අපේ සිනමාවේ උපන්දිනය දා තිරයට එක්වන අලුත්ම කතා නායිකාව

යශෝධා රාධක්‍රිෂ්ණන්

මාතා චිත්‍රපටයේ දඩබ්බර පාර්වතී නේද මේ?

ඔව් ඒ මං තමයි.

පාර්වතී හරි නපුරු පාටයි.

වෙන්න ඇති. එයා එල්. ටී. ටී. ඊ. තරුණියක්නේ.

පාර්වතීගේ ඇත්ත නම දැනගගන්න කැමැතියි.?

යශෝධා රාධක්‍රිෂ්ණන්.

යශෝට බය හිතුණේ නැද්ද පාර්වතීව නිරූපණය කරන්න?

චුට්ටක්වත් නැහැ . . . ඒත් . . .

ඇයි ඒත් කිව්වේ?

පාර්වතී චරිතය මට ලැබුණාම සමහරෙක් මාව අධෛර්යමත් කළා.

හේතුව?

චිත්‍රපටය තිරගත වුණාට පසුව මිනිස්සු දොස් කියයි කියලා.

ඔබ ඒවා විශ්වාස කළේ නැහැනේ?

ඔව්. මට මාව විශ්වාසයි. අනික ඒක නිරුපණයක් පමණයිනේ.

යශෝගේ ගෙවල් කොහෙද?

මම ඉපදුණේ නුවරඑළිය ඩයගම.

ඉගෙන ගත්තේ?

නුවර මේබ්‍රෙව් පාසලේ.

නිළියක් වෙන්නද හීන මැව්වෙ?

නැහැ.

එහෙනම්?

නැටුම් ගුරුවරියක් වෙන්න.

හොඳට නටන්න පුළුවන්ද?

ඔව්, ඔව්, භරත නාට්‍යම් ඇතුළු නර්තන අංග බොහොමයක් මට හොඳට පුළුවන්.

නට නටා හිටපු යශෝ කොහොමද මාතාහී පාර්වතී වුණේ?

මං රඟපාන්න කලින් නිවේදිකාවක්. තවමත් නිවේදන කටයුතු කරනවා. මට ඒ ගැන ඉස්සෙල්ලා කියන්න ඕනේ. ඊට පස්සේ පාර්වතී ගැන කියන්නම්.

හොඳයි ඉතින් කියමු බලන්න ඒ ගැන?

අපොස උසස් පෙළ කරලා ගෙදර ඉන්න කම්මැලිකමට ශක්ති ටී. වී ආයතනයට අයැදුම්පතක් යොමු කළා. එහි සම්මුඛ පරීක්ෂණයෙන් තේරිලා මං ඒ ආයතනයේ නිවේදිකාවක් වුණා. ඊට පස්සේ වසත්තම් චැනල් එකට ගිහින් කාලයක් ඉඳලා නැවතත් ශක්ති ටී. වී. එකටම ආවා. එහි මං ඉදිරිපත් කරන්නේ කාදල්. කොමි. එය සතියේ දිනවල සවස 6 ට විකාශය වනවා. මෙහෙම කාලයක් ඉන්න කොට මාව දැකලා . . .

අතුරු ප්‍රශ්නයක් අහන්නද?

හා.

දැන් වැඩිපුරම හිත රංගනයට නේද?

ම් ම් ම් . . . ටිකක් හරි.

හරි නවත්වපු තැනින් කතාව පටන් ගම්මුකෝ?

මාතා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ මිල්ටන් කැමි මහතා මාව ස්ක්‍රීන් ටෙස්ට් එකකට යොමු කළා. ඔහු මාව රූපවාහිනියෙන් දැකලා තිබුණා. එතකොටත් මාතාහී පාර්වතී සඳහා කෙනෙක් ඔවුන් සොයමිනුයි ඉඳලා තියෙන්නේ. මාව ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා.

කොහොද හා හා පුරා කියා කැමරාව ඉදිරියේ නිළියක වූ මොහොතක සිතට දැනුණේ?

නිවේදනයෙන් ලත් අත්දැකීම් නිසා කැමරාවට බය නොතිබුණත් රංගනය තරමක් නුහුරුයි. අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන මහතා මට බොහොම කරුණාවෙන් කරන්න වුවමනා මොනවද යන වග කියා දුන්නා. ඒ වාගේම මාතාහි ප්‍රධාන චරිතය මවන දර්ශන් මට ලබා දුන් සහය අපමණයි. මේ අයගේ උදව්වෙන් පසුව මා පාර්වතීව නිරූපණය කළේ ඉතාම සැහැල්ලුවෙන්.

මාතා නරඹපු අයගෙන් ඔබට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

හොඳයි කිව්වා. තව දියුණු වෙන්න ඕන තැන් කියලා දුන්නා.

මට පොඩි ආරංචියක් ආවා?

මොකක්ද,

චිත්‍රපට දර්ශන තලයේදී හේතුවක් නැතිව ඇඬුවා කියලා, ඒ වගේම දවස් දෙකක්ම කාටත් හොරෙන් ගෙදර දුවන්න හැදුවලු?

පාර්වතී ළඟ තුවක්කුවක් තියනවා. ඒක හරිම බරයි. එය ඔසවාගෙන ඉන්න කොට අත රිදෙනවා. ඒකයි ඇඬුවෙ. ඒ සිදුවීම මට රංගනය එපා කළා. දුවන්න හැදුවෙත් ඒකයි.

මාතා රූගත කළේ යුද වාතාවරණයක් පැවැති භූමියක නේද?

ඇත්තෙන්ම. එහෙ හරියට වතුර නැහැ, කරන්ට් නැහැ. බොහෝම අසීරුතාවයන් මැද තමයි අපි ෂූට් කළේ.

යශෝගේ පවුලේ තොරතුරු?

අම්මයි, තාත්තයි, මල්ලියි, අයියයි, ම් ම් ම් තව කෙනෙක් ඉන්නවා.

කවුද ඒ?

මගේ ස්වාමි පුරුෂයා.

යශෝගෙ වයස කීයද?

මං ඉපදුණේ 1990. 07. 06. එතකොට දැන් මට අවුරුදු 22 ක්.

ඇයි ඉක්මනින් විවාහ වුණේ?

ආරක්ෂාවට.

ඒ කිව්වෙ?

මං කොළඹ කෙනෙක් නොවන නිසා මගේ තනියට ඉන්න පුද්ගලයකු වුවමනායි. ඒ හින්දා හොඳ අයකු සොයා ගෙන විවාහ වුණා.

ඔහුගේ විස්තරත් කියමු?

නම ඉජාස්. ඔහු සංගීත ශිල්පියෙක්.

යශෝට ගී ගයන්න බැරිද?

අපෝ මං සිංදු කිව්වොත් ගැරඬි ඉගිල්ලෙයි.

හොඳට සිංහල කතා කරන්න පුළුවන් වගෙයි?

තවම බැහැ. පොඩි කාලේ ඉඳලා කතා කළේ දෙමළ භාෂාවෙන්.

සිංහල නාට්‍ය බලනවාද?

ඉඩක් ලැබුණොත් බලනවා.

කවුද ආසම නළු නිළියන්?

නළුවන් ගැන මං වැඩිය දන්නේ නැහැ. නිළිය නම් නෙහාරා.

ඉදිරියේදී රඟපාන්න කැමැති අධ්‍යක්ෂවරු තිදෙනෙක් නම් කළොත්?

අශෝක හඳගම

ප්‍රසන්න විතානගේ

ජයන්ත චන්ද්‍රසිරි

මාතා ඔබේ පළමු චිත්‍රපටය නේද?

හ්ම් ම් . . .

ආයේ චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

දෙකකට කතා කළා.

රංගනයෙන්ම තව දුර යන්නටද හිතාගෙන ඉන්නේ?

අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන සිතා බලනවා.

කාටද තුති පුදන්න තියෙන්නේ?

බූඩි කීර්තිසේන, විජය රත්නායක, සනත් රණවීර, දර්ශන් ධර්මරාජ්, මහේන්ද්‍ර පෙරේරා, වසන්ත විට්ටච්චි.

කාට හරි යශෝට කතා කරන්න වුවමනාවක් ඇති වුණොත්?

0777464996 /0777151225 යන දුරකතන අංකවලට කතා කරන්න කියන්න.

හෙළ සිනමාවට එක් වූ අලුත්ම කතා නායිකාව වන යශෝධාගේ පළමු පුවත්පත් සාකච්ඡාව වන්නේ මෙයයි. රංගනය නම් වූ සොඳුරු කඳු පියස තරණය කිරීමට හැකියාව සහ වාසනාව ලැබේවා යැයි සරසවිය අප ඇයට ඉත සිතින් පැතුම් එක් කරමු.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව