි. එතකොට මම ජනප්‍රිය කෙනෙක් නෙමෙයි. බොහොම සාමාන්‍ය කෙල්ලෙක්. ඒ ලෙවල් කරන කාලේ අවශ්‍ය ව්‍යාපෘතියක් හදන්න මට තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමයට යන්න වුණා.

ඒ වෙනකොට ඔහු තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක්. ව්‍යාපෘතියෙන් පස්සේ මමත් තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමයේ සාමාජිකාවක් වුණා. කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කටයුතු කරන කොට ඔහුත්, මාත් අතර අපූරු ගැළපීමක් තිබුණා. අපි දෙන්නම ප්‍රිය කළේ එකම දේවල්වලටයි.

ඔහු පරිසරයට, ගහ කොළට, සතුන්ට ආදරය කළ කෙනෙක්. මිනිස්සු ගැන වුණත් හිතුවේ වෙනස්ම විදියකටයි. විවිධ ස්ථාන නරඹන්න, ඇවිදින්න කැමැති ඔහුගේ කැමැත්ත මගේ කැමැත්ත හා ගැළපුණේ අපි හිතුව නැති විදියටයි. මේ සරල සුන්දර මිනිසාට මම ආදරය කළා.’

දෙරණ 360 දේශපාලන වැඩසටහන ඔස්සේ නරඹන්නන් අතර ජනප්‍රිය වූ ඩිල්කා සමන්මලීව ඔවුන් හැදින් වූයේ දේශපාලඥයන්ටත් විලංගු දමන්න පුළුවන් ප්‍රශ්න අහන නිවේදිකාවක් හැටියටයි. ඒත් අද වගේ දවසක ඩිල්කාට විලංගු දමන ඔහු කවුදැයි අපි ඇහුවා.

‘චන්දන අසේල තමයි ඒ වාසනාවන්තයා. මාලඹේ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නා ඔහු පරිසරයට ආදරය කරන නිසා පරිසරය පිළිබඳ විමසිලිිමත් වන, පරිසරයේ දත්ත එක් තැන් කරනා පරිසර විද්‍යාඥයෙක්. ඒ පරිසර විද්‍යාඥයත්, මමත් ආදරයෙන් බැඳෙන්න පෙර මිතුරු මිතුරියන් විදියටයි හිටියේ. ඒ මිත්‍රත්වය ආදරයකට හැරුණා. ඒ ආදරය ගැන කාලයක් යනතුරු මම ගෙදරට නොකිව්වේ ස්ථිරව තීරණයකට පැමිණෙන තුරුයි.

විවාහ වෙලා එක වහලක් යටට යන්න තීරණය කළාට පස්සේ අපේ ගෙදරට ඒක කිව්වා. මුලින්ම නම් අපේ අම්මාගේ කැමැත්ත ලබා ගන්න පහසු වුණේ නෑ. ඈ තදින්ම මේ සම්බන්ධයට විරුද්ධ වුණා. ඈ හිතන්න ඇති මම කවදා හරි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක් විවාහ කර ගනියි කියන මතයේ ඉඳියි කියලා. කවුරු වුණත් මව්පියෝ කැමැති ඉහළ පෙළේ අයෙක් පවුලට

සම්බන්ධ වෙනවා නම් නේ. අම්මාගේ ඒ ප්‍රාර්ථනය සඵල නොවුණ නිසා ඈට දුක හිතෙන්න ඇති කියලා හිතෙනවා. කොහොම නමුත් අවසානයේදී මගේ අදහස ඈ පිළිගත්තා. මටත්, අසේලටත් අපේම කියලා කැදැල්ලකට කූඩු වෙන්න මව්පියන්ගේ ආශිර්වාදය හිමි වුණා.’

මව්පියන්ගේ වගේම නෑදෑයන්ගේ, හිතවතුන්ගේ ආසිරි මැද්දේ කොහේදිද අසේල ඩිල්කාට විලංගු ලන්නේ?

‘අපේ ප්‍රේමය මල්ඵල ගැනෙන්නේ ගංගාරාම පන්සලේදී. හෙළ කුල සිරිතට විරිතට අනුව පෝරුවේ චාරිත්‍ර ඇතුළු හැම නැකැත් චාරිත්‍රයක්ම කෙරෙන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය මැද්දේ. ඊට පස්සේ පුංචි සංග්‍රහයක් සූදානම් කරලා තිබෙන්නේ ගංගාරාමයේ අසලම ඇති කලාදූපතේ .

ඒ කියන සුන්දර ස්ථානයේ පළමුවෙන්ම මංගල උත්සවයක් තියන්නේ අදයි. හෝටලයක තියෙනවාට වඩා මා එතැන තෝරා ගන්න හේතුවක් වූණේ පන්සලේ සිදු කරන චාරිත්‍රයන්වලට යම් අර්ථයක් දෙන්න ඕන නිසයි. නෙළුම් මල් ත්‍රීම් එක කර ගත්ත මේ මංගල උත්සවය සැරසෙන්නේ නෙළුම් මල්වලට මුල් තැන දෙමින්.

මම වගේම අසේලත් උඩරට විදියට සැරැසෙනවා. සුසන්ජිත් හෙට්ටිආරච්චිගෙන් ලැබුණු සාරිය හැඩ දමන්නේ විශ්වජිත් හෙට්ටිආරච්චියි. රමණී අර්ශකුලරත්න තමයි පළමු දවසේ මාව ලස්සන මනාලියක් කරන්නේ. දෙවැනි දවස මාව හැඩ කරන්නේ මේනු නදීෂානියි.

ඈ මගේ යෙහෙළියක්. සුන්දර අවස්ථාවන් ඡායාරූපයට නඟන්න ආරාධනා කළේ දිනේෂ් ගමගේටයි. දෙවැනි මනාලියන් විදියට මගේ පුංචිගේ දුව නයනි වත්සලා, පහ වසරේ ඉඳලා මගේ යෙහෙළියක් වුණු මුද්‍රිකා ස්වර්ණතිලකත්, දෙවැනි මනමාලයන් විදිහට අසේලගේ මල්ලි සුරාජ් වගේම යහළුවෙක් වුණු සුමින්ද තාරකත්, මල් කුමාරයා විදියට සුනෙත් පුතා වගේම මල් කුමාරි විදියට හිරුණි දුවත් අපි තෝර ගත්තා’.

කුල කුමරියක් විදියට පති කුලයට පා තබන්න සිහින දකින ඩිල්කාගේ මුවට නැෙඟන්නේ අපූරු ගීතයක පද වැල් කිහිපයක්.

‘පෙම් මල් මාලා නෙළා ගොතාළා

ප්‍රේමේ ප්‍රේමේ ප්‍රදීපේ පාලා’

‘මේ පෙම් මල් මාලා නෙළා ගෙතුව කැදැල්ලෙද දැන් කූඩු වෙන්නේ?’

ඇගේ ගීතයට විරාමයක්.

‘අපේ කැදැල්ල ගොඩ නැෙඟන්නේ කොළඹ නගරයෙන් තරමක් ඈත හංවැල්ල ගම්මානයේ. ගම්බද පරිසරයකට උරුමකම් කියන මේ ප්‍රදේශයට අපි දෙන්නගේම හිත ගියා. නිස්කලංක පරිසරයට අපි දෙන්නම ආදරෙයි.

තවම අපේ කැදැල්ලේ වැඩ සම්පූර්ණයෙන්ම නිම වෙලා නැහැ. ඒ නිසා වෙනම කැදැල්ලක කූඩු වෙන්නත් අදහසක් තියෙනවා. අම්මා නම් කියන්නේ අපේ ගෙදරම පදිංචි වෙන්න කියලා. තාත්තත් ඒකට බොහොම කැමැතියි. අපේ විවාහයෙන් පස්සේ පදිංචිය සඳහා අම්මා ඔස්ට්‍රේලියාවට යන්නයි හිතාගෙන ඉන්නේ. තාත්තා නම් නාට්‍ය කටයුතුවල නියැලෙන නිසා ලංකාවෙම ඉඳීවි.’

කලාදූපතේ ඈතින් හිරු කුමරු එබී බලන්නේ ඩිල්කට ආසිරි පතන්න වගේ. ඒ විතරක්ම නෙමෙයි, සොඳුරු යුවතියකගේ ජීවිතයේ සොඳුරු පැතුම් ඉටුවෙන අද දවසේ සුබපතන්න දේශපාලඥයන්, කලාකරුවන් විතරක් නෙමෙයි මාධ්‍යවේදීනුත් කලාදූපතට නෑගම් ගිහින්.

ඔබගේ සිහිනය එළිවෙන මේ සුන්දර මොහොතට ‘සරසවිය’ අපිත් නෑගම් ආවා. ඒ සදා නොමැකෙන සිහිවටනයක් පිටු අතර රඳවමින්. ඩිල්කා – අසේලට සුබ මංගලම්!

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව