මෙරට මුල්ම දෙමළ චිත්‍රපටයේ නිළිය ඇයයි මරියා රොට්ල්ඩා රුක්ස්

* රඟපෑමෙන් ලැබුණු මුදල අම්මට දීලා ගවුම් රෙද්දක් විතරක් ඉල්ලනවා.

* විජිත මල්ලිකා මගේ හොඳ මිතුරියක්

මරියා රොටිල්ඩා රුක්ස් නව ජීවන චිත්‍රාගාරයට පැමිණියේ යෙහෙළියගේ තනියටයි. චිත්‍රාගාරය ලස්සන තරුණියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරිලා. මේ තරුණියන් හැමෝටම ඕනෑ වෙලා තිබුණේ අපේ රටේම නිපදවන තෝට්ටක්කාරි (වතු කම්කරු කාන්තාව) දමිළ සිනමා පටයේ ‘තෝට්ටක්කාරි’ වීමටයි.

දමිළ වචනයක්වත් ලියන්න, කියන්න දන්නේ නැතුව පැමිණි මේ ගමන තමන්ට සුබ ගමනක් වේවියි කියා මරියා රොටිල්ඩා තරුණියට නම් සිතුණේම නැහැ.

සිරිසේන විමලවීර මහත්තයා තරුණියන් එක්කෙනාට එක්කෙනාට කතා කළා. මාලයක මුතු ඇට එකිනෙක ගැළ වී යනවා වාගේ තරුණියන්ගේ පෝලිමත් අඩු වී ගෙන ගියා. අන්තිමට ඉතිරි වුණේ මරියාත්, යෙහෙළියත් පමණයි.

රඟපෑමට පැමිණි යෙහෙළිය කැඳවූවේ නැති නිසා මරියාත්, යෙහෙළියත් නැවත ගම් දොර බලා යන්න පිය නැඟුවේ සියලු බලාපොරොත්තු සුළඟට පා කර හරිමින්.

චිත්‍රාගාරයේ දොරකඩට ගියා විතරයි විමලවීර මහත්තයා කතා කළා. කතා කළේ යෙහෙළියට නොව, මරියාටයි. ‘අපි ඔයාව අරගන්න තීරණය කරලා තියෙන්නෙ.’ මරියාට පුදුම හිතුණා. ඒත් හිත සතුටින් පිරිලා.

ඔහු ඇයට දුන්නේ දැවැන්ත අභියෝගයක්.

‘ඔයාව හොරු රංචුවක් පන්නාගෙන එනවා. කේන්තියෙන් ඔවුන්ට ගහන්න.’

‘ඉතින් හොරු නැහැනෙ’ මරියා ගත් කටටම කිව්වා. ‘මේ ක්‍රෝට්න් ගහ හොරු රංචුව කියලා හිතන්න’ විමලවීර මාස්ටර්ගෙන් උපදෙසක්.

‘උඹලට කවදාවත් හිතන දේ ඉෂ්ට කර ගන්න ලැබෙන්නෙ නැහැ’ කියලා මරියා ළඟ තිබුණුු පොල්ලක් අරන් ක්‍රෝට්න් ගහ දෙකට කැඩෙන්න ගැහුවා.

විමලවීර මාස්ටර්ගෙ මුහුණේ සතුටු සිනා රැල්ලක්. මරියා රොටිල්ඩා රුක්ස්, ජෙය ශ්‍රී වුණා. සිංහලෙන් දමිළ වචන ලියාගෙන දෙබස් කටපාඩම් කළා.

එදාම රූපගත කිරීම්වලට සහභාගි වන්න ඇයට සිදු වුණා. ෂූටිං තිබුණේ දැරණියගල. නිෂ්පාදක වී. තංගවේලු. අධ්‍යක්ෂණය කළේ පී. එස්. ක්‍රිෂ්ණ කුමාර්. රඟපෑවේ දමිළ නළු නිළියෝ. මේ කිසිවක් ජෙය ශ්‍රී වූ මරියට අභියෝගයක් වුණේ නැහැ.

1963 සැප්තැම්බර් 27 වැනිදා තෝට්ටක්කාරි තිරයට නැඟුණා. ජෙය ශ්‍රී කාගේත් අවධානය දිනා ගත්තේ ඇයගේ හැඩකාර බව නිසා වගේම රංගන කුසලතාව ද නිසයි. රංගනයට ඇයට රුපියල් දෙදහසක මුදලක් ලැබුණා.

එහෙත් මරියාට රංගනය ඒ වන විට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුණේ නැහැ. ඇය වේදිකා නාට්‍ය විශාල ගණනක ගී ගයමින් රඟපා තිබුණා. මරියට කලා ලෝකයට ශ්‍රියාණි සේපාලිකා රුක්ස් යන නම තැබුවේ හෙන්රි චන්ද්‍රවංශ මහතායි.

ශ්‍රියාණි නම ඇයට ලැබුණේ ශ්‍රියාණි වේදිකා නාට්‍යයේ ශ්‍රියාණිගේ චරිතය ජනප්‍රිය වූ නිසයි. ඇයගේ රංගන, ගායන හැකියාව මාපිය උරුමයෙන් දායාද වූවක්. ඒ දායාදය ඇය අපට පැවසුවේ අහිංසක ආඩම්බරයකින්.

‘මගේ තාත්තා නිකලස් පෙරේරා. ඇනී බොතේජු යුගයේ සිටි නළුවෙක්. සීයා කේ. ඩී. මයිකල් පෙරේරා සර්පිනා වාදකයෙක්. බාප්පා ගායකයෙක්. බාප්පා සමඟ ටවර් හෝල් එකේ දුටුගැමුණු නාට්‍යයේ රඟපෑවා.

ජීවන සුළිය නාට්‍යයේ මාත් සමඟ මානෙල් වානගුරුගේ පියා ඩඩ්ලි වානගුරු රඟපෑවා. අන්තිම රැය, මේ දෑස් කුමටද අමතක නොවන වේදිකා නාට්‍ය දෙකක්.

හැටේ දශකයේදී වේදිකා නාට්‍යයක නර්තනයකට රුපියල් 7.50 ක් ගෙව්වා. නාට්‍යයක රඟපානවට රුපියල් 15 ක් ලැබුණා.

සංගීත සන්දර්ශනවලට ද කැඳවීම් ලැබුණා. ස්ටැන්ලි මාස්ටර්, මොහොමඩ් සාලි, එම්. එස්. ප්‍රනාන්දු සංගීත ප්‍රසංගවලට මාව කැඳවාගෙන ගියා.

අවාසනාවකට එක් ගීයක්වත් ගුවන් විදුලියේ තැටිගත කරන්න ලැබුණේ නැහැ. ‘මං ආවේ දැන් – ඔයා හින්දයි’ ගීය ජෝතිපාලත් සමඟ ගයන්න පුහුණු වුණේ මායි. ඒත් තෝට්ටක්කාරී ෂූටිං යන්න වුණ නිසා ඔහුට මල්ලිකා කහවිට සමඟ ගීතය තැටිගත කරන්න සිදු වුණා.’

යුගයක් වර්ණවත් කළ ශ්‍රියාණි සේපාලිකා රුක්ස්ගේ ගායන, රංගන, නර්තන හැකියාව අද මතකයක් පමණයි. එහෙත් ඇයගේ රුව ඇඳුණු සිනමා සිත්තම් කිහිපයක් තිබීම ඒ යුගය දකින්නට වරම් නැති අද පරපුර ලැබූ වාසනාවක්. දෛවයෝගය, වැදිබිම, සුහද දිවි පිදුම, හඳපාන, හිතට හිත (ජෝගේ පෙම්වතිය) ඇය රැඟූ සිනමා පට කිහිපයක්.

හිතට හිත සිනමා පටයේ රඟපෑ පසු ඇයට රංගනයට නැවතීමේ තිත තැබීමට සිදු වුණේ ඇයගේ හිත වෙනකකු විසින් සොරා ගත් නිසයි. ඔහු රඟපානවාට අකැමැති නිසා ඇයට සිදු වූයේ දූ දරුවන් හදා වඩා ගැනීමටයි.

දැන් ඇයගේ පුතු ඒ අඩුව සම්පූර්ණ කිරීමට සිනමාවට පිවිසිලා. ඔහු සංඛ විදුරංග. ඇරැයුමක් ලැබුණොත් රඟන්න, ගයන්න ශ්‍රියාණි සේපාලිකා තවමත් කැමැතියි.

ජීවිතය සිනමාව තරම් සොඳුරු නැති බව විවිධ දුක්ඛ, දෝමනස්සයන්ගෙන් බැට කෑ ඇයට හොඳටම පැහැදිලියි. රඟන්න කෙරෙන ආරාධනාවන් ඇත්තටම ඇයට පොද වැස්සක් වන්නේ එනිසයි.

ශ්‍රියාණි සේපාලිකා රුක්ස් ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනියගේ ලිපිනය ,
නො: 9/1, කිරිඳිවැල්ල,
රුක්මලේ, වේයන්ගොඩ.

දු: අං: 0777906749

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව