කරළිය

ජනවාරි 19 වැනිදා

සයිමන් නවගත්තේගම ගේ ‘සුභ සහ යස’ කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ.

යශෝදරා සරච්චන්ද්‍ර සමඟ කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ කළුතර නගර ශාලාවේ.

20 වැනිදා

ආර්. ආර්. සමරකෝන්ගේ ‘දූවිලි හෙවත් පයිප්ප මහත්තයා’ කළුතර නගර ශාලාවේ.

රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

21 වැනිදා

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘ගැබ්බර මිනිසා’ ඇල්පිටිය රූපා කරුණාතිලක ශාලාවේ.

රාජිත දිසානායකගේ බකමූණා වීදි බසී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

22 වැනිදා

දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ බොරැල්ල වයි. එම්. බී. ඒ. රඟහලේ ටෙනිසන් කුරේ ගේ ‘අයි ඇම් ශ්‍රී ලංකා’ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ.

25 වැනිදා

සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ කුරුණෑගල නගර ශාලාවේ.

සුනිල් එදිරිසිංහගේ සඳකඩපහණ ඇඹිලිපිටියේ.


අනඳපිය කුඩාතිහි අභාවප්‍රාප්ත වෙයි

පරිණත මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු මෙන්ම සිංහල භාෂා විශාරදයකු ද වූ අනඳපිය කුඩාතිිහි මහතා අභාවප්‍රාප්ත විය. හෙළ හවුලේ ආරම්භක සාමාජිකයකු වූ හෙතෙම ලේක්හවුස් ආයතනයේ ජනතා පත්‍රයට සම්බන්ධ වෙමින් සිය පුවත්පත් ජීවිතය ඇරැඹීය.

පසුකාලීනව සීමාව, බිඳුණු සෙනෙහස, කවි සයුර, ණන ළල යෙදුම වැනි ග්‍රන්ථ ඔහු විසින් රචනා කරන ලදී.

ඉන් , ණන ළල යෙදුම ලේඛකත්යෙහි යෙදෙන කොයි කවුරුත් පරිශීලනය කරන වටිනා ග්‍රන්ථයකි.

මිය යන විට අනඳපිය කුඩාතිහි මහතා අසූ පස් වැනි වියෙහි පසු විය.


කවරයේ කතාව

මෙවර සරසවිය කවරය හැඩ කරන ඈ ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය හදවත් දිනාගත් පූජා උමාශංකර්ය.

ලබන සතියේ තිරගතවන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුස-පබා චිත්‍රටයෙහි පබා ලෙස රඟමින් රිදි තිරයට පෙම් බඳින පූජා ලාංකේය සිනමාවට හඳුන්වා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ නළු චන්න පෙරේරායි.

ඔහුගේ අංජලිකා චිත්‍රපටයෙන් ලංකාවේ සිනමා ජීවිතය ඇරැඹි ඕ ‘ආසයි මං පියාඹන්න’, ‘යහළුවනේ’, ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූවාය.


ජාතික නාට්‍ය උළෙලේ මේ දිනවල නාට්‍ය

2011 ජාතික නාට්‍ය උළෙල කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පසුගියදා ආරම්භ වුණා. අද දින වේදිකා ගත වන්නේ නාමල් ජයසිංහ හා ප්‍රසන්න මහගමගේ ගේ ග්ලැඩියේටර් ප්‍රේමයයි. 20 වැනිදා ධනුෂිකා නයන කුමාරිගේ ජනේලයෙන් පනින්නද, 21 වැනිදා ජගත් බණ්ඩාරගේ බෝනිකි ගෙදර, 22 වැනිදා උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’, 23 වැනිදා ජෙහාන් ශ්‍රීකාන්තගේ ‘හැපි ජර්නි’ත් වේදිකා ගත වෙනවා.

කෙටි නාට්‍ය ආරම්භ වෙන්නේ ජනවාරි 24 වැනිදායි. සුදත් අබේසිරිවර්ධනගේ ‘මගේ කාලයේ වීරයෙක්’, ටී. කයුරියාගේ ‘ඒකලයිවන්’, රෝහන් ද සිල්වා ගේ ‘අපි’, කේ. කිරිච්චේන්දුරන්ගේ ‘කඩලින් අක්කරෙයි පෝවෝර්’, ජනවාරි 25 වැනිදා බැසිල් රත්නවීරගේ ‘උන්හන්සේ’, එන් කුලරත්න හා ඒ. සනත් කුමාරගේ ‘කල්යාණ කදෙයි’ එස්. ඒ. සම්පත් චතුරංග පෙරේරාගේ ‘ඇයි උඹලා ආවේ’, එම්. සී. නජිමුඩීන්ගේ ‘සලෝමි’ වේදිකා ගතවීමට නියමිතයි.


සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ කලුරිය කරයි

හතළිස් තුන් අවුරුද්දක් පුරා ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහනක් තැබූ සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ කලාකරුවා පසුගිය 15 වැනිදා සවස අභාවප්‍රාප්ත විය.

හෙළ සිනමාවේ නිළි රැජන, ගීත කෝකිලාවිය රුක්මණී දේවියගේ 89 වැනි ජන්ම දිනය වෙනුවෙන් මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සව්සිරිපායේදී සංවිධානය කර තිබූ උපහාර ගී ප්‍රසංගයේ සංගීතය මෙහෙයවමින් සිටියදී හටගත් දරුණු හෘදයාබාධයක් හේතුවෙන් මෙම අවාසනාවන්ත ඉරණමට ඔහු ගොදුරු විය.

සංගීත අධ්‍යක්ෂවරයකු, වාදන ශිල්පියකු, තිර නාටක රචකයකු, ගී පද රචකයකු, තනු නිර්මාපකයකු සහ රංගන ශිල්පියකු ලෙස ද සුවිශාල මෙහෙවරක නියැලුණු ස්ටැන්ලි ලියනගේ මිය යන විට 64 වැනි වියේ පසු විය.

හේ ජනප්‍රිය නිළියක හා ගායිකාවක වන කාංචනමාලා මහවිතානගේ දයාබර සැමියා වන අතර දරුවන් දෙදෙනකුගේ පියෙකි.


තිලක් පල්ලියගුරුගේ චිත්‍ර දැක්මක් හෙට මහනුවර දී

දේශීය සම්මානලාභී කලා භූ®ෂණ තිලක් පල්ලියගුරුගේ ඉදිරිපත් කරන දහතුන් වැනි චිත්‍ර ප්‍රදර්ශනය භාවරූපික නමින් හෙට දින (20 වැනිදා) මහනුවර ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පස්වරු 8.00 ට ආරම්භ වේ. මෙම ප්‍රදර්ශනය 29 වැනිදා දක්වා දිනපතා පැවැත්වේ.


රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දු මිය යයි

අතිශය ජනප්‍රිය වූ දිවැස හෙළනු මැන නාට්‍ය නිර්මාණය කළ රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. යසපාලිත නානායක්කාරගේ එකම ටෙලි නාට්‍යය වූ පටලැවිල්ල හි තිර රචකයා වූ හෙතෙම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ඡායාරූප එකතුව රජ දැක්ම හී කතුවරයා ද වේ. තාරක ප්‍රකාශකයෝ හි අධිපතිත්වය දැරූ ඔහු ‘පරසතු මල්’ ඇතුළු ග්‍රන්ථ ගණනාවක් නිකුත් කළේය. ඔහුගේ අවසන් කටයුතු ඉකුත්දා බලංගොඩ දී සිදු විණි.


සූ සහ ගුරු 22 දා

ජිනදාස පෙරේරාගේ ‘සූ සහ ගුරු’ වේදිකා නාට්‍යය මෙම මස 22 වැනිදා ලුම්බිණි රඟහලේ වේදිකා ගතවේ.

මානෙල් වානගුරු, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ආරියසේන ගමගේ, දයානන්ද හේවගේ, ශ්‍යාමා ඔකඳපොල, කේ. ඒ. පියකරු, සුරේකා පෙරේරා, රෝලින්ස් යන අය මෙහි රඟන අතර වේදිකා පරිපාලනය යමුනා දිල්හානිගෙනි. අශෝක මෙන්ඩිස් සංවිධානය කරයි.


ඔගී රණවීර සමුගනී

සුප්‍රසිද්ධ ශබ්ද පරිපාලකවරයකු වූ ඔගී රණවීර මිය ගියේය. ඔගී ශබ්දාගාරයේ අධිපති වූ හෙතෙම, චිත්‍රපට රාශියකම ශබ්ද පරිපාලකවරයෙකු ලෙස කටයුතු කළේය.


කුමාරි මුණසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක ද වන ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ ප්‍රිය බිරිය කුමාරි මුණසිංහගේ මව කුමාරිහාමි මුණසිංහ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට වයස අවුරුදු හැත්තෑ හයක් වූ ඇය අට දරු මවකි.

විශ්‍රාම ලත් පාඨශාලා ආචාරිණියක වූ ඇය අවසන් වරට සේවය කළේ ගලහිටියාව හේමමාලි මහ විද්‍යාලයේය. ඇගේ අවසන් කටයුතු පසුගියදා ගණේමුල්ල පොදු සුසාන භූ®මියේදී සිදු කරන ලදී.


හෙට හොරණ දී ගැහැනියක් වෙන්දේසියේ

නාට්‍ය ශිල්පී චන්ද්‍රා ශ්‍රී පෙරේරා නව නිෂ්පාදනයක් ලෙසින් ‘ගැහැනියක් වෙන්දේසියේ’ හෙට (20 වැනිදා) හොරණ නගර ශාලාවේදී වේදිකා ගතවේ. චන්ද්‍ර ශ්‍රී පෙරේරා, ඉනෝකා ඉන්ධුමතී, සුනිල් හඳපාන්ගොඩ, සරත්චන්ද්‍ර අමරතුංග, ඩී. ඩී. අබේරත්න, රසික පුෂ්පකුමාර, රංජිත් ගුණසිංහ, එරංගා මනෝහාරී, මංජුලා සමන්මලී යන ශිල්පීහු මෙහි තම රංගන ඉදිරිපත් කරති.

සෙනෙවිරත්න වල්පිට රචනා කරන ලද මෙහි සංගීතය මහේෂ් ප්‍රියංකර මෙහෙයවයි. වේෂ නිරූපණය ප්‍රේමකුමාර කරුණාරත්නත්, වේදිකා සැරසිලි මහේන්ද්‍ර පෙරේරාත්, විදුලි ආලෝකය ජිනදාස හේන්ගොඩත් සිදු කරති. හොරණ රංග කලා කේන්ද්‍ර සභාව වෙනුවෙන් සිසිර සම්පත් ඩී. ගමගේ විසින් ඉදිරිපත් කරනු ලබයි.


රයිගම් උළෙලට නිර්මාණ බාර ගැනේ

මැයි මස පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලට අයැදුම්පත් හා නිර්මාණ භාර ගැනීම මෙම මස 31 වැනිදා අවසන් වේ.

මේ පිළිබඳ වන විස්තර හා අයැදුම්පත් ටෙලීස් ලේකම් කාර්යාලයෙන් සහ සියලුම රූපවාහිනී නාලිකාවලින් ලබා ගත හැකි බවත්, ඉදිරිපත් කරන නිර්මාණ 2011 වර්ෂයේදී විකාශය නිම වූ දේශීය ටෙලි නාට්‍ය වීම විශේෂ සුදුසුකමක් බවත් රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්රික් රත්නායක පැවසුවේ පසුගියදා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එමෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාළ නාලිකාව මගින් හෝ අයැදුම් කළ හැක.

වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0771061510, 0771061507 යන අංක ඔස්සේ දුලීප් හා මංජුල ඇමැතිය හැකිය.

මෙ අවස්ථාව සඳහා ද කිංඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, කළමනාකාර අධ්‍යක්ෂ ගණක අමරසිංහ, ඩ්‍රීම් ලයින් සයන්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ප්‍රශාන්ත නානායක්කාර යන මහත්වරු සහභාගී වී සිටියහ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව